දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
මෑතකදී නවීකරණය කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළ 2026 අප්‍රේල් 08 වන දින නිල වශයෙන් ජනතා අයිතියට පත් කරනු ලැබුවා. ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ රුපියල් මිලියන 424ක පිරිවැයකින් මෙම ව්‍යාපෘතිය නිම කර තිබුණා. විවෘත කර දින කිහිපයක් ගතවීමට මත්තෙන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අලාභහානි සිදුකර ඇති බවට ද වාර්තා වී තිබුණා. ඒ සමඟ අදාළ සිදුවීම සම්බන්ධයෙන් නොමග යවන සුළු සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා. එවැනි සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.
Claim 1
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“කොටුව බස් නැවතුම්පොලේ කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදු කරන්නන් හඳුනාගැනීමට වැසිකිළි තුළ CCTV කැමරා පද්ධතියක් සවි කිරීමට කටයුතු කරනවා- නියෝජ්‍ය ඇමති ප්‍රසන්න සහතික වෙයි” යනුවෙන් සඳහන් කරමින් ITN News ආකෘතිය සහිත සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

අදාළ සටහන සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට අප කටයුතු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පය යටතේ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය, කොළඹ මහ නගර සභාව ඇතුළු ආයතන රැසක මැදිහත්වීමෙන් රුපියල් මිලියන 424ක වියදමින් නවීකරණය කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අප්‍රේල් මස 08 වන දා ජනතා අයිතියට පත් කෙරුණා. ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ මෙලෙසින්.
නවීකරණය කර 2026 අප්‍රේල් 08 වන දින විවෘත කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට සංවිධානාත්මක පිරිසක් විසින් අලාභහානි සිදුකර ඇති බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ මෙලෙසින්.
අප්‍රේල් 10 වන දා පෙරවරුවේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා විසින් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අලාභ හානි සිදුකරන පුද්ගලයින්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කර තිබුණා. නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් කොටුව බස් නැවතුම්පොලේ කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදු කරන්නන් හඳුනා ගැනීමට වැසිකිළි තුළ CCTV කැමරා පද්ධතියක් සවි කිරීමට කටයුතු කරන බවට ප්‍රකාශ කළ බව දක්වමින් සටහනක් හුවමාරු වන්නේ මෙවන් පසුබිමකදී වීම විශේෂත්වයක්.
එවැනි ආකාරයේ සටහනක් ITN News නිල ෆේස්බුක් පිටුව තුල පල වී නැහැ
අදාළ සමාජ මාධ්‍ය සටහන ITN News ආකෘතියට අනුව නිර්මාණය කර තිබීම හේතුවෙන් අප විසින් මූලිකව අදාළ පුවත ITN News නිල ෆේස්බුක් පිටුව ඔස්සේ පල වී ඇත් ද යන්න පරීක්ෂා කළ අතර එහිදී එවැනි ආකාරයේ සටහනක් ITN News නිල ෆේස්බුක් පිටුව තුල පල වී නොමැති බව නිරීක්ෂණය කළ හැකි වුණා.
එසේම නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවට එක් වෙමින් පල කරන ලද මෙවැනි අදහසක් පිළිබඳව වෙනත් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් විසින් හෝ වාර්තා කර ඇත් ද යන්න පරීක්ෂා කළ අතර එහිදී ද එවැනි වාර්තාකරණයක් හමුවුණේ නැහැ.
පිටකොටුව මධ්‍යයම බස් නැවතුම්පොළේ අලාභ හානි නිරීක්ෂණය කිරීමට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මාධ්‍ය වෙත දැක් වූ අදහස්
ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අප්‍රේල් මස 10 වන දා පෙරවරුවේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබූ අතර එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ, කාන්තා වැසිකිළිවල සවිකර තිබූ කරාම පළවෙනි දින ගලවා තිබීමෙන් පසු නැවත සවි කළ පසු දෙවැනි දිනටත් අප්‍රේල් මස 09 වැනි දා රාත්‍රියේදී එම කරාම ගලවා ඇති බවත්, බස් නැවතුම්පළට හානි කිරීම සංවිධානාත්මක පාර්ශ්වයන්ගේ ක්‍රියාවක් වන බවත් ඒ සඳහා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට මෙන්ම දැඩි ආරක්ෂක පියවරන් ගැනීමටද කටයුතු කරන බවත් ය. නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,
“කාරණා දෙකක් වෙන්න පුළුවන්. එකක් මෙතන ගැන දැනුමක් නැතිව අනවබෝධයෙන් වෙන වැඩක් වෙන්න පුළුවන්. හැබැයි කරාමයක් කරකවලා කරකවලා කාන්තා වැසිකිළිවල විතරක් ගලවනවා කියන්නේ ඒක සංවිධානාත්මක වැඩක්. ඒ නිසා පෞද්ගලිකව මමත් මෙතන කාර්ය මණ්ඩලය වුනත් විශ්වාස කරන්නේ දේශපාලනයේ අපිට විවිධ මත තියෙන්න පුළුවන්. මේක පොදු ජනතාවගේ දෙයක්, පොදු මහජනතාවගේ බදුමුදලින් හදලා තියෙන්නේ. ඒවගේ අලාභ හානි කරන්න දෙන්න බැහැ අපි මේකට නීතිය ක්‍රියාත්මක කරනවා. මොකද දෙවැනි පාරට හයි කරාට පස්සේ ආයෙත් ගැලවෙනවා කියන්නේ.. ඊයේ රෑ හැදුවාට පස්සේ අද උදේ ආයෙත් ගලවලා.. ඒ කියන්නේ මේක සංවිධානාත්මකව ගලවනවා. අපි දන්නවා සමාජ මාධ්‍ය තුළත්, එළියේ වුණත් මේකට කොච්චර මඩ ගැහුවාද කියලා. මඩ ගැහුවාට කමක් නැහැ හැබැයි ජනතා බදු මුදලින් හදපු ඒවාට අලාභ හානි කරන්න එපා කියන එක තමයි ඉල්ලන්නේ. අපි හිතනවා ශ්‍රී ලංකා ගුවන් හමුදාව අපිත් එක්ක එකඟ වෙලා තියෙනවා මාස 3කට වැඩි කාලයක් මෙතන ගත කරන්න. ඒ වගේම තමයි මෙතන ආරක්ෂක තත්ත්වෙත් අපි දැඩිව ක්‍රියාත්මක කරනවා. CCTV ප්‍රමාණයේ අඩුවක් තියෙනවා අපි ඒ ප්‍රමාණය වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි. නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී සිදු කල සම්පූර්ණ ප්‍රකාශය පහතින්,
බස් නැවතුම්පළෙහි CCTV ප්‍රමාණයේ අඩුවක් ඇති බවත්, ඒ ප්‍රමාණය වැඩි කිරීමට අපේක්ෂා කරන බවත් ප්‍රකාශ කරන නමුත්, නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් බස් නැවතුම්පළෙහි වැසිකිළි තුළ CCTV කැමරා සවි කිරීමට අවශ්‍ය බවක් එහිදී සඳහන් කරන්නේ නැහැ.
මාධ්‍ය ලේකම් – නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් විසින් සඳහන් කර සිටියේ නියෝජ්‍ය අමාත්‍යවරයා පිටකොටුව බස් නැවතුම්පොළේ අලාභ හානි සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේ තමා ද එහි සිටි බවත්, එම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවත් ය.
Claim 2
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“පෙරේදා විවෘත කළ බස් නැවතුම්පොළ වැසිකිළිය විනාශ කර කරාම කැඩූ පොහොට්ටුවේ සංවිධායක අත්අඩංගුවට. මගී ජනතාවගෙන් ගුටි බැට පූජාවක්.” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පල කර තිබුණා.

ජාතික රූපවාහිනී ප්‍රවෘත්ති ආකෘතියෙන් සකස් කර තිබූ අදාළ සටහන සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට අප කටයුතු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
අප්‍රේල් 10 වන දා පෙරවරුවේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා විසින් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අලාභ හානි සිදුකරන පුද්ගලයින්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කර තිබුණා. අමාත්‍යවරයා මෙහි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසා ඇත්තේ කාන්තා වැසිකිළිවල සවිකර තිබූ කරාම පළවෙනි දින ගලවා තිබීමෙන් පසු නැවත සවි කළ පසු දෙවැනි දිනටත් අප්‍රේල් 09 වන දා රාත්‍රියේ දී එම කරාම ගලවා ඇති බවත් පෙන්වා දී තිබුණා. බස් නැවතුම්පළට හානි කිරීම සංවිධානාත්මක පාර්ශ්වයන්ගේ ක්‍රියාවක් වන බවත් ඒ සඳහා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට මෙන්ම දැඩි ආරක්ෂක පියවරන් ගැනීමටද කටයුතු කරන බවත් අමාත්‍යවරයා විසින් සඳහන් කර තිබුණා. පිටකොටුව බස් නැවතුම්පොළේ වැසිකිළිය විනාශ කර කරාම කැඩූ පොහොට්ටුවේ සංවිධායකවරයකු අත්තඩංගුවට ගෙන ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමඟ ඡායාරූපයක පෙනී සිටින පුද්ගලයකු දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් හුවමාරු වී තිබුණේ මෙවන් පසුබිමක දී වීම විශේෂත්වයක්.
ජාතික රූපවාහිනී නිල ෆේස්බුක් පිටුවෙහි එවැනි පුවතක් හෝ සටහනක් පළ කර තිබුණේ නැහැ
අදාළ සටහන ජාතික රූපවාහිනී ප්‍රවෘත්ති ආකෘතියෙන් නිර්මාණය කර තිබූ බැවින් අදාළ සටහන ජාතික රූපවාහිනී නිල ෆේස්බුක් පිටුවෙහි පල වූ පුවතක් ද යන්න පරීක්ෂා කිරීමට අප කටයුතු කළා. එම පුවතේ සැකකරු ලෙස ඉහත පුද්ගලයා සැකකරු ලෙස ජාතික රූපවාහිනී නිල ෆේස්බුක් පිටුවෙහි එවැනි පුවතක් හෝ සටහනක් පළ කර තිබුණේ නැහැ.
ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා නැහැ
ඡායාරූපයේ දැක්වෙන පොහොට්ටු සංවිධායකවරයකු ලෙස හඳුන්වන පුද්ගලයා විසින් පිටකොටුව බස් නැවතුම්පොලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් ඔහු අත්තඩංගුවට ගෙන ඇති බව දක්වමින් කිසිඳු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් විසින් පුවත් වාර්තා කර තිබුණේ නැහැ.
පොලිස් මාධ්‍ය ඒකකය
අප විසින් මේ සම්බන්ධයෙන් තහවුරු කර ගැනීම සඳහා පොලිස් මාධ්‍ය ඒකකයෙන් විමසීමක් සිදු කළ අතර, එහිදී පොලිස් මාධ්‍ය ඒකකය විසින් තහවුරු කළේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර නමුත් ඔහු පොහොට්ටු සංවිධායකවරයෙක් බවට වාර්තා වී නොමැති බව සඳහන් කළා.
පොලිස් විමර්ශන නිලධාරින් විසින් අප්‍රේල් 11 වනදා මෙම සිදුවීම සම්බන්ධ සැකකරුවෙකු, ඔහු විසින් සොරකම් කරන ලද දේපල වලින් කොටසක් ද සමඟ කැලණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ පිලිබඳ වර්තාවක් මෙතනින්.
ඡායාරූපයේ දැක්වෙන තරුණයා අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවෙහි පැමිණිල්ලක් සටහන් කරමින් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙනවා.
හුවමාරු වන සමාජ මාධ්‍යය සටහනෙහි දැක්වෙන ඡායාරූපයේ මෙම සිදුවීමට අදාළව බස් නැවතුම්පොළට අලාභහානි සිදු කළ පොහොට්ටු සංවිධායකවරයා ලෙස හඳුන්වන තරුණයා අද දිනයේ මාධ්‍ය ඉදිරියේ පෙනී සිටිමින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණා. තමා විසින් සිදු නොකළ අපරාධයක් සම්බන්ධයෙන් තමාගේ ඡායාරූපය යොදා ගෙන නිර්මාණය කර ඇති සමාජ මාධ්‍ය සටහන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවෙහි පැමිණිල්ලක් සටහන් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණේ මෙලෙසින්.
තමාගේ ඡායාරූපයක් අවභාවිතා කරමින් අදාල සටහන ව්‍යාජ ලෙස නිර්මාණය කර ඇති බවත්, ඊට විරුද්ධව අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවෙහි පැමිණිල්ලක් සටහන් කල බවත්, තමා දැනට විශ්ව විද්‍යාල ශිෂ්‍යයකු ලෙස කටයුතු කරන බවත්, තමා පොහොට්ටු සංවිධායකවරයකු නොවන බවත් ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ
මේ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ද සඳහන් කර සිටියේ අදාළ තරුණයාගේ ඡායාරූපයක් යොදාගනිමින් ඔහු පිටකොටුව බස් නැවතුම්පොලට අලාභහානි සිදු කළ බවට හුවමාරු වන සටහන අසත්‍ය ප්‍රචාරයක් බවයි
සැලකිය යුතුයි: අප හට මෙම පුද්ගලයා අදාළ සිදුවීමට සම්බන්ධ ද නැත් ද යන වග ස්වාධීනව සත්‍යාපනය කළ නොහැකි ය. නමුත්, පිටකොටුව බස් නැවතුම්පොලට සිදු වී ඇති අලාභ හානි සිදු කරන ලද්දේ ඔහු විසින් බවට තහවුරු කළ හැකි සාක්ෂි කිසිවක් නොමැත. පිටකොටුව පොලිස් ස්ථානයෙන් අප කළ විමසීමේදී මෙම සිදුවීමට අදාළව පුද්ගලයෙකු අත්තඩංගුවට ගැනීමක් සිදු කළ බවට සඳහන් කළ අතර, ඡායාරූපයේ දැක්වෙන මෙම තරුණයා මාධ්‍යය ඉදිරියේ සජීවීව පෙනී සිටිමින් ප්‍රකාශයක් සිදු කිරීම හේතුවෙන් පිටකොටුව බස්නැවතුමේ සිදුවීමට අදාළව අත්තඩංගුවට ගෙන ඇත්තේ මෙම තරුණයා නොවන බව තහවුරු වනවා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok


