දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
ලෝකයේ උෂ්ණත්වය ඉහළ යාම සහ අසාමාන්‍ය කාලගුණික තත්ත්වයන් ඇතිවීම කෙරෙහි බලපාන ප්‍රධාන ස්වභාවික සංසිද්ධියක් වන එල් නිනෝ තත්ත්වයක් මේ වන විට නිල වශයෙන් ආරම්භ වී ඇති බවට වාර්තා වීමත් සමග, එල් නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ සටහන් හුවමාරු වී තිබුණා. එවැනි පසුබිමක, එල් නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් මේ වන විට හුවමාරු වන නොමඟ යවනසුළු තොරතුරු සහ සත්‍ය කරුණු සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු පැහැදිලි කිරීමක් පහතින්.
සාරාංශය (Bottom line): එල් නිනෝ තත්ත්වය ගෝලීය වශයෙන් 2026 ජූනි මස නිල වශයෙන් ආරම්භ වී ඇතත්, මේ දිනවල ශ්රී ලංකාවට වැසි ලැබෙන්නේ එල් නිනෝ නිසා නොව සක්‍රීය නිරිතදිග මෝසම නිසාය. දැනට ශ්‍රී ලංකාවේ දැඩි නියඟයක් ඇති වී නැත. එහෙත් එහි බලපෑම 2026 ජූලි සහ විශේෂයෙන්ම අගෝස්තු වන විට මතු විය හැකි අතර, එල් නිනෝ තත්වය හේතුවෙන් ඇතිවිය හැකි දේශගුණික විපර්යාස, දින කිහිපයකින් පහව යන්නක් නොව මාස 9-12ක් පැවතිය හැකි දිගුකාලීන තත්ත්වයකි.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts)
මේ දිනවල ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට වැසිබර කාලගුණයක් පැවතීම හේතු කරගෙන, සමාජ මාධ්‍ය පුරා බොහෝ දෙනා විමසා තිබුණේ එල් නිනෝ තත්ත්වයකදී මෙලෙස වැස්ස ඇතිවීම පිළිබඳවයි. Facebook | Archived Link


එල් නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අනතුරු ඇඟවීම් සිදුකරමින් තවත් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.
Facebook Facebook Facebook Facebook

මෙම සටහන් මගින් ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් ඉදිරිපත් කෙරේ — (1) එල් නිනෝ නිසා ශ්‍රී ලංකාවට ඉතා ඉක්මනින් දැඩි නියඟයක් ඇතිවේ; (2) “සුපිරි එල් නිනෝ” තත්ත්වයක් මහා විනාශයක් ගෙන එයි; සහ (3) එල් නිනෝ තත්ත්වයකදී වැසි සම්පූර්ණයෙන්ම නැති වී යයි. මෙම ප්‍රකාශ එකින් එක පහත විමර්ශනය කරමු.
අප වෙත ලැබුණු පාඨක ඉල්ලීම්ද සැලකිල්ලට ගනිමින් එල් නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් මේ වන විට පවතින කරුණු මත පදනම්ව සොයා බැලීමක් සිදුකිරීමට අප කටයුතු කළා.
කරුණු පැහැදිලි කිරීම (Explainer)
එල් නිනෝ යනු කුමක්ද?
එල් නිනෝ (El Niño) යනු පැසිෆික් සාගරයේ සමක ආසන්නයේ මතුපිට ජලයේ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යෑම සහ ඒ ආශ්‍රිත වායුගෝලීය පීඩන රටාවන් වෙනස් වීම හේතුවෙන් ලොව පුරා කාලගුණික වෙනස්කම් නිර්මාණය කරන ස්වභාවික දේශගුණික සංසිද්ධියකි. සාමාන්‍යයෙන් සාගරයේ හමන සුළං මගින් පැසිෆික් සාගරයේ උණුසුම් මතුපිට ජලය ආසියානු කලාපය දෙසට තල්ලු කරයි. නමුත් මෙම සුළං දුර්වල වීම හෝ ආපසු හැරීම හේතුවෙන් උණුසුම් ජලය දකුණු ඇමරිකාව දෙසට එකතු වේ. විද්‍යාඥයෝ මෙය ප්‍රධාන වශයෙන් මනිනුයේ Niño 3.4 දර්ශකය මගිනි; මතුපිට උෂ්ණත්ව අපගමනය +0.5°C ඉක්මවූ විට එල් නිනෝ තත්ත්වයක් ලෙස සැලකේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
එල් නිනෝ තත්ත්වයක් ලෝකයට බලපාන්නේ කෙසේද?
එල් නිනෝ තත්ත්වය නිසා ලෝකයේ විවිධ මහාද්වීපවලට ප්‍රතිවිරුද්ධ දේශගුණික අන්තයන් ඇතිවේ. ඉන්දුනීසියාව, මැලේසියාව, ඕස්ට්‍රේලියාව, පිලිපීනය සහ ඉන්දියාව ඇතුළු දකුණු හා ගිනිකොනදිග ආසියානු රටවලට ලැබෙන මෝසම් වැසි ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වේ. දිගුකාලීන වියළි කාලගුණය නිසා ජල හිඟයක් ඇතිවන අතර, ඕස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව වැනි රටවල ලැව්ගිනි ඇතිවීමේ අවදානම ඉහළ යයි. දකුණු ඇමරිකාවේ පැසිෆික් වෙරළබඩ රටවල් වන පෙරූ, ඉක්වදෝරය සහ ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු දිග ප්‍රදේශවලට සාමාන්‍යයට වඩා අධික වර්ෂාවක් ලැබේ. මෙම අධික වැසි හේතුවෙන් එම රටවල ගංවතුර තත්ත්වයන් සහ කඳුකර ප්‍රදේශවල නායයෑම් බහුලව සිදු වේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
දැනටමත් දක්නට ලැබෙන කලාපීය බලපෑම්: මෙම තත්ත්වයේ මුල් ලකුණු දැනටමත් ලෝකයේ සහ අපගේ කලාපයේ සමහර ප්‍රදේශවල දක්නට ලැබේ. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පෙන්වා දෙන්නේ දකුණු ආසියාවට මෙවර සාමාන්‍යයට වඩා අඩු මෝසම් වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවයි. ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD) 2026 නිරිතදිග මෝසම, දිගුකාලීන සාමාන්‍යයෙන් 90%ක් පමණ වන සාමාන්‍යයට වඩා අඩු මට්ටමක පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, ඉන්දියාවට මෝසම ලැබුණේ ද සුපුරුදු කාලයට වඩා දින කිහිපයක් ප්‍රමාද වීය. දකුණු ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව වැනි ප්‍රදේශවලට වියළි කාලගුණයේ බලපෑම දැඩිව එල්ල විය හැකි අතර, එය ආහාර අපනයනය හරහා ශ්‍රී ලංකාවට වක්‍රාකාරව බලපෑ හැකිය. WMO; IMD forecast.
එල් නිනෝ ඉතිහාසය සහ වර්තමාන තත්ත්වය
මෙම සංසිද්ධිය සාමාන්‍යයෙන් වසර 2-7 අතර කාලයකදී ලෝකයේ සිදුවන ස්වභාවික සංසිද්ධියකි. 1982-1983, 1997-1998, 2015-2016 වසරවලදීද දැඩි එල් නිනෝ තත්ත්වයන් වාර්තා වී ඇත. ඇතැම් වාර්තා පෙන්වා දෙන්නේ මනුෂ්‍ය ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන ගෝලීය උණුසුම නිසා පසුගිය දශකවල එල් නිනෝ සංසිද්ධි පෙරට වඩා ප්‍රබල වී ඇති බවයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්.
පෙර එල් නිනෝ අවස්ථාවලදී ශ්‍රී ලංකාවට සිදුවූයේ කුමක්ද? 2015-2016 දැඩි එල් නිනෝ තත්ත්වය අතරතුර, ශ්‍රී ලංකාව මුලින් 2016 මුල් භාගයේ වියළි කාලගුණයකට හා ජල හිඟයකට මුහුණ දුන් අතර, ඉන් අනතුරුව 2016 මැයි මාසයේ හදිසි අධික වැසි හේතුවෙන් අරණායක නායයෑම ඇතුළු දැඩි ගංවතුර හා නායයෑම් ඇති විය. පසුව 2016 අග භාගයේ සිට 2017 දක්වා දිස්ත්‍රික්ක 17ක මිලියන 2කට අධික ජනතාවකට බලපෑ දිගුකාලීන දැඩි නියඟයක් පැවතුණි. මෙය එක් චක්‍රයක් තුළ වියළි හා තෙත් අන්ත දෙකම අත්විඳීමේ (climate whiplash) රටාවට කදිම උදාහරණයකි. එබැවින් එල් නිනෝ යනු හුදෙක් නියඟයක් පමණක් නොව, වියළි සහ අධිවර්ෂාව යන අන්ත දෙකම ගෙන ආ හැකි තත්ත්වයකි. ලෝක බැංකු PDNA වාර්තාව.
මෙය කෙටිකාලීන තත්ත්වයක් නොවේ: එල් නිනෝ සාමාන්‍යයෙන් මාස 9-12ක් පවතින බැවින්, මෙවර එහි බලපෑම 2027 පෙබරවාරි දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එබැවින් මෙය එක් මාසයකින් හෝ එක් වාර්තාවකින් අවසන් වන්නක් ලෙස නොව, මාස ගණනාවක් පුරා වර්ධනය වන ක්‍රියාවලියක් ලෙස තේරුම් ගත යුතුය. තවද, මානව ක්‍රියාකාරකම් නිසා සිදුවන දේශගුණික විපර්යාසය මෙම ස්වභාවික චක්‍රයේ බලපෑම් තවදුරටත් තීව්‍ර කරයි. ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසයට ඉහළ අවදානමක් ඇති රටක් ලෙස හඳුනාගෙන ඇත. ADB.
2026 ජූනි මස මුලදී නිල වශයෙන් එල් නිනෝ තත්ත්වයක් ප්රකාශයට පත් කරන ලදී
ඇමරිකානු සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනය (NOAA CPC) විසින් 2026 ජූනි 11 වැනිදා නිල වශයෙන් “El Niño Advisory” නිකුත් කරමින් එල් නිනෝ තත්ත්වයක් දැනට පවතින බව ප්‍රකාශ කළේය. NOAA පෙන්වා දෙන්නේ 2026 නොවැම්බර් සිට 2027 ජනවාරි දක්වා කාලය තුළ එය ඉතා ප්‍රබල (very strong) තත්ත්වයකට පත්වීමට 63%ක ඉඩක් ඇති බවයි. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) පෙන්වා දෙන්නේ ජූනි-අගෝස්තු අතර එල් නිනෝ ඇතිවීමට 80%ක් ද ඉන් පසු 90%ක් ද ඉඩක් ඇති අතර, එය අවම වශයෙන් මධ්‍යස්ථ සහ සමහරවිට ප්‍රබල විය හැකි බවයි. නවතම සතිපතා දත්ත අනුව සාගර මතුපිට උෂ්ණත්ව අපගමනය (Niño 3.4) +0.7°C ක් වූ අතර, ඒ අනුව 2026 වසරේ ඉදිරි මාසවලදී ගෝලීය උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇතැයි වාර්තා වී ඇත. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
2026 ජූනි වන විට ශ්රී ලංකාවට පවතින බලපෑම
ශ්‍රී ලංකා කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ නිල දත්ත විශ්ලේෂණයට අනුව, දැනට ලංකාවට පවතින නිරිතදිග මෝසම් වර්ෂා රටාව එල් නිනෝ තත්ත්වය නිසා අඩු විය හැක. සාමාන්‍යයෙන් ලැබෙන වර්ෂාපතනය අඩුවීම නිසා ජල විදුලි උත්පාදනය කරන මධ්‍යම කඳුකරයේ ප්‍රධාන ජලාශවලට ලැබෙන දියවර අඩුවීමේ අවදානමක් පවතී. වියළි සහ උණුසුම් කාලගුණය නිසා මෙරට ප්‍රධාන අපනයන බෝග (තේ, පොල්) වල අස්වැන්නට මෙන්ම ඉදිරි මහ කන්නයේ වී වගාවන් සඳහා ජලය කළමනාකරණය කිරීමට බලපෑමක් එල්ල වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිවිල් වැසියන්ට සහ අදාළ රාජ්‍ය අංශවලට දැනුම් දෙන්නේ, ඉදිරි මාස කිහිපය තුළ ජලය සකසුරුවම් ලෙස භාවිත කරන ලෙසත්, නිල වශයෙන් නිකුත් කරන දෛනික කාලගුණ වාර්තා කෙරෙහි අවධානයෙන් පසුවන ලෙසත්ය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
ආහාර සුරක්ෂිතතාව පිළිබඳ කලාපීය මානය: ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක ආහාර වැඩසටහන 2026 අප්‍රේල් මාසයේ නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයකින් පෙන්වා දුන්නේ, වර්ධනය වන එල් නිනෝ තත්ත්වය දකුණු ආසියාවේ භෝග නිෂ්පාදනයට තර්ජනයක් විය හැකි බවත්, වී අස්වැන්න 20%-50% දක්වා පහත වැටිය හැකි බවත්ය. දකුණු ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව වැනි ආහාර අපනයන රටවලට බලපෑම් එල්ල වුවහොත් එය ශ්‍රී ලංකාවට ද වක්‍රව බලපෑ හැකිය. ලෝක බැංකුව.
මේ දිනවල ශ්රී ලංකාවට වර්ෂාපතනයක් ලැබෙන්නේ ඇයි?
මේ දිනවල (2026 ජූනි මාසයේ) ලංකාවට වර්ෂාව ලැබෙන්නේ දිවයින පුරා නිරිතදිග මෝසම් කාලගුණය සක්‍රීයව ස්ථාපිත වී පැවතීම හේතුවෙනි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්.
එල් නිනෝ තත්ත්වය තවමත් ලංකාවට බල නොපාන්නේ ඇයි?
පැසිෆික් සාගරයේ එල් නිනෝ තත්ත්වයක් නිල වශයෙන් ආරම්භ වී තිබුණද, එහි සෘජු බලපෑම (වියළි කාලගුණය හෝ මෝසම් දුර්වල වීම) ලංකාවට දැනෙන්නේ ක්‍රමයෙනි. කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අනුව, මෙම ජූනි මාසයේ නිරිතදිග මෝසම් වැසි සාමාන්‍ය පරිදි ලැබෙන අතර, එල් නිනෝ නිසා සිදුවන වර්ෂාපතනය අඩුවීමේ බලපෑම මතු වන්නේ 2026 වසරේ අගභාගයට ආසන්න වන විටය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්.
සැබෑ උදාහරණයක්: 45-55°C “උණුසුම” පිළිබඳ WhatsApp ව්යාජ පණිවිඩය
සමාජ මාධ්‍යවල පැතිරෙන ඇතැම් කරුණු කෙතරම් අතිශයෝක්තියක්ද යන්නට හොඳ උදාහරණයකි. 2026 මාර්තු මාසයේ, “අප්‍රේල් අග සිට මැයි දක්වා සෙල්සියස් අංශක 45-55ක උෂ්ණත්වයක් ඇතිවේ” යැයි WhatsApp ඔස්සේ පැතිර ගිය පණිවිඩයක් සම්පූර්ණයෙන්ම අසත්‍ය විය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එවැනි අනතුරු ඇඟවීමක් නිකුත් නොකළ බව තහවුරු කළ අතර, දැනෙන උෂ්ණත්වය (heat index) සහ වාර්තාගත සැබෑ වායු උෂ්ණත්වය අතර වෙනස ව්‍යාකූල කිරීම මෙවැනි අතිශයෝක්තීන්ට බොහෝවිට හේතු වේ. Climate Fact Checks.
මෙවැනි ව්‍යාජ කාලගුණ පණිවිඩ, ප්‍රතිචක්‍රීකරණය කළ පැරණි දර්ශන සහ AI මගින් නිර්මාණය කළ රූප කලින් කලට පැතිර යයි. අපගේ පෙර කරුණු විමර්ශන ද බලන්න: තවත් සුළිකුණාටුවක් ගැන ව්‍යාජ පණිවිඩ; AI මගින් නිර්මිත ගංවතුර දර්ශන.
සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන ඇතැම් කරුණු අතිශයෝක්තියෙන් යුතු වේ
| සමාජ මාධ්යවල පළවන ප්‍රචාර | සැබෑ තත්ත්වය |
| එල් නිනෝ නිසා ලංකාවට වැසි නැතිවී දැඩි නියඟයක් ඉතා ඉක්මනින් ඇතිවේ. | දැනට ලංකාවේ නිරිතදිග මෝසම් වැසි සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ. එල් නිනෝ බලපෑම නිසා වර්ෂාපතනය අඩුවීමේ ප්‍රවණතාවක් මතු වන්නේ 2026 ජූලි-අගෝස්තු මාසවලය. මෙතනින් |
| සුපිරි එල් නිනෝ තත්ත්වයක් නිසා මුළු ලෝකයම පෙර නොවූ විරූ මහා විනාශයකට පත්වේ. | “සුපිරි එල් නිනෝ” යනු මාධ්‍ය විසින් දමන ලද අන්වර්ථ නාමයකි. නිල වශයෙන් එය ඉතා ප්‍රබල (Very Strong) තත්ත්වයක් විය හැකි අතර, එයින් අදහස් කරන්නේ ලෝකය විනාශ වන බව නොවේ. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය “සුපිරි එල් නිනෝ” යන යෙදුම නිල වර්ගීකරණයක් ලෙස භාවිත නොකරයි. |
| එල් නිනෝ පවතින කාලය පුරාම ලංකාවට වැස්ස සම්පූර්ණයෙන්ම නැති වී යයි. | එල් නිනෝ තත්ත්වය නිසා බස්නාහිර සහ දකුණු පළාත්වලට මෝසම් වැසි අඩුවුවද, වසරේ අගභාගයේදී (නොවැම්බර්-දෙසැම්බර්) ඊසානදිග මෝසම සක්‍රීය වන විට උතුරු සහ නැගෙනහිර පළාත්වලට සාමාන්‍යයට වඩා වැඩි වැසි සහ ගංවතුර තත්වයන් ද ඇතිවිය හැක. |
| එල් නිනෝ යනු මිනිසා විසින් පරිසරය දූෂණය කිරීම නිසා මෑතකදී අලුතින්ම නිර්මාණය වූ තත්ත්වයකි. | එල් නිනෝ යනු වසර දහස් ගණනක සිට පෘථිවියේ ස්වභාවිකව සිදුවන දේශගුණික චක්‍රයකි. මානව ක්‍රියාකාරකම් නිසා සිදුවන ගෝලීය උණුසුම හේතුවෙන් මෙහි ප්‍රබලතාවය තරමක් වැඩි විය හැකි මුත්, මෙය අලුතින් බිහිවූවක් නොවේ. |
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා
අජිත් විජේමාන්න මහතා සමඟ අප විසින් සිදුකළ විමසීමේදී ඔහු සඳහන් කළේ, මෙම එල් නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දීර්ඝ කාලයක පටන් දැනුවත් කිරීම් සිදුවූ බවත්, කෙසේ නමුත් එම ඇතැම් කරුණු අනවශ්‍ය භීතියක් ජනතාව තුළ ඇතිකරන ආකාරයේ නොමඟ යවනසුළු සහ අතිශයෝක්තියෙන් යුක්ත කරුණු බවත්ය. එල් නිනෝ තත්ත්වය සමාජ මාධ්‍ය ඔස්සේ පෙන්වන තරම් දරුණු එකක් නොවන බව ඔහු සඳහන් කළා. එල් නිනෝ තත්ත්වයක් යනු සම්පූර්ණයෙන්ම නියඟයක් නොවන බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ නියඟය සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතාබහ කළද, එල් නිනෝ තත්ත්වය තුළ ඇතිවිය හැකි අධික වර්ෂාපතනය සහ ගංවතුර වැනි තත්ත්වයන් සම්බන්ධයෙන් ලැබී ඇත්තේ අඩු අවධානයක් බව විජේමාන්න මහතා සඳහන් කළා.
එල් නිනෝ මගින් මෙරටට බලපෑමක් ඇතත්, සමාජ මාධ්‍යවල හුවමාරු වන ආකාරයේ මුහුදු ජලය පවා පිරිසිදු කර පානය කිරීමට තරම් දරුණු තත්ත්වයක් නොවන බවත්, ජනතාව තුළ අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. විශේෂයෙන් දකුණු ඉන්දියාවට මෙම එල් නිනෝ තත්ත්වයෙන් නියඟයක් ඇතිවීමේ හැකියාවක් පවතින බවත්, ඕස්ට්‍රේලියාවට හා ඉන්දුනීසියාවට මෙය දැඩිව බලපාන බවත් ඔහු සඳහන් කළා.
ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයටත් යම් ආකාරයකින් නියඟ තත්ත්වයක බලපෑමක් ඇතිවිය හැකි නමුත්, සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එමගින් නොමැති බව ඔහු සඳහන් කළා. කෙසේනමුත්,, දකුණු ඉන්දියාවට හා ඕස්ට්‍රේලියාවට නියඟයක් ඇති වුවහොත් ආහාර අපනයනය සීමා වන බැවින් ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් අප සැලකිලිමත් විය යුතු බව ඔහු අවධාරණය කළා.
මේ වන විට එල් නිනෝ තත්ත්වය දුර්වල මට්ටමේ එල් නිනෝ තත්ත්වයක් ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, එය ඉදිරියේදී මධ්‍යස්ථ මට්ටