හිතවත්කම මත නදීක ගුරුගේ මහතාගේ බිරිඳව මෙවර CHOGM සමුළුවට යැව්වා ද? ඇත්ත කතාව මෙන්න !

Misleading Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ජාතික ජන බලවේගය රජය බලයට පත්වීමත් සමඟ ඔවුන් ගන්නා තීන්දු තීරණ සහ ඇතැම් ක්‍රියාමාර්ග පිළිබඳ සමාජය නොමඟ යවන සුළු බොහෝ සමාජ මාධ්‍ය සටහන් සංසරණය වුණා. මෑත කාලීනව විවිධ සිදුවීම් අලළා මෙවැනි අසත්‍ය සටහන් සංසරණය වීම තීව්‍ර වී තිබෙනවා. ඇතැම් විට එම සටහන් පුද්ගල චරිත කෙරෙහිද අයහපත් බලපෑමක් සිදුකරන ආකාරයේ සටහන් බව පෙනී යනවා. මේ එවන් සමාජ ජාලා සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක් .

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ජාතික ජන බලවේගය රජය විසින් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා ජනප්‍රිය ගයක නදීක ගුරුගේ මහතාගේ බිරිඳව හිතවත්කම මත සහ මිලියන ගණනක් වියදම් කරමින් සහභාගී වීමට අවස්ථාව සැලසූ බවට විවිධ සටහන් මේ දිනවල ෆේස්බුක් සහ වට්ස් ඇප් සමාජ මාධ්‍යය තුළ සංසරණය වනවා.

FB/ Archive |FB/ Archive | FB/ Archive

මෙම සටහන්වල වැඩිදුරටත් සඳහන් වන්නේ මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව ඕස්ට්‍රේලියාව ආසන්නයේ දූපත් රාජ්‍යයක් වන සමෝවාහිදී පැවැත්වුණු බැවින් ඒ සඳහා ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්‍යාලයේ චිත්‍රාංගනී වාගීෂ්වර නම් නිලධාරිනියක්ව අඩු වියදමකින් මෙම සමුලුව සඳහා සහභාගී නොකර බ්‍රිතාන්‍යය මහ කොමසාරිස්වරිය ලෙස සේවය කරන නදීක ගුරුගේ මහතාගේ බිරිඳ සහභාගී කර ඇති බවයි. ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවූ බවත් හැඳුනුම්කම මත රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් මෙය සිදුකළ බවටත් මෙම සටහන් තුළින් ජාතික ජනබලවේග රජයට චෝදනා කර තිබෙනවා.

නදීක ගුරුගේ මහතා ජාතික ජනබලවේගය සඳහා ජනාධිපතිවරණයේදී සහය පලකිරීම හේතුවෙන් මෙම චෝදනාව එල්ල කර තිබෙනවා.

මේ පිළිබඳව කරුණු විමසීමක් සිදුකිරීමට අප තීරණය කළා.

Fact Check (කරුණු විමසා බැලීම) :

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව 2024 ඔක්තෝබර් මස 24 දින සිට 26 දින දක්වා, “අභියෝගයන්ට මුහුණදිය හැකි අනාගතයක්: අර්ථකාරී පොදු රාජ්‍ය මණ්ඩලයක්” යන්න තේමාවෙන් සැමෝවාහි අපියාහි දී පැවැත්වෙනවා.

මෙම පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක හෝ අමාත්‍යවරුන් සහභාගී නොවන බව 2024/10/22 පැවැත්වුණු කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා දැනුම්දීමක් සිදුකරනු ලැබුවා. ඔහු එහිදී සඳහන් කළේ කැබිනට් මණ්ඩලයේ වගකීම් දැරීමත්, මැතිවරණයක් ආසන්නයේ පැවැත්වීමට නියමිත කාලවකවානුවක් බැවින් මෙම සමුළුව සඳහා සහභාගී විය නොහැකි බවයි. ඒ සඳහා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්‍යාලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙක් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරින්ගෙන් සමන්විත දූත පිරිසක් සහභාගී වන බවයි එම මහතා සඳහන් කළේ මෙලෙසින්..(3.48 – 5.10)

ඒ බව මෙරට ප්‍රධාන මාධ්‍යය ද වාර්තා කර තිබුණේ මේ අයුරින්, මේ අයුරින් සහ මේ අයුරින්.මීට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව සඳහා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් අතර ප්‍රවීණ ගායක, සංගීතවේදී නදීක ගුරුගේ මහතාගේ බිරිඳ වන මනෝරි මල්ලිකාරච්චි මහත්මිය නිලධාරිනියක් ලෙස සහභාගීවන බව හුවා දක්වමින් යම් චෝදනාත්මක ස්වරූපයෙන් මාධ්‍ය වාර්තා කිරීම් සිදුකර තිබේද යන්න අප සොයා බැලීමක් සිදුකළා. නමුත් ප්‍රධාන මාධ්‍ය එවන් වාර්තා කිරීමක් සිදුකර ඇතිබවක් අපට දැකගත නොහැකි විය. නමුත් SL Story News, Gossip Kade යන වෙබ් අඩවිවල එවන් චෝදනාත්මක ස්වරූපයේ වාර්තා කිරීමක් සිදුකර තුබූ බව අපට දැකගත හැකි වුණා.

අප මේ පිළීබඳව විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය අංශයෙන් විමසීමක් සිදුකළා. ඔවුන් පවසා සිටියේ නදීක ගුරුගේ මහතාගේ බිරිඳ, මනෝරි මල්ලිකාරච්චි වසර 21 පුරා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක් ලෙස සේවය කරන බවයි. ඇය වසර කිහිපයකට පෙර බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ සේවය සඳහා පත්කර ඇති අතර මේ වන විට නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය ලෙස සේවය කරන බවයි. ඇයගේ පත් කිරීම අලුතින් ජාතික ජන බලවේගයේ රජයක් යටතේ සිදුකරනු ලැබූවක් නොවන බවත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක් ලෙස ඇය සහභාගී වුනු බවත් විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය අංශය අප වෙත පැවසුවා. ඔවුන් වැඩි දුරටත් සඳහන් කළේ පොදු රාජ්‍ය මණ්ඩලය නිර්මාණය වීමෙහිලා බ්‍රිතාන්‍ය මුල් වී ඇති බැවින් සහ බ්‍රිතාන්‍ය, එම සමුළුවට සෘජුව සම්බන්ධ රටක් වශයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය සමුළුවට ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් නියෝජිතයින් සහභාගී කරවීමට වඩා වඩාත් සුදුසු නියෝජිතයින් ලෙස බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්‍යාලයේ නියෝජිතයින් සහභාගී කරවීමට විදේශ කටයුතු අමාත්‍යංශය තීරණය කළ බවයි.

එමෙන් ම එම තීරණය ජාතික ජන බලවේගයට සහය් දැක්වූ නදීක ගුරුගේ මහතාගේ බිරිඳ සිටින බවට සලකමින් ගත් තීරණයක් නොවන බවත් පසුගිය පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවලට ද බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙන් නියෝජිතයින් සහභාගී වූ බවයී ඔවුන් අප වෙත පැවසුවේ. එමෙන් ම මෙම සමුළුව සඳහා නදීක ගුරුගේ මහතාගේ බිරිඳ පමණක් සහභාගී නොවූ බවත් නියෝජිත පිරිසක් සහභාගී වූ බවත් ඒ අතර නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය ලෙස නදීක ගුරුගේ මහතාගේ බිරිඳ සිටිබවයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය සඳහන් කළේ.

කෙසේ වෙතත් මනෝරි මල්ලිකාරච්චි මහත්මිය සම්බන්ධයෙන් අප කළ පරීක්ෂාවේදී දැක ගන්නට ලැබුණේ ඇය 2022 වසරේ විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කර ඇති බව ත්, 2023 වසරේ සිට බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙසත් කටයුතු කරන බවයි. ඒ සම්බන්ධයෙන් එම වකවාණුවල පළ වූ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ රජයේ නිල පුවත් වෙබ් අඩවියේ පළ වී තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link| Archived Link

මෙම සිදුවීම පිළිබඳව අප ජාතික ජනබලවේගයේ මාධ්‍ය අංශයෙන් ද විමසීමක් සිදු කරනු ලැබුවා. ඔවුන් ද අප වෙත පැවසුවේ බ්‍රිතාන්‍යයේ යටත් විජිත බවට පත්ව සිටි රාජ්‍යයන්ගෙන් පොදු රාජ්‍ය මණ්ඩලය නිර්මාණයවී ඇති බැවින් පොදුරාජ්‍ය මණ්ඩලය සහ බ්‍රිතාන්‍ය අතර පවතින සම්බන්ධතාව මත මෙම තීරණය ගෙන ඇති බවයි. නව පත් කිරීමක් සිදුකර නදීක ගුරුගේ මහතාගේ බිරිඳ මේ සඳහා සහභාගී නොකළ බවත් ඇය පෙර සිටි නිලධාරිනියක් ලෙස මෙම සමුළුව සඳහා සහභාගී වූ බවයි. එහිදී ඔවුන් වැඩිදුරටත් පවසා සීටියේ ජාතික ජන බලවේගය රජය පත්වීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා සඳහා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු නියෝජිතයින් පිරිසක් සහභාගී වූ අතර එහි ප්‍රධානියා ලෙස සහභාගීවූයේ එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රීවරයෙකු මහින්ද සමරසිංහ වන බවයි. ඔහු ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ලෙස ඒ සඳහා සහභාගී විය. එහිදී ද හැඳුනුම්කම මත හෝ පක්ෂ බේද නොසලකා අදාළ නිලධාරීන් යොමු කළ අතර මෙය ද එවැන්නක් බවයි ජාතික ජනබලවේග මාධ්‍ය අංශය සඳහන් කලේ.

බ්‍රිතාන්‍ය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව පිළිබඳ වැඩිදුර තොරතුරු BBC සිංහල, The Commonwealth යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් දැනගත හැකියි.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (නිගමනය):

මෙම විමර්ශනය මඟින් පැහැදිලි වනුයේ 2024 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය සමුළුව සඳහා ජනාධිපති අනුර දිසානායකට සහ අමාත්‍යවරුන්ට සහභාගී වීමට නොහැකිවීම මත බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් සහභාගී වූ අතර එම නිලධාරීන් අතර සංගීතවේදි නදීක ගුරුගේ මහතාගේ බිරිඳ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහකොමසාරිස් ලෙස සහභාගී වූ බවයි. එමෙන් ම ඔස්ට්‍රේලියාවට වඩා පොදු රාජ්‍ය මණ්ඩලයට බ්‍රිතාන්‍ය සමඟ සම්බන්ධතාවක් පවතින බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි. ඒ අනුව සියලු කරුණු වලින් පැහැදිලි වනුයේ නදීක ගුරුගේ මහතා ජාතික ජනබලවේගයට සහය පළ කිරීම හේතුවෙන් හැඳුනුම්කම මත පොදු රාජ්‍ය මණ්ඩලයේ නියෝජනය සඳහා ඔහුගේ බිරිඳ යවා නොමැති බවයි. එමෙන් ම ඕස්ට්‍රේලියාවේ මහ ලේකම් කාර්යාලයේ නියෝජිතයින් අඩු වියදමකින් මෙම සමුළුව සඳහා සහභාගී කරවීමට හැකියාව තිබියදී නියෝජ්‍ය බ්‍රිතාන්‍ය මහ ලේකම්වරිය ලෙස නදීක ගුරුගේ මහතාගේ බිරිඳ වැඩි වියදමක් දරමින් හැඳුනුම්කම මත සහභාගී කර වූ බව පැවසෙන සමාජ මාධ්‍ය සටහන් සහ පුවත් අසත්‍ය බවයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *