බේරේ වැව පිරිසිදු කිරීමට නහීල් විජේසූරිය මුදල් ලබා දෙන බවට පල වන වාර්තා අසත්‍යයි!

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

කොළඹ බේරේ වැව පිරිසිදු කිරීමේ කටයුතු සඳහා කෙටිකාලීන විසඳුමක් ලෙස මුහුදු ජලය යොදාගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ තාක්ෂණික ව්‍යාපෘතියක් පිළිබඳව සැලසුම් කර ඇති බවත්, මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය පූර්ණ මූල්‍ය දායකත්වය ලබාදීමට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ඉංජිනේරු නහිල් විජේසූරිය මහතා එකඟතාව පළ කර ඇති බවත් සඳහන් කරමින් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ ද වාර්තා කර තිබුණා. මෙම ව්‍යාපෘතිය සඳහා සැබෑ ලෙසම නහීල් විජේසූරිය මහතා විසින් මූල්‍ය අනුග්‍රහය දක්වන්නේද යන්න සොයා බලමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙලෙසින්.

Facebook| Archived Link 

Facebook| Archived Link

මීට අදාළ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ ද හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Facebook| Archived Link 

මෙම සටහන් බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්

Facebook Facebook Facebook Facebook 

ඒ අනුව මෙහි සත්‍ය අසත්‍ය භාවය සොයා බැලීමට අප කටයුතු කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

බේරේ වැව පිරිසිදු කිරීමේ කඩිනම් සහ දිගුකාලීන ඒකාබද්ධ වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැති රැස්වීමකදී කොළඹ බේරේ වැවට මුහුදු ජලය ඇතුළු කර අපවිත්‍ර ජලය සෝදා ඉවත් කිරීමේ කඩිනම් තාක්ෂණික ව්‍යාපෘතියක් මෙන්ම,  කසළ හා මඩ ඉවත් කිරීමේ දිගුකාලීන වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු බවත්, එහිදී ව්‍යාපෘතියේ මුල් අදියර (මුහුදු ජලය ඇතුළු කිරීම) සඳහා නහීල් විජේසූරිය මහතා විසින් සම්පූර්ණ මූල්‍ය දායකත්වය සපයන බවටයි මාධ්‍ය වාර්තා සහ සමාජ මාධ්‍ය ඔස්සේ කරුණු වාර්තා කර තිබුණේ.

ඒ අනුව අප විසින් මේ සම්බන්ධයෙන් තහවුරු කර ගැනීම සඳහා සෘජුවම නහීල් විජේසූරිය මහතාගේ පාර්ශ්වයෙන් විමසීමට කටයුතු කළා.

නහීල් විජේසූරිය මහතා

අප විසින් මේ සම්බන්ධයෙන් නහිල් විජේසූරිය මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාගෙන් විමසීමක් කල අතර එහිදී ඔහු විසින් සඳහන් කළේ, බේරේ වැව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ආධාර නොව, ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය තාක්ෂණික සහ වෘත්තීය උපදෙස්  නොමිලේ ලබා දීමට එකඟ වූ බවයි. මේ සඳහා නහීල් විජේසූරිය මහතා මූල්‍ය දායකත්වය ලබා දෙන බවට පළ වූ වාර්තා අසත්‍ය බව ඔහු එහිදී අවධාරණය කළේය.

නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යය එරංග ගුණසේකර

අප විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ මාධ්‍ය ලේකම් විසින් සඳහන් කළේ, බේරේ වැවේ පවතින අධික දුර්ගන්ධය පිළිබඳව මතු වූ ගැටලු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව, ඒ සඳහා ස්ථිර විසඳුමක් ලබාදීමට අමාත්‍යවරයා ඇතුළු පිරිස තීරණය කර ඇති බවයි. මෙම ස්ථිර විසඳුම ක්‍රියාවට නැංවීමට වසර දෙක හමාරක පමණ කාලයක් ගතවන බැවින්, පවතින දුර්ගන්ධය කඩිනමින් අවම කිරීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව දැනට තාවකාලිකව පිරිසිදු කිරීමේ කටයුතු සහ මඩ ඉවත් කිරීම් ආරම්භ කල බවත් ඔහු අවධාරණය කළේය.

එසේම, ව්‍යාපාරිකයෙකු මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය දායකත්වය සපයන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ පුවත් සාවද්‍ය බවත්, ඒ සම්බන්ධයෙන් පළ වන සටහන් අමාත්‍යාංශය හෝ නිලධාරීන් විසින් නිකුත් කරන ලද නිල නිවේදන නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය. බේරේ වැව සම්බන්ධයෙන් ව්‍යාපෘති යෝජනා කිහිපයක්ම ඉදිරිපත් වී ඇති බවත්, ව්‍යාපාරිකයකුගෙනුත් ඒ සම්බන්ධ යෝජනාවක් පැමිණි බවත්, නමුත් එහි මූල්‍ය දායකත්වයක් පිළිබඳ සඳහන් වී නොමැති බවත්, දැනට බේරේ වැවේ සිදුවන පිරිසිදු කිරීම් කටයුතු වල සම්පූර්ණ පිරිවැය රජය විසින් දරනු ලබන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

මීට අමතරව, බේරේ වැවට මුහුදු ජලය පිරවීම වැනි විවිධ අදහස් ඉදිරිපත් වී තිබුණද, විධිමත් තාක්ෂණික වාර්තාවක් සහ ප්‍රමිතියකින් තොරව එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරන බව ඔහු පැහැදිලි කළේය. දැනට සිදුවන පිරිසිදු කිරීම් තාවකාලික පියවරක් පමණක් වන අතර, වැවට අපද්‍රව්‍ය බැහැර කෙරෙන මලාපවහන පද්ධති පිළිබඳ ගැටලුවලට විසඳුම් සෙවීම ඇතුළු දීර්ඝකාලීන ව්‍යාපෘතිය සඳහා මෙවර අයවැයෙන්ද අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරන බව මාධ්‍ය ලේකම්වරයා විසින් සඳහන් කරන ලදී.

කාලයක් පුරා සිදු වූ අවිධිමත් නාගරීකරණය සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දූෂණයට ලක්ව ඇති බේරේ වැව ප්‍රතිසංස්කරණය කිරීමට මෙහෙයුමක් රජය විසින් ආරම්භ කර ඇති බව දක්වමින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් නැවත මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කර තිබුණි.

මේ සඳහා කඩිනම් විසඳුම් ලබාදීම වෙනුවෙන් බේරේ වැවේ අයිතිය සහ නඩත්තු කටයුතු භාර ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟ එක්ව, එහි ජලය නඩත්තු කිරීම සහ කළමනාකරණය කිරීමේ සෘජු වගකීම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත පවරා ඇති බව එම වාර්තා මගින් දක්වා ඇත.එම මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්.

බේරේ වැව පිරිසිදු කිරීම සහ එම ක්‍රියාදාමයේ තත්ත්වය පැහැදිලි කරමින් නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යය එරංග ගුණසේකර මහතා විසින් සිය නිල සමාජ මාධ්‍ය පිටුව ඔස්සේ සටහනක්ද එක් කර තිබුණි. එමගින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබුණේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් බේරේවැවේ ස්ථාන 35ක් ආවරණය වන පරිදි සිදු කරන ලද විශේෂ ජල සාම්පල පරීක්ෂාවකදී වැවේ ජලයේ නයිට්‍රජන්, පොස්පරස් සහ ඇමෝනියා වැනි අහිතකර රසායනික ද්‍රව්‍ය ඉතා ඉහළ මට්ටමක පවතින බව අනාවරණය වී ඇති බවයි.

මෙම තත්ත්වය මත ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පාවෙන කුණු සහ සුන්බුන් ඉවත් කිරීම, ජලජ වල් පැලෑටි ඉවත් කිරීම, වැව් ඉවුරු පිරිසුදු කිරීම, වතුරේ තත්ත්වය නිරන්තරයෙන් පරීක්ෂා කිරීම සහ දූෂණයට හේතු හඳුනා ගැනීම වැනි ක්‍රියාකාරකම් බේරේ වැව ආශ්‍රිතව ආරම්භ කළ බවට නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පෙන්වා දී ඇත. එම සම්පූර්ණ සටහන මෙතනින්

එසේම මීට අදාළව වීඩියෝවක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ ද බේරේ වැවේ පිරිසිදු කිරීමේ කටයුතු සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යය එරංග ගුණසේකර මහතා විසින් දක්වා තිබූ කරුණු තවදුරටත් පැහැදිලිව ඉදිරිපත් කර තිබුණි. එම වීඩියෝව මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, බේරේ වැව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය සඳහා නහීල් විජේසූරිය මහතා මූල්‍ය ආධාර ලබා දෙන බවට පළ වූ වාර්තා අසත්‍ය බවයි. ඔහු ඒ සඳහා මූල්‍ය ආධාර ලබා නොදෙන අතර, සිය තාක්ෂණික විශේෂඥ දැනුම නොමිලේ ලබා දෙන බව ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහා නගර සභාව ඒකාබද්ධ ව්‍යාපෘතියක් හරහා බේරේ වැව පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කර ඇත. 

Result Stamp

Title: බේරේ වැව පිරිසිදු කිරීමට නහීල් විජේසූරිය මුදල් ලබා දෙන බවට පල වන වාර්තා අසත්‍යයි!

Fact Check By: B.P Hansani

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *