කාබුල්හි ජාතික කෞතුකාගාරයේ ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතූන් වහන්සේද?

Explainer International Religious

බුදුරජාණන් වහන්සේගේ ජීවිතය සම්බන්ධයෙන් මෙන්ම උන්වහන්සේගේ ජීවිතයට සම්බන්ධ දේ පිළිබඳව සොයාබැලීමට බොහෝ දෙනා තුළ ඇත්තේ ඉමහත් උනන්දුවක්. මේ හේතුවෙන් බුද්ධ කාලීන සිදුවීම් සම්බන්ධයෙන් විවිධාකාරයේ අර්ථකථන සහ උන්වහන්සේගේ ජීවිතය සම්බන්ධ කරුණු ද සමාජ ජාලාවලද පළවෙනවා. මේ, බුදුරජාණන් වහන්සේ භාවිතා කළ පාත්‍ර ධාතූන් වහන්සේ පිළිබඳව සමාජ ජාලාවල පළවූ සටහන් සම්බන්ධයෙන් අප සිදුකළ විමසුමක්.

සමාජ මාධ්‍ය සටහන් :

“ඇෆ්ගනිස්ථානයෙන් හමු වූ බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතූන් වහන්සේ..” යයි සඳහන් කරමින් ඡායාරූප සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.

Facebook | Archived Link

මේ සම්බන්ධයෙන් පළ වූ තවත් සටහනක් මෙතනින්. Archived Link

මෙම සටහන් දක්වා තිබූ බොහෝ ප්‍රතිචාර වලින් පෙනී ගියේ මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ, බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතූන් වහන්සේ බවට එක්තරා පිරිසක් පිළිගන්නා බවයි. එසේම තවත් පිරිසක් මෙහි දැක්වෙන කරුණු අසත්‍ය බවට ද ප්‍රතිචාර දක්වා තිබුණේ මෙලෙසින්.

මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

බෞද්ධ භික්ෂු භික්ෂුණීන් වහන්සේලා දන් වැළඳීමට භාවිතා කරන බඳුන පාත්‍රය ලෙස හැඳින්වෙයි. එය දාන මානාදියෙහි දී සංඝරත්නයට පූජා කරන ලබන අට පිරිකරට ද ඇතුළත් පූජා භාණ්ඩයකි. බුදුරජාණන් වහන්සේ දන් වැළඳීමට ගත් බඳුන “පාත්‍ර ධාතුව” නම් වේ.

බුදුන්වහන්සේගේ පාත්‍ර ධාතුව බවට සඳහන් කරමින් දක්වා තිබූ ඉහත ඡායාරූපය සම්බන්ධයෙන් අප කළ මූලික නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබුණේ, බුදුන් වහනසේගේ පාත්‍රා ධාතුව බවට සැලකෙන පාත්‍ර ධාතුවක් කාබුල් නුවර කෞතුකාගාරයේ ඇති බවත්, එය ඉන්දියාවේ වෛශාලි නුවරට රැගෙන ඒමට කටයුතු කල යුතු බවත් ඉන්දීය මන්ත්‍රීවරයෙක් වන Raghuvansh Prasad Singh 2013 වර්ෂයේදී එරට පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කර තිබු බවයි.

Times of India වෙබ් වාර්තාවක් ද පෙන්වා දෙන පරිදි මෙම පාත්‍රයේ පස්වන සහ හයවන පේළියේ ඇති බ්‍රාහ්මී අක්ෂර මඟින් එය බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය බවට ඉන්දීය පුරාවිද්‍යා සමීක්ෂණ හඳුනාගෙන තිබීමයි. කෙසේනමුත් මෙය ඉස්ලාමීය ජන කොට්ඨාශයට අයත් පත්‍රයක් බවට ද මත පළ වී තිබෙනවා. තලෛබාන්වරු කාබුල් නගරය අත්පත් කරගත් පසු එම පාත්‍රයට ද බාමියන් බුදු පිළිමවලට 2001 වසරේ තලෙයිබාන්වරුන් මඟින් අත්වූ ඉරණම වීම පිළිබඳව කණස්සල්ල ද එහි දක්වා තිබෙනවා.

කොළ සහ අළු පැහැති මෙම විශාල  කළුගල් බඳුනේ විෂ්කම්භය මීටර් 1.75 ක් පමණ වන අතර උස මීටර් හතරකට ආසන්න වන අතර එහි දාරයේ ඝණකම සෙන්ටිමීටර 18 කි. එහි බර කිලෝ ග්‍රෑම් 400ක් පමණ බව මේ සම්බන්ධයෙන් පළවූ වාර්තාවල දැක්වෙනවා.

ඒ සම්බන්ධයෙන් පළ වූ වාර්තා මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link

කෙසේවෙතත් ඉන්දීය පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනයේ (ASI) නිලධාරීන් කණ්ඩායමක්ම මෙම පාත්‍රය අධ්‍යයනය කිරීමෙන් පසු, මෙම පාත්‍රය බුදු රජාණන් වහන්සේට අයත් ඒ යුගයට අයත් පාත්‍රයක් නොවන බව ද මෙසේ සඳහන් කර තිබෙනවා.

බුදු රජාණන් වහන්සේගේ සමය කාලය ක්‍රිස්තු පූර්ව දෙවන හා තුන්වන සියවස දක්වා දිව යනවා. (මේ ගෙවී යන්නේ ශ්‍රී බුද්ධ වර්ෂ 2565 යි) අතර මෙම පාත්‍රය එම කාලයේ දී නිර්මාණය වූවක් නම් එහි අක්ෂර සියල්ල පාලි හෝ බ්‍රාහ්මි අක්ෂර විය යුතු බවත් එහි දැක්වෙනවා. කෙසේනමුත් මෙම පාත්‍රයේ අරාබි අක්ෂර ද බොහොමයක් සඳහන් වන අතර ඒවා භාවිතා වුයේ ක්‍රි.ව. පස්වන සියවසේදී පමණ පසුව බව ද සඳහන්. 

එමෙන්ම ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි පිහිටි ජාතික කෞතුකාගාරයේ ඇති මෙම කෟතුක වස්තුව ඉන්දියාවට අයත් බවට කරන ප්‍රකාශ ඇෆ්ගනිස්ථානයේ කෞතුකාගාරයේ අධ්‍යක්ෂවරයා ද ප්‍රතික්ෂේප කරන බවට වාර්තා පෙන්වා දෙනවා. 

එමෙන්ම ඔහු පවසා ඇත්තේ එය 1925 දී කන්දහාර් හි මිර්වයිස් බාබාගේ සොහොනෙන් කැණීම්වලදී හමු වූ බවයි. එම පාත්‍රයක් හැඩති වස්තුව කච්කූල් බුද්ධා(Kachkul Buddha) ලෙස නම් කිරීමෙන් ඉන්දියාව එය ඉන්දියාවට අයත් බව හඳුන්වා තිබුණද මෙය ක්‍රි.ව. පහළොස් වන සියවසේ දී පමණ (එනම් මීට වසර 500කට පමණ පෙර) බොහෝදුරට නිපදවා තිබෙන බවට ද පර්සියන් භාෂාවෙන් පළ වූ  වාර්තාවක් මෙතනින්. Archived Link

මේ පිළිබඳ අප ඇෆ්ගනිස්ථානයේ කෞතුකාගාරයෙන් ද විමසීමක් සිදුකළ අතර එහි තතු මෙහි යාවත්කාලීන කිරීමට ද බලාපොරොත්තු වෙමු.

තව ද ඇත්ත වශයෙන්ම බුදුන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ  තැන්පත් කර ඇති ස්ථානය පිළිබඳ ව ලංකාවේ ද මතවාද ගණනාවක් පවතී.

මහනුවර පිහිටි දළඳා මැදුර ඉදිරිපිට, නාථ දේවාල භූමියේ පිහිටා ඇති ස්තූපය තුළ පාත්‍රා ධාතූන් වහන්සේ තැම්පත්ව ඇතැයි යන මතය ඇතැමකු ඉදිරිපත් කළ ද ඒ සඳහා ද නිශ්චිත සාධක නොමැති බව පෙනෙයි. මෙම චෛත්‍යය වර්ෂ 1889 දී විවෘත කොට ඇති අතර එහි සර්වඥ හා අරහත් ධාතූන් වහන්සේලා පමණක් තැන්පත් කර තිබූ බව සමකාලීන ලිපිවලින් හෙළි වේ.

දළදා මැදුර තුළ පිහිටා ඇති කුඩා ස්තූපයේ හෝ, මල්වතු මහා විහාරයේ පිහිටි ස්තූපය තුළ පාත්‍රා ධාතූන් වහන්සේ තැන්පත් ව ඇති අතර ඇතැම් ජනප්‍රවාදවලට  අනුව පාත්‍රා ධාතූන් වහන්සේ  වර්තමානය වන විට තැන්පත් කර ඇත්තේ  කෑගල්ල දිස්ත්‍රික්කයේ, ඓතිහාසික බෙලිගල රජ මහා විහාරයේ පිහිටි ස්තූපය තුළ බව ද දැක්වෙනවා. Facebook

May be an image of outdoors

කෙසේනමුත් ප්‍රමාණයෙන් ඒ තරම් විශාල නොවන ‌බෙලිගල ස්තූපය තුළ පාත්‍රා ධාතූන් වහන්සේ තැන්පත්ව තිබීම විය හැකි බව බොහෝ අයගේ මතය යි.

බටහිර ඉන්දියාවේ මුම්බායි නගරයට උතුරින් පිහිටි සොපාරා හි තිබී පැරණි ස්තූපයක කැණීම්වලින් පාත්‍ර ධාතුවක කැබලි යැයි සැලකෙන කැබලි කිහිපයක් ද තවත් බොහෝ පුරාවස්තු ද හමු වී තිබු බවත් ඒ අනුව හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් කළ ඉල්ලීමකට අනුව එම පාත්‍ර ධාතු කැබලිවලින් කොටසක් ලංකාවට ලැබුණු අතර එසේ ලැබුණු ධාතු කොටස 1882 ඔක්තෝබර් මස කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙණේ දී මහජනයාට ප්‍රදර්ශනය කර ඇත. එකල මේ පිළිබදව වාද විවාද ද සිදු වී ඇත. වර්තමානය වන විට එම පාත්‍ර ධාතූන් වහන්සේ විද්‍යෝදය පිරිවෙණේ දැවමය ආරක්‍ෂිත කරඬුවක් තුළ වැඩ සිටියි.

එම කැණීමෙන් හමු වූ තවත් පාත්‍ර ධාතූන් වහන්සේ කොටසක් වස්කඩුවේ ශ්‍රී සුභූති නාහිමියන්ට ලැබී ඇත. උන්වහන්සේ එය කොටහේන දීපදුත්තාරාම තායි රජමහා විහාරයේ රතන් නමින් හැඳින්වෙන දාගබ තුළ තැන්පත් කළ බව පැවසේ. මේ සම්බන්ධයෙන් පළ වූ පුවත් මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

මේ අනුව නිශ්චිතව මෙය බුදු රජාණන් වහන්සේගේ පාත්‍ර ධාතුව තැන්පත් කර ඇති ස්ථානය පිළිබඳ කිසිදු පැහැදිලි සාක්ෂියක් දැක ගැනීමට නොහැකිය. 

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News 

Avatar

Title:කාබුල්හි ජාතික කෞතුකාගාරයේ ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතූන් වහන්සේද?

By: Pavithra Sandamali 

Result: Explainer


Leave a Reply