තලපති විජේ රඟන චිත්‍රපට ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය තහනම් කිරීමට ජනපති නියෝග කරළද? 

False International Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ප්‍රසිද්ධ චරිත පිළිබඳ තොරතුරු සහිත සමාජ මාධ්‍ය සටහන් ඉතා ශීඝ්‍රයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරුවීම සාමාන්‍ය තත්ත්වයක් වන අතර එවැනි චරිත ඈඳාගනිමින් සමාජය නොමග යවන සුළු ආකාරයේ සටහන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වීම ද වර්තමානයේ බහුලව දැකගත හැකියි. ඒ අනුව දකුණු ඉන්දීය චිත්‍රපට නළු තලපති විජේ සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් පිළිබඳව සිදුකළ කරුණු පරීක්ෂාවක් මේ.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

තලපති විජේ රඟන චිත්‍රපට ශ්‍රී ලංකාව තුළ ප්‍රදර්ශනය තහනම් ! ජනපති අනුර නියෝග කරයි යනුවෙන් සඳහන් කරමින් මෙම සමාජ මාධ්‍ය සටහන පළ කර ඇත්තේ, දකුණු ඉන්දීය නළු තලපති විජේ සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඡායාරූප ද සහිතවයි. මෙම සමාජ මාධ්‍ය සටහන ඉකුත් 15 වැනිදා, නිව්ස්ෆස්ට් නිල ෆේස්බුක් පිටුවේ පළ කරන ලද්දක් බව ද හැඟී යයි. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම නියෝගයට හේතුපාදක වූ කරුණු පිළිබඳව කිසිවක් මෙම සමාජ මාධ්‍ය සටහනේ සඳහන්ව නොමැත. 

Facebook | Archived Link

බොහෝ පිරිසක් මීට අදාළව අදහස් පළ කර තිබූ අතර මෙම පුවත සත්‍ය යැයි සිතා තවත් විශාල පිරිසක් තම ගිණුම් වෙත ද මෙම සටහන හුවමාරු කරගෙන තිබුණේ මෙලෙසිනි. 

එසේම ඒ පුවත මීට දින කිහිපයකට පෙර ද හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

ඒ අනුව අප මෙම සමජ මාධ්‍ය සටහන්වල නිර්වද්‍යතාව සොයා කරුණු විමර්ශනයක් සිදුකිරීමට පියවර ගත්තේ මෙලෙසිනි. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

රංගනයට සමු දී දේශපාලනයට පැමිණෙන බව  ඉකුත් 2024 වසරේදී නිවේදනය කළ, නළු තලපති විජේ 2026 තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ඉලක්ක කරගනිමින්  මේ වනවිට සිය දේශපාලන ප්‍රචාරණ කටයුතු ආරම්භ කර සිටින අතර ඉකුත් 21 වනදා සිය පක්ෂයේ දේශපාලන රැළියක් අමතමින් කච්චතිව් දූපත යළි ඉන්දියාවට පවරා ගන්නා ලෙස ඔහු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා සිටියේ ය. මෙරට සමාජ මාධ්‍ය පරිශීලකයින් අතරේ ඔහු හා සම්බන්ධ මෙම සමාජ මාධ්‍ය සටහන් සංසරණයවීම සිදුවන්නේ එවැනි වටපිටාවක් තුළදී ය. 

කෙසේ වෙතත් තලපති විජේ රංගනයෙන් දායකවන චිත්‍රපට ශ්‍රී ලංකාව තුළ ප්‍රදර්ශනය තහනම් කරන ලෙස ජනපති අනුර කුමාර නියෝග කළ බවට කියමින් පළ කර ඇති මෙම සමාජ මාධ්‍ය සටහන, නිව්ස්ෆස්ට් නිල ෆේස්බුක් පිටුවේ ආකෘතියට සමාන බවට බැලූබැල්මට හැඟී යන බැවින් අප ඉකුත් 15 වැනිදා නිව්ස්ෆස්ට් නිල ෆේස්බුක් පිටුමේ එවැනි සටහනක් පළ කර තිබේ දැයි මූලිකවම පරීක්ෂා කර බැලී ය. එහෙත් එදින හෝ ඊට ආසන්න දිනකදී හෝ එවැනි සටහනක් එහි පළ කර තිබෙනු අපට නිරීක්ෂණය නොවී ය. 

