දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
හිටපු රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පසුගිය වසරේ ඉදිරිපත්වූ නඩුවේ, විභාග දිනයන් නැවත සිදුවීමත් සමඟ එයට අළලා විවිධ කතිකාවන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. එවන් පසුබිමක, බ්‍රිතාන්‍යයේ පැවති උපාධි ප්‍රදානෝත්සවයේ දී , ජනපති රනිල් ඉදිරිපෙළ අසුනකම වාඩිවී සිටි බව හඟවමින් හුවමාරු වූ සටහන් පෙළක් ගැන අප විමසා බැලුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
උපාධි ප්‍රධානෝත්සවය සඳහා රනිල් වික්‍රමසිංහට, බ්‍රිතාන්‍යය රජයෙන් කිසිදු ආරාධනයක් ලැබී තිබුනේ නැති බවටත්, ඒ අනුව ඔහු බැල්කනියේ අසුනක පමණක් වාඩිවී සිටි බවක් දැනගන්නට හැකි වී ඇති බව, අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පැවසු පුවතක් සමඟ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සිය උපාධි සහතිකය ලබාගන්නා අවස්ථාවේ ඡායරූපයක් පහත පරිදි සමාජ මධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.
එමඟින් පෙන්වීමට උත්සහ ගෙන තිබුනේ, දිලීප පිරිස් එලෙස පැවසුවත්, ඇත්ත වශයෙන්ම හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ උපාධි ප්‍රදානෝත්සවයේ අසුන්ගෙන සිටියේ ඉදිරි පෙළ අසුනක බවකි.


එම අදහසින් ම හුවමාරු වී තිබු තවත් සටහන් පෙළක් පහතින්.


මෙහි නිර්වද්‍යතාව විමසා බැලීමට අප මෙලෙස පියවර ගත්තා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම):
සිය බිරිඳගේ උපාධි ප්‍රධානෝත්සවය සඳහා සහභාගී වීම වෙනුවෙන් බ්‍රිතාන්‍යට ගොස් මිලියන 16කට වැඩි රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පවතින නඩුව නැවත විභාග කිරීම පසුගිය දා සිදුවූවා.
එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඉහත දක්වා ඇති ආකාරයේ ප්‍රකාශයක් සිදුකරන අවස්ථාව ගැන අප මුලින්ම පරික්ෂා කළා.
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්
ජනවාරි 28 ‘හිරු’ පුවත් හි මෙම නඩු කටයුත්ත පිළිබඳ වාර්තාකරණය අප පරික්ෂා කළා. එහි එක් අවස්ථාවක දී දිලීප පිරිස් අදහස් දක්වමින් පවසන්නේ, ලන්ඩනයේ තානාපති කාර්යාලයෙන් ලබාගත් ප්‍රකාශයේ දැක්වෙන්නේ, රනිල් වික්‍රමසිංහ මහතා බැල්කනියේ පුටුවක හිඳගෙන සිටි බවත්, වේදිකාවට ආරාධනා කිරීමක් සිදුව නොමැති බවයි. එම අවස්ථාවේ පුවත් වීඩියෝව පහතින්.
ඒ අනුව ඉහත වයිරල් වී ඇති සටහන්හි අනෙක් දෙවන කොටස වෙත අප අවධානය යොමු කිරීම සඳහා එහි දර්ශන ඇතුළත්, අදාළ විශ්ව විද්‍යාලය 2023 වසරේ දී සජීවීව පළකර තිබු මුල් වීඩියෝ දර්ශන පරීක්ෂාවක් සිදුකලේ මෙලෙසින්.
උපාධි ප්‍රදානෝත්සවයේ නිල වීඩියෝව පරික්ෂා කිරීම
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇතුළු පුළුල් පර්යේෂණ, පුහුණු සහ ප්‍රතිපත්තිමය කටයුතු අගයමින්, වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලය විසින් 2023 අගෝස්තු මස 22 පැවති උපාධි ප්‍රදානෝත්සවයක දී මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට ගෞරව මහාචාර්ය පදවියක් ප්‍රදානය කර තිබුණි.
එම අවස්ථාව වොල්වැහැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ (University of Wolverhampton) නිල YouTube ගිණුමේ ද 2023 අගෝස්තු 22 වැනිදා සජීවී ව විකාශය කර තිබුනේ මෙලෙසින්
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායාරුපය දැක්වෙන රූප රාමුව ද අපට එම වීඩියෝව ඔස්සේ මෙතනින් දැක ගන්නට ලැබෙනවා.
එහි දැක්වෙන්නේ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, එවකට විශ්ව විද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය ජෝන් රැෆ්ටරි (Vice-Chancellor, Professor John Raftery) අතින් සිය ගෞරව උපාධි සහතිකය ලබාගන්නා අවස්ථාවයි. උපාධි සහතිකය ලබාගැනීමෙන් පසුව මහාචාර්යවරිය කෙටි කතාවක් ද සිදුකරනවා.

ඒ අනුව, මෙහි රවුම් කර ඇති, ඉදිරිපෙළ ප්‍රධාන අසුන් තුනෙන් එක අසුනක ඉඳගෙන සිටින්නේ, සමාජ මාධ්‍ය සටහන්හි පැවසෙන පරිදි රනිල් වික්‍රමසිංහ මහතාම ද යන්න අප පරික්ෂා කිරීමට සම්පුර්ණ වීඩියෝව මුල සිටම පරික්ෂා කළා.
මුල්පෙළ අසුනක ඇත්තටම ඉඳගෙන සිටින්නේ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා යි!
එහිදී වීඩියෝවේ මුල් කොටසේ දී අදාළ පුද්ගලයා පිළිබඳව හැඳින්වීමක් මෙලෙසින් සිදුකරනු අපට දැක ගන්නට ලැබෙනවා. මෙම රූපරාමුවේ පිටුපසින් මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද දැක ගන්නට ලැබෙනවා.

එම හැඳින්වීමේ දී පවසන්නේ එහි සිටින්නේ වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ කුලපති, මේරිල්බෝන් හි ස්වරාජ් පෝල් සාමිවරයා (Lord Swraj Paul of Marylebone, University of Wolverhampton Chancellor) බවයි. වීඩියෝව මෙතනින්.
ස්වරාජ් පෝල් සාමිවරයා මෙහිදී පටිගත කරන ලද කතාවක් ද ඉහත වීඩියෝවේ දැක ගන්නට ලැබෙන අතර එහිදී ජනාධිපති වික්‍රමසිංහ මහතා ගැන ද සඳහන් කර ඇති අයුරු දැක ගන්නට ලැබෙනවා.
ඒ අනුව සමාජ මාධ්‍ය සටහන්හි දැක්වෙන පරිදි ඉදිරිපෙළ අසුනක ඉඳගෙන සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා නොව, ස්වරාජ් පෝල් සාමිවරයා බව පැහැදිලිය.
1999 වසරේ සිට වොල්වැහැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ කුලපති ලෙස කටයුතු කළ මේරිල්බෝන් හි ස්වරාජ් පෝල් සාමිවරයා, පසුගිය 2025 අගෝස්තු මස මෙලොවින් සමුගෙන තිබු පුවත, විශ්ව විද්‍යාල වෙබ් අඩවියේ පළකර තිබු අයුරු මෙතනින්.
රනිල් වික්‍රමසිංහ මහතා අසුන්ගෙන සිටින්නේ කොහේ ද ?
ලන්ඩනයේ තානාපති කාර්යාලයෙන් ලබාගත් ප්‍රකාශයේ, රනිල් වික්‍රමසිංහ මහතා බැල්කනියේ පුටුවක හිඳගෙන සිටි බව සඳහන් කර තිබු බැවින් අප එවැනි දර්ශනයක් නිල විශ්ව විද්‍යාල වීඩියෝවේ තිබේ දැයි පරික්ෂා කර සිටියා.
උපාධි ප්‍රදානෝත්සවය පටන් ගැනීමට පෙර ආරාධිත පිරිස අසුන්වලින් නැගී සිටින අතර එහිදී උඩු මහලේ පසෙකින්, හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ දැකගන්නට ලැබෙන අතර ඔහුට පසෙකින් සිටින්නේ බොහෝදුරට එවක ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යට මහ කොමසාරිස් සරෝජා සිරිසේන බව ද අනුමාන කළ හැකිය.

එම වීඩියෝ කොටස මෙතනින්.
එසේම මුලින්ම උපාධි ප්‍රදානය මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහට සිදුව තිබු බවින්, අප ඉන්පසු දර්ශන පෙළ ද මුල් වීඩියෝව හරහා පරික්ෂා කළා.
මහාචාර්යවරියට පසුව තවත් ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයෙකු ට ද උපාධි ප්‍රදානයක් සිදුවන අතර ඔහුගේ ද කෙටි කතාවෙන් පසුව අමුත්තන් කිහිපදෙනෙකුම උත්සව ශාලවෙන් පිටත්ව යනු මෙලෙස දැක ගන්නට ලැබෙනවා.
කුලපතිවරයා, මහචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මෙන්ම ඉහළ මහළයේ සිටි රනිල් වික්‍රමසිංහ මතතා ඇතුළු පිරිසක් ද එලෙස පිටවෙනු වීඩියෝවේ දැකගන්නට ලැබෙනවා. වීඩියෝ කොටස මෙතනින්.
මේ අනුව රනිල් වික්‍රමසිංහ මහතා එම උත්සවයේ සිටියේ උඩු මහලේ බව දැක ගන්නට ලැබෙනවා.
එසේම මෙම උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වූ ස්ථානය ද අප පරික්ෂා කළ අතර එය WOLVERHAMPTON GRAND THEATRE නම් ශ්‍රවණාගාරයක් බව අනාවරණය විය. එහි ආසන සැලැස්ම පරික්ෂා කිරීමේ දී රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස ශ්‍රවණාගාරයේ වේදිකාවේ වමට පිහිටි, වෙනම වෙන්කර ඇති Box ප්‍රදේශයක සිට ඇති බවක් ද දැක ගන්නට ලැබෙනවා.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුවේ විස්තර සැකෙවින්
ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ , බ්‍රිතාන්‍යයේ පැවති සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රධාන උත්සවයක් සඳහා සහභාගි වීමට, එවක රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් 2025 වසරේ අත්අඩංගුවට පත්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, රක්ෂිත බන්ධනාගාරගත කොට, දින කිහිපයකින් ඇප හිමිවුණා.
ඉන්පසුව මේ ගැන විමර්ෂණ කටයුතු සිදු කිරීමට නිලධාරින් කණ්ඩායමක් බ්‍රිතාන්‍ය වෙත ද ගොස් තිබු අතර එහි දී ලැබුණු තොරතුරු සමඟ සිදුවූ විමර්ෂණ හමුවේ එම නඩුව නැවත වරක් පසුගිය දා විභාගයට ගැනුණි.
මෙහිදී අදහස් දක්වමින්, අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පවසන්නේ, රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ සිදුකළ ගමන නිල සංචාරයක් වශයෙන් පිළිගත හැකි කරුණු නොමැති බවත්, මේ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු සියයට අනූවක් පමණ දැනට සම්පූර්ණ බවත්, ඒ අනුව මාසයකින් පමණ විමර්ශන කටයුතු අවසන් කර, මාර්තු මස නඩු පැවරීමට කටයුතු කරන බවයි.
කෙසේවෙතත්, රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිලක් මාරපන කරුණු ඉදිරිපත් කරමින් පවසා තිබුනේ, විමර්ෂණ කණ්ඩායම විශ්වවිද්‍යාල බලධාරීන්ගෙන් ප්‍රකාශ මෙතෙක් ගෙන තිබුනේ නැති බවත්, එසේ ගත්තොත් ඔවුන් නිල ආරාධනයක් ලබාදී ඇති බව හෙළිවෙන බවත්ය.
නමුත් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් එයට ප්‍රතිචාර දක්වන්නේ එය නිල සංචාරයක් වීමට නම් බ්‍රිතාන්‍ය රාජ්‍යයේ මැදිහත් විමක් තිබිය යුතු බවත්, ඒ අනුව බ්‍රිතාන්‍ය රජයේ නිල ආරාධනාවක් තිබිය යුතු බවයි.
ඒ අනුව මහේස්ත්‍රාත්වරයා මේ ගැන නියෝග කරන්නේ එක් කරුණක් හැර ඉදිරිපත් වී ඇති සියලු කරුණුවලින් බැලූ බැල්මට ම, සැකකරු නිරත වී ඇති සංචාරය, පෞද්ගලික සංචාරයක් බව පෙනී යන බවත්, ප්‍රශ්නගත ආරාධනා ලිපිය සම්බන්ධයෙන් මාර්ගගත ක්‍රමයක් හරහා වොල්වැහැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ ප්‍රකාශය ඉක්මනින් ලබා ගන්නා ලෙසයි.
එසේම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් වූ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පෙබරවාරි මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් නියම කර තිබුණා. එසේම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අප්‍රේල් මස 29 වන දා යළි අධිකරණයේ පෙනී සිටින ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියම කර තිබුණා.
මේ ගැන පුවත් වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ෂණයෙන් පෙන්වා දෙන්නේ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සිය උපාධි සහතිකය ලබාගන්නා අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපෙළ අසුනක වාඩිවී සිටි බව හඟවමින් හුවමාරු වන්නේ නොමඟ යවන සුළු සටහන් පෙළක් බවයි.
එම අවස්ථාවේ මුල් පෙළ වාඩිවී සිටින පුද්ගලයා වන්නේ, දැනට ජීවතුන් අතර ද නැති, වොල්වැහැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ හිටපු කුලපති ලෙස කාලයක් පුරාවට කටයුතු කළ මේරිල්බෝන් හි ස්වරාජ් පෝල් සාමිවරයායි. රනිල් වික්‍රමසිංහ මහතා සිටින්නේ ඉහළ මහලයේයි.
Title:උපාධි ප්‍රදානෝත්සවය අතරතුර රනිල් වික්‍රමසිංහ වාඩිවී සිටියේ ඉදිරිපෙළ අසුනක ද?
Fact Check By: Factcrescendo TeamResult: False


