ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් පැවසූ බවට හෝ ඔවුන් සම්බන්ධ කරගනිමින් රටේ පවතින කාලීන මාතෘකා වලට ඈඳා ගනිමින් පුවත් මැවීම කාලයක පටන් සිට සිදුවන ක්‍රියාවක්. සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන මෙවන් සටහන් හේතුවෙන් ජනතාව නොමග ගොස් ඇති ආකාරයත් අපට මේ දිනවල දැක ගන්නට ලැබුණේ, සුනිල් හඳුන්නෙත්ති මහතා සහ බිමල් රත්නායක මහතා සම්බන්ධයෙන් පළ වන ව්‍යාජ සටහන් දෙකක් සම්බන්ධයෙනි. එම සටහන් වල නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

Yasith Dilshan නමැති පුද්ගලයෙක් විසින් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ අනිවාරෙන්ම පොහොට්ටුවෙ එකෙක්. යනුවෙන් සඳහන් කරමින් එම සටහන සඳහා ඡායාරූපයක් එක් කර තිබුණා.

තමාගේ නිවසේ සිටි ළමා මෙහෙකාරිය කඩිමුඩියේ නිවසෙන් යැවූ ප්‍රභල දේශපාලකයා කවුද? යන මැයෙන් ස්වර්ණවාහිනි නාලිකාවේ ප්‍රවෘත්ති අංශයේ Live at 8 නිල ෆේස්බුක් පිටුවේ පළ කළ පුවත් පෝස්ටරයක් බවට හඟමින් මෙම පෝස්ටරය නිර්මාණය කර තිබූ අතර එම දේශපාලකයා ජනතා විමුක්ති පෙරමුණ සාමාජික බිමල් රත්නායක මහතා බවට හැඟවීමට ඔහුගේ ඡායාරූපයක් නොපැහැදිලි කොට(Blur) දක්වා තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම පෝස්ටරය වෙනත් ෆේස්බුක් පිටුවලද සංසරණය වී තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.

Archived Link | Archived Link

එමෙන්ම Chanaka Ruba නමැත්තෙකු විසින් රාජපක්ෂල තුඃ නොදෝකින් යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප සටහනක්ද එක් කරමින් සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසූ ප්‍රකාශයක් බවට දක්වා තිබුණේ, පහුගිය දිනවල කිලී මහාරාජා මහතාගේ රෝගී තත්ත්වය පරීක්ෂා කිරීමට රෝහලට වෛද්‍යවරුන් විදියට නන්නාඳුනන පුද්ගලයන් කිහිපදෙනෙක් ඇවිත් තියෙනවා. ඔවුන් ආරක්ෂක අංශ වලට සම්බන්ධ පුද්ගලයන්- සුනිල් හඳුන්නෙත්ති මහතා යනුවෙනි. එම සටහන පහතින්.

Facebook | Archived Link

මෙම සටහන් වල නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන්ම ස්වරණවාහිනි Live at 8 නිල ෆේස්බුක් පිටුවේ මෙවැනි පුවතක් සම්බන්ධයෙන් පළ වූ පෝස්ටරයක් තිබේද යන්න නිරීක්ෂණය කළෙමු. නමුත් එවැනි පුවතක් හෝ පෝස්ටරයක් දැකගන්නට නොලැබුණි. එම සැබැඳිය මෙතනින්.

ඉන් අනතරුව මෑතකදී එවැනි පුවතක් එම ප්‍රවෘත්ති විකාශයේදී වාර්තා කළාද යන්න පිළිබඳ අප නිරීක්ෂණය කළ අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සුම් තුවාල සහිතව මියගිය දැරිය සම්බන්ධයෙන් පළ වූ පුවත සම්බන්ධයෙන් විනා වෙනත් දේශපාලඥයෙකු නිවසේ සිටි ළමා මෙහෙකාරියන් නිවසින් පිට කළ බවට වාර්තා වී නොතිබුණි.

එමෙන්ම වෙනත් ප්‍රධාන මාධ්‍ය ධාරාවල හෝ එවන් පුවතක් වාර්තා වී නොතිබුණි. අප මේ සම්බන්ධයෙන් ස්වරණවාහිනි Live at 8 ප්‍රවෘත්ති මැදිරියෙන්ද විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, බිමල් රත්නායක මහතා සම්බන්ධව එවන් පුවතක් වාර්තා නොකර බවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පෝස්ටරය ව්‍යාජ ලෙස සංස්කරණය කර ඇති බවත්ය.

කෙසේවෙතත් අප මේ සම්බන්ධයෙන් බිමල් රත්නායක මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා සඳහන් කළේ, මෙම පුවත මුළුමනින්ම අසත්‍ය බවත්, තමාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදෙන වැඩිහිටි පුද්ගලයෙකු හෝ මීට පෙර අවස්ථාවන්වලද නොසිටි අතර බාලවයස්කාර මෙහෙකරුවන් සිටින බවටත් ඔවුන් ඉවත් කිරීමට පියවර ගත් බවට පැවසෙන්නේ හුදෙක් අපහාස කිරීමට බවයි ඔහු පවසන්නේ.

සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් සිරස , ශක්ති මාධ්‍ය ජාලය හිමි කැපිටල් මහරාජා සමූහයේ සභාපති ආර්. රාජමහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වීම සම්බන්ධයෙන් පැවසූ බවට සඳහන් ප්‍රකාශය සත්‍ය වශයෙන්ම සිදු කළාද යන්න විමසා බැලූ අතර ඒ මහතා විසින් මහාරාජා මහතාගේ රෝගී තත්ත්වය පරීක්ෂා කිරීමට රෝහලට වෛද්‍යවරුන් ලෙසට නන්නාඳුනන පුද්ගලයන් කිහිපදෙනෙක් ඇවිත් ඇති බවත්, ඔවුන් ආරක්ෂක අංශ වලට සම්බන්ධ පුද්ගලයන් බවට පැවසූ බවට කිසිදු මාධ්‍ය වාර්තාවක දක්වා නොතිබුණි.

එමෙන්ම අප රාජමහේන්ද්‍රන් මහතා ප්‍රතිකාර ලබා ගනිමින් සිටි නවලෝක රෝහලෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඔවුන් සඳහන් කළේ, රාජමහේන්ද්‍රන් මහතා කොවිඩ් රෝගියෙකු වූ බැවින් පිටස්තර පුද්ගලයින්ට කිසිසේත්ම ඔහු වෙතට ළඟා වීමට ඉඩ නොලැබුණු බවයි. එසේම රෝහල විසින් නිර්දේශිත වෛද්‍යවරුන් සහ නවලෝක රෝහල් කාර්යමණ්ඩලයට පමණක් අදාළ ප්‍රතිකාර කටයුතු සඳහා යොමු වී තිබූ බව ද අවධාරණය කළා.

අප මේ සම්බන්ධයෙන් සුනිල් හඳුන්නෙත්ති මහතාගෙන්ද විමසීමක් කළ අතර ඒ මහතා සඳහන් කළේ, මෙම සටහන් සියල්ල අසත්‍ය බවත්, තමා විසින් මේ ආකාරයේ කිසිඳු ප්‍රකාශයක් සිදුකර නැති අතර තමාට අපහාස කිරීමට මෙවැනි මඩ ප්‍රචාර අනෙකුත් දේශපාලන පක්ෂ විසින් දියත් කර තිබෙන බවයි.

එමෙන්ම මෙම සටහන් නිරීක්ෂණය කිරීමේදී ජනතා විමුක්ති පෙරමුණට සහය දැක්වීම හෝ ජනතා විමුක්ති පෙරමුණ විසින් නිර්මාණය කළ ෆෙස්බුක් පිටු බවට හැඟවීමට උත්සහ දරා ඇති අයුරුද මෙම සටහන් සඳහා යොදාගෙන ඇති ශීර්ෂ පාඨවලින් පෙනී යයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශන අනුව පෙන්වා දිය හැක්කේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ තමාගේ නිවසේ සිටි ළමා මෙහෙකාරිය කඩිමුඩියේ නිවසෙන් යැවූ ප්‍රභල දේශපාලකයා කවුද? යන මැයෙන් ස්වර්ණවාහිනි නාලිකාවේ ප්‍රවෘත්ති අංශයේ Live at 8 නිල ෆේස්බුක් පිටුවේ පළ කළ පුවත් පෝස්ටරයක් බවට හඟමින් නිර්මාණය කර තිබූ පෝස්ටරය සැබවින්ම Live at 8 නිල ෆේස්බුක් පිටුවේ පළ නොවූ පුවතක් බවත් ඒ සම්බන්ධයෙන් එම නාලිකාවේ ප්‍රවෘත්ති අංශය තහවුරු කළ අතර මෙම පුවත සම්බන්ධයෙන් කිසිදු මාධ්‍ය වාර්තාවක ද, දක්වා නොතිබුණි.

සුනිල් හඳුන්නෙත්ති මහතා සිරස මාධ්‍ය ජාලයේ සභාපතිගේ අභාවය සම්බන්ධයෙන් පළ කළ  ප්‍රකාශය හේතුකොට ගෙන රාජමහේන්ද්‍රන් මහතා ප්‍රතිකාර ලබා ගනිමින් සිටි නවලෝක රෝහලේදී මහරාජා මහතාගේ රෝගී තත්ත්වය පරීක්ෂා කිරීමට රෝහලට වෛද්‍යවරුන් විදියට නන්නාඳුනන පුද්ගලයන් කිහිපදෙනෙක් ඇවිත් ඇති බවත්, ඔවුන් ආරක්ෂක අංශ වලට සම්බන්ධ පුද්ගලයන් බවට පැවසූ බවට සම්බන්ධ ප්‍රකාශයද ව්‍යාජ පුවතක් බවට හඳුන්නෙත්ති මහතාද රෝහල් කාර්ය මණ්ඩලයද තහවුරු කරයි.

Avatar

Title:බිමල් රත්නායකගේ නිවසේ ළමා මෙහෙකාරියක් සිටි බවට පළ වූ පුවතක්?

Fact Check By: Sara Gunaratne

Result: False