කෝවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හමුවේ ජනතාව තව තවත් බිය වැද්දීමට සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පිරිස් කටයුතු කරන අයුරු ද මේ දිනවල දැකගන්නට පුළුවන්.

නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමට ජනතාව නිරන්තරයෙන් දැනුවත් කිරීම වෙනුවට කොවිඩ් පාලන අංශ සහ සෞඛ්‍ය අංශ විසින් තහවුරු නොවූ වාතය තුළින් බෝවන නව කොවිඩ් ප්‍රභේදයක් හඳුනාගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරවීම මගින් ජනතාව තුළ අනිසි බියක් හා නොමග යැවීමක් පසුගිය දින කිහිපයේ සිදුවූ අයුරු අපට දැක ගන්නට ලැබුණා. මේ ඒ සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි.

සමාජ මාධ්‍ය සටහන් :

“වාතය හරහා පැතිරීම සිදු වන්නේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදුනාගෙන ඇති නව කොරෝනා වෛරස ප්‍රභේදයක් ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය කියා සිටියි.

එනිසා වෛරසයෙන් ආරක්ෂාව සඳහා සෑම විටම සෞඛ්‍ය මාර්ගඋපදේශ පිළිපදින ලෙස ද ඇය දැඩිව ඉල්ලා සිටියාය.

අවශ්‍ය සෑම විටම මුව ආවරණ පළදින ලෙසද පවසන ඇය නව වෛරස ප්‍රභේදය ආසාදිතයන්ට රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් වැඩි යයිද තරුණ ප්‍රජාවටද රෝග ලක්ෂණ වැඩි වශයෙන් පෙන්නුම් කරන බවද කියා සිටියාය.

ඇය මෙම අදහස් පල කලේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.”

Sri Lankan Updates ෆේස්බුක් පිටුවේ ජුනි මස 10 වැනිදා පළවූ සටහනක මෙලෙසින් දැක්වුණා. එම සටහන පහතින්.

Facebook | Archived Link

සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහනම වෙනත් ෆේස්බුක් පිටු ඔස්සේ දක්වා තිබුණේ මෙලෙසිනි.

වාතය හරහා පැතිරෙන නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් මෙරටට ඇවිත් බවට colomboxnews පුවත් වෙබ් අඩවියේද වාර්තා කර තිබුණේ මෙලෙසිනි.

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන සටහන්වල නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සහභාගී වූ මාධ්‍ය සාකච්ඡා සහ රූපවාහිනී වැඩසටහන් පිළිබඳව පරීක්ෂා කළෙමු.

මැයි 19 වන දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති “කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක විග්‍රහයේ” යන මෙයින් පැවති ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනේදී වාතය හරහා පැතිරෙන නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් හමුවූ බවට ඇය පැවසූවාදැයි නිරීක්ෂණය කළෙමු.

එම සාකච්ඡාවෙදී එවැනි වාතය හරහා හුවමාරු වන නව ප්‍රභේදයක් ඇති බවක් ප්‍රකාශ කර තිබුණේ නැහැ. එම සම්පූර්ණ සාකච්ඡාව මෙතනින්.

නමුත් එම සාකච්ඡාවේදී ජාතික බෝවෙන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගේ මහතා සඳහන් කළේ, වාතය හරහා නව ප්‍රභේද බෝවන බවට වැරදි අර්ථකතනයක් ලබා දීම සිදුවීම නිසා සමාජය බියක් ඇති කරගෙන තිබෙනව බවත් එම තත්ත්වය ඇතිවීම පිළිබඳව ද පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.

කෝවිඩ් රෝගයෙකු අසල්වාසී නිවසක සිටින පමණින් වාතය හරහා වෛරසය ආසාදනය විය හැකි බව පැවසිය නොහැකි අතර නව ප්‍රභේද වල තත්ත්වයට අනුව සුළු වෛරස් ප්‍රමාණයකින් වුවද වෛරසය වැළදීමේ ප්‍රවණතාවය ඇති අතර උදාරණයක් ලෙස සංවෘත ස්ථානයක එසේ නැත්තම් වායූ සමීකරණය කරපු ස්ථානයක මෙම වෛරසය වැළඳුනු කෙනෙක් සිටී නම් ඔහු විසින් එම පරිසරයේදීම කෙළ බිඳිති පරිසරයට මුදා හැරියොත් කෙළ බිඳිති රැදී තිබෙන කාලය වැඩි හෙයින් එම අවස්ථාවේදී එම පරිසරයටම සුළු වේලාවකින් පසුව පැමිණි අයෙක්ට වෛරසය බෝවීමේ ඉඩක් පවතින බවත් මෙයින් අදහස් වන බවටත් සඳහන් කළා.

රෝගය බෝවීම වැළැක්වීම සඳහා දෙඅත් පිරිසිදු කිරීම, මුඛ ආවරණයක් පැළඳීම සහ මීටරයක දුරස්ථ භාවයක් රඳවා ගැනීම වැනි උපදෙස් පිළිපැදීම තුළින් මෙම වෛරසය බෝවීම වැළක්වීමට කටයුතු කළ හැකි බවද සඳහන් කළා. එම අවස්ථාව ඉහත වීඩියෝවේ 27.58 වන විනාඩියේ සිට සඳහන් වනවා.

එමෙන්ම එම විස්තරයම ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් කරමින් මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියද සඳහන් කළේ, වාතය මගින් නව වෛරස් ප්‍රභේදය බෝ වීමේ අවදානම් තත්ත්වය මගින් අදහස් කළ කරුණු පැහැදිලි කර සිටියා. හොඳින් වාතාශ්‍රය ලැබෙන එළිමහන් පරිසරයකදී සෞඛ්‍යාරක්ෂණ ක්‍රම අනුගමනය කරන අවස්ථාවක වාතය මගින් මෙම වෛරසය බෝ වීමේ ඉඩකඩ අඩු බවත් තවදුරටත් අවධාරණය කළා. (30.25 විනාඩියේ සිට)

එමෙන්ම අප්‍රේල් අවුරුදු සමයෙන් පසුව නව ප්‍රභේද මතුවීමෙන් පසු මේ සම්බන්ධයෙන් රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවේ පැවැත්වූ Covid-19 පාලනය පිළිබඳව විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රථම වරට වාතය මගින් බෝවන බවට කළ සඳහනේද එය සිදුවන ආකාරය පිළිබඳ කරුණු දැක්වීමේ සඳහන් වන්නේ මෙලෙසිනි.

වෛරසය වැළදුණු පුද්ගලයෙක් විසින් මුඛ ආවරණය නොපැළඳ සිටින කතා කිරීමේදී වාතයට මුදාහරින කෙළ බිඳිති පරිසරයට මුදාහැරෙන අතර යම් පුද්ගලයෙකු එම අවස්ථාවේදී මුඛ ආවරණය නොමැතිව එම පරිසරයට පැමිණීම මගින් එම වෛරසය බෝවන බවට ඒ මහත්මිය විසින් සඳහන් කරනු ලැබුවා. මෙහිදී තරුණ පිරිස් සඳහා රෝග ලක්ෂණ මතුවී තිබෙන බවක් පිළිබඳව ද ඇය සඳහන් කරනවා. අප්‍රේල් 23 සිදුවූ එම සාකච්ඡාව මෙතනින්. (18.28)

කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගෙන් විමසීමක් කළ අතර ඇය සඳහන් කළේ, වාතය මගින් කෝවිඩ් වෛරසය බෝ විය හැකි නව ප්‍රභේදයක් හමුවී ඇති බවට තමන් ප්‍රකාශ නොකළ බවයි. මේ සම්බන්ධයෙන් පැතිරෙන කතා අසත්‍ය බවයි.

ඒ සම්බන්ධයෙන් ඇයගේ ෆේස්බුක් ගිණුමේද දක්වා තිබුණේ මෙලෙසිනි.

Facebook | Archived Link

තමන් කළ බවට සඳහන් කරමින් පළ කරන පුවත් අසත්‍ය බවත්, ශ්‍රී ලංකාවේ පසුගිය දිනවල නව ප්‍රභේද කිසිවක් මේ වනවිට අනාවරණය කර නොමැති අතර ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ඇල්ෆා / එක්සත් රාජධානියේ ප්‍රභේදය අප විසින් අනාවරණය කර ගෙන ඇති අතර එය අප්‍රේල් මුල සිට තිබූ බවත්, මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වයට බොහෝදුරට හේතුව ඇල්ෆා ප්‍රභේදය බවත් පවසනවා.

නිරෝධායනයට ලක් කිරීම තුළින් ඉන්දියානු ප්‍රභේදය හඳුනාගෙන ඇති බවත් මෙතෙක් එම ප්‍රභේදය ප්‍රජාව තුළ නොවූ නමුත් මෙම තත්ත්වය ඕනෑම වේලාවක වෙනස් විය හැකි බවද ඒ මහත්මිය එයින් අවධාරණය කරනවා. නව ප්‍රභේදයන් හෝ අනුක්‍රම නීරණයන් සම්බන්ධයෙන් තමන් මසයකට වැඩි කාලයක් සෘජුව හෝ පුවත්පත් සාකච්ඡාවකින් මාධ්‍යයට කතා නොකළ බවත් ආචාර්ය චන්දිම ජීවන්දර අනුක්‍රමික ප්‍රතිඵල පිළිබඳව නිරන්තර යාවත්කාලීන තොරතුරු ලබා දෙන අතර ව්‍යාජ පුවත් වලට නොරැවටෙන ලෙසද ඇය එම සටහන හරහා ඉල්ලා සිටිනවා.

කෙසේවෙතත් අප ඉහත දී පෙන්වා දී තිබු පරිදි මැයි මස 19 වැනිදා මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සාකච්ඡාවකට සහභාගිව තිබූ අතර එළැඹෙන ජුනි 14 වැනිදා ද ඇය සකච්ඡාකට සහභාගී වීමට ද නියමිත බව අපට මෙසේ දැක ගන්නට ලැබුණා.

COVID-19 වෛරසය ප්‍රධාන වශයෙන් දුර්වල වාතාශ්‍රයක් සහිත සංවෘත අවකාශයක හෝ ආසාදිත පුද්ගලයෙකු සමඟ දීර්ඝ කාලයක් තිස්සේ සම්බන්ධ වීමෙන් COVID-19 වෛරසය සම්ප්‍රේෂණය වන ආකාරය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුන් වීඩියෝව මෙතනින්.

එම වාතය මගින් වෛරසය බෝවීම යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ දුර්වල වාතාශ්‍රය හෝ ජනාකීර්ණ ගෘහස්ථ සැකසුම් තුළ වෛරසය පැතිර යා හැකි අතර එහිදී මිනිසුන් වැඩි කාලයක් එක්ව ගත කිරීමට පෙළැඹීම හේතුවෙන් මීටරයට වඩා දුර අඩු දුරකින් සිටින ආසාදිතියෙකු ඒ අතර ඇත්නම් වෛරසය ඉතා කුඩා අංශු ලෙස වාතයට මුදා හැරීම තුළින් වාතය තුළින් බෝවන බවයි. කෝවිඩ් වෛරසය බෝවන ආකාරය පිළිබඳ අවසන් වරට අප්‍රේල් 30 වැනිදා ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් කරුණු දැක්වීම මෙතනින්.

ඉන්දියානු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිසක් මේ පිලිබඳ සාකච්ඡාවක දී දැක්වූ අදහස් මෙතනින්.

වායු සමීකරණ සහ වාතාශ්‍රය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පළ කළ වාර්තාව මෙතනින්.

ගොඩනැගිලිවල වාතාශ්‍රය අවබෝධ කර ගැනීම සහ පාලනය කිරීම මගින් අප හුස්ම ගන්නා වාතයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කළ හැකි අතර ගෘහස්ථ සෞඛ්‍ය ගැටළු වල අවදානම අවම කර ගත යුත්තේ කෙසේද යන්න ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කළ වාර්තාව මෙතනින්.

කොරෝනා වෛරස් ප්‍රභේද පරිණාමය සම්බන්ධයෙක් පළ කළ වාර්තාව මෙතනින්.

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශන අනුව පෙන්වා දිය හැක්කේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය විසින් මැතක දී පැවසූ බවට සඳහන් කරමින් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වාතය මගින් කෝවිඩ් වෛරසය බෝවන බවට නව ප්‍රභේදයක් හඳුනා ගත් බව දැක්වෙන සටහන් නොමඟ යවන සුළු සටහන් පෙළක් බවයි.

පසුගිය අප්‍රේල් මාසයේ දී මුල් වරට ලංකාවේ නව කොවිඩ් ප්‍රභේද හඳුනා ගැනීමත් සමඟ මාධ්‍ය වෙත අදහස් දැක්වීමකදී වාතය මඟින් කොවිඩ් පැතිරීමේ අවදානම වැඩි තත්ත්වයක පවතින බවට මහාචාර්ය නීලිකා මලවිගේ විසින් අදහස් දැක්වීම මෙසේ නැවත වරක් වැරදි අර්ථකතනයක් සමඟින් හුවමාරු වෙමින් පවතියි. පසුගිය දින කිහිපයේ දී (ජුනි මස), ලංකාවෙන් කිසිඳු නව ප්‍රභේදයක් හඳුනාගෙන නැති බව මහාචාර්ය නීලිකා මලවිගේ පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් ද කොවිඩ් සම්ප්‍රේෂණය වීම පිළිබඳ කරුණු දැක්වීමේ දී පවසා තිබුනේ සංවෘත අවකාශයක දී කොවිඩ් ආසාදිත පුද්ගලයෙකුගේ කෙළ බිඳිති මගින් මීටරයකට අඩු දුරකින් සිටින විට දී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළි නොපදින විට වෛරසය බෝ විය හැකි බවයි.

මහාචාර්ය නීලිකා මලවිගේ විසින් පසුගිය මාධ්‍ය සකච්ඡා කිහිපයේ දී ම අදහස් දැක්වීමේ දී ද පවසා තිබුණේ ඒ හා සමාන පැහැදිලි කිරීමක්. එනම් වෛරසයේ නව ප්‍රභේද වැළදුණු පුද්ගලයෙක් විසින් මුඛ ආවරණය නොපැළඳ කතා කිරීමේදී වාතයට මුදාහරින කෙළ බිඳිති පරිසරයට මුදාහැරෙන අතර යම් පුද්ගලයෙකු එම අවස්ථාවේදී මුඛ ආවරණය නොමැතිව එම පරිසරයට පැමිණීම මගින් වෛරසය බෝවන බවයි.

Avatar

Title:වාතය හරහා පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදයක් මෑතකදී ලංකාවෙන් හඳුනාගත්තා ද?

Fact Check By: Sara Gunaratne

Result: Misleading