මිනිසුන් බොහෝ දෙනා විශ්වය පිළිබඳව දක්වන්නේ ඉමහත් උනන්දුවක්. විශ්වය තුල ඇති අනෙත් ග්‍රහලෝක වල ජීවයක් පවතීද? පෘථිවියට විශ්වය තුළ හිමිව ඇති ස්ථානය කෙබඳුද? මෙවැනි පහසුවෙන් පිළිතුරු සොයා ගැනීමට අපහසු ගැටළු බහුලයි. මෙවන් පසුබිමක් තුළ විශ්වය පිළිබදව බොහෝ නොමග යවන සුලු සටහන් සමාජ ජාලාවල හුවමාරු වෙනවා.
එසේම විශ්වයේ හරි මැද යනුවෙන් හැඳින්වෙන විවිධ ස්ථාන පිළිබඳව ද වාර්තා වෙනවා. ඇමෙරිකාවේ Oklahoma ප්‍රාන්තයේ Tulsa හි පිහිටා එවැනි විශ්වයේ හරි මැද හෙවත් Centre of the Universe ලෙස හැඳින්වෙන එක් ස්ථානයක් පිළිබඳව හුවමාරු වූ තොරතුරු පෙළක් පිලිබඳ ව සිදුකළ කළ ගවේෂණයක් මෙලෙසින්.
සමාජ ජාලා සටහන් :
ෆේස්බුක් පිටුවක් මගින් ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත සටහනද සමගින්.
“ඇමෙරිකාවේ Oklahoma ප්‍රාන්තයේ Tulsa හි පිහිටා ඇති මේ ස්ථානය විශ්වයේ හරි මැද හෙවත් Centre of the Universe ලෙස හදුන්වයි.මැද තිබෙන කුඩා කොන්ක්‍රීට් රවුමක් වටා වෘත්තාකාර හැඩයෙන් ගඩොල් අතුරා ඇති තරමක් විශාල වෘත්තයක් මේ ස්ථානයේදී අපට බලාගැනීමට හැකිය. විශේෂත්වය වන්නේ මෙහි මධ්‍යයේ ඇති කොන්ක්‍රීට් රවුම උඩට ගොස් හයියෙන් කෑ ගැසූ විට එම පුද්ගලයාට තමාගේ එම ශබ්දයම නැවත දෝංකාර ලෙස කිහිප වතාවක්ම විශාල හඩකින් ඇසීමයි. නමුත් කෙතරම් හයියෙන් කෑ ගැසුවද වෘත්තයේ පිට සිටින කෙනෙක්ට මැද පුද්ගලයාගේ එම ශබ්දය ඇසෙන්නේ නැත.”

මෙහි ඇති කුතුහලය දනවන ස්වභාවය නිසා මේ පිළිබදව ගවේෂණයක් කිරීමට අප තීරණය කළා.
Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම )
අප මුලින්ම සොයා බැලුවේ ඇමෙරිකා එක්සත් ජනපදය තුල මෙම නම ඇති ස්ථානයක් පවතිනවාද යන කාරණයයි. එහිදී මෙම නම ඇති ස්ථානයක් පවතින බව සොයා ගැනීමට අපට හැකිවුණා.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ බ්ලොග් අඩවියේ මේ පිළිබදව විස්තරයක් අන්තර්ගතයි. ඔවුන් පවසන්නේ මෙය විශ්වයේ කේන්ද්‍රය ලෙස හැදින්වීම සම්පූර්ණයෙන්ම නොමග යවන සුලු කාරණයක් වන බවයි.
මෙම නිර්මාණය සිදු කර ඇත්තේ 1980 දශකයේදීයි. ඒ ගින්නක් සමග හානියට පත්වූ Tusla හි පාලමක් ප්‍රතිනිර්මාණය කිරීමත් හා සමගයි. මැද කුඩා කොන්ක්‍රීට් රවුමක් සහ ඒ වටා ගඩොල් සමූහයකින් තනන ලද විශාල රවුමකින් මෙය සමන්විතයි. මුලු නිර්මාණයේ විෂ්කම්භය වන්නේ මීටර් 2.5 ක් වන ප්‍රමාණයකි.
කෙසේ වෙතත් ඔවුන්ද මෙම ස්ථානයේ යම් විශේෂතා ඇති බව සඳහන් කරනවා.
- දෝංකාරය(කොංක්‍රීට් රවුම තුල සිටින පුද්ගලයාට පමණක් ඇසේ )
- කොන්ක්‍රීට් රවුමට පිටතින් සිටින අයට දෝංකාර හඬ නොඇසේ .
- කොන්ක්‍රීට් රවුම තුළ සිටින පුද්ගලයාට පිටතින් කතා කරන අයගේ ශබ්දය ඇසෙන්නේ විකෘතිවය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විවිධ පැහැදිලි කිරීම් තිබෙනවා. ඉන් සමහර පැහැදිලි කිරීම් අනුව මෙය විශ්ව ශක්තිය කැටිවූ ස්ථානයක්. තවත් සමහර පැහැදිලි කිරීම් අනුව මෙය කිසියම් භූත බලවේගයක ක්‍රියාකාරීත්වය අනුව සිදු වන්නක්.
කෙසේ වෙතත් මේ පිළිබදව වඩාත් විශ්වාසජනක පැහැදිලි කිරීම් අනුව මෙම ස්ථානයේ හඬ විකෘතිතා ඇතිවන්නේ මෙම වෘත්තය වටා චක්‍රීයව පිහිටා ඇති ගොඩනැගිලි වල බිත්ති වල වැදී හඩ නැවත පරාවර්තනය වීමෙන්. මේ පිළිබඳ වැඩිදුර විස්තර ලබාගත හැකියි මෙතනින්. Archived.
මෙම ස්ථානය පිළිබදව වීඩියෝවක් පහතින්.
සමාජ ජාල සටහනේ සඳහන් වන්නේ කොන්ක්‍රීට් රවුම මැද්දේ සිට කොතරම් වේගයෙන් කෑ ගැසුවත් එය රවුමට පිටින් සිටින අයට ශ්‍රවණය කල නොහැකි බවයි. කෙසේ නමුත් එය සත්‍යයක් නොව, සත්‍යයෙන් බැහැරවූ අතිශයෝක්තියකි. සැබැවින්ම සිදු වන්නේ කටහඩේ යම් විකෘතිතාවක් ඇතිවී අපැහැදිලිවී කටහඬ ඇසීමයි. මෙය ඇතැම් විට එම ස්ථානය වටා චක්‍රීයව ඇති ගොඩනැගිලි වල කටහඩ ගැටී ප්‍රතිරාව වීම නිසා ඇතිවන යම් සංසිද්ධියක් විය හැකියි. මේ පිළිබදව වැඩිදුර විස්තර දැනගත හැකියි මෙතනින්.Archived.
ලෝකයේ මෙවැනි සංසිද්ධියක් නිරීක්ෂණය කල හැකි එකම ස්ථානය මෙය නොවේ. මෙවැනි දෙයක් නිරීක්ෂණය කල හැකි තවත් ස්ථානයක් පිළිබදව සැකසූ වීඩියෝවක් මේ.
එමෙන්ම විශ්වයේ කේන්ද්‍රය ලෙස හැඳින්වූ තවත් ස්ථාන ලැයිස්තුවක් සම්බන්ධයෙන් විකිපීඩියා වාර්තාවක් මෙතනින්.
අතීත අපේ මුතුන් මිත්තන් විශ්වාසකළේ පෘථිවිය විශ්වයේ කේන්ද්‍රය බවයි. කෙසේ වෙතත් 16 වන සියවසේදී තාරකා විද්‍යාඥ නිකලස් කොපර්නිකස් පැවසුවේ පෘථිවිය හිරු වටා පරිභ්‍රමණය වන බවයි. ඉන් අනතුරුව බොහෝ දෙනා සිතුවේ හිරු විශ්වයේ කේන්ද්‍රය වන බවයි. කෙසේ වෙතත් 20 වන සියවස වන විට තාරකා විද්‍යාඥයන් පැවසුවේ පෘථිවිය, හිරු සහ අප අයත් වන සෞරග්‍රහ මණ්ඩලය විශ්වයේ ඉතා කුඩා කොටසක් පමණක් වන බවයි. 1914-19 අතර කාලයේදී ඇමෙරිකානු තාරකා විද්‍යාඥයකු වන Harlow Shapely අප ජීවත්වන මන්දාකිණිය වන ක්ෂීරපථයේ ඇති තාරකාවලට පෘථිවියේ සිට පවතින්නාවූ දුර ප්‍රමාණ ආලෝක වර්ෂ වලින් නිගමනය කලා.හිරු යනු අප ජීවත්වන මන්දාකිණිය වන ක්ෂීරපථයේ පවතින තාරකා බිලියන 100 ක් අතරින් එකක් පමණයි. අප ජීවත්වන මන්දාකිණිය වන ක්ෂීරපථයේ කේන්ද්‍රයට හිරුගේ සිට ආලෝක වසර 10,000 ක පමණ දුරක් තිබෙනවා.ඉන් මද කලකට පසු එඩ්වින් හබල් නම් තාරකා විද්‍යාඥයා පැහැදිලිකලේ විශ්වය තැනී ඇත්තේ අප ජීවත්වන මන්දාකිණිය වන ක්ෂීරපථය වැනි මන්දාකිණි අති විශාල සංඛයාවකින් වන බවයි. එම නිසා පෘථිවිය, විශ්වයේ කේන්ද්‍රය බවට වන ප්‍රකාශ නොමග යවන සුලු ඒවාවේ. විශ්වයේ කේන්ද්‍රය කුමක්දැයි අද වන විටත් තාරකා විද්‍යාඥයන් සොයාගෙන නැහැ.ඒ පිළිබදව වැඩි දුර විස්තර ලබාගත හැකියි මෙතනින්.Archived.
අතීතයේ පටන් විශ්වයේ කේන්ද්‍රය බවට සඳහන් කළ බොහෝ ස්ථාන පිළිබඳ වාර්තා වන අතර මෙතෙක් නිශ්චිතව විශ්වයේ කේන්ද්‍රය කුමන ස්ථානයක් ද යන්න නිගමනයකට එළැඹී නොමැත. ඒ බවට පළ වූ වාර්තා මෙතනින් සහ මෙතනින්.
Additional Information: පෘථිවිය වැනි ග්‍රහ වස්තු හිරු වැනි තාරකා වටා පරිභ්‍රමණය වනවා. මෙවැනි පද්ධති සෞරග්‍රහ මණ්ඩල ලෙස හැදින්වෙනවා. මෙවැනි සෞරග්‍රහ මණ්ඩල විශාල ප්‍රමාණයක් එකතුවී මන්දාකිණි නිර්මාණය වෙනවා. මෙවැනි මන්දාකිණි බිලියන ගණනක් එකතුවී විශ්වය නිර්මාණය වෙනවා.මේ පිළිබද විස්තර ලබාගත හැකියි මෙතනින්.Archived.
අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය)
අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වූයේ මෙම ස්ථානයට Centre of the Universe ලෙස භාවිතා කිරීම නොමග යවන සුලු බවයි. මෙම ස්ථානයේ කොන්ක්‍රීට් රවුම තුලදී කිසිවෙක් කතා කල හොත් එය ප්‍රතිරාව වී අදාල පුද්ගලයාටම කිහිප විටකදී ඇසෙයි. කෙසේ වෙතත් මෙය අභ්‍යන්තරයේ සිට කෙනෙක් කතා කලහොත් එය රවුමෙන් පිට කිසිවෙකුට නොඇසෙන බවට වන ප්‍රකාශය නොමග යවන සුලුයි. එමෙන්ම විශ්වයේ කේන්ද්‍රය බවට සඳහන් කළ බොහෝ ස්ථාන පිළිබඳ වාර්තා වන අතර මෙතෙක් නිෂ්චිතව විශ්වයේ කේන්ද්‍රය කුමන ස්ථානයක් ද යන්න නිගමනයකට එළැඹී නොමැත.

Title:විශ්වයේ හරි මැද පිහිටා ඇත්තේ ඇමෙරිකාවේ ඔක්ලොහෝමා ප්‍රාන්තයේද?
Fact Check By: Kalana KrishanthaResult: Misleading

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,