‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලේ මි. 5656ක් පරිත්‍යාග ඇතුළත් ගිණුම නැද්ද?

Misleading Political Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

2025 නොවැම්බර් මාසයේ දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූවන් වෙනුවෙන් රජය විසින් ආරම්භ කරන ලද ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට ලැබී ඇති පරිත්‍යාග මුදල් වර්තමාන රජය විසින් අවභාවිත කර ඇති බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වුණා. සැබවින්ම මෙම අරමුදලේ මුදල් අවභාවිතයට ලක් වී තිබේද, යන්න පිළිබඳ අප කරුණු පරීක්ෂාවක් කිරීමට පියවර ගනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

Facebook | Archived Link

මේ පිළිබඳ ‘දිවයින පුවත්පත් වාර්තාවක’, දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක්වූ යටිතල පහසුකම් නැවත ගොඩනැගීම හා ජන ජීවිත යථාවත් කිරීම සඳහා පරිත්‍යාගශීලින්ගෙන් ප්‍රදානයන් සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාව පිළිබඳ සඳහන් කර ඇති අතර එම අරමුදල් භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් නමින් වන බැංකු ගිණුම් යටතේ ඇති බව ද, සඳහන් කර තිබුණා. 

නමුත් මෙම ලිපිය පාදක කරගනිමින් හිරු මාධ්‍ය ආයතනය විසින් පත්තර කියවන වැඩසටහනකදී එම වැඩසටහන මෙහෙයවන නිවේදක විසින් මෙම මුදල් පවත්නා ආණ්ඩුව විසින් හොරා කා ඇති බවට හඟවන අතර මෙම වීඩියෝව පාදක කරගනිමින් තව ත් සමාජ මාධ්‍ය ඔස්සේ පළව තිබූ වැඩසටහන් වලද, දිට්වා අරමුදල් පවත්නා රජය විසින් වංචා කර ඇති බවට ප්‍රකාශ කර තිබුණේ මෙලෙසින්.

Facebook

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

දිට්වා සුළි කුණාටුව සහ අරමුදල ආරම්භය

2025 නොවැම්බර් 26-28 අතර කාලයේ ශ්‍රී ලංකාවට බලපෑ ‘ඩිට්වා’ සුළි කුණාටුව, 2004 සුනාමියෙන් පසු රටට වාර්තා වූ බරපතලම ස්වාභාවික ආපදාව ලෙස හඳුනා ගැනේ. දිස්ත්‍රික් 25ම පාහේ ගංවතුරින් සහ නායයෑම්වලින් බලපෑමට ලක් වූ අතර, මරණ 640කට වැඩි ප්‍රමාණයක් සහ පුද්ගලයින් මිලියන 2කට ආසන්න පිරිසක් ආපදාවට ගොදුරු වුණා. ලෝක බැංකුවේ GRADE වාර්තාව අනුව සෘජු ආර්ථික හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.1ක් (දළ දේශීය නිෂ්පාදිතයෙන් 4%ක් පමණ) විය.

මෙම ව්‍යසනයට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුග්‍රහයෙන් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ (Rebuilding Sri Lanka) වැඩසටහන හා ඊට අනුබද්ධ පරිත්‍යාග ගිණුම ආරම්භ විය.

මෙය රුපියල් බිලියන 500ක පුනරුත්ථාපන වැඩසටහනක කොටසක් ලෙස හඳුන්වා දෙන ලද අතර, විනාශයට පත් නිවාස නැවත ඉදිකිරීම, අර්ධ හානි වූ දේපළ සඳහා වන්දි ගෙවීම, නායයෑම් අවදානම් සහිත ප්‍රදේශ ස්ථායීකරණය, සහ කෘෂිකාර්මික භූමි/ග්‍රාමීය මාර්ග/වාරිමාර්ග යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය අරමුණු කර ගන්නා ලදී.

අමාත්‍ය මණ්ඩලය මෙම අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ව්‍යවස්ථාපිත අරමුදලක් (statutory fund) ලෙස පිහිටුවීමට අනුමැතිය දී තිබූ අතර, නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රධානත්වයෙන් කළමනාකරණ කමිටුවක්ද, අගමැති හරිණි අමරසූරිය මහත්මිය ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක්ද පිහිටුවන ලදී.

අරමුදලේ කාලරේඛාව (කාලයක් තිස්සේ වර්ධනය වූ අරමුදල්)

2025 දෙසැ. 19: රුපියල් බිලියන 4.29ක් පමණ (ඩොලර් මිලියන 6+ ඇතුළුව).

2025 දෙසැ. 31 (විගණනය): රුපියල් මිලියන 5,656ක්.

2026 පෙබ. 10 රුපියල් බිලියන 6.07ක් + ඩොලර් මිලියන 10.29ක්.

2026 ජූනි: රුපියල් බිලියන 10ක් පමණ (නියෝජ්‍ය අමාත්‍යවරයාට අනුව). 

අරමුදලේ නිල වෙබ් අඩවියේ ඇති රුපියල් සහ ඩොලර් අගයන් එකතු කිරීමේ දී ද රුපියල් බිලියන 10කට ආසන්න අගයක් ලැබේ.

ඒ අනුව, ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල සම්බන්ධ, ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වෙන චෝදනාව කුමක්ද යන්න පරීක්ෂා කිරීමේදී අප මුලින්ම සොයා බැලුවේ, ජාතික විගණන කාර්යාලය මෙම අරමුදල පිළිබඳ නිකුත් කර ඇති නිල වාර්තාවයි.

ජාතික විගණන කාර්යාලයේ වාර්තාව

ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවකට අනුව, දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ යටිතල පහසුකම් නැවත ගොඩනැගීම හා ජන ජීවිත යථාවත් කිරීම සඳහා පරිත්‍යාගශීලීන්ගෙන් 2025 දෙසැම්බර් 31 වන විට රුපියල් මිලියන 5,656ක් ලැබී තිබූ අතර, එම මුදල් භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් නමින් වන බැංකු ගිණුම් යටතේ රැස් කර ඇති බව සඳහන් වේ. එමෙන්ම, අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණ ද, ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ නමින් ව්‍යවස්ථාපිත අරමුදලක් 2026 මැයි 20 වන විටත් ස්ථාපිත කර නොතිබූ බවද විගණනය මගින් අනාවරණය කර ඇත. 

2026 ජූනි පාර්ලිමේන්තු මුදල් පිළිබඳ කාරක සභා (COPF) රැස්වීමේදී ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති ඊ. එම්. එස්. ඒකනායක මහතා සඳහන් කළේ, අරමුදලට ලැබී ඇති කිසිදු මුදලක් තවම වියදම් කර නොමැති බවත්, එම මුදල් සම්පූර්ණයෙන්ම භාණ්ඩාගාර විශේෂ ගිණුමක ඇති බවත් ය.

මුදල් කළමනාකරණ පනත (Public Finance Management Act) යටතේ, ව්‍යවස්ථාපිත නොවන අරමුදල් පිහිටුවීම තහනම් වන අතර, පාර්ලිමේන්තු පනතක් හරහා පිහිටුවන ලද ව්‍යවස්ථාපිත අරමුදල් පමණක් පවත්වාගෙන යා හැක. එබැවින් අරමුදල නීතිමය වශයෙන් තවමත් ‘නිල අරමුදලක්’ නොවේ. ලැබෙන පරිත්‍යාග තාවකාලිකව භාණ්ඩාගාර විශේෂ ගිණුමක තැන්පත් වෙමින් පවතී.

මුදල් තිබෙන්නේ කොහේද? එය කෙනෙකුට රහසින් ගත හැකිද?

භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ගිණුමක ඇති මුදල් අමාත්‍යවරයෙකුට හෝ නිලධාරියෙකුට හිතුමතේ ගත හැකිද? නැත.

  • ඒකාබද්ධ අරමුදල: මෙම ගිණුමට බැර වන මුදල් නීතිමය වශයෙන් රාජ්‍ය ඒකාබද්ධ අරමුදලට (Consolidated Fund) අයත් වේ (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 149 වගන්තිය). මෙය කිසිදු පුද්ගලයෙකුගේ පෞද්ගලික ගිණුමක් නොවේ.
  • ඉවත් කිරීමට පාර්ලිමේන්තු අවසරය අනිවාර්යයි: ව්‍යවස්ථාවේ 150 වගන්තිය අනුව, පාර්ලිමේන්තුව අනුමත කළ මුදල් සඳහා අමාත්‍යවරයාගේ වරෙන්තුවක් යටතේ මිස ඒකාබද්ධ අරමුදලෙන් එක් රුපියලක්වත් ඉවත් කළ නොහැක. භාණ්ඩාගාර මූල්‍ය රෙගුලාසි (148-150 වගන්ති) බලන්න.
  • PFMA 2024 අනුව අනිවාර්යතාව: 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත අනුව ව්‍යවස්ථාපිත නොවන අරමුදල් පවත්වාගෙන යා නොහැකි අතර, එවැනි මුදල් ඒකාබද්ධ අරමුදලට යා යුතුය. එබැවින් ‘අරමුදල නීතිගත කරන්න’ යන ඉල්ලීම නීත්‍යානුකූලය.
  • ශේෂය පොදුවේ බැලිය හැකිද? සජීවී ශේෂය පරික්ෂා කිරීමේ පුවරුවක් නැතත්, ලැබෙන අරමුදල්හි එකතුව නිල වෙබ් අඩවියේ පළ වන අතර, ස්වාධීන විගණකාධිපතිවරයා (ව්‍යවස්ථාවේ 153-154 වගන්ති) ගිණුම විගණනය කර පාර්ලිමේන්තුවට හා COPF හමුවේ වාර්තා කරයි. එනම් අධීක්ෂණය ආයතනික හා කාලානුරූපී මිස රහසිගත නොවේ.

කිසිවෙකුට මුදල් පෞද්ගලිකව ඉවත් කිරීම, පාර්ලිමේන්තු අනුමැතියෙන් තොරව වැය කිරීම, හෝ විගණනයට හසු නොවී සිටීමට නොහැක. ඉහත COPF හමුවේ කරුණු දැක්වූයේ, මුදලක් අස්ථානගත වීමක් නොව, නීතිමය ආකෘතියේ (ව්‍යවස්ථාපිත අරමුදලක් නොපිහිටුවීමේ) අඩුවක් පමණි.

පාර්ලිමේන්තු මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සාකච්ඡාව ආචාර්ය හර්ෂ ද සිල්වා 

පාර්ලිමේන්තු මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා 2026 ජූනි මාසයේදී COPF හමුවේ අවධාරණය කළේ, ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ ලෙස වාර්තා පළ වී තිබුණ ද, තමන් දන්නා පරිදි එවැනි නීතිගත අරමුදලක් නොපවතින බව ත්, පරිත්‍යාගශීලීන්ගේ මුදල් තැන්පත් කර ඇත්තේ කොහේද සහ එය විගණනය කරන්නේ කෙසේද යන්නත් ය.

ඔහුගේ තර්කය වූයේ, මුදල් කළමනාකරණ පනත (Public Finance Management Act) යටතේ ව්‍යවස්ථාපිත නොවන අරමුදල් පිහිටුවීම තහනම් බැවින්, ‘හෙල්පින් හම්බන්තොට(Helping Hambantota)’ අරමුදල් මතභේදයෙන් පසුව ගෙන ආ එම නීති සංශෝධනයට අනුකූලව, ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ද පාර්ලිමේන්තු පනතක් හරහා විධිමත් ලෙස පිහිටුවා විනිවිදභාවයෙන් හා විගණන වගවීමකින් යුතුව පවත්වාගෙන යා යුතු බවයි. මෙහිදී ඔහු මුදල් මංකොල්ලයක් සිදු වී ඇති බවක් චෝදනා කර නොතිබුණි.

සභානායක අමාත්‍ය බිමල් රත්නායකගේ පැහැදිලි කිරීම

මේ සම්බන්ධයෙන් අප තවදුරටත් සොයා බැලීමේදී, 2026 ජූනි මාසයේදී පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සභානායක සහ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා, විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පදනම් විරහිත කරුණු ඉදිරිපත් කරමින් මහජනතාව නොමඟ යැවීමට උත්සාහ කරන බව චෝදනා කර තිබුණා. 

අමාත්‍යවරයා පැහැදිලි කළේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ යනු, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයාගේ නිල ගිණුම හැඳින්වීම සඳහා භාවිත කරන තවත් නාමයක් පමණක් බව ත්, එම ගිණුමට එකතු වන සියලුම මුදල් සෘජුවම රජයේ ඒකාබද්ධ අරමුදලට (Consolidated Fund) බැර වන බැවින් එහි කිසිදු ආකාරයක මූල්‍ය වංචාවක් හෝ අවභාවිතයක් සිදුවීමට ඉඩක් නොමැති බවත් ය. 

එමෙන්ම, මෙම අරමුදලට ලැබෙන මුදල් වියදම් කිරීමේදී පාර්ලිමේන්තු අනුමැතිය අනිවාර්ය බැවින්, සභා අනුමැතියකින් තොරව එක් රුපියලක්වත් වැය කළ නොහැකි බවද ඔහු පැහැදිලි කරනු ලැබුවා. අරමුදල නිල වශයෙන් ස්ථාපිත කිරීමට අවශ්‍ය නීතිමය පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දුගේ ප්‍රකාශය

නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ද මෙම අරමුදලේ පරිත්‍යාග පිළිබඳ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා ඇසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් සඳහන් කළේ, අතීතයේ පැවති සුනාමි අරමුදල වැනි බාහිර අරමුදල් මගින් ඇතිවූ ගැටලු වළක්වා ගැනීම සඳහා, “Rebuilding Sri Lanka” නමින් වෙනම බාහිර අරමුදලක් නිර්මාණය කර නොමැති  බවයි.

ඒ වෙනුවට එම මුදල් වඩාත් ආරක්ෂිතව සහ නීත්‍යානුකූලව මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයා යටතේ පවතින ගිණුමකට බැර කර ඇති බව ත්, දිට්වා වලින් පසු රට ගොඩනැගීමේ කටයුතු සහ වියදම් සඳහා පාර්ලිමේන්තුවෙන් රුපියල් බිලියන 500ක මුදලක් සම්මත කරගෙන ඇති අතර, මේ වන විටත් ඉන් රුපියල් බිලියන 248කට අදාළ ප්‍රතිපාදන වෙන් කර  ලබා දී ඇති බව ත්, සඳහන් කළා. 

මේ දක්වා දේශීය හා විදේශීය පරිත්‍යාගශීලීන්ගෙන් ලැබී ඇත්තේ රුපියල් බිලියන 11කට ආසන්න මුදලක් පමණක් බව ත්, සම්මත කළ බිලියන 500න් ඉතිරි බිලියන 489ම මහා භාණ්ඩාගාරය (ඒකාබද්ධ අරමුදල) මගින් දරනු ලබන බව පෙන්වා දුන්නා.

මෙම මුදල් කිසිදු ආකාරයකින් නීති විරෝධී කටයුත්තකට යොදවා නොමැති බව ඔහු අවධාරණය කරමින් වර්ෂය අවසානයේදී අදාළ මුළු බිලියන 500ක මුදල වියදම් කළ ආකාරය, පරිත්‍යාගවලින් ලැබුණු ප්‍රමාණය සහ ඒකාබද්ධ අරමුදලින් ලබාගත් ප්‍රමාණය පිළිබඳව පැහැදිලි ගිණුම් වාර්තාවක් ඉදිරිපත් කරන බව ත් ඔහු මෙහිදී තහවුරු කළා.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

“Rebuilding Sri Lanka” අරමුදලේ විනිවිදභාවය සහ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සඳහන් කළේ, ස්වාධීන ව්‍යවස්ථාපිත අරමුදලක් පාර්ලිමේන්තු පනතක් මගින් සම්මත කර බලාත්මක කිරීමට යම් කාලයක් ගතවන බැවින්, ආධාර ප්‍රමාදයකින් තොරව ලබා ගැනීමට මහා භාණ්ඩාගාරය යටතේ විශේෂ තැන්පතු ගිණුමක් විවෘත කර ඇති බවයි.

මහජනතාවගේ කිසිදු මුදලක් පෞද්ගලික හෝ නීති විරෝධී ගිණුම්වලට බැර කර නොමැති අතර, සියලුම අරමුදල් නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයා යටතේ විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයට යටත්ව සුරක්ෂිත බව ත්, සියලුම මුදල් නීත්‍යානුකූලව භාණ්ඩාගාරයේ පාලනය යටතේ පවතින බැවින්, මෙහි නීත්‍යානුකූලභාවය පිළිබඳ කිසිදු ගැටලුවක් පැන නොනගින බව අවධාරණය කර මින් මෙම අරමුදල් ඉහළම විනිවිදභාවයෙන් සහ යහපාලන මූලධර්මයන්ට අනුකූලව කළමනාකරණය වන බව ත්, සඳහන් කළා.

අරමුදල නිල වශයෙන් ස්ථාපිත කිරීමෙන් අනතුරුව එය වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීතිමය හා ආයතනික රාමුව සකස් කිරීම මේ වන විට පාලක කමිටුව විසින් සිදු කරමින් පවතින අතර ඒ සඳහා නුදුරේදීම අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට ද කටයුතු කරමින් සිටින බවයි සඳහන් කර තිබුණේ.

සැබෑ ගැටලුව

ඒ අනුවද ද පැහැදිලි වන්නේ, විගණනයෙන් තහවුරු වන සැබෑ ගැටලුව නම්, මුදල් සොරකමක් නොව, අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී මාස ගණනක් ගතව තිබියදීත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ නීතිගත ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස තවම පිහිටුවා නොතිබීමයි. හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක එය PFMA යටතේ ‘තාක්ෂණිකව නීති විරෝධී’ හා ‘අවිනිශ්චිත තත්ත්වයක’ පවතින බව පවසා තිබිණි (The Morning). ඒ අනුව සොරකම් කීම අසත්‍ය වුවද, නීතිමය ආකෘතිය හා විනිවිදභාවය පිළිබඳ ගැටලුවක් පැන නැගී ඇත.

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලේ පරිත්‍යාග මුදල් රජය විසින් මංකොල්ල කා ඇති බවට හෝ අවභාවිත කළා යැයි පළ වන සමාජ මාධ්‍ය චෝදනා, ජාතික විගණන කාර්යාලයේ වාර්තාවෙන් තහවුරු නොවන බවයි. විගණන වාර්තාවට අනුව, අරමුදලට ලැබී ඇති කිසිදු මුදලක් තවම වියදම් කර නොමැති අතර, එය භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයාගේ නිල පාලනය යටතේ ආරක්ෂිතව පවතී. එමෙන්ම ‘සහනයක් නොදී මුදල් හිර කරගෙන’ යන කරුණු ද නොමඟ යවන සුළුය, මන්ද වෙනම භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 248 සහන ලබාදී ඇති බැවිනි.

කෙසේ වෙතත්, විගණන වාර්තාවෙන්ම තහවුරු වන සැබෑ ගැටලුව නම්, අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී මාස ගණනාවක් ගත වී ඇතත්, ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ නමින් නීතිගත ව්‍යවස්ථාපිත අරමුදලක් තවමත් විධිමත් ලෙස පිහිටුවා නොමැති වීමයි. එබැවින්, ‘මුදල් මංකොල්ල කෑවා’ යන ප්‍රකාශය අසත්‍ය වුවද, අරමුදලේ නීතිමය තත්ත්වය සහ එහි විනිවිදභාවය පිළිබඳව මතු වී ඇති ගැටලු පැන නැගී තිබේ.

Result Stamp

Title: ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලේ මි. 5656ක් පරිත්‍යාග ඇතුළත් ගිණුම නැද්ද?

Written By: Pavithra Sandamali

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *