සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් අවස්ථාවන් වලදී ජනතාවගේ උදව් උපකාර බලාපොරොත්තුවෙන් සටහන් හුවමාරු වනවා අපට දැක ගන්නට පුළුවන්. මෙම සටහන්වල දැක්වෙන්නේ සත්‍ය කරුණුද යන්න විමසා බැලීමට කටයුතු කිරීම ඉතාම වැදගත් වනවා.

එයට හේතුව දරුවෙකු අතුරුදන් වීම, පැහැර ගැනීම, අසනීපයෙන් පෙලෙන් දරුවෙකුට ආධාර ලබාගැනීම වැනි සංවේදී කරුණු උලුප්පා දක්වමින් ජනතාවගේ අවධානය දිනා ගනිමින්, තම ෆේස්බුක් පිටුව ජනප්‍රිය කර ගැනීමට යටි අරමුණක් පෙරදැරිකොට, අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීම සුලබව දක්නට ලැබෙන බැවින්. එවන් සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් පහතින් දැක්වේ.

සමාජ මාධ්‍ය සටහන් :

Wයිපරේ නමැති ෆේස්බුක් පිටුවක දක්වා තිබුණු පණිවිඩය මෙසේය.

හැකි තාක් ශේයා කරලා උදව් කරන්න

2021.06.03දින රාත්‍රි11.30ට මෙම සදදි සෙනායා.. අවුරුදු 6ක් වයසැති ගැහැනු ලමයා ඊයේ රාත්‍රි පැහැරගෙන ඇති බැවින් ඉක්මනින් දන්නා කෙනෙක් ඉන්නවනම් ලගම ඇති පොලීසියට දන්වන්න.....

මෙම ලමයා සහ තාත්තා රාත්‍රි නිදන් සිටින විට ..නාදුනන පුද්ගලයින් 4 දෙනෙකු පැමින ආවුද පෙන්නා බිය වද්දා අත් මුහුනු බැද මොවුන් දෙදෙනා ගෙදර සිට මදක් දුරට ගෙනගොස් මෙම දරුවාගේ තාත්තා දමා ලමයා පැහැර ගෙන ගොස් ඇත...

තොරතුරු දන්නා කෙනෙක් සිටීනම් ඉක්මනින් දන්වන්න...

සූරියවැව පොලීසිය..047 2289022”

Facebook | Archived Link

මෙම සටහන මේ වන විට දින කිහිපයක් තුළ 1300කට අධික පිරිසක් ෆේස්බුක් ඔස්සේ හුවමාරු කර ගෙන තිබෙනවා.

මීට පෙර ද අවස්ථා ගණානාවක දී විවිධ අර්ථකතනයන් ඔස්සේ මෙම ඡායාරුප සටහන ම හුවමාරු වී තිබුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ඉහත සටහන නිරීක්ෂණය කිරීමේදී බැලූ බැල්මට දක්නට හැකිවන්නේ ඒ සඳහා භාවිතා කර ඇති ඡායාරූප සටහනේ දැක්වෙන්නේ දැරිය අතරමං වී ඇති ස්වරූපයක්. නමුත් ෆේස්බුක් සටහනේ දක්වා ඇත්තේ පැහැරගෙන ඇති බවකි.

මෑතකදී කොස්ගමදී දැරියක් අතුරුදන් වූ බවට පුවත් ප්‍රධාන මාධ්‍ය ධාරවලද සඳහන් නොවුණි.

අප මෙම ඡායාරූපය සම්බන්ධයෙන් Reverse Image සෙවුමක් සඳහා යොමු කළා. එහිදී තහවුරු වුණේ මෙම ඡායාරූපයේ සිටින දැරිය මෙරට දැරියක් නොවන බවයි.

එමෙන්ම ඉහත සටහනේ සඳහන් ලෙස මෙම දැරිය පැහැරගෙන යාමක් නොව 2016 වර්ෂයේදී එවකට සිව් හැවදිරිව සිටි Avani Jain නම් දැරිය ඉන්දියාවේ නාග්පූර් (Nagpur) නගරයේ දුම්රියස්ථානයේදී සිය දෙමාපියන්ව මග හැරීගිය අවස්ථාවක් බවයි.

එරට මාධ්‍ය වාර්තා කළේ Avani Jain දැරිය ඇතුළු සිය පවුලේ සාමාජිකයින් නාග්පූර් සිට බෝපාල් (Bhopal) නගරය වෙතට යෑම සඳහා නාග්පූර් දුම්රිය ස්ථානයට පැමිණි අවස්ථාවේ මෙලෙස සිය පවුල මග හැරී ඇති බවයි.

එම අවස්ථාවේ දුම්රිය ස්ථානයට අයත් පොලීසිය මැදිහත්ව මෙම දැරියගේ පවුලේ සාමාජිකයන්ව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ අරමුණින් Avani Jain දැරිය පොලිස් කාන්තාවක් සමග සිටින ඡායාරූපයක් එම අවධියේ ඉන්දියාවේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගෙන තිබෙනවා. එම ඡායාරූපය WhatsApp සමූහ 200කට අධික ප්‍රමාණයක හුවමාරු වූ බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. ඒ හේතුවෙන් මිනිත්තු 20 ක් යෑමට ප්‍රථම දැරියගේ දෙමාපියන්ට ඇයව සොයා ගැනීමට හැකි වුණා.

සමාජ මාධ්‍ය ආශිර්වාදයක් වූ අවස්ථාවක් ලෙස දක්වමින් මෙම සිදුවීම සම්බන්ධයෙන් පළ වූ The Indian Express වෙබ් පුවත් වාර්තාව මෙතනින්. වෙනත් වාර්තාවක් මෙතනින්.

එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දියාවේ එවකට සිටි දුම්රිය අමාත්‍යවරයා ද Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, Avani දැරිය සිය දෙමාපියන් සමග සිටිනු දැකීම සතුටක් බවයි.

එම Twitter පණිවිඩය පහතින්.

Twitter | Archived Link

අප ඉහත සටහනේ සඳහන් කර ඇති දුරකථන අංකවලට ද ඇමතුම් ලබා ගත් අතර එම ඇමතුමට සම්බන්ධ වූ පුද්ගලයන් පැවසුවේ ඔවුන් වෙසෙන්නේ අනුරාධපුරය සහ පිළියන්දල යන නගර වල බවත් ඔවුන්ගේ දුරකථන අංක කවුරුන් හෝ පිරිසක් අවභාවිතා කොට මෙලෙස සටහන් වලට දමා ඇති බවයි.

මීට පෙර මෙවන් ව්‍යාජ සටහන් වලද තමන්ගේ අංක යොදා ගෙන ඇති බවත් මේ හේතුවෙන් තමන් පීඩාවට පත් වී ඇති බවත් පවසා සිටියා. මේ සම්බන්ධයෙන් ඉහත සදහන් කර ඇති අංකවලට දුරකථන ඇමතුම් ලබා නොගන්න ලෙසද ඔවුන් ඉල්ලීමක් කරා. මෙහි සූරියවැව පොලීසියේ දුරකථන අංකය ද සඳහන් කරමින් ජනතාව නොමග යැවීමට කටයුතු කර ඇති බව පෙනී යනවා.

Also Read:

Fact Check : අතුරුදහන් වූ දැරියක් සොයාගෙනීමට ඡායාරුපයක් හුවමාරු කරන ලෙස ඉල්ලමින් පළවූ ව්‍යාජ සටනක්!

FACT CHECK: අතුරුදහන්ව ඇති දැරියක් බව පවසමින් හුවමාරු වූ ව්‍යාජ සටහනක්!

FACT CHECK: මෙම ඡායරුපයේ දක්වන්නේ සැබැවින්ම මෑතක දී අතුරුදහන් වී සිටින දරුවෙක්ද?

FACT CHECK : ඉක්මන් සුව පතා පල කර ඇති මෙම ඡායාරූපයේ පෙන්වන දැරිය මීට වසර 3කට ඉහතදී මෙලොවින් සමුගත්තා!

Conclusion (අවසාන නිගමනය) :

මේ අනුව පැහැදිලි වන්නේ ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ ජනතාව නොමග යැවීම සඳහා කටයුතු කර ඇති ව්‍යාජ සටහනක් බවයි.

මෙහි සත්‍ය සිදුවීමට අනුව 2016 දී ඉන්දියාවේ දැරියක් දුම්රිය ස්ථානයකදී සිය දෙමාපියන් මග හැරී ගිය අවස්ථාවක, ඇය සොයාගැනීමට සමාජ මාධ්‍යයේ සහය ලබා ගැනීමට පළවූ සටහන්හි දැක්වුණු ඡායාරූපයකි. එම අවස්ථාවේදීම දැරියගේ දෙමාපියන්ට ඇයව සොයා ගැනීමට හැකි වී තිබුණ බවට ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

Avatar

Title:කොස්ගමදී පැහැර ගැනීමට ලක් වූ දැරියක්ද?

Fact Check By: Sara Gunaratne

Result: False