දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
රජයේ ඇමතිවරුන් කිහිපදෙනෙකු සිදු කරන ලද බව කියමින් සමාජ මාධ්‍යයේ හුවමාරු වන සමාජය නොමගයවනසුළු ආකාරයේ සටහන් කිහිපයක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
Claim 01:
6න් පසුව වැඩිපුර ලයිට් දාලද බලන්න කොට්ඨාස සභා සාමාජිකයින්ට බලය දී ඇති බවටත් ඒ අනුව ඔවුන් එය බලා ගනු ඇතැයි යනුවෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කර ඇතැයි, කියමින් මෙම සටහන පළ කර ඇත්තේ, Webnews.lk ෆේස්බුක් පිටුවේ ආකෘතියට සමානවයි. කෙසේ වෙතත් අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කළේ , කවදා, කොතැනකදී ද යන්න හෝ ඒ පිළිබඳ වැඩි විස්තරයක් හෝ මෙම සටහනේ අඩංගු වී නොමැත.

මෙම සටහන Whatsapp ඔස්සේ ද මෙලෙස සංසරණය වී තිබුණා.

Fact Check :
කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සිදු කර ඇති බව කියන මෙම සටහන හුවමාරු වන්නේ, ඉදිරි කාලයේදී රට තුළ විදුලි කප්පාදුවක් සිදුවේද යන්න සම්බන්ධව විවිධ මත ඉදිරිපත් වෙමින් පවතින පසුබිමකදී වීම විශේෂත්වයකි. පසුගිය මාර්තු 17 වැනිදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විමසා සිටියේ, ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදු වන්නේ නම්, ඊට විසඳුමක් දීම සඳහා ගෙන ඇති සැලසුම කුමක් ද යන්නයි. මේ අතර මන්ත්‍රී ඩී.වී. චානක ද ප්‍රකාශ කළේ, තවත් සති දෙකකින් පමණ විදුලි කප්පාදුවකට යාමට සිදුවන බවටයි.
මෙවැනි වටපිටාවක් තුළ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සිදු කළ බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ ප්‍රකාශයක් සහිත සටහනක් Webnews.lk ෆේස්බුක් පිටුවේ මේ වනවිට දක්නට නොමැත.
කෙසේ වෙතත් වැඩිපුර විදුලි බල්බ දමා ඇත්දැයි නිරීක්ෂණය කිරීමට කණ්ඩායමකට පවරා ඇතැයි, යනුවෙන් අමාත්‍යවරයා සිදු කරන ලද ප්‍රකාශයක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ හෝ පළ කර නොමැති බව අප සිදු කළ පරීක්ෂාවේදී තහවුරු විය. නමුත් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත්, සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලයේදී අනවශ්‍ය විදුලි පහන් නිවාදමා විදුලි පරිභෝජනය අඩු කිරීමට කටයුතු කරන ලෙසත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පසුගිය මාර්තු 24 වනදා පැවති මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සිදු කළ ප්‍රකාශයක් මාධ්‍ය මෙලෙස, මෙලෙස සහ මෙලෙස වාර්තා කර තිබිණ.
ලාල්කාන්ත අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්
මේ අතර අප සිදු කළ විමසීමකදී කේ.ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළේ, අමාත්‍යවරයා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ ප්‍රකාශයක් සිදු නොකළ බවත් අදාළ සටහන අමාත්‍යවරයාගේ ඡායාරූපය යෙදා ගනිමින් සකසන ලද ව්‍යාජ සටහනක් බවයි.
සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන අසත්‍යයි – ඇමති ලාල්කාන්ත
තව ද ලාල්කාන්ත අමාත්‍යවරයා මාර්තු 27 වනදා යූ ටියුබ් නාලිකවක සම්මුඛ සාකච්ඡාවක් සඳහා සහභාගී වී තිබූ අතර ඔහු එහිදී පවසන්නේ, තමන් ප්‍රකාශ කර ඇතැයි කියමින් සමාජ මාධ්‍යයේ සංසරණය වන ඉහත සටහන අසත්‍යක් බවයි.
වැඩිපුර පත්තු කරන ලයිට් නිවීම ගැන සංවිධායකවරුන් බලා ගනු ඇතැයි, යනුවෙන් තමන් ප්‍රකාශයක් සිදු කර ඇතැයි කියමින් අසත්‍ය ප්‍රකාශයක් සහිත සටහනක් සංසරණය වන බවත් වගකීමෙන් කටයුතු කරන වත්මන් රජයේ අමාත්‍යවරුන් එවැනි ප්‍රකාශ සිදු නොකරන බවට ජනතාව දන්නා බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කරයි.
ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුවෙයි ද?
ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුවෙයිද යන්න පිළිබඳ සමාජයේ කුකුසක් නිර්මාණය වී තිබුණ ද මේ දක්වා රජයේ පාර්ශවයෙන් එවැනි නිල ප්‍රකාශයක් සිදු කර නොමැත. පසුගිය මාර්තු 18 වැනිදා පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවෙදී ද මාධ්‍යවේදියෙකු ජනාධිපතිවරයාගෙන් ද ඒ පිළිබඳ විමසා සිටි අතර ජනාධිපතිවරයා ඊට පිළිතුරු ලබා දෙමින් පැවසුවේ දැනට එවැනි අවශ්‍යතාවක් පැන නැගී නොමැති බවයි.
“දැනට අපි සකස් කරලා තියෙන වැඩපිළිවෙළ යටතේ විදුලි කප්පාදුවක් නෑ. නමුත් එතනින් එහා තීරණය කරන්නේ, යුද්ධයේ සීමා මායිම් කොච්චර ප්‍රමාණයකට වර්ධනය වේවිද කියන සාධකය මත”
මේ අතර සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපතිවරයා රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් ප්‍රකාශ කර තිබුණේ, විදුලි කප්පාදුවක් පිළිබඳ අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසයි. කෙසේ වෙතත් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමේ අවශ්‍යතාව සභාපතිවරයා මෙලෙස අවධාරණය කර තිබිණ. මේ අතර මාර්තු 17 වැනිදා විපක්ෂ නායකවරයා නැගූ පැනයකට පිළිතුරු දෙමින් විෂය භාර අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය කෙරෙහිද වැඩි අවධානයක් යොමු වී තිබූ අතර ඇතැමුන් ප්‍රශ්න කර තිබුණේ, මෙය ඉදිරි විදුලි කප්පාදුවක් පිළිබඳ ඉඟි පළ කිරීමක් ද යනුවෙනි.
“අපේ රජයේ කළමනාකාරීත්වය හින්ද තාම එක විනාඩියක්වත්, එක පැයක්වත් කරන්ට් එක කපන්නෙ නැතුව අපි ගෙනියනවා. ඒකෙ වියදමක් තියෙනවා තමයි. ඒකට තමයි ආණ්ඩුවක් ඉන්නෙ. හැබැයි කපන්න වෙන වෙලාවකුත් තියෙන්න පුළුවන්. අපි පුළුවන් තරම් ජනතාවට සහන සලසල කර්මාන්ත ද හැම දෙයක් ම සාමාන්‍ය විදිහට ගෙනියන්න උපරිම උත්සහය තමයි අපි මේ ගන්නෙ” – බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි
Claim 02:
බස් ගාස්තු වැඩි කිරීමට තමන් එකඟ නොවූ බවත් එය නිලධාරීන්ගේ තීරණයක් බවත්, ඊට තමන්ට මැදිහත්වීමක් සිදු කළ නොහැකි බවටත් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළ බව කියමින් මෙම සටහන පළ කර ඇත්තේ, ස්වාධීන රූපවාහිනී පුවත් නිල ෆේස්බුක් පිටුවේ සටහන් පළ කරන ආකෘතියට සමානවයි. මෙහිද අදාළ ප්‍රකාශය පිළිබඳ වැඩි විස්තර සඳහා වන සබැඳියක් හෝ නොමැත.

Fact Check :
ඉන්ධන මිල ගණන් ඉහළ යාමත් සමග ලංකා සුදු ඩීසල් මිල ගණන්වල ද මිල ඉහළ ගිය අතර එය බස් ගාස්තු ඉහළ නැංවීමේ සූත්‍රය හා ගැලපූ විට පවතින බස් ගාස්තුව 10%කට වඩා වැඩි අගයක් පෙන්නුම් කර තිබීම හමුවේ නව බස් ගාස්තු වැඩිවීම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගත යුතුව තිබිණ. ඒ අනුව අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර පසුගිය මාර්තු 23 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 12.19%කින් බස් ගාස්තු ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමි වූයේ ඒ අනුවයි.
කැබිනට් මණ්ඩල අනුමැතිය යටතේ නව බස් ගස්තු ඉහළ දැමීම සිදුකර තිබීම තුළ ම සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන බස් ගාස්තු වැඩි කිරීමට තමා එකඟ නොවූ බවට සහ තමාට මැදිහත්වීමක් සිදු කළ නොහැකි බවට වන සඳහන පදනම් විරහිත බව තහවුරු වේ.
ස්වාධීන රූපවාහීනි ෆේස්බුක් පිටුවේ එවැනි සටහනක් පළ කර නැහැ
අමාත්‍යවරය සිදු කර ඇති බව කියන අදාළ ප්‍රකාශය ස්වධීන රූපවාහිනී පුවත් ෆේස්බුක් පිටුවේ පළ කර නොමැති බව අප සිදු කළ පරීක්ෂාවේදී අනාවරණය විය. මේ අතර ITN ප්‍රවෘත්ති සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා තිබුණේ, සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකාරයේ සටහනක් නිල ෆේස්බුක් පිටුවේ පළ නොකළ බවත් එය ITN ප්‍රවෘත්ති සන්නාමය භාවිත කරමින් ව්‍යාජ ලෙස සකස් කරන ලද සටහනක් බවත් ය.

තව ද වෙනත් මාධ්‍යක් ඔස්සේ හෝ අමාත්‍යවරයා එවැනි ප්‍රකාශයක් සිදු කළ බවට වන කිසිදු පුවතක් වාර්තා කර නොතිබිණ.
අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්
ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් අප කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ, අමාත්‍යවරයා විසින් එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන එම සටහන සම්පූර්ණයෙන් ම අසත්‍ය සටහනක් බවයි.
Claim 03:
තෙල් අර්බුදය නිසා රටේ සංවර්ධන ව්‍යාපෘති නතර කිරීමට නොහැකි බවත් ඒ අනුව අමාත්‍යවරුන්ට ලබා දෙන ඉන්ධන ලීටර් 800 මාසිකව සුපුරුදු පරිදි ලබා දෙන බවට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින් ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර ඇතැයි කියමින් මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබේ. අමාත්‍යවරයා සිදු කර ඇතැයි කියමින් එම ප්‍රකාශය පළ කර ඇත්තේ, TTVnews ෆේස්බුක් පිටුවේ මාර්තු 24 වනදා පළ කරන ලද සටහනක් බවට හැඟී යන ආකාරයටයි.

Fact Check :
TTVnews ෆේස්බුක් පිටුවේ සටහන් ආකෘතියට සමානව අමාත්‍යවරයා සිදු කරන ලදැයි කියවෙන ඉහත සටහන පළ කර තිබුණ ද අදාළ දිනයේදී හෝ ආසන්න දිනයකදී එම ෆේස්බුක් පිටුවේ එවැනි සටහනක් පළ කර නොමැති බව අප සිදු කළ පරීක්ෂාවේදී තහවුරු විය. මේ අතර වෙනත් ධාරාවේ මාධ්‍යක හෝ අමාත්‍යවරයා එවැනි ප්‍රකාශයක් සිදු කර ඇති බවට පුවත් පළ කර නොමැත.
මේ අනුව අදාළ සටහන පළ කරන ලද මාර්තු 24 වනදා කැබිනට් මාධ්‍ය හමුව පැවති බැවින් අප එහිදී අමාත්‍යවරයා මෙවැනි ප්‍රකාශයක් සිදු කළේ ද යන්න පරීක්ෂා කර බැලීමට පියවර ගත්තා. ඒ අනුව එදින කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරුන්ට, නි.අමාත්‍යවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට ලබාදෙන ඉන්ධන කෝටාව අඩු කර ඇත්දැයි මධ්‍යවේදියෙකු අමාත්‍යවරයාගෙන් විමසා සිටි අතර එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඉන්ධන කෝටාව අඩු කර ඇති බවයි. අඩු කර ඇති ප්‍රමාණයන් ඊළඟ කැබිනට් හමුවේදී ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර සිටියා.
නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්
මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනේ සත්‍යතාවක් තිබේදැයි අප අමාත්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් විමසීමක් සිදු කළා. මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළේ, අමාත්‍යවරයා එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි. කෙසේ වතෙත් අමාත්‍යවරුන්ට ලබා දී ඇති ඉන්ධන කෝටාව අඩු කර ඇති ප්‍රමාණයන් පිළිබඳ විස්තර ලබන අඟහරුවාදා පැවැත්වෙන කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශකිරීමට නියමිත බව ද මාධ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ,
- 6න් පසුව වැඩිපුර ලයිට් දමා ඇත්දැයි බැලීමට සංවිධායකයින්ට බලය දී ඇති බවටත් ඒ අනුව ඔවුන් එය බලා ගනු ඇතැයි යනුවෙන් අමාත්‍ය ලාල්කාන්ත ප්‍රකාශයක් සිදු කර නොමැත.
- බස් ගාස්තු වැඩි කිරීමට තමන් එකඟ නොවූ බවත් එය නිලධාරීන්ගේ තීරණයක් බවත්, ඊට තමන්ට මැදිහත්වීමක් සිදු කළ නොහැකි බවටත් අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශයක් සිදුකර නොමැත.
- තෙල් අර්බුදය නිසා රටේ සංවර්ධන ව්‍යාපෘති නතර කිරීමට නොහැකි බවත් ඒ අනුව අමාත්‍යවරුන්ට ලබා දෙන ඉන්ධන ලීටර් 800 මාසිකව සුපුරුදු පරිදි ලබා දෙන බවට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින් ද ජයතිස්ස ප්‍රකාශයක් සිදුකර නොමැත.
මේ අනුව පැහැදිලි වන්නේ, අමාත්‍යවරුන් තිදෙනෙකු විසින් විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සිදු කර ඇතැයි කියමින් සමාජ මාධ්‍යයේ සංසරණය වන එම සටහන් විවිධ සටහන් ආකෘති ව්‍යාජව යොදා ගනිමින් සකසා සමාජ මාධ්‍යට මුදා හැර ඇති අසත්‍ය සටහන් බවයි.