මේ පිළිබඳව තවදුරටත් කරණු තහවුරු කර ගැනීම සඳහා අප නිව්ස්ෆස්ට් නව මාධ්‍ය අංශයෙන් විමසීමක් සිදු කළ අතර ඉහත සමාජ මාධ්‍ය සටහන නිව්ස්ෆස්ට් නිල ෆේස්බුක් පිටුවේ පළ කරන ලද්දක් නොවන බව එහි සහකාර කළමනාකාරවරයා තහවුරු කළේ ය. තවද ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ඉන්දීය නළු තලපති විජේ හා සම්බන්ධ කිසිදු පුවතක් මෑතකදී ඔවුන් සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ පළ නොකළ බවයි.  

කෙසේ වෙතත් තලපති විජේ රඟන චිත්‍රපට තහනම් කළ බවට වන සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඡායාරූපයට සමාන ඡායාරූපය සහිතව සයිබර් ආරක්ෂණ පනතට අදාළ පුවතක් ඉකුත් 15 වැනිදා නිව්ස්ෆස්ට් නිල ෆේස්බුක් පිටුවේ පළ කර තිබෙනු දැකගත හැකි වූයේ මේ අයුරිනි.

මේ අනුව පැහැදිලි වන්නේ, සයිබර් ආරක්ෂණ පනත සකස් කිරීමට අදාළව නිව්ස්ෆස්ට් පළ කර ඇති ෆේස්බුක් සටහන වෙනස් කරමින් ඉන්දීය නළු තලපති විජේගේ ඡායාරූපයක් ඇතුළත් කර මෙම සටහන සකසා ඇති බව පැහැදිලිව දැකගත හැකියි.

කෙසේ වෙතත් මේ පිළිබඳව තවදුරටත් සැක හැර කරුණු තහවුරු කර ගැනීමේ අවශ්‍යතාව මත අප සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශයෙන් සහ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් ද විමසීමක් සිදු කළේ ය. 

ජනාධිපති මාධ්‍ය අංශය 

ඒ අනුව දකුණු ඉන්දීය නළු තලපති විජේ රඟන චිත්‍රපට ශ්‍රී ලංකාව තුළ ප්‍රදර්ශනය තහනම් කරමින්  ජනපති අනුර කුමාර දිසානායක මහතා  නියෝග කර ඇති බවට වන මෙම සමාජ මාධ්‍ය සටහන පිළිබඳව අප ජනාධිපති මාධ්‍ය අංශයෙන් විමසීමක් කළ අතර ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපතිවරයා එවැනි කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති බවත් එය අසත්‍ය පුවතක් බවත් ය.  

ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය 

තව ද ඉන්දීය චිත්‍රපට නළු තලපති විජේ රංගනයෙන් දායක වන චිත්‍රපට ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමේ තීරණයක් ගෙන තිබේදැයි අප ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් විමසා සිටියේ ය. එම මණ්ඩලය කියා සිටියේ, එවැනි කිසිදු තීරණයක් සිය මණ්ඩලය විසින් ගෙන නොමැති බවයි.  

කච්චතීව් යළි පවරා ගන්නැයි, තලපති විජේ ඉන්දීය අගමැතිගෙන් ඉල්ලයි  

තමිල්නාඩු මැතිවරණ ව්‍යාපාර ඉතිහාසයේ ප්‍රධානම මාතෘකාවක් වන කච්චතිව් ඉදිරි 2026 මහ මැතිවරණ වේදිකාවලත් ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ. ඒ අනුව තමිළාහ වෙට්රි කළහම් (TVK) පක්ෂයේ ප්‍රධානී නළු තලපති විජේ ද පසුගිය දිනක පැවති දේශපාලන රැළියක් අමතමින් කච්චතිව් දූපත යළි ඉන්දියාවට පවරා ගන්නා ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා සිට ඇති බව පසුගිය 23 වනදා Daily News වාර්තා කර තිබෙනු මෙලෙස දැකගත හැකි විය. එහි වැඩිදුරටත් සඳහන් වූයේ,  ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දීය ධීවරයින් 800 කට වැඩි පිරිසකගේ ජීවනෝපායන් විනාශ කර ඇති බවට විජේ එහිදී චෝදනා කර තිබූ බවයි.  

මේ අතර ඉකුත් 22 වනදා TIMES OF INDIA   වාර්තා කර තිබුණේ, අගෝස්තු 21වන දා මදුරෙහිදී කැඳවා තිබූ තමිළාහ වෙට්රි කළහම් (TVK) පක්ෂයේ ප්‍රධාන රැළියේදී නායක තලපති විජේගේ කතාවේ ප්‍රධාන මාතෘකාවක් වී තිබූ බවයි. එහිදී ඔහු එහිදී තමිල්නාඩුවේ ප්‍රාන්ත රජය මෙන්ම වෘත්තිය සංගම් ද ප්‍රාන්ත ධීවරයින් ආරක්ෂා කිරීමට අසමත්වී ඇති බව විවේචනාත්මකව අදහස් පළ කර ඇති අතර දීර්ඝ කාලීන විසඳුමක් වෙනුවෙන් කච්චතීව් දූපත යළි ඉන්දියාවට පවරා ගත යුතු බවට ඉන්දීය අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. තවත් පුවත් වාර්තා මෙතැනින්. ඉකුත් 21 වන දා තලපති විජේ කච්චතිව් යළි පවරා ගන්නා ලෙස ඉල්ලා සිටිමින් දේශපාලන රැළියේදී කළ සම්පූර්ණ කතාව පහතින් දැක්වේ. 

දකුණු ඉන්දීය නළු තලපති විජේ රංගනයට සමු දී දේශපාලනයට පැමිණෙන බව නිවේදනය කර තිබුණේ, ඉකුත් වසරේ පෙබරවාරී මාසයේදී ය. පෙබරවාරි 2 වනදා ඔහු  තමිළාහ වෙට්රි කළහම් පක්ෂය එළිදැක්වූ අතර නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසා තිබුණේ, චිත්‍රපට 2කින් පසු පූර්ණ කාලීනව දේශපාලනයට පිවිසීම සඳහා සිනමාවෙන් සමු ගන්නා බවයි. ඒ වනවිට ඔහු ‘GOAT’ හි රූගත කිරීම් සිදුකරමින් සිටියේ ය. විස්තර මෙතැනින්.

එමෙන් ම මේ වන විට ඔහු ලබන වසරේ(2026) ජනවාරි වන විට නිකුත් වීමට නියමිත Jana Nayagan චිත්‍රපටය මේ වන විට රූගත කිරීම් සිදු වන අතර ඉන් පසු ඔහු සිනමා දිවියෙන් සමුදීමට නියමිතයි.

2023 වසරේ විජේගේ ලියෝ චිත්‍රපටය ඔක්තෝබර් 19 වන දිනට නිකුත් කිරීම කල් දමන ලෙස එවකට ශ්‍රී ලංකාවේ දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විජේ වෙත ලිපියක් ලියා චිත්‍රපටයේ නිකුත් කිරීමේ දිනය නැවත සලකා බලන ලෙස ඉල්ලා තිබුණා. ඊට හේතුව වූයේ මෙරට දෙමළ මන්ත්‍රීවරුන් පිරිසක් ඔක්තෝබර් 20 වන දින විරෝධතාවක් සැලසුම් කර තිබූ අතර, ඔක්තෝබර් 19 වන දින චිත්‍රපටය නිකුත් කිරීම හේතුවෙන් දමිළ රසිකයින්ගේ අවදානය එම චිත්‍රපටයට යොමු වන බැවින් රටේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ ඔවුන්ගේ උත්සාහයන් අඩපණ කළ හැකි බවට සඳහන් කරමින්. නමුත් එම ඉල්ලීම සලකා බලා නොතිබුණු අතර ඔක්තෝබර් 19 වන දින මෙරට ලියෝ චිත්‍රපටය ප්‍රදර්ශනය කර තිබුණා. ඒ සම්බන්ධයෙන් පළ වන වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

කච්චතිව් ශ්‍රී ලංකාවට අයිති වුණ හැටි 

භූමි ප්‍රමාණයෙන් අක්කර 285ක පමණ වන කච්චතිව් ශ්‍රී ලංකාවට අයත් දූපත් සමූහයෙන් එකක් වන අතර එය ශ්‍රී ලංකාවට වඩාත් දුරින්ම පිහිටි දූපත වන්නේ ද කච්චතිව් දූපතයි.ධීවර කටයුතු සඳහා වැදගත් ජන ශූන්‍ය ප්‍රදේශයක්වන කච්චතිව් ආශ්‍රිතව ස්වාභාවික ඛනිජ තෙල් සහ ගෑස් පවතින බවට ද පැවසේ. කච්චතිව් දූපත පිළිබඳ කතා කිරීමේදී අමතක කළ නොහැකි ම විශේෂම කරුණ වන්නේ, වසර සිය ගණනක සිට පවත්වාගෙන එන ශාන්ත අන්තෝනි දේවස්ථායේ දේව මෙහෙයයි. ශ්‍රී ලංකා – ඉන්දීය ධීවරයින් එක්ව සෑම වසරකම පෙබරවාරි හෝ මාර්තු මාසයේදී කච්චතිව් ශාන්ත අන්තෝනි දේව මෙහෙය පවත්වනු ලබයි

යුද සමයේ වසර ගණනාවක් කච්චතිව් දේව මංගල්‍යයට සහභාගී වීමට අවස්ථාව නොලැබුණ අතර යුදධය නිම වීමෙන් පසු යළිත් වාර්ෂිකව කච්චතිව් දේව මංගල්‍ පවත්වනු ලබයි. සාමාන්‍යයෙන් කච්චතිව් දූපතට පිවිසීමට ඉන්දීය ජනතාවට ආගමන විගමන නීති අනුගමන කළ යුතු වුවත්, කච්චතිව් ශාන්ත අන්තෝනි දේව මංගල්‍ය සමයේ වීසා නොමැතිව ඉන්දීය බැතිමතුන්ට කච්චතිව් මංගල්‍යය වෙනුවෙන් සහභාගිවීමට හැකිය.

කච්චතිව් දූපතේ අයිතිය අයිති කාට ද? යන ප්‍රශ්නය  ඉතිහාසය පුරාවටම දක්නට ලැබී අති  අතර කෙසේවෙතත්  1974 ජුනි 26 වැනිදා අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක හා ඉන්දීය අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි අතර අත්සන් කළ ගිවිසුමක් මත කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමිවිය. ගිවිසුමට අනුව කච්චතිව් දූපත ඉන්දියාවේ කොටසක් නොවන අතර එය ශ්‍රී ලංකාවට අයත් භූමි කොටසකි. තව ද 1976 වසරේ ඉන්දු ලංකා නායකයින් අත්සන් කළ තවත් ගිවිසුමක් අනුව කච්චතිව් දූපත ආශ්‍රිතව මසුන් ඇල්ලීමට ඉන්දීය ධීවරයින්ට අවසරය අහිමි විය.  ඒ අනුව දූපත ආශ්‍රීත ධීවර කටයුතු හා කච්චතිව් දූපත ආශ්‍රිත සාගර සීමාව සම්බන්ධයෙන් පැන නැගී ඇති ඉන්දීය – ශ්‍රී ලංකා ධීවර ගැටලු තවදුරටත් ඇඳෙමින් පවතී.

කච්චතිව් දූපතේ කතාව දකුණු ඉන්දීය දේශපාලයේ ප්‍ධාන මාතෘකාවකි. එදා සිට අද ක්වා බිහිවූ සියලුම දකුණු ඉන්දීය දේශපාලනඥයින් හා දකුණු ඉන්දීය ධීවර ප්‍රජාව කච්චතිව් යළි ඉන්දියාවට පවරා ගන්නා ලෙස මධ්‍ම රජයට විටින් විට බලපෑම් මෙන්ම ඉල්ලීම් ද සිදුකරන ආකාරයක් දැකගත හැකියි. වැඩි විස්තර මෙතැනින් 

Also Read : කච්චතිව් දූපත ඉන්දියාවට පවරලා ද?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනය අනුව පැහැදිලි වන්නේ, දකුණු ඉන්දීය චිත්‍රපට නළු තලපති විජේ රඟන චිත්‍රපට ප්‍රදර්ශනය තහනම් කරමින් ජනාධිපතිවරයා කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති බවයි. තව ද මෙම සමාජ මාධ්‍ය සටහන නිව්ස්ෆස්ට් නිල ෆේස්බුක් පිටුවේ ඉකුත් 15 වැනිදා පළ කරන ලද සටහනක් විකෘති කරමින් දමිළ නළු තලපති විජේගේ ඡායාරූපයක් ඇතුළත් කරමින් සකසන ලද සාවද්‍ය සමාජ මාධ්‍ය සටහනක් බව පැහැදිලි වේ. 

Avatar

Title: තලපති විජේ රඟන චිත්‍රපට ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය තහනම් කිරීමට ජනපති නියෝග කරළද?

Fact Check By: Sagarika Chathumali 

Result: False


Leave a Reply