මහින්ද රාජපක්ෂ ලබාගත් මිලියන 60 පුණ්‍ය කටයුතු සඳහා වියදම් කළ බවට හිටපු ඇමති වීරසේකර ප්‍රකාශයක් කළා ද? 

False Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

එයාර්බස් ගනුදෙනුවෙන් ලද අල්ලස් මුදලින් රු. මිලියන 60 ක්  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදුන් බවට සැකකාර කපිල චන්ද්‍රසේන ප්‍රකාශ කර ඇතැයි, අල්ලස් කොමිසම සිදුකළ අනාවරණය ඊයේ (19) රටේ ප්‍රධානතම ප්‍රවෘත්තියක් බවට පත්ව තිබුණා. මේ ඒ හා සම්බන්ධව හිටපු අමාත්‍යවරයෙකු සිදු කළ බව කියමින් සමාජ මාධ්‍යයේ සංසරණය වන නොමගයවන සුළු සටහනක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක්. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ලබා ගත් රු. මිලියන 60ක මුදල මුළුමනින්ම වියදම් කර ඇත්තේ, පුණ්‍ය කටයුතු සඳහා පමණක් බවට අප හිටපු අමාත්‍ය, විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර ප්‍රකාශ කර ඇති බව කියමින් මෙම සටහන පළ කර තිබේ.  

Facebook | Archived Link

ඇත්තටම හොරා කාලා පිනට දුන්න කියමුකෝ එතකොට හොරකම අවලංගු ද යනුවෙන්  ප්‍රශ්න කරමින් ඉහත තේමාවෙන්ම තවත් සටහනක් මෙලෙස පළ වී තිබුණේ, අද දෙරණ නිල ලාංඡනය යටතේයි. 

Facebook | Archived Link

එම තේමාවෙන් ම පළ වී තිබූ තවත් සමාජ මාධ්‍ය සටහනක් මෙතැනින්| Archived Link

මේ අනුව සමාජ මාධ්‍යයේ සංසරණය වන ඉහත සටහන් සත්‍ය යැයි විශ්වාස කරමින් බොහෝ පිරිසක් එය හුවමාරු කර ගෙන තිබූ අතර තවත් පිරිසක් සත්‍යයක් බවට සිතමින් අදහස් පළ කර තිබෙනු ද දැකගතහැකි වුණා. ඒ අනුව මෙහි නිර්වද්‍යතාව විමසා බැලීමට අප පියවර ගත්තා. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

එයාර්බස් ගනුදෙනුවට අදාළ නඩුව ඊයේ (19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණා. සැකකාර ශ්‍රීලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන විසින් ගනුදෙනුවේදී අල්ලස් වශයෙන් ලද මුදලින් රු. මිලියන 60ක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදුන් බවට ප්‍රකාශ කර ඇතැයි, අල්ලස් කොමිසම සිදු කළ අනාවරණය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය රැසක්ම මෙලෙස, මෙලෙස සහ මෙලෙස වාර්තා කර තිබුණා. 

කෙසේ වෙතත් සමාජ මාධ්‍යයෙහි දැක්වෙන පරිදි අදාළ මුදල් හිටපු ජනාධිපතිවරයා විසින් පුණ්‍ය කටයුතු සඳහා වැය කර ඇති බව හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා සිදු කළ ප්‍රකාශයක් කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍යක්  වාර්තා කර නොමැත. ෆේස්බුක් ඔස්සේ සංසරණය වන එක් සටහනක් අද දෙරණ නිල ලාංඡනය සහිතව පළකර තිබූ බැවින් අප අද දෙරණ පුවත් ඔස්සේ එවැන්නක් පළ කර තිබුණේ දැයි තවදුරටත් පරීක්ෂා කළ අතර එහිදි ඊයේ (මාර්තු 19) දහවල් ප්‍රවෘත්ති ඔස්සේ, හිටපු අමාත්‍යවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වී ඇති නමුත් එහිදී එයාර්බස් ගනුදෙනුවට හෝ නඩු විභාගයට අදාළව කිසිදු කරුණක් ඉදිරිපත් කළ බවට එම පුවතෙහි වාර්තා කර නොමැත.

කෙසේ වෙතත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක කපිල චන්ද්‍රසේනට තර්ජනය කොට බලහත්කාරයෙන් බලහත්කාරයෙන් ප්‍රකාශයකට අත්සන් ගෙන ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්  ඊයේ (19) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැඳවූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ බව මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණා. 

එවැනි ප්‍රකාශයක් සිදු කළේ නැහැ – හිටපු අමාත්‍ය සරත් වීරසේකර 

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන්වල සත්‍ය අසත්‍යතාව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප හිටපු අමාත්‍ය, විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත්තා. හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ, තමන් සිදු කළ බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් කිසිදු සත්‍යතාවක් නැති සම්පූර්ණයෙන් ම අසත්‍ය සටහන් බවයි. 

ඊයේ (19) පැවති පොදුජන පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවට තමන් සහභාගී වූ බවත් එහිදී වෙනත් කරුණු කිහිපයක් පිළිබඳ අදහස් පළ කිරීම් සිදු කළ ද එයාර්බස් ගනුදෙනුව හෝ නඩුවට අදාළ හෝ කිසිදු ප්‍රකාශයක් සිදුනොකළ බව හිටපු අමාත්‍යවරයා තහවුරු කර කියා සිටියා. 

මේ අතර හිටපු අමාත්‍යවරයා සිය නිල ෆේස්බුක් ගිණුමේ ද සටහනක් තබමින් පවසන්නේ, සමාජ මාධ්‍යයේ වන සංසරණය වන සටහන අසත්‍ය ප්‍රචාරණයක් බවයි. 

Facebook | Archived Link

එයාර්බස් ගනුදෙනුවෙන් හිටපු ජනපති මහින්දටත් මුදල් දුන් බවට අනාවරණයක් 

එයාර්බස් ගනුදෙනුවේදී අල්ලස් වශයෙන් ලද මුදල් සැකකාර හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට ලබා දී ඇතිබවට අනාවරණය වී ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ඊයේ (19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. 

අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ, 2015 වසරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිදු කළ ඉල්ලීමකට අනුව රුපියල් මිලියන 20 බැගින් අවස්ථා 3කදී රුපියල් මිලියන 60ක් මහින්ද රාජපක්ෂට ලබාදුන් බවට සැකකරු කපිල චන්ද්‍රසේන ප්‍රකාශ කර ඇති බවයි. 

තවද අදාළ මුදල් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වූ ශමින්ද්‍ර රාජපක්ෂගේ ගිණුමටත් බැරවී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ද අල්ලස් කොමිසම අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණා. 

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පොලිස් පරීක්ෂක දිලුම් දුෂාන්ත වැඩිදුර විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ,  අත්අඩංගුවටගත් දින පෙරවරුවේ සැකකාර කපිල චන්ද්‍රසේන නීතිඥවරයෙකු සමගින් අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි බවත් එහිදී සිය සේවාදායකයාට වැඩිදුර තොරතුරු අනාවරණයක් සිදු කිරීමට ඇති බවටත් ඒ අනුව ඔහුව සැකකරුවෙකු ලෙස නම් නොකර සාක්ෂිකරුවෙකු ලෙස නම් කරන ලෙසටත් නීතිඥවරයා අල්ලස් කොමිසමේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ බවයි. 

පසුව නීතිඥවරයා ස්ථානාධිපතිවරයාගේ රාජකාරි දුරකතනයේ whatsapp අංකයට දිවුරුම් ප්‍රකාශයක pdf පිටපත යොමුකර ඇති බවත් එහි අවසන් ඡේදයේ ශමින්ද්‍ර රාජපක්ෂ, ප්‍රියංකර ජයරත්න යන නම්දෙක සහ තවත් අය යනුවෙන් සඳහන්ව තිබී ඇති බවත් පසුව ස්ථානාධිපති ගාමිණි අබේසිංහ සහ සහකාර අධ්‍යක්ෂ සුමේන්ද්‍ර මේ සම්බන්ධයෙන් අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙන් උපදෙස් පැතීමක් සිදු කර ඇති බවත් එහිදි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැමිණ ” ඔබ සත්‍ය ප්‍රකාශ කරන්න. තවත් අය යනුවෙන් සඳහන් කරන්නේ කවුද කියා පැහැදිලිව කියන්න” යැයි ප්‍රකාශ කර පිටව ගොස් ඇතැයි, පොලිස් පරීක්ෂකවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත. පසුව සැකකරු ගනුදෙනුවේදී ලද අමෙරිකානු ඩොලර් 2ක මුදල බෙදීගිය ආකාරය ගැන ලේඛනගත සාක්ෂි සමඟ පැහැදිලිව නම් ඉදිරිපත් කළ බව අදාළ පොලිස් පරීක්ෂකවරයා අධිකරණට දැනුම් දුන්නා. 

ඒ අනුව අදාළ මුදලින් රුපියල් මිලියන 20ක් එවකට සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට කොල්ලුපිටියේ ස්ථානයකදී ලබාදුන් බවටත්, පසුව 2015.03.08 දින මොහු ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක තනතුරින් ඉවත්වූ පසු අවස්ථාවක එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මොහුගෙන්  මුදල් ඉල්ලූ බවත්, ඒ අනුව බෙලිඅත්තේ නිවසේදී එක් අවස්ථාවක සහ තංගල්ලේ කාල්ටන් නිවසේදී අවස්ථා 02ක රුපියල් මිලියන 20 බැගින් රුපියල් මිලියන මුදල් ලබාදී තිබු බවත් ඒ අනුව සම්පුර්ණයෙන් මිලියන 60කට මුදලක් ලබා දුන් බවට ඔහු ප්‍රකාශ කර ඇති බව පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට දැනුම් දී තිබුණා.

කෙසේ වෙතත් සැකකාර කපිල චන්ද්‍රසේන මහතාගේ නීතිඥයින් අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ලබාදෙමින් කියා සිටියේ, ඔහුට තර්ජනය කර අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ ලබාගැනීම සිදුකර ඇති බවයි. 

කෙහෙළිය රඹුක්වැල්ලගේ නඩුවකට අදාළව කෙනෙක් එල්ලිලා මැරුණා. ඒ වගේ ඔබටත් මැරෙන්න වෙයි යනුවෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයා තර්ජනය කර තිබූ බවත් සිය සේවාදායකයා කොමිසමට ගියේ නීතිඥවරයෙකු සමග නම්, නීතිඥවරයා සමග ඔහු අධ්‍යක්ෂ ජනරාල් හමුවට ඉදිරිපත් නොකළේ ඇයි ද යන්නත් කණිෂ්ඨ නීතිඥවරයා ආහාර ගැනීම සඳහා ගිය අවස්ථාවේ මෙය සිදුව ඇති බවත් නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණා. 

කපිල චන්ද්‍රසේන යළි රිමාන්ඩ් 

ශ්‍රීලංකන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී සැකකාර කපිල චන්ද්‍රසේන ඇප මත මුදාහරින ලෙස ඔහුගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීමට අල්ලස් කොමිසම වෙනුවෙන් එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් තනුජා බණ්ඩාර දැඩි විරෝධයක් පළ කර තිබුණා. පසුව දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධන මහේස්ත්‍රාත්වරයා සැකකරු අප්‍රේල් 02 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.  මේ අතර සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින කපිල චන්ද්‍රසේනගේ බිරිඳ සහ ශමීන්ද්‍ර රාජපක්ෂ යන සැකකරුවන් අත්ඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස කළ ඉල්ලීමට අදාළව ලබන 24 වනදා සාක්ෂි  මෙහෙයවීමට පියවර ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට දැනුම් දුන්නා.  

2013 වසරේදී ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන් යානා 08 ක් මිලට ගැනීමේදී, අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබාගත්තේ යැයි එවක ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ල වුණා. 

ඒ සම්බන්ධයෙන් අල්ලස් පනත සහ දූෂණ විරෝධි පනත ප්‍රකාරව සිදුකෙරෙන විමර්ශනයකට අදාළව සැකකාර කපිල චන්ද්‍රසේන ඉකුත් මාර්තු 12 වනදා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට පත්වුණා. වැඩි විස්තර මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින්

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ලබා ගත් රු. මිලියන 60ක මුදල මුළුමනින්ම වියදම් කර ඇත්තේ, පුණ්‍ය කටයුතු සඳහා පමණක් බවට හිටපු අමාත්‍ය සරත් වීරසේකර ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි. හිටපු අමාත්‍යවරයා ඊයේ (19) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මාධ්‍ය හමුවට සහභාගී වී තිබුණ ද එහිදී එයාර්බස් ගනුදෙනුවට අදාළ කරුණු පිළිබඳ කිසිදු අදහස් පළ කිරීමක් සිදු කර නොමැත. 

එයාර්බස් ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලද මුදල් සැකකාර කපිල චන්ද්‍රසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට ලබා දී ඇති බවට අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම ඊයේ (19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණා. හිටපු අමාත්‍යවරයා සිදුකර ඇති බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය සටහන් පළ කර ඇත්තේ මෙම සිදුවීම පදනම් කරගනිමිනි. 

Result Stamp

Title: මහින්ද රාජපක්ෂ ලබාගත් මිලියන 60 පුණ්‍ය කටයුතු සඳහා වියදම් කළ බවට හිටපු ඇමති වීරසේකර ප්‍රකාශයක් කළා ද?

Fact Check By: Sagarika Chathumali

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *