දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
බලහත්කාර ශ්‍රමය යොදාගනිමින් නිෂ්පාදනය කරන භාණ්ඩ මෙරටට ආනයනය කිරීම තහනම් කිරීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය සමඟ මෙරට අපනයන භාණ්ඩ සඳහා පැනවීමට යෝජිතව තිබූ ඇමරිකානු අතිරේක තීරුබදු ප්‍රතිශතය 12.5% සිට 10% දක්වා අඩු කිරීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙම නවතම තත්වය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් අප විසින් සිදු කරන කරුණු පැහැදිලි කිරීම පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ඇමරිකානු අතිරේක තීරු බදු ප්‍රතිශතය අඩු කිරීමත් සමඟ, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ඒ සම්බන්ධයෙන් විවිධ සටහන් හුවමාරු වී තිබුණි.

මේ සම්බන්ධ සටහන් තවදුරටත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.


ඒ අනුව මෙම බදු ප්‍රතිශතය අඩු කිරීමේ තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට අප විසින් කටයුතු කළා.
කරුණු පැහැදිලි කිරීම (Explainer);
ඇමරිකා එක්සත් ජනපදයේ 1974 වෙළඳ පනතේ 301 වගන්තිය (Section 301) යටතේ සිදුකළ විමර්ශනයකට අනුව, බලහත්කාර ශ්‍රමය භාවිතයෙන් නිපදවන භාණ්ඩ ආනයනය වැළැක්වීමට ප්‍රමාණවත් පියවර නොගත් රටවල් 60ක් හඳුනාගෙන තිබුණි. 2026 මාර්තු 12 දින බලහත්කාර ශ්‍රමයෙන් නිපදවන භාණ්ඩ ආනයනය වැළැක්වීමට අපොහොසත් වූ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60ක ප්‍රතිපත්ති පිළිබඳව USTR ආයතනය මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.
බලහත්කාර ශ්‍රමය සහ බලහත්කාර ශ්‍රමයෙන් නිපදවන භාණ්ඩ යනු මොනවාද ?
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) අංක 29 දරන බලහත්කාර ශ්‍රම සම්මුතිය අනුව, බලහත්කාර ශ්‍රමය යනු කිසියම් තර්ජනයක් මත, පුද්ගලයෙකුගේ කැමැත්තෙන් තොරව, බලහත්කාරයෙන් ලබාගන්නා ඕනෑම ආකාරයක කාර්යයක් හෝ සේවාවකි. නිෂ්පාදන ක්‍රියාවලියේ කුමන හෝ අවස්ථාවක, සෘජුව හෝ වක්‍රව ඉහත සඳහන් කළ බලහත්කාර ශ්‍රමිකයන්, වහල් සේවකයන් හෝ ළමා ශ්‍රමිකයන් යොදාගනිමින් නිපදවන ලද, පතල් කැණීම් කරන ලද හෝ නිෂ්පාදනය කරන ලද ඕනෑම අමුද්‍රව්‍යයක් හෝ නිමි භාණ්ඩයක් බලහත්කාර ශ්‍රමයෙන් නිපදවන ලද භාණ්ඩ යටතට අයත් වේ. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
2026 ජූනි 5 දිනැති ෆෙඩරල් ලේඛනය මගින් (91 FR 34272), බලහත්කාර ශ්‍රමයෙන් නිපදවන භාණ්ඩ ආනයනය සම්බන්ධයෙන් 301 වගන්තිය යටතේ විමර්ශනය කර යෝජිත තීරුබදු පැනවීම් පිළිබඳව නිවේදනය කළේය. 2026 ජූනි 5 දිනැති ෆෙඩරල් ලේඛනය (91 FR 34272) අනුව, ශ්‍රී ලංකාව බලහත්කාර ශ්‍රමයෙන් නිපදවන භාණ්ඩ ආනයනය වැළැක්වීමේ දේශීය නීති ප්‍රමාණවත් නොවන ආර්ථිකයන් 60 ක ලැයිස්තුවට ඇතුළත් කර තිබුණි. මෙම තත්ත්වය මත ශ්‍රී ලාංකික භාණ්ඩ සඳහා 12.5% ක තීරුබද්දක් යෝජනා කර තිබුණි. වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින්.
මෙම 12.5%ක අතිරේක බදු ප්‍රතිශතය ශ්‍රී ලංකාවෙන් සැබවින්ම අය කර නැත. එය ඇමරිකාව විසින් පැනවීමට යෝජනා කර තිබූ බද්දක් පමණි.
ශ්‍රී ලංකාව විසින් බලහත්කාර ශ්‍රමයෙන් නිපදවූ භාණ්ඩ ආනයනය තහනම් කිරීම සමග සිදු වූයේ කුමක්ද ?
12.5% ක අතිරේක බදු ප්‍රතිශතය පැනවීම සම්බන්ධයෙන් අමෙරිකාවෙන් එල්ල වූ දැඩි ආර්ථික බලපෑමෙන් දේශීය අපනයනකරුවන් ආරක්ෂා කරගැනීම සඳහා මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2026 ජූලි 10 වැනිදා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී. එමඟින්, පූර්ණ හෝ අර්ධ වශයෙන් බලහත්කාර ශ්‍රමය මඟින් නිෂ්පාදනය කරන කිසිදු භාණ්ඩයක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කෙරිණි. එමෙන්ම, ආනයනය කරනු ලබන භාණ්ඩ බලහත්කාර ශ්‍රමයෙන් තොරව නිපදවූ ඒවා බවට වන සහතික ලේඛන ශ්‍රී ලංකා රේගු අධ්යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කිරීමද අනිවාර්ය විය. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
ශ්‍රී ලංකා රජය විසින් ගනු ලැබූ මෙම සාධනීය පියවර සැලකිල්ලට ගනිමින් ඇමරිකානු පරිපාලනය සිය පෙර තීරණය සංශෝධනය කර ඇත. ඒ අනුව, බලහත්කාර ශ්‍රම ආනයන නීති පැනවූ රටවල් 17ක අවම බදු කාණ්ඩය (10% කාණ්ඩය) වෙත ශ්‍රී ලංකාව ඇතුළත් කිරීමට USTR ආයතනය පියවර ගෙන තිබේ.
මෙම සහනය ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාව, බංග්ලාදේශය, කැනඩාව සහ එක්සත් රාජධානිය වැනි රටවල් කිහිපයකට හිමිව ඇති අතර චීනය, වියට්නාමය සහ යුරෝපා සංගමය වැනි ප්රමුඛ වෙළඳපොළවල් රැසකට තවදුරටත් 12.5%ක ඉහළ බදු ප්‍රතිශතයකට මුහුණ දීමට සිදුව ඇත. වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින්.
දැනට ක්‍රියාත්මක වන 10% බද්දේ ස්වභාවය
ඇමරිකානු රජයේ මූලික අරමුණ විදේශීය භාණ්ඩ මත අවම වශයෙන් 10%කවත් ගෝලීය අතිරේක බද්දක් පවත්වා ගැනීමයි. ඒ අනුව මේ වන විට රටවල් කාණ්ඩ දෙකකට බෙදා අතිරේක තීරුබදු අය කිරීමේ මෙම වෙළඳ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු ලැබේ. ඒ අනුව, 10% අතිරේක බදු බරක් ජූලි 24 සිට මෙරට සහ අනෙකුත් බලහත්කාර ශ්‍රමයෙන් නිපදවූ භාණ්ඩ ආනයනය තහනම් කර ඇති රටවලට අත්විඳීමට සිදුව ඇත.
බලහත්කාර ශ්‍රමයෙන් නිපදවූ භාණ්ඩ ආනයනය තහනම් කර නොමැති රටවලට 12.5% ක බදු බරක් අත් විඳීමට සිදුව ඇත. එනම් ශ්‍රී ලංකාව 12.5% බද්දෙන් නිදහස් වුවද, ඇමරිකාවේ පොදු දේශීය ව්‍යාපාර ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තිය යටතේ 10%ක අවම අතිරේක බද්ද ගෙවීමට සිදුව ඇත. වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්
2026 පෙබරවාරියේ සිට පනවා තිබූ දින 150කට බලපැවැත්වුණු 10% තාවකාලික තීරුබද්ද කල් ඉකුත් වීමෙන් පසු නව බදු ක්‍රමය ජූලි 24 සිට ක්‍රියාත්මක වේ.
ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා මුලින් 44% තීරුබද්දක් අය කිරීමට කටයුතු කළ අතර, පසුව එය 20% දක්වා අඩු කරන ලදී. 2026 පෙබරවාරි මාසයේදී එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එරට ජනාධිපතිවරයා මීට පෙර රටවලට තීරුබදු පැනවීමේදී ඔහුගේ අධිකාරිය ඉක්මවා ගොස් ඇති බවට තීන්දු කළේය. පනවා තිබූ ප්‍රධාන බදු රාජකාරි රැසක් අධිකරණය විසින් අත්හිටුවන ලදී.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් සිය බදු ප්‍රතිපත්තිය අඩාල වූ පසු, ට්‍රම්ප් පරිපාලනය ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් හිමිවන හදිසි අවස්ථා බලතල ක්‍රියාත්මක කළේය. මෙම හදිසි බලතල යටතේ දීර්ඝකාලීන බදු පැනවිය නොහැකි බැවින්, දේශීය ව්‍යාපාර බිඳවැටීම වැළැක්වීමේ හදිසි පියවරක් ලෙස දින 150ක උපරිම කාලයකට පමණක් සීමා වූ 10%ක තාවකාලික ආනයන තීරුබද්දක් පැනවීමට ජනාධිපතිවරයා කටයුතු කළේය. ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ සියලුම රටවල් මෙතෙක් යටත්ව සිටියේ මෙම හදිසි තාවකාලික බද්දටයි. දින 150කට පනවන ලද මෙම තාවකාලික බදු කාලය 2026 ජූලි 24 වැනි සිකුරාදා නිල වශයෙන් කල් ඉකුත් විය. ඒ සමඟම, ජූනි මාසයේ 301 වගන්තිය යටතේ සැලසුම් කළ “බලහත්කාර ශ්‍රම විරෝධී නව බදු ක්‍රමය” ධවල මන්දිර නිල විධායක නියෝගය අනුව ලෝකය පුරා ක්‍රියාත්මක කිරීම ජූලි 24 සිට ආරම්භ විය. වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
නව බද්දෙන් නිදහස් භාණ්ඩ මොනවාද ?
ඇමරිකාවේ නව බදු ප්‍රතිපත්තිය යටතේ ඖෂධ, වෛද්‍ය උපකරණ, සහ ඇතැම් අභ්‍යවකාශ හා කෘෂිකාර්මික නිෂ්පාදන අතිරේක බද්දෙන් නිදහස් කර ඇති අතර, දැනටමත් වෙනත් බදු පවතින වානේ සහ ඇලුමිනියම් වැනි ද්‍රව්‍යද තවදුරටත් බදු ඉහළ දැමීමෙන් වළකා ඇත. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයනය වන ඇඟලුම් සහ රබර් නිෂ්පාදන ඇතුළු සෙසු කාර්මික නිමි භාණ්ඩ මත 10%ක අතිරේක බද්ද 2026 ජූලි 24 දින සිට අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වේ. වැඩිදුර තොරතුරු මෙතනින්.
මෙම 10%ක බදු ප්‍රතිශතය යනු ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ මත වැටෙන මුළු බදු ප්‍රමාණය නොවේ. එය සාමාන්‍ය තීරුබදු වලට අමතරව එකතු වන අතිරේක බද්දකි. ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට භාණ්ඩ යැවීමේදී දැනටමත් ගෙවන සාමාන්‍ය රේගු බදු ප්‍රතිශතයන් එලෙසම පවතී. මෙම 10%ක බද්ද එකතු වන්නේ එම සාමාන්‍ය බදු මුදලට අමතරව පනවන අතිරේක බද්දක් ලෙසයි. ඒ අනුව 2026 ජූලි 24 දින සිට ක්‍රියාත්මක වන පරිදි, නව 10% ක තීරුබදු එකතු කිරීමත් සමඟ, ශ්‍රී ලාංකික ඇඟලුම් සඳහා බලපැවැත්වෙන සමස්ත තීරුබදු ප්‍රමාණය සාමාන්‍යයෙන් 26.5% දක්වා ඉහළ යනු ඇත. එසේම, රබර් නිෂ්පාදන වැනි අනෙකුත් අපනයන අංශ, 2% ත් 5% ත් අතර බදු අනුපාතවලට මුහුණ දෙන අතර, දැන් 12% සිට 15% දක්වා පරාසයක මුළු තීරුබදු බලපැවැත්වෙනු ඇත.වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරාල
මේ සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කර ගැනීම සඳහා අප විසින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතාගෙන් විමසීමක් කළා. එහිදී ඒ මහතා විසින් සඳහන් කළේ,
“ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ලෝකයේ රටවල් වල වෙළඳ හිඟය පදනම් කරගෙන තමයි ආරම්භක බදු පැනවීමක් සිදු කරනු ලැබුවේ. නමුත් ඒ බදු කාලෙන් කාලෙට වෙනස් කරමින් ඔවුන් ක්‍රියා කරනු ලැබුවා. අවසානයේදී ඒ ක්‍රමය තුළ බදු වැඩි කිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ඇමෙරිකානු ජනාධිපතිවරයාට බලයක් නොමැති බවට අධිකරණය මගින් තීන්දු කරනු ලැබුවා. ඊට පස්සේ තමයි වෙනත් උපාය මාර්ග ඔස්සේ බදු පැනවීම් සඳහා ක්‍රියා කිරීමක් දක්නට ලැබුණේ. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි මේ බලහත්කාර ශ්‍රමය භාවිතා කරලා භාණ්ඩ නිෂ්පාදනය කරන රටවල් ඉලක්ක කරගෙන 10%ත් 12.5%ත් අතර ප්‍රමාණයක බදු පැනවීමක් සිදු කළේ. දැන් මේ බදු පැනවීම පිළිබඳව ආරම්භක ප්රකාශනයත් සමඟ ලංකාව ඇතුළු සමහර රටවල් මේ බලහත්කාර ශ්‍රමය භාවිතා කරලා භාණ්ඩ ආනයනය කිරීම තහනම් කරමින් එය නැවැත්වීම සඳහා ක්‍රියා කිරීමක් දක්නට ලැබුණා. නමුත් සමහර රටවල් ඒ සඳහා යම් ආකාරයකට අනුගත වීමක් දක්නට ලැබුණේ නැහැ. මෙන්න මේක පදනම් කරගෙන තමයි එවැනි රටවලට 12.5%ක බදු පැනවීම සඳහා ක්‍රියා කිරීම දක්නට ලැබුණේ.
අනෙකුත් රටවල් වලට 10%ක් වැනි බදු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලැබුවා.
දැන් මේ තුළ ලංකාව වැනි රටකට සිදුවිය හැකි බලපෑම් පිළිබඳව කෙනෙක් ප්‍රශ්න කරන්නට පුළුවන්. නමුත් ඇත්තටම ලංකාවට ධනාත්මකව යම් ආකාරයකට මේක බලපාන්න පුළුවන්. මොකද අපේ තරඟකරුවන්ට 12.5%ක් තියෙනකොට අපිට 10%ක වගේ බද්දක් තියෙනවා නම්, එතකොට ඒක ලංකාවේ භාණ්ඩ ඇමෙරිකාව තුළ තරඟකාරීත්වය ඉහළ නැංවීම සඳහා අනෙකුත් රටවල් වලට සාපේක්ෂව බලපාන්නට පුළුවන්කම තිබෙනවා. දැන් අපි විශේෂයෙන්ම අපනයනය කරනු ලබන්නේ ඇඟලුම්, තේ, රබර් නිෂ්පාදන, එළවළු, පළතුරු වැනි දේවල්. මේවා සඳහා තමයි මේක අදාළ වීමක් දක්නට ලැබෙන්නේ. නමුත් මේවා තරඟකාරීව අපනයනය කරනු ලබන සමහර රටවල් වලට 12.5%ක වැනි බද්දක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ තුළ ලංකාවේ අපනයන ක්ෂේත්රයට, විශේෂයෙන්ම ඇමෙරිකාවට සිදු කරනු ලබන අපනයනවලට දැඩි බලපෑමක් සිදුවෙයි කියලා අපිට අපේක්ෂා කරන්නට අමාරුයි. මොකද ලංකාව ඇමෙරිකාවට අපනයනය කරන බොහොමයක් දේවල් ලංකාවේ සන්නාම (brand) යටතේ යන ඒවා.එතකොට ඒ සන්නාමවලට තමයි ඉල්ලුමක් පවතින්නේ.
ඉතින් ඒවා බොහෝ වෙලාවට අනම්‍ය ස්වරූපයේ ඉල්ලුමක් තමයි දක්නට ලැබෙන්නේ. ඉතින් මම හිතන්නේ සමහර අය තර්ක කරන විදිහට සෘණාත්මකව බලපායි කියලා අපිට හිතන්න අමාරුයි. අනිත් පැත්තෙන් ලෝකයේ එකම බදු ක්‍රමයක් හැම රටකටම ක්‍රියාත්මක කරනකොට ඒ තුළ අන්තර්ජාතික වෙළඳාමට සිදුවිය හැකි බලපෑම ඉතාමත් අවම මට්ටමක පවතින්නේ. ඉතින් මෙය එක් රටක් දෙකක් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වෙච්ච බදු ක්‍රමයක් නෙමෙයි. මේ ලෝකයේ රටවල් 60ක් පමණ සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක කරන බදු ක්‍රමයක්. ඉතින් ඒ තුළ ඇමෙරිකාවේ ජනතාවගේ පාරිභෝජන රටාවේ නැත්නම් ඔවුන්ගේ ආදායම් වල ලොකු වෙනසක් සිදු වෙන්නේ නැත්නම්, ආදායම් කඩා වැටීමක් සිද්ධ වෙන්නේ නැත්නම් අපේ ආර්ථිකයට සෘණාත්මකව බලපෑමක් සිදුවෙයි කියලා අපිට හිතන්නට අමාරුයි”. යනුවෙනි.
ඒ අනුව පැහැදිලි වන්නේ, ඇමරිකාව විසින් 1974 ඇමරිකානු වෙළඳ පනත යටතේ 301 වගන්තියෙන් බලහත්කාර ශ්‍රමය පිළිබඳ සිදු කරන ලද විමර්ශනයක් මත පදනම්ව යෝජිත බදු ක්‍රමය ඔස්සේ බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ තහනම් කර ඇති රටවලට 10%ක අතිරේක තීරු බද්දක් සහ අනෙකුත් රටවල් සඳහා 12.5% ක අතිරේක තීරු බද්දක් පැනවීමට කටයුතු කර ඇත. ආරම්භයේදී ශ්‍රී ලංකාව අයත් වූයේ මෙම 12.5% ඛාණ්ඩයටයි. කෙසේ නමුත් මෙම බදු ප්‍රතිශතය මෙරටින් අය කර ගැනීමක් කිසි දිනෙක සිදු ව නොමැති අතර, ඒ සඳහා යෝජනා වී තිබිණි. ශ්‍රී ලංකාව විසින් බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ ආනයනය කිරීම තහනම් කිරීමත් සමඟ ශ්‍රී ලංකාව 10%ක බදු ඛාණ්ඩයට මාරු කරන ලදී. ඒ අනුව යෝජිත බදු අනුපාත දෙකෙන් අවම බදු අනුපාතයට යටත් වීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇත. ජූලි 24 සිට 10%ක මෙම අතිරේක තීරු බද්දට යටත් වීමට ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් බලහත්කාර ශ්‍රමයෙන් නිපදවන භාණ්ඩ තහනම් කරන ලද රටවලට සිදු වේ. එවැනි බලහත්කාර ශ්‍රම භාණ්ඩ ආනයන තහනම් නොකළ රටවලට 12.5% ක බදු ප්‍රතිශතයකට යටත් වීමට සිදුවේ. ශ්‍රී ලංකාවට අය කෙරෙන මෙම 10%ක අතිරේක තීරු බද්ද අමතරව එකතු වන අතිරේක බද්දක් මිස, ඇමරිකාව තුළදී ශ්‍රී ලංකාවේ භාණ්ඩවලට අය කෙරෙන මුළු බදු ප්‍රමාණය නොවේ. එසේම මීට පෙර 2026 පෙබරවාරි සිට දින 150ක කාලයක් සඳහා ක්‍රියාත්මක වුණු තාවකාලික ආනයනය අතිරේක බද්දක් ද වූ අතර එය අවසන් වීමට නියමිතව තිබුණේ 2026 ජූලි 24 දිනයි. ඒ අනුව එය අවසන් වන දින සිට මෙම නව බද්ද ක්‍රියාත්මක වේ.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok


