ආහාර වල ගුණාත්මක භාවය පිළිබඳව කරුණු විමසමින් පලකරන සටහන් බොහොමයක් දැකගන්නට පුළුවන්. කිරිපිටි සම්බන්ධයෙන් ද මෙවැනි සටහන් බොහෝ ලෙස හුවමාරු වන අතර ආනයනික කිරිපිටි වල ඩයිසයිනමයිඩ් (DCD) රසායනික සංයෝගය අඩංගු බවට ඉදිරිපත්ව තිබු නොමඟ යවන සුළු සටහන් පෙළක් පිළිබඳව අප සිදුකල විමර්ශන වාර්තාව මෙතනින්.

එසේම ලංකාවට ආනයනය කරන සම්පුර්ණ යොදය සහිත ආනයනික කිරිපිටිවල සත්ව මේදය සහ කටුපොල් මේදය අඩංගු බවට සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන මාධ්‍ය ධාරාවේද වරින් වර ප්‍රවෘත්ති දක්නට ලැබේ. මෙවැනි සටහන් පිලිබඳ අප සිදුකරන ලද විමර්ශනයේදී තහවුරු වුයේ පසුගිය වසරේ සිට ලංකාවට ආනයනය කෙරෙන සෑම සම්පුර්ණ යොදය සහිත කිරිපිටි තොගයක් ම විශේෂ නියැදි පරීක්ෂාවකට ලක් කෙරෙන අතර එවැනි කිසිඳු පරීක්ෂාවකදී ඌරු තෙල් හෝ පාම් ඔයිල් අඩංගු බවට අනාවරණය වී නොමැති බවයි.

සමාජ මාධ්‍ය සටහන්:

“බොන්න එපා ඌරු තෙල් - ලැක්ටෝස් විස කලවම් කිරිපිටි.. බොන්න ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත හයිලන්ඩ් - පැලවත්ත කිරිපිටි” යනුවෙන් ආනයනික සහ දේශීය කිරිපිටි සන්නාම කිහිපයක ඇසුරුම් වල ඡායාරුප ද සහිතව සටහන් පෙළක් විටින් විට හුවමාරු වනු අපට දැකගනන්ට ලැබුණි.

Facebook | Archived

මේ තේමාවෙන් ම හුවමාරු වූ සටහන් පෙළක් පහතින්.

මෙම සටහන් වලට ප්‍රතිචාර වශයෙන් ලංකාවේ වෙළඳ පොළේ දේශීය සන්නාම ඉක්මනින් අවසන් වීම පිලිබඳ ව ද බොහෝ දෙනා සටහන් කර තිබුණි. කෙසේ වෙතත් කාලයක් පුරා විටින් විට හුවමාරු වන මෙම සටහන් පිලිබඳ කරුණු විමර්ෂණයක් සිදුකිරීමට අප අදහස් කළෙමු.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ලංකාවේ ආනයනික කිරිපිටි පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් 2019 වසරේ පැවති බවට මෙවැනි වාර්තා පලවී තිබුනි. එහිදී සම්පුර්ණ යොදය සහිත කිරිපිටි සන්නාමයන් වන ඇන්කර් සහ රත්ති ෆොන්ටෙරා සමාගම ද, මැලිබන් සහ මෙල්කො සන්නාම මැලිබන් සමාගම ද, කැන්ඩි සන්නාමය ෂාලංකා ට්‍රේඩින් සමාගම ද, මිල්කා සන්නාමය මිලරස් සමාගම ද ඩයමන්ඩ් සන්නාමය පී එම් මොහොමඩ් අලි සමාගම ද ආනයනය කරන බවක් දක්වා තිබුණි. එම සෑම සන්නාමයකම වාගේ නිෂ්පාදිත රට නවසිලන්තය බව දක්වා තිබු අතර අරියා සන්නාමය ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කරන බවත් දක්වා තිබුනා.

ලංකාවට කිරිපිටි ආනයනය කරණු ලබන්නේ 1980 අංක 26 දරණ පණත යටතේය. 2003 වසරේ මෙම පණත යටතේ ඉදිරිපත් කළ රෙගුලාසි වලට අනුව ආනයනය කරන කිරිපිටි වල යොදය සම්පූර්ණයෙන්ම ස්වාභාවික කිරි මේදය විය යුතු අතර එහි සංයුතිය 26%ක් විය යුතුය.

එසේම ලංකාවට ආනයනය කරන කිරිපිටි, නිෂ්පාදනය කරන රටෙහි පිළිගත් තත්ත්ව සහතික ආයතනයක් විසින් ප්‍රමිතිය සහතික කර තිබිය යුතුය. එමෙන්ම ආනයනික කිරිපිටි ලංකාවේ වෙළදපලට නිකුත් කිරීමට ප්‍රථම, එම කිරිපිටි තොගයෙහි තත්වය පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS 731:2008 ප්‍රමිතියට අනුකූල බවට තත්ව සහතිකයක් ද තිබිය යුතුය.

කිරිපිටි ආනයන සමාගම් කිහිපයකින් ලංකාවට කිරිපිටි තොගයක් පැමිණ, වෙළඳපළට නිකුත් කිරීමට පෙර සිදුවන පරීක්ෂණ පිළිබඳ විමසුවෙමු. කිරිපිටි තොගයක් දිවයනට ළඟාවු විට ශ්‍රී ලංකා රේගුව, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මෙම තොගවලින් අහඹු නියදි ගෙන විවිධ පරීක්ෂණයන්ට භාජනය කරන බව එහිදී අනාවරණය විය. මෙම පරීක්ෂණවල ප්‍රධාන ස්ථානයක් හිමි වන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට බව ද දැනගනන්ට ලැබුණි.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) පැහැදිළි කිරීම :

එමනිසා ලංකාවට ආනයනය කෙරෙන කිරිපිටි වල තත්වයන් ගැන සිදු කරන පරීක්ෂණ පිළිබඳව එහි අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය ගෙන් විමසුවෙමු.

ආනයනික කිරිපිටි වල අන්තර්ගතයන් පිළිබඳව විවිධ මත පැන නැගිමක් 2019 වසරේදී සිදුවු නිසා, ආනයනික කිරිපිටි ප්‍රමිතීන් පිළිබඳව වැඩිපුර අවධානයක් යොමුකරමින්, ඉන් අනතුරුව නියැදි පරීක්ෂා සිදුකළ බව ඇය පවසා සිටියා.

දිවයිනට පැමිණෙන කිරිපිටි වෙළඳපලට නිකුත් කිරීමට අවසර ලැබෙන්නේ එම පරීක්ෂණයන්ගෙන් අනුමැතිය ලැබුණු විට පමණක් බව පැවසු ඇය, කිරිපිටි තොගවල අහඹු නියැදි ලබාගෙන එම පරීක්ෂණ සිදුකරන බව පැවසුවාය. පසුගිය වසරේ සිට දිවයිනට පැමිණෙන කිරිපිටි තොග විශේෂ පරීක්ෂාවකට ලක් කළ බවත්, ස්වභාවික මේදය වෙනුවට සත්ව මේදය හෝ පාම් තෙල් ඇතුළුව කිරිපිටි වලට එකතු කර ඇති ආදේශක (adulterations in milk powder) පරීක්ෂා කළ හැකි රසායනාගාර ලංකාවේ නොමැති බැවින්, ජර්මනියට යවා සෑම ආනයනික කිරිපිටි තොගයකම නියැදියක් පරීක්ෂා කෙරෙන බවත් පැවසුවා.

මෙසේ පසුගිය වසරේ පරීක්ෂණ ඇරඹුණ දා සිට මේ වන ත‍ෙක්ම (2020 දෙසැම්බර් 18) ආයනික කිරිපිටිවල සත්ව මේදය හෝ කටුපොල් මේදය හෝ වෙනත් ආදේශකයක් ඇති බවට තහවුරුවී නොමැති බව ද පැවසුවාය.

රජයේ වෛද්‍ය නිලධාරි සංගමය :

අප ආනයනික කිරිපිටි පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මතය පිළිබඳව ද කරුණු පරීක්ෂා කළෙමු. 2019 වසරේ පෙබරවාරි මස ජාතික රූපවාහිණී නාලිකාවේ සංවාදයකට එක්වෙමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පහත කරුණු අවධානය කළේය.

“කිරිපිටි බීම අපට පුරුදු කල දෙයක් විනා පෝෂණය සඳහා අවශ්‍යම දෙයක් නොවේ. බිළිදෙකුගේ පළමු වසර සදහා මවුකිරි අත්‍යාවශ්‍ය ආහාරයක් වූවද, වැඩුණු දරුවන්ට හෝ වැඩිහිටියන්ට කිරි අත්‍යාවශ්‍ය නැත. එමඟින් ලැබෙන ප්‍රෝටීන ප්‍රමාණය සමබල ආහාර වේලකින් වූවද වැඩුණු දරුවන්ට සහ වැඩිහිටියන්ට ලබැගත හැක.

කිරිපිටි ලෙස නිසි නිර්නායකයක් නැත. යම් වැඩිහිටියෙක් දිනකට සම්පූර්ණ යොදය ඇතැයි කියන කිරිපිටි තේ හැඳි 6 ක් පාවිච්චි කරයි නම් ඔහුට ආසන්න වශයෙන් රුපියල් 32 ක් වැයවේ. නියම කිරිපිටි අඩංගු වුවත් මෙයින් ලැබෙන්නේ ශක්තිය කිලෝ කැලරි 170 ක් සමඟ ‍ප්‍රෝටීන් 8g පමණි.පස්දෙනෙකු සිටින පවුලකට මසකට රුපියල් 5000 පමණ වැයකර ලබා ගන්නා මෙම කුඩා ප්‍රෝටීන් (protein) කොටස පහසුවෙන් ලබා ගත හැකි විකල්ප ආහාර ගණනාවක් ඇත.

නවසීලන්තයේ පිටි කිරි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන NZMP වෙබ් අඩවියේ සදහන් දත්ත අනුව ඔවුන් පාම් තෙල් භාවිතා කරමින් කිරි පිටි නිෂ්පාදනය කරයි.” එම සම්පුර්ණ වාර්තාව පහතින්.

GMOA | Archived Link

එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ද මෙවැනි සංවාද රැසක දී ඉහත කරුණු මෙන්ම කිරිපිටි බීම මඟින් විවධ ලෙඩරෝග ඇතිකිරීමේ අවදානම පිලිබඳව පවසා තිබෙනු අපට දැකගනන්ට ලැබුනා. නවසිලන්තය ඇතුළු බටහිර රටවල් රැසක් භාවිතා කරන්නේ දියර කිරි බවත් ලංකාව පිටිකිරි වලට ඇබ්බැහි වී ඇති බවත් එතුමා පැහැදිලි කර තිබුනා. ලෝක සෞඛ්‍යය සංවිධානය, ආහාර කාණ්ඩ 6 කට බෙදා ඇති අතර ධාන්‍ය, එළවළු, පළතුරු ආදී ප්‍රධාන ආහාර කාණ්ඩ කිසිවක කිරි සහ කිරි නිෂ්පාදිත අයත් නොවන අතර එය ඇත්තේ පස්වැනි කාණ්ඩයේ බවද එතුමා පැවසීය. මෙතරම් කුඩා රටක් කිරිපිටි ආනයන කරන ප්‍රධාන රටක් බවට පත්වීම ඉතා අවාසනාවන්ත දායක බවත් එමඟින් දුප්පත් මහජනතාව අපහරණයකට ලක්වී ඇති එහිදී පැහැදිලි කර තිබුනා.

NZMP වෙබ් අඩවියේ මෙන්ම ෆොන්ටෙරා ප්‍රධාන ‍වෙබ් අඩවියේ ද දක්වා ඇති පරිදි Fat Filled Instant Milk Powder (FFMP) එනම් “මේදය සපිරි කිරිපිටි නිෂ්පාදනයක්” ෆොන්ටෙරා ආයතනය නිපදවන බව අපට දැකගන්නට ලැබුණා.

ෆොන්ටරා ආයතනයේ පැහදිළි කිරීම :

නවසීලන්තයෙන් ලංකාවට කිරිපිටි ආනයනය කරන, සමාජ මාධ්‍ය සටහන් බොහොමයක් ඉලක්ක කර තිබු ඇන්කර්, රත්ති ආදී සන්නාම වෙළඳපලට නිකුත් කරන ෆොන්ටෙරා සමාගමේ ලංකා ශාඛාවවෙන් මේ පිළිබඳව විමසුවෙමු.

“මේදය සපිරි කිරිපිටි නිෂ්පාදනයක් - Fat Filled Milk Powder” ෆොන්ටෙරා ආයතනය සතු බව ඔවුන් ද අපට තහවුරු කල අතර එම නිෂ්පාදනය කිසිම අවස්ථාවක ලංකාවට ආනයනය කර නොමැති බව අවධාරණය කර සිටියා.

එම නිෂ්පාදනය 2017 අගෝස්තු මස සිට 2018 ජූලි මස දක්වා ඔස්ට්‍රේලියාව,ඊජිප්තුව, බංග්ලාදේශය, මැලේසියාව, නයිජිරියාව, පකිස්ථානය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, පිලිපීනය සහ ගෝතමලාව ආදී රටවලට ද 2018 අගෝස්තු මස සිට ඔස්ට්‍රේලියාව,ඊජිප්තුව, මැලේසියාව, නයිජිරියාව, පකිස්ථානය, සෞදි අරාබිය, බංග්ලාදේශය, සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත සැපයු බව ද තහවුරු කරමින් ෆොන්ටෙරා මව් සමාගමේ ආහාර සුරක්ෂිතතාව සහ ගුණාත්මකභාවය පිලිබඳ මෙහෙයුම් ප්‍රධානි 2019 වසරේ මාර්තු මස එවන ලද ලිපියක් ද අපට මෙසේ ලබාදුන්නා.

ලංකාවට අපනයනය කරන කිරිපිටි වල ස්වභාවික නොවන මේද හෝ පාම් තෙල් අන්තර්ගත නොවන බවත් නවසිලන්ත රජය සහ ලංකා රජය අතර ඇති කර ගත් එකඟතාවයට අනුව ලංකාවට අපනයනය කරන කිරිපිටි (Whole Milk Powder) විදේශීය වෙළඳපල ප්‍රවේශ අවශ්‍යතා (Overseas Market Access Requirements (OMAR) සපිරිය යුතු බවත්, එහි එක් අවශ්‍යතාවයක් වන්නේ කිරිපිටි වල ස්වභාවික මේදය වෙනුවට ආදේශක යොදා ඇත්දැයි පරීක්ෂා කිරීම බවත් එම ලිපියේ තවදුරටත් සඳහන් විය. නවසිලන්තයෙන් ලංකාවට අපනයනය කරන සියළුම කිරිපිටි තොග SLS 731:2008 තත්ව යටතේ මෙම අවශ්‍යතාවය සපුරන බවත් එහි සහතික කර තිබුණි.

නවසීලන්ත ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය (New Zealand Ministry of Primary Industries) මඟින් ලබාදුන් තත්ව සහතිකය Muva Kempton නම් ජාත්‍යන්තරව පිළිගත් පර්යේෂණ ආයතනය විසින් ඇන්කර් සහ රත්ති සන්නාමයන් සඳහා ලබාදුන් සහතික ද අපට යොමු කල අතර ඒවා පරීක්ෂා කිරීමේදී ද ඉහත කරුණු සහතික වන බව දක්නට ලැබුණා.

එසේම 2019 වසරේ පෙබරවාරි මස, එවකට සෞඛ්‍ය සේවා අධක්ෂක අනිල් ජාසිංහ මහතාගේ අත්සනින් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සහතික කරන ලද ලිපියක් ද අප වෙත යොමු කළා. පුර්ව නැව් ගත කිරීමේ තත්ව පරීක්ෂාව, සමීක්ෂණ නියැදි පරීක්ෂාව ඇතුළුව SLS 731:2008 යටතේ සිදුකෙරෙන පරීක්ෂා සියල්ලේ දීම ආනයනික කිරිපිටි, එළවළු තෙල් හෝ වෙනත් සත්ව මේද වලින් තොර බව කරුණු කොට තිබුනා. එම කරුණු ඇතුළත් සම්පුර්ණ ලිපිය පහතින්.

එසේම ඇන්කර් සම්පුර්ණ යොදය සහිත කිරිපිටි (29.03 g per 100 g) සහ රත්ති (26.8 g per 100 g) සන්නාම වල ඇසුරුම් පහත පරිදි පරීක්ෂා කිරීමේ දී ද අප මුලින්ම පෙන්වා දුන් කිරි මේද සංයුතිය 26% කට නොඅඩු බවද දැකගනන්ට ලැබුණි. එම ඇසුරුම් වල ඡායරූප දෙකක් පහතින්.

එසේම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇන්කර් කිරිපිටි, දේශීය තත්ව සහතික සපුරණ බවට 2020 මැයි මස ෆොන්ටෙරා සමාගමේ පළවූ පුවතක් අපට මෙසේ දැක ගන්නට ද ලැබුණා.

ප්‍රධාන මාධ්‍ය ධාරාවේ වාර්තා

2020 පෙබරවාරි මස Financial Times පුවත්පත “කිරිපිටි සඳහා ඇන්කර් ජාතික ප්‍රමිතීන් සපුරාලන බව SLSI තහවුරු කරයි” සිරස්තලය යටතේ වාර්තා කර තිබුණේ ද නිෂ්පාදන ක්‍රියාවලියේ පිළිබඳව නවසීලන්තයේ කරන ලද පුළුල් සහ ගැඹුරු විශලේෂනයකින් සහ නිරීක්ෂණවලින් සම්පුර්ණ යොදය සහිත ඇන්කර් සන්නාමය යටතේ ඇති කිරිපිටිවල ගුණාත්මක භාවය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS 731 ප්‍රමිතීන්ට අනුකූල බවට සැහීමකට පත්වු බවය. මෙවැනි මාධ්‍ය වාර්තා රැසක් පසුගිය වසරේ පළවී තිබෙනු ද අපට දැක ගන්නට ලැබුණි.

සැ.යු: නෙස්ටමෝල්ට් වැනි ශක්තිජනක පාන වල පාම් තෙල් අඩංගු බවට එවැනි සන්නාම වල ඇසුරුම් සමඟ මෙවැනි සටහන් රැසක් ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙයි. නමුත් ඒවා සම්පුර්ණ යොදය සහිත කිරිපිටි කාණ්ඩයට ඇතුළත් නොවේ. එසේම කිරිපිටි නිෂ්පාදන ක්‍රියාවලියේදී දැඩි උෂ්ණතත්වයන් ට ලක්වීම ඇතුළු කාරණාවල සෞඛ්‍යට හිතරකර භාවය පිලිබඳ බොහෝ වෛද්‍යවරුන් නොයෙකුත් අවස්ථාවලදී අදහස් පළකර තිබුණි.

ඉහත විශ්ලේෂණය සිදුකර තිබෙන්නේ එබඳු කාරණා අළලා නොවන බවත් ලංකාවට ආනයනික සම්පුර්ණ යොදය සහිත කිරිපිටි සන්නාම වල සත්ව මේද සහ පාම් තෙල් අඩංගු බවට පලවී තිබෙන ප්‍රකාශ සම්බන්ධයෙන් පමණක් බවත් සලකන්න.

Also Read: ක්ෂණික නූඩ්ල්ස් නො ඇලී පවත්වා ගැනීමට සෘජුෆෝම් බඳුන් සෑදීමට යොදා ගන්න වැක්ස් එකතු කරන්නේ නැත!

මයික්‍රොවේව් උදුන්වල ආහාර පිසීම සෞඛ්‍ය ආරක්ශිත නොවන බවට ජපාන රජය පැවසුවා ද?

කටාර් ළමුන්ට ලංකාවේ චොකලට් පෆ් සුදුසු නැද්ද?

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ලංකාවට, නවසිලන්තය අතුළු වෙනත් රටවලින් ආනයනය කරන ලද කිරිපිටි වල, ස්වභාවික කිරි මේදය වෙනුවට සත්ව මේදය හෝ පාම් තෙල් හෝ වෙත් ආදේශක ඇත්දැයි, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් පරීක්ෂා කරන බවයි.

වඩාත් විධිමත් නියැදි පරීක්ෂණ ආරම්භ වූ 2019 වසරේ සිට මේ වන තෙක් කිසිඳු ආනයනික සම්පුර්ණ යොදය සහිත කිරිපිටි වර්ගයක සත්ව මේදය හෝ පාම් තෙල් හෝ වෙනත් ආදේශක හමුවී නොමැති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය තහවුරු කර සිටිනවා. සෞඛ්‍ය අමාත්‍යංශය ද මේ පිලිබඳ ව සහතිකයක් ලබාදී තිබෙනවා.

Avatar

Title:සම්පුර්ණ යොදය සහිත ආනයනික කිරිපිටි වල සත්ව මේදය සහ පාම් තෙල් අන්තර්ගත බවට සමාජ මාධ්‍යයහි සැරිසරන නොමඟ යවන සුළු සටහන්!

Fact Check By: Nelson Mani

Result: Misleading