ජනපති අනුර තමා දුටු නීර්භීතම නායකයෙකු බව අමෙරිකා හිටපු ජනපති ඔබාමා ප්‍රකාශ කළා ද?  

False Internatioanl Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අගය කරමින් අමෙරිකා එක්සත් ජනපද හිටපු ජනාධිපති බැරක් ඔබාමා ප්‍රකාශයක් සිදුකර ඇතැයි, කියමින් සමාජ මාධ්‍යයෙහි සමාජය නොමග යවන සුළු ආකාරයේ සටහනක් සංසරණය වෙමින් පවතී.  Fact Crescendo  අප ඒ පිළිබඳව සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.  

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

පහත සමාජ මාධ්‍ය සටහනින් ප්‍රකාශ කරන්නේ, පසුගිය මාර්තු 21 වනදා අමෙරිකා හිටපු ජනාධිපති බැරක් ඔබාමා Fox News වෙත අදහස් දක්වමින් අමෙරිකා-ඊශ්‍රායල-ඉරාන යුද්ධයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා කිසිදු පාර්ශවයකට සහය නොදැක්වීමේ තීරණය අගය කර ඇති බවයි. ඒ අනුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා දේශපාලන ආදර්ශයක් බවත්, මෑත කාලයේ තමන් දුටු ආසියාවේ නිර්භීත නායකයෙකු ලෙසත් බැරක් ඔබාමා විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අගය කර ඇතැයි එහි සඳහන් ය. 

Facebook | Archived Link

එම සටහන තවදුරටත් සමාජ මාධ්‍යයේ පළ කර තිබූ ආකාරය පහතින්. 

Facebook | Archived Link

Whatsapp ඔස්සේ ද මෙම සටහන මෙලෙස හුවමාරුවී තිබුණා. 

මෙම සටහන්වල නිර්වද්‍යතාව විමසා පාඨකයින්ගෙන් ලද ඉල්ලීම් ද සලකා අප මෙහි සත්‍යතාව විමසා බැලීමට මෙලෙස පියවර ගත්තා. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ලෝකය මුහුණදී සිටින යුදමය තත්ත්වය හමුවේ මධ්‍යස්ථව කටයුතු කරමින් යුක්තියේ සහ සාධාරණත්වයේ සටන් පාඨය ජාත්‍යන්තරයට ගෙනයාමට ශ්‍රී ලංකාව කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාර්තු 20 වනදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. කුමන පීඩනයන් මධ්‍යයේ වුවද එකී මධ්‍යස්ථභාවය ගිලිහීමට ඉඩ නොදෙන බව අවධාරණය කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, මාර්තු 9 සහ 13 යන දිනවලදී සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ සංචාරයකට නාවික යාත්‍රා 03ක් ලංකාවට පැමිණීමට ඉරානය ඉල්ලීමක් කළ බවයි. ඒ සඳහා අවසර ලබා දීම පිළිබඳ අධ්‍යයනය කරමින් සිටින  අවස්ථාවේ එදිනම සවස එක්සත් ජනපදය ද ප්‍රහාරක ගුවන් යානා 2කට මත්තල ගුවන්තොටුපොළ වෙත පැමිණීමට අවසර ඉල්ලා සිටි බවත් ජනාධිපතිවරයා සඳහන් කළා. යුදමය ගැටුම් පිළිබඳ සංඥා මතු වී තිබූ එම අවස්ථාවේ මධ්‍යස්ථභාවය රකිමින් එම ඉල්ලීම් දෙකටම අවසර ලබා නෙදීමට රජය පැහැදිලි තීරණයක්  ගත් බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. 

කෙසේ වෙතත් ප්‍රහාරක යානා ගොඩ බැස්සවීම සඳහා අමෙරිකාව කළ ඉල්ලීම ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළ බවට වන කොටස ශීර්ෂපාඨ කරගනිමින් Reuters, EconomictimesAljazeera, India Today  ඇතුළු තවත් ජාත්‍යන්තර මාධ්‍ය රැසක් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය වාර්තා කර තිබුණා. 

එහෙත් සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන පරිදි අමෙරිකානු ප්‍රහාරක යානාවලට ගොඩබෑමට අවසර නොදීමේ තීරණය මුල්කරගනිමින් අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා නිර්භීත නායකයෙකු ලෙස අගයකිරීමක් සිදු කර තිබුණේ නම්, එවැනි පුවතක් ජාත්‍යන්තර සහ දේශීය මාධ්‍ය පවා ඉතා ඉහළින් වාර්තා කරනු ඇත. නමුත් කිසිදු පිළිගත් මාධ්‍යක් එවැන්නක් වාර්තා කර නොමැති බව දැක ගන්නට ලැබේ.

බැරක් ඔබාමා ශ්‍රී ලංකා ජනපති අගය කළ බවට Fox News වාර්තා කර නැහැ  

සමාජ මාධ්‍යයේ හුවමාරුවන ආකාරයෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මාර්තු 20 වැනිදා සිදු කළ ප්‍රකාශයත් සමග ඔහුුව අගය කරමින් අමෙරිකා හිටපු ජනාධිපති බැරක් ඔබාමා Sri Lankan President Mr. Dissanayake is not only a political role model but also one of the bravest leaders I have seen in Asia in recent times. යනුවෙන් ප්‍රකාශයක් සිදුකර ඇති බවට Fox News අදාළ දිනයේ හෝ ඊට පසු ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් පළ කර ඇති බවක් අප සිදු කළ පරීක්ෂාවේදී දැකගත නොහැකි විය. 

මේ අතර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමරුවන සටහන සහ Fox News නිල ෆේස්බුක් පිටුවේ සටහන් පළකරන ආකෘතියේ පැහැදිලි වෙනස්කම් කිහිපයක් අපි නිරීක්ෂණය කළෙමු. එනම්, සටහන් ආකෘතිය, වර්ණ, නිල ලාංඡනය යොදා ඇති ස්ථානය, අක්ෂර රටාව ආදී ලෙස පැහැදිලි වෙනස්කම් දැකගත හැකියි. මේ අනුව ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන Fox News නිල පිටුවේ පළ කරන ලද සටහනක් නොවන බවට සාක්ෂි සපයයි. 

සමාජ මාධ්‍ය සටහන                           Fox Newsෆේස්බුක් පිටුවේ සත්‍ය සටහනක්

තව ද අමෙරිකානු මාධ්‍ය නාලිකාවක් වන Fox News වෙබ් අඩවියේ හෝ සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ආකාරයේ පුවතක් පළ කර නොමැත. 

සමාජ මාධ්‍යයේ සටහනේ දැක්වෙන ඔබාමාගේ ඡායාරූපය 

මේ අනුව ශ්‍රී ලංකා ජානාධිපතිවරයා අගය කරමින් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන සටහනේ හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ ඡායාරූපය කුමන අවස්ථාවක ඡායාරූපයක් ද යන්න තහවුරු කර ගැනීම සඳහා සිදු කළ පරීක්ෂාවේදී එය  2026 වසරේ පෙබරවාරි මාසයේදී එනම් මීට මාසයකට පමණ ඉහතදී Brian Tyler Cohen විසින් හිටපු ජනාධිපති බැරක් ඔබාමා සමග සිදු කළ පොඩ්කාස්ට් වැඩසටහනක ඔබාමාගේ ඡායාරූපයක් බව පැහැදිලිව දැකගත හැකියි. 

මෙම ඡායාරූප අතර සංසන්දනය පහතින්

මෙම පොඩ්කාස්ට් වැඩසටහන තුළදී බැරක් ඔබාමා වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළු ජාතිකයින් සම්බන්ධයෙන් පළ කළ උපහාසාත්මක වීඩි‍යෝව, ගායන ශිල්පී Bad Bunny සහ 2028 අමෙරිකා ජනාධිපතිවරණය ඇතුළු තවත් ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳ අදහස් පළ කර තිබූ අතර වැඩසටහන අතරතුර පිටසක්වල ජීවින් පිළිබඳව හිටපු ජනාධිපතිවරයා කළ අදහස් පළ කිරීම ද ජාත්‍යන්තර මාධ්‍යයෙහි පවා මෙලෙස වැඩි අවධානයක් දිනාගෙන තිබුණා.

මේ අනුව සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන අමෙරිකා හිටපු ජනපති බැරක් ඔබාමා සභභාගී වූ මෙම වැඩසටහනේ ඡායාරූපයක් ගෙන ඒ සඳහා Fox News ලාංඡනය ව්‍යාජව යොදා සකසා ඇති බව පැහැදිලි වේ. 

හිටපු ජනපති ඔබාමාගේ 2025 වසරේ කළ ප්‍රකාශයක් යළිත් කරළියට 

2009 වසරේ සිට 2017 දක්වාම අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය හෙඹවූ එරට 44 වන  ජනාධිපතිවරයා වූ බැරක් ඔබාමා 2025 වසරේ සැප්තැම්බර් 24 වනදා ලන්ඩන් නුවර O2 Arena හි පැවති සංවාදයකදී සිදු කළ ප්‍රකාශයක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ යළිත් වයිරල් වී තිබේ. ඒ ලෝකයේ පවතින ගැටලුවලින් 80%ක්ම නිර්මාණය වී ඇත්තේ, බලය අතහැරීමට අකමැති මරණය සහ වැදගත්කම නැතිවී යාමට බියෙන් බලයේම එල්ලී සිටින වයසක පිරිමින් නිසාය. යන්න පැවසීම සාධාරණ බවට හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයයි. හිටපු ජනධිපතිවරයාගේ සිදු කළ එම ප්‍රකාශය එවක මාධ්‍ය විසින් මෙලෙස සහ මෙලෙස වාර්තා කර තිබුණා. මේ අතර සමස්ත ලෝකයටම බලපා ඇති අමෙරිකා-ඉරාන -ඊශ්‍රායල යුදමය තත්ත්වය හමුවේ හිටපු ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය යළිත් සමාජ මාධ්‍යයේ වයිරල් වීමට පටන්ගෙන ඇති අතර ඇතැම් සටහන් මෙම ප්‍රකාශය වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ කරමින් නිර්මාණය කර ඇති ආකාරයක් ද දැකගත හැකියි. සටහන් කිහිපයක් මෙතැනින්, මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින්.  

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා  දේශපාලනික වශයෙන් ආදර්ශයක් පමණක් නොව, මෑත කාලයේ තමන් දුටු ආසියාවේ නිර්භීතම නායකයින් අතරින් අයෙකි (Sri Lankan President Mr. Dissanayake is not only a political role model but also one of the bravest leaders I have seen in Asia in recent times) යනුවෙන් අමෙරිකා එක්සත් ජනපද හිටපු ජනාධිපති බැරක් ඔබාමා සිදු කළ ප්‍රකාශයක් පිළිබඳව Fox News ෆේස්බුක් පිටුවේ සටහනක් හෝ ඔවුන්ගේ වෙබ් අඩවියේ හෝ පුවතක් පළ කර නොමැත. තවද බැරක් ඔබාමා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සම්බන්ධව කිසිදු ප්‍රකාශයක් සිදු කර ඇති බවට වන වෙනත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා ද හමු නොවේ. ඒ අනුව සාමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන අමෙරිකානු හිටපු ජනාධිපති බැරක් ඔබාමා පසුගිය පෙබරවාරී මාසයේදී සහභාගී වූ පොඩ්කාස්ට් වැඩසටහනක ඡායාරූපයක් උපුටා ගනිමින් Fox News ලාංඡනය ව්‍යාජ ලෙස භාවිත කරමින් සකසන ලද සටහනක් බව තහවුරු වේ.  

Result Stamp

Title: ජනපති අනුර තමා දුටු නීර්භීතම නායකයෙකු බව අමෙරිකා හිටපු ජනපති ඔබාමා ප්‍රකාශ කළා ද?

Fact Check By: Sagarika Chathumali

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *