පහරදී බිම හෙළූ යානයේ සිටි අමෙරිකානු සොල්දාදුවා ඉරානය විසින් අල්ලා ගත් අවස්ථාවේ ඡායාරූපද?

False International

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මැදපෙරදිග කලාපයේ යුද ගැටුම්වලට අදාළ නිල තොරතුරු මෙන්ම නිල නොවන තහවුරු නොකරන ලද සමාජය නොමගයවන සුළු ආකාරයේ තොරතුරු ද බොහොමක්  සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නිරන්තරව සංසරණය වේ. මේ එලෙස සංසරණය වූ සටහනක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් ඉරාන ගුවන් සීමාවේදී අමෙරිකානු ගුවන් යානයක් වෙඩි තබා බිම හෙළීමෙන් පසු ඉන් පැනගත් ඇමරිකානු හමුදා සොල්දාදුවෙකු සහ ගුවන් නියමුවා ඉරානය විසින් අල්ලා ගෙන ඇති බවට ඉරානය නිල වශයෙන් ප්‍රකාශ කර ඇති බවත් පහත ඡායාරූප ඉරානය විසින් නිකුත් කරන ලද ඒවා බවත් පවසමින් මෙම සටහන පළකර ඇත.    

මෙහි එක් ඡායාරූපයක අදාළ අමෙරිකානු සොල්දාදුවා අල්ලාගෙන ඇති බවත් ඔහු ඉරාන ආරක්ෂක අංශ භාරයේ සිටින බවටත් හැඟී යන අතර තවත් ඡායාරූපයේ කිහිපදෙනෙකු විසින් අමෙරිකානු ධජය සහිත කලිසමක් අතින් අල්ලා ගෙන සිටින අයුරු පෙන්නුම් කරන අතර එම ඡායාරූපය පළ කර ඇත්තේ, ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය බිම හෙළූ F-15E යානයේ සිටි සාමාජිකයෙකුගේ යට ඇඳුමක් සොයාගත් බව පවසමිනි. මේ අතර මෙම සටහනේ ඇති අවසන් ඡායාරූපයේ දැක්වෙන්නේ, තවත් ඉරානය හෙළිකොප්ටර් යානා දෙකක් විනාශ කර ඇති බවයි. 

Facebook | Archived Link

ඡායාරූප සහිත මෙම සටහනේ නිර්වද්‍යතාව විමසා බැලීමට අප මෙලෙස පියවර ගත්තා. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

මාර්තු 3 වැනිදා දකුණුදිග ඉරානයට ඉහළින් පියාසර කරමින් තිබූ අමෙරිකානු F-15E Strike Eagle යානයක් ඉරානය විසින් වෙඩි තබා බිම හෙළූ අතර අනතුරින් පසු යානයෙන් පැනගත් නියමුවා අමෙරිකානු හමුදාව විසින් බේරා ගත් අතර යානයේ අවි පද්ධති ක්‍රියාකරු අතුරුදන්ව සිටියා. පසුව ඔහු සොයා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියත්මක කළ අතර මෙහෙයුමේදී තවත් යානයක් ප්‍රහාරයට ලක් වූ බවත් පසුව එහි නියමුවා ද බේරා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ අතර මෙහෙයුම අතරතුර යානා කිහිපයකට ද ප්‍රහාර එල්ල වූ අතර ඉරාන මාධ්‍ය වාර්තා කළේ, මෙහෙයුම අතරතුර C 1 30 යානයක් ද ඉරානය විසින් බිම හෙළූ බවයි. 

පසුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකානු හමුදාව විසින් , ප්‍රහාරයට ලක්ව අතුරුදන් වූ යානයේ සිටි අනෙක් සෙබලා දැඩි  මෙහෙයුමකින් පසු බේරාගත් බවයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් Truth සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණේ, අතුරුදන්ව සිටි සොල්දාදුවා සොයා බේරාගත් ඔහු ඉක්මනින් සුවය ලබනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් ය. තවද මෙය අමෙරිකානු ඉතිහාසයේ වඩාත් නිර්භීතම සෙවීම සහ ගලවා ගැනීමේ මෙහෙයුම බව ද අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණා. තවත් විස්තර මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින්.  

මේ අතර පහර දී බිම හෙළූ යානයේ සිටි  අමෙරිකානු සොල්දාදුවා සොයා අමෙරිකාව මෙහෙයුම් සිදු කරන අවස්ථාවේ ඉරානය ද නිවේදනය කළේ, අතුරුදන් සොල්දාදුවා පණ පිටින් අල්ලා දෙන සිවිල් වැසියෙකුට අමෙරිකානු ඩොලර් 60,000 ක මුදල් ත්‍යාගයක් පිරිනමන බවයි.  

කෙසේ වෙතත් අතුරුදන් අමෙරිකානු සෙබළා ඉරාන හමුදාව සිය භාරයට ගත් බවට වන සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වන්නේ, අමෙරිකානු සෙබලා ඉරාන ආරක්ෂක අංශ භාරයට පත් වූ බවට කිසිදු නිල තොරතුරක් පිළිගත් කිසිදු ජාත්‍යන්තර මාධ්‍යක් විසින් වාර්තා කර නොමැති පසුබිමකදී ය. තව ද ඉරාන නිල මාධ්‍ය හෝ අදාළ අමෙරිකානු සෙබලා නිරුපද්‍රිතව අල්ලා ගත්තේනම්, එවැනි පුවතක් ඉරාන රාජ්‍ය මාධ්‍ය ඇතුළු විදෙස් මාධ්‍ය වාර්ත කර තිබිය යුතු වුවත් කිසිදු මාධ්‍යක් එවැනි ඡායාරූපයක් ප්‍රසිද්ධ කර නොමැත. 

ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපවල නිර්වද්‍යතාව විමසා බැලීමට අප පියවර ගත්තා. 

ඡායාරූපය – 1  

අතුරුදන්වූ අමෙරිකානු සෙබලා බව කියමින් පළ කර ඇති මෙම ඡායාරූපයේ අස්වාභාවික පිහිටීම් කිහිපයක්ම නිරීක්ෂණය කළ හැකියි. අල්ලා ගත් අමෙරිකානු සෙබලා බවට හඟවමින් මුහුණ වසා ඇති පුද්ගලයාගේ අත්වල පළඳා ඇති අමෙරිකානු ධජ මතුපිටින් තබා ඇති ආකාරයක් දැක ගන්නට ලැබෙන අතර සැබෑ ලෙසම ඇඳුමේ කොටසක් නම් ඒවා කවාකාර ලෙස ඇඳුමට අමුනා තිබිය යුතු ය. තව ද ඔහුගේ හිසේ පෙනුම ද අස්වාභාවික වන අතර මෙහි සිටින ඉරාන ආරක්ෂ අංශ සාමාජිකයින් බවට හැඟී යන තිදෙනාගේ විශේෂයෙන් දැත්වල ප්‍රමාණයන් සහ වර්ණයනගෛන් මෙන් ම පිහිටීමේ වෙනස්කම් දැකගත හැකියි. 

ඒ අනුව මෙම ඡායාරූපය කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූප හඳුනාගැනීමේ මෙවලම් කිහිපයක් වෙත යොමු කොට පරීක්ෂා කිරීමට පියවර ගත් අතර එහිදී හෙළිවූයේ, මෙම ඡායාරූපය කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක් බවයි.  

ඡායාරූපය 2 

සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන දෙවන ඡායාරූපයට අනුව සන්නද්ධ සමාජිකයින් බව ප්‍රකාශ කළ හැකි මුහුණු අපැහැදිලි කරන ලද කිහිප දෙනෙකු ඉරාන ප්‍රහාරයෙන් විනාශ වූ අමෙරිකානු ප්‍රහාරක යානයේ සොල්දාදුවාගේ යට ඇඳුමක් සොයා ගත් බව කියමින් අදාළ සටහනට මෙම ඡායාරූපය ද එක් කර ඇත.  මෙම ඡායාරූපය අතැම් වෙබ් අඩවි සිය පුවත් වාර්තා සඳහා යොදා ගෙන තිබුණ ද ඡායාරූපය පිළිබඳ විස්තර කිසිවක් එහි නොමැත. කෙසේ වෙතත් සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ආකාරයේ ඡායාරූපයක්, පහර දී බිම හෙළූ යානයට අදාළ බවට කිසිදු පිළිගත් ඉරාන හෝ අනෙකුත් ජාත්‍යන්තර මාධ්‍යක් විසින් වාර්තා කර නොමැත.  ඒ අනුව අප වැඩිදුරටත් මෙම ඡායාරූපය පිළිබඳ කරුණු විශ්ලේෂණය කිරීමට පියවර ගත්තා. 

බොක්සර් යට කලිසමේ ඉණ පටියේ ඇති එහි වෙළඳ නාමය වන ‘American Eagle’ වෙනුවට “EAGLE AMERICA” ලෙස සඳහන් කර තිබේඑමෙන් ම එම යට ඇඳුම අල්ලාගෙන සිටින අනෙක් නිලධාරීන්ගේ අත් බොඳ වීම අස්වාභාවික පිහිටීම AI ඔස්සේ ජනනය කරන ලද ඡායාරූපවල බොහෝ විට දැක  ගන්නට ලැබේ.

මෙම ඡායාරූපය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බහුල වශයෙන් එම දින කිහිපයේ හුවමාරු වී ඇති බව දැකගත හැකි විය. මුහුණු පැහැදිලිව පෙන්වන සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන තිදෙනාට වඩා වැඩි පිරිසක් දැක්වෙන ඡායාරූපයක් ද මෙලෙස පළ වී තිබුණා. 

X | Archived Link

මෙම ඡායාරූපය මුල්වරට ප්‍රකාශයට පත් කරන ලද මූලාශ්‍රය පැහැදිලි නොවන අතර පහරදී බිම හෙළු යානයක සුන්බුන් අතර මෙවැනි කිසිදු පළුදක්ක්, පිළිස්සීමක් නොමැති අලුත් යට ඇඳුමක් තිබීම පිළිගත නොහැක. කෙසේ වෙතත් මෙම ඡායාරූපය සිදුවීමට අදාළ නිල මූලාශ්‍ර විසින් තහවුරු කරන ලද ඡායාරූපයක් නොවන බව පැහැදිලි ය. 

ඡායාරූපය -3 

ඉරානයේදී පහරදී විනාශ කළ අමෙරිකානු යානා දෙකක ඡායාරූප බව කියමින් පළ කර ඇති 3 වැනි ඡායාරූපයේ පහළින් ඇති ඡායාරූපය ඉරාන ආරක්ෂක අංශ විසින් පහරදී බිම හෙළූ යානකය කොටස් බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය පසුගිය 5 වැනිදා නිකුත් කර තිබූ ඡායාරූපයක් බවට ප්‍රධාන ධාරවේ ජාත්‍යන්තර මාධ්‍ය මෙලෙස, මෙලෙස සහ මෙලෙස එම ඡායාරූපය වාර්තා කර තිබුණා. 

ඡායාරූප ද්විත්වයෙන් දෙවන ඡායාරූපය සත්‍ය ඡායාරූපයක් බවට තහවුරු කෙරෙන සාධක තිබුණ ද එහි පළමු ඡායාරූපය පිළිගත් ජාත්‍යන්තර මාධ්‍ය ධාරා ඔස්සේ සත්‍ය ඡායරූපයක් බවට තහවුරු කර ගත නොහැක. 

එහෙත්  MH-6 Little Bird හෙළිකොප්ටර් යානයේ ඡායාරූපය 2024 වසරේ ගන්නා ලද ඡායාරූපයක් බව අනාවරණය වුව ද අතුරුදන් සොල්දාදුවා බේරා ගැනීමේ මෙහෙයුමේදී ඉරානය විසින් ප්‍රහාර එල්ලකර යානය විනාශ කර දැමීමෙන් පසු එහි කොටස් බවට තහුවරු කෙරෙන දර්ශන හෝ ඡායාරූප පිළිගත් ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර නොමැත.  මේ අතර අමෙරිකානු හමුදා නියමුවා බේරා ගැනීමේ මෙහෙයුමේදී තවත් අමෙරිකානු යානා කිහිපයක් පහරදී බිම හෙළූ බවට ඉරාන බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණ ද අමෙරිකාව ඒ පිළිබඳ තොරතුරු නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති බවක් වාර්තා නොවේ. ඉරාන සන්නද්ධ හමුදා ඒකාබද්ධ අණදෙන නිලධාරියාගේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණේ,  C-130 හමුදා ප්‍රවාහන ගුවන් යානා 2ක් සහ Black Hawk ​helicopters  දෙකක් ඉරාන හමුදා විසින් විනාශ කර ඇති බවයි. කෙසේ වෙතත් එම යානා විනාශ වී ඇති අයුරු දැක්වෙන ඡායාරූප ප්‍රධාන ධාරාවේ ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර නොමැත.  

ඉරානය සහ ඇමෙරිකාව සති 2ක කොන්දේසි සහිත සටන් විරාමයක

ඉකුත් පෙබරවාරි 28 වනදා අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එල්ල කළ ප්‍රහාර එල්ල කිරීමත් සමග ආරම්භ වූ අමෙරිකා, ඊශ්‍රායල – ඉරාන යුද්ධයට මේ වනවිට විරාමයක් සනිටුහන් වී තිබේ. ඒ  ඉරානය සහ ඇමෙරිකාව සති 2ක කොන්දේසි සහිත සටන් විරාමයකට එකඟවීමත් සමගයි.

ඉරානය සහ අමෙරිකව අතර මෙම සටන් විරාමය සඳහා අතරමැදියෙකු ලෙස පාකිස්ථානය ක්‍රියා කළ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඉදිරියේදී දෙපාර්ශවය අතර සාකච්ඡා පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නගරයේදී පැවැත්වෙනු ඇති බවයි.  

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනයට අවසර දෙන්නේ නම්, සති දෙකක සටන් විරාමයකට පිවිසෙන බව අමෙරිකානු ජනාධිපතිවරයා නිවේදනය කර තිබූ අතර ඉරානයට එරෙහි ප්‍රහාර අවසන් කළ හොත් ඉරානය සටන් විරාමයට එකඟ වන බව ඉරාන විදේශ අමාත්‍යවරයා පවසා තිබූණා. ඒ වන්දි ඉල්ලීම ඇතුළු කරුණු 10ක් යුත් සැලැස්මක් ද සහිතවයි. විස්තර මෙතැනින් 

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් ඉරාන ගුවන් සීමාවේදී අමෙරිකානු ගුවන් යානයක් වෙඩි තබා බිම හෙළීමෙන් පසු ඉන් පැනගත් ඇමරිකානු හමුදා සොල්දාදුවෙකු සහ ගුවන් නියමුවා ඉරානය විසින් අල්ලා ගෙන ඇති බවට ඉරානය නිල වශයෙන් ප්‍රකාශ කර ඇතැයි සඳහන් කරමින් පළ කර ඇති සටහනේ ඇතැම් ඡායාරූප කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇත. එහි එක් ඡායාරූපයක් ඉරාන ආරක්ෂ අංශ විසින් විනාශ කරන ලද අමෙරිකානු යානයක බවට තහවුරු වන අතර අනෙක් ඡාායරූප නිල විශ්වසනීය මූලාශ්‍ර සහිතව තහවුරු කළ නොහැකි අතර ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හෝ වාර්තා කර නොමැත.

Result Stamp

Title: පහරදී බිම හෙළූ යානයේ සිටි අමෙරිකානු සොල්දාදුවා ඉරානය විසින් අල්ලා ගත් අවස්ථාවේ ඡායාරූපද?

Fact Check By: Sagarika Chathumali

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *