දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
2019 වසරේ සිදු වූ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ, හිටපු රාජ්‍ය බුද්ධි සේවා (SIS) ප්‍රධානී සුරේෂ් සාලේ මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී වධහිංසාවට ලක්වන අයුරු CCTV කැමරා 8කින් දිස්වූ අයුරු යනුවන්, සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් හුවමාරු වුණා. මෙම ඡායාරූප අවස්ථාව සත්‍ය අවස්ථාවක් ද, නැද්ද යන්න පිළිබඳ බොහෝ දෙනා විමසිලිමත් වූ අතර මේ ඒ පිළිබඳ අප සිදු කරන කරුණු විමර්ශනයක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

මෙම ඡායාරූප සටහන ෆේස්බුක් ඔස්සේ බහුලව හුවමාරු වී තිබුණේ, මෙලෙසින්



Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
ඡායාරූප සටහන් නිර්මාණය වූ පසුබිම
සුරේෂ් සාලේ මහතා CID භාරයේ සිටියදී තමන්ට අමානුෂික ලෙස සැලකූ බවට ඔහුගේ පාර්ශවයෙන් මානව හිමිකම් කොමිසමට සහ අධිකරණයට පැමිණිලි කර තිබුණා. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ මහතා ඊයේ(12) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ, සුරේෂ් සලේ මහතාට රැඳවුම් භාරයේදී කිසිදු පීඩාවක් හෝ වදහිංසාවක් සිදු නොකළ බව ආනන්ද විජයපාල අමාත්‍යවරයා පවසා සිටිය ද, වදහිංසා සහ පීඩාවන්ට ලක් වූ පුද්ගලයෙකුගෙන් දැකිය හැකි මනෝවිද්‍යාත්මක ලක්ෂණ, සුරේෂ් සලේ මහතාගෙන් ද දැකගත හැකි බවට, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් විද්‍යාත්මක පදනමකින් තහවුරු කර ඇති බවයි. එමෙන් ම, සුරේෂ් සලේ මහතා රඳවාගෙන වද හිංසා කරන විට ඔහු වටා කැමරා 8ක් තිබූ බවට ඔහු සිය පවුලේ අයට පවසා ඇති බවයි. මෙම CCTV කැමරා හරහා වෙනත් තුන්වන පාර්ශ්වයක් ඔහුට වද දෙන ආකාරය නැරඹුවාද යන්න මන්ත්‍රීවරයා ප්‍රශ්න කරනු ලබනවා.
මෙම ප්‍රකාශය ත් සමග ඉහත ඡායාරූපය ඊයේ(12) දින සිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.
නමුත් මෙම ඡායාරූපයට අදාළ කිසිදු සැබෑ CCTV දර්ශනයක් මාධ්‍ය වෙත හෝ සමාජ මාධ්‍ය වෙතින් දැක ගන්නට නොලැබුණි.
ඡායාරූප විශ්ලේෂණය
කෙසේවෙතත් සුරේෂ් සාලේ රැඳවුම් භාරයේ සිටියදී ඔහුට සිදුවූවා යැයි කියන වදහිංසා පැමිණවීම් පිළිබඳව සඳහන් වූ බව පෙන්වන කැමරා 1, කැමරා 2, කැමරා 3,4,5,6,7,8 ලෙස නම් කර තිබුණ ත්, ඒවායින් පෙන්විය යුත්තේ ගොඩනැගිල්ලක විවිධ ස්ථාන උදා: ඇතුල්වීම, පිටුපස දොර, වැනි ස්ථාන හෝ එකම කාමරයක වුවද හාත්පසින්ම වෙනස් කෝණ (Angles) වේ. නමුත් මෙම ඡායාරූපයේ සියලුම කොටු 6න්ම පෙන්වන්නේ එකම ස්ථානය, එකම කෝණයකින් ලබා ගත් ඡායාරූප පමණක් වන අතර මෙහි වෙනස් වී ඇත්තේ මිනිසුන් සිටින ඉරියව් පමණි. සැබෑ පද්ධතියක මෙලෙස එකම තැනට එකම කෝණයෙන් කැමරා 6ක් කිසිසේත්ම සවි කිරීමක් සිදු නොකරනු ලැබේ.
CCTV පද්ධතියක, සැබෑ බහු කැමරා තිරයක (Split screen) එකම සිදුවීම සජීවීව සිදුවන විට, විවිධ කෝණවලින් පෙනෙන මිනිසුන්ගේ චලනයන් එකිනෙකට සමගාමී විය යුතුය. මෙම රූපයේ, එක් එක් කොටුවල සිටින මිනිසුන්ගේ ඇඳුම්, ඔවුන් සිටින ස්ථාන සහ ඉරියව් කිසිදු ගැලපීමක් නොමැතිව වෙනස් වේ.
එමෙන් ම සැබෑ CCTV දර්ශනවල සෑම කැමරාවකම ඉහළ හෝ පහළ කෙළවරේ දිනය, නිවැරදි වේලාව (තත්පර සහිතව) සහ කැමරාවේ නිල නාමය පැහැදිලිව සටහන් වේ. මෙම රූපයේ එවැනි කිසිදු වේලාවක් සටහන් වී ඇති බව දක්නට නොලැබේ.
AI භාවිතයෙන් සිදුකළ නිර්මාණයක්
වයිරල් වී ඇති ඡායාරුපය, ඩිජිටල් සංස්කරණයක් බව ඉහත තොරතුරු සමඟ පැහැදිලි වන බැවින්, අප අදාළ ඡායාරූපය, කෘතිම බුද්ධිය ඔස්සේ ජනනය කරන ලද්දක් ද යන්න, මෙවලම් කිහිපයක් ඔස්සේ පරීක්ෂණයට භාජනය කළා.
එහිදී ද දැකගනන්ට ලැබුණේ, අදාළ ඡායාරූප, කෘතිම බුද්ධිය ඔස්සේ ජනනය කරන ලද ඡායාරූප වීමේ ඉතා ඉහළ සම්භාවිතාවයක් ඇති බවයි.


එමෙන් ම මීට පෙර ද, රජය සහ පොලීසිය සුරේෂ් සාලේ මහතා සම්බන්ධ වධහිංසා චෝදනා නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබුණේ මෙලෙසින්.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක
කෙසේ වෙතත් අප මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳන් කළේ මෙම ඡායාරූප ව්‍යාජ ලෙස සංස්කරණය කර ඇති ඡායාරූප බවයි.
අධිකරණ සහ වෛද්‍ය පරීක්ෂණ නියෝග
අත්අඩංගුවේ පසුවන සුරේෂ් සලේට පොලිසිය විසින් කෲර හා අමානුෂික ලෙස පහර දී වධහිංසා පමුණුවන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සහ විපක්ෂයේ පාර්ශ්වයන් ප්‍රසිද්ධියේ චෝදනා කර තිබුණා.
සුරේෂ් සාලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී වධහිංසාවලට ලක්වූයේද යන්න සෙවීම සඳහා, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් සහ මනෝ වෛද්‍යවරුන් 5 දෙනෙකුගෙන් යුත් විශේෂ වෛද්‍ය මණ්ඩලයක් පත් කර තිබෙනවා.
CID භාරයේ සිටියදී තමන්ට සිදුවන අමානුෂික සැලකීම්වලට එරෙහිව සාලේ මහතා ආරම්භ කළ උපවාසයක් හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ගිය අතර, ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ (NHSL) ප්‍රතිකාර ලබයි.
රෝහලේ සිටින සාලේ මහතා බැලීමට ඔහුගේ බිරිඳට සහ පුත්‍රයාට දිනපතා අවසර දෙන ලෙස නීතිඥවරුන් කළ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවාගෙන සිටින බැවින් එවැනි නියෝගයක් නිකුත් කිරීමට තමන්ට බලයක් නොමැති බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කරනු ලැබී ය.
තමන්ව සිද්ධියට අදාළව රඳවා තබා ගැනීමට නිකුත් කර ඇති නියෝගය බලශූන්‍ය කරන ලෙස ඉල්ලා සුරේෂ් සාලේ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීම අභියාචනාධිකරණය විසින් 2026 ජූලි 10 වනදා දක්වා කල් තබා තිබෙනවා.
සාලේ මහතාගේ ඥාතීන් කළ පැමිණිල්ලකට අනුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මේ පිළිබඳව වෙනම පරීක්ෂණයක් අරඹා ඇති අතර, ප්‍රකාශ ලබා දීම සඳහා පරීක්ෂණ පවත්වන CID නිලධාරීන්ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.
සැ.යු: අප මෙම කරුණු විමර්ශනයෙන් පරීක්ෂා කර ඇත්තේ, ඉහත ඡායාරූපයේ සත්‍ය අසත්‍යතාව පමණක් වන අතර, සුරේෂ් සලේ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිංසනයට ලක් කරාද, නැද්ද යන කාරණය නොවන බව දන්වන්නෙමු. එම කාරණය අපට ස්වාධීනව සත්‍යාපනය කළ නොහැක.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, හිටපු රාජ්‍ය බුද්ධි සේවා (SIS) ප්‍රධානී සුරේෂ් සාලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී වධහිංසාවට ලක්වන බවට දක්වමින් CCTV කැමරා 8කින් එය සඳහන් වන ආකාරය ලෙසට පවසමින්, සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ඡායාරූපය සත්‍ය ඡායාරූපයක් නොව කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇති ඡායාරූපයක් බවයි.


