තඹුත්තේගම ජල ව්‍යාපෘතිය නැවතිනු බවක් හඟවමින් හුවමාරු වන නොමග යවන සුළු වීඩියෝවක්! 

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය 2026 ජූලි 10 වනදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් විවෘත කරන තිබේ. මේ අතර, තඹුත්තේගම ජල ව්‍යාපෘතිය නවතියි. උද්ඝෝෂණකරුවන් 50ක් රිමාන්ඩ් යනුවෙන් දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු පරීක්ෂාව පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

Facebook 

මෙය මෑතකදී සිදු වූවක් ලෙස වටහා ගනිමින් සමාජ මාධ්‍ය  පරිශීලකයන් විසින්ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණේ මෙලෙසින්.

ඒ අනුව මෙහි සත්‍යය අසත්‍ය භාවය සොයා බැලීමට අප කටයුතු කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය 2026 ජූලි 10 (ඊයේ) දින ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කළ බව දක්වමින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් සහ නිල පුවත් මූලාශ්‍ර විසින් වාර්තා කර තිබුණා. එම වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්

එසේ එම ව්‍යාපෘතිය අයිතියට පත් කිරීමෙන් පසු, ඊට පෙර මෑතකදී එම ජල සම්පාදන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනතා උද්ඝෝෂණයක් පැවැති බවට හෝ ඒ හේතුවෙන් එම ජල සම්පාදන ව්‍යාපෘතිය නතර වී ඇති බවට හෝ උද්ඝෝෂණකරුවන් 50ක් රිමාන්ඩ් කර ඇති බවට හෝ කිසිදු පුවත් මූලාශ්‍රයක් විසින් පුවතක් වාර්තා කර නොමැත. 

කෙසේ නමුත් මෙම වීඩියෝව හුවමාරු වී තිබුණේ News 1st ලාංඡනය සමඟයි. ඒ හේතුවෙන් අප විසින් මෙවැනි පුවතක් News 1st විසින් මෑතකදී වාර්තා කර ඇත්ද යන්න පරීක්ෂා කිරීමට කටයුතු කළා. එහිදී දැක ගැනීමට ලැබුණේ එවැනි පුවතක් මෑතකදී News 1st විසින් වාර්තා කර නොමැති බවයි. 

2016 වසරේ අමාත්‍ය මණ්ඩල තීරණ යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ ජල සැපයුම් ව්‍යාපෘතිය;

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින නිදන්ගත වකුගඩු රෝගයට පිළියමක් ලෙස පිරිසිදු පානීය ජලය සැපයීම සඳහා 2016 අප්‍රේල් මාසයේදී මෙම ව්‍යාපෘතිය සම්බන්ධ මූලික කටයුතු සම්පාදනය විය. එම 2016.04.26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය මෙතනින්. එසේම මේ සඳහා චීන සංවර්ධන බැංකුව CDB වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 102.5 ක (රුපියල් බිලියන 32 කට ආසන්න) සහනදායී ණයක් ලබා ගැනීම සඳහා 2017 අගෝස්තු 21 වනදා නිල වශයෙන් ගිවිසුම් අත්සන් කරන ලදී.

එම කටයුතු සිදුවන අතර, 2018 පෙබරවාරි 28 වනදා තඹුත්තේගම නගරයේදී මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනතා උද්ඝෝෂණයක්  පැවැත්විණි. එහිදී පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ අතර, කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර 57 දෙනෙකු අත්අඩංගුවට පත් විය.

2018 දී ජනතා විරෝධ මැද අත්හිටුවීමට රජය තීරණය කරයි.

උද්ඝෝෂණයට හේතු වී තිබුණේ, ව්‍යාපෘතිය සඳහා මුලින් රාජාංගනය වැවෙන් ජලය ලබා ගැනීමට සැලසුම් කර තිබීමත්, එමඟින් ප්‍රදේශයේ කුඹුරු අක්කර 17,000කට වැඩි ප්‍රමාණයකට ජලය සපයන රාජාංගනය වැවේ ජල මට්ටම අඩු වී තමන්ගේ ගොවිතැන් කටයුතු පාලුවට යනු ඇතැයි ගොවීන් බිය වීමයි.

රාජාංගනය වැවේ ජලය බහුජාතික හෝ පෞද්ගලික සමාගමකට බෝතල් කළ පානීය ජල ව්‍යාපෘතියක් සඳහා විකිණීමට යන බවට ප්‍රදේශය පුරා පැතිර ගිය ප්‍රචාරය සහ දැඩි විරෝධය හමුවේ 2018 පෙබරවාරි 28 වනදා පැවති උද්ඝෝෂණයෙන් පසු, ඊට පසුදාම (2018 මාර්තු 01) ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබුණි. ඒ බව දක්වා තිබූ මාධ්‍ය වාර්තා මෙතනින්.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන News 1st ලාංඡනය සහිත වීඩියෝව 2018 පෙබරවාරි 28 වනදා පැවති එම උද්ඝෝෂණයේ වීඩියෝවකි.

ඒ අනුව, මෑතක දී සිදුවූවක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන News 1st ලාංඡනය සහිත ඉහත  වීඩියෝව, 2018 වසරේ පෙබරවාරි 28 තඹුත්තේගම දී සිදුවූ උද්ඝෝෂණය සම්බන්ධයෙන් News 1st හි විකාශය වී ඇති වීඩියෝවකි. එම වීඩියෝව පහතින්.

Facebook එම උද්ඝෝෂණයේ දර්ශන සහිත වෙනත් මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින්.

2018 පෙබරවාරි 28 වනදා පැවති උද්ඝෝෂණයෙන් පසු, ඊට පසුදාම (2018 මාර්තු 01) ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇත

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ (NWSDB) නිල ව්‍යාපෘති දත්ත පද්ධතිය මඟින් පැහැදිලි කර ඇති ආකාරයට 2018 ගොවි විරෝධතාවලින් පසු, ජල සම්පාදන මණ්ඩලය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ප්‍රදේශයේ ගොවි සංවිධාන එක්ව සාකච්ඡා කර රාජාංගනය වැව වෙනුවට අංගමුව ජලාශය මෙම ව්‍යාපෘතියේ නව ජල මූලාශ්‍රය ලෙස යොදා ගැනීමට අවසාන එකඟතාවයකට පැමිණි ඇත.

Waterboard

ඉදිකිරීම් නිල වශයෙන් 2018 ජූලි 1 වන දින ආරම්භ කර ඇති අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ එහි ප්‍රතිඵලයක් ලෙස ගෙවීම් ප්‍රමාදයන් හේතුවෙන්, කොන්ත්‍රාත්කරු 2022 මැයි 22 වන දින වැඩ තාවකාලිකව අත්හිටුවා ඇත.එසේම, දේශීය මූලාශ්‍ර හරහා ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට රජය ගත් තීරණයෙන් පසුව, ඉදිකිරීම් 2024 ජුනි මාසයේදී නැවත ආරම්භ වී ඇත.

Waterboard

2026 මැද භාගය වන විට ජල පවිත්‍රාගාරය, ජල කුලුනු සහ නළ පද්ධති ඇතුළු සියලුම අත්‍යවශ්‍ය ඉදිකිරීම් සාර්ථකව අවසන් කරන ලදී. ඒ අනුව 2026 ජූලි 10 වනදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය නිල වශයෙන් විවෘත කර ජනතා අයිතියට පත් කරන ලදී. 

තඹුත්තේගම පොලීසිය

තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෑතකදී කිසියම් ජනතා උද්ඝෝෂණයක් පැවතියේද යන්න සම්බන්ධයෙන් අප විසින් තඹුත්තේගම පොලීසියෙන් විමසීමක් කරන ලද අතර, එහිදී තඹුත්තේගම පොලිසිය විසින් සඳහන් කළේ, ඊයේ දිනයේ එම ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද බවත්, කිසිඳු ජනතා විරෝධයක් හෝ උද්ඝෝෂණයක් මෑතකදී ඇති නොවූ බවත් ය. කෙසේ නමුත් මීට වසර කිහිපයකට පෙර මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන සමයේ මේ සම්බන්ධයෙන් ජනතා උද්ඝෝෂණ පැවති බවට තඹුත්තේගම පොලිසිය විසින් සඳහන් කළා.

ජනාධිපති මාධ්‍ය අංශය

අප විසින් මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමේදී ජනාධිපති මාධ්‍ය අංශය විසින්ද සඳහන් කළේ, තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේ සාර්ථකව ජනතා අයිතියට පත් වූ බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝව මීට වසර කිහිපයකට පෙර මෙම ව්‍යාපෘතිය ආරම්භයේදී ඇතිවූ ජනතා උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් දැක්වෙන වීඩියෝවක් බවත්, එය මෑතකදී සිදු වූවක් නොවන බවත් ජනාධිපති මාධ්‍ය අංශය විසින් පැහැදිලි කළා.

මෙම ව්‍යාපෘතිය ආරම්භයේදී එහි ජල මූලාශ්‍රය වශයෙන් රාජාංගනය ජලාශය තෝරාගෙන තිබූ බවත්, රජංගනය ජලාශය කෘෂිකර්මාන්තය සඳහා බහුලව ජලය යොදාගන්නා ජලාශයක් බැවින්, මෙම ව්‍යාපෘතිය සඳහා එයින් ජලය ලබා ගැනීමෙන් කෘෂිකර්මාන්තය සඳහා ජල හිඟයක් ඇතිවේ යැයි යන්න මත එම ජනතා විරෝධතා ඇතිවූ බවත්, ඒ සම්බන්ධයෙන් සලකා බැලීමෙන් පසුව රාජාංගනය ජලාශය වෙනුවට අංගමුව ජලාශය යොදා ගැනීමට එම කාලවකවානුවේදීම තීරණය වී තිබූ බවත්, පසුගිය සමයේ ආර්ථික අර්බුදයත් සමඟ නතර වී තිබූ, මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කරමින් ඊයේ දිනයේ (2027.07.10) සාර්ථකව ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කළ බවත්, ජනාධිපති මාධ්‍ය අංශය විසින් වැඩිදුරටත් පැහැදිලි කළා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය නවතී, උද්ඝෝෂණකරුවන් 50ක් රිමාන්ඩ් යනුවෙන් මෑතකාලීන සිදුවීමක් ලෙස දක්වමින් හුවමාරු වන වීඩියෝව නොමග යවන සුළු බවයි. එම සිදුවීම 2018 වසරේදී මෙම ජල ව්‍යාපෘතිය ආරම්භයේදී සිදු වූ ජනතා විරෝධයක් වන අතර, එම ජනතා විරෝධය හේතුවෙන් 2018 දී මෙම ව්‍යාපෘතිය තාවකාලිකව නතර වී ඇත. එම ජනතා විරෝධයට මුල් වූ හේතුව රාජාංගනය ජලාශයේ ජලය මෙම ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීම වන අතර, ඊට පිළියමක් වශයෙන්, මෙම ජල ව්‍යාපෘතිය සඳහා වන ජල මූලාශ්‍රය ලෙස රාජාංගනය ජලාශය වෙනුවට අංගමුව ජලාශය යොදා ගැනීමට 2018 වසරේදීම තීරණය කර ඇත. ඒ අනුව ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය 2026.07.10 දින සාර්ථකව ජනතා අයිතියට පත් කර ඇත.

Result Stamp

Title: තඹුත්තේගම ජල ව්‍යාපෘතිය නවතී යනුවෙන් හුවමාරුවන නොමග යවන සුළු වීඩියෝවක්!

Fact Check By: B.P Hansani

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *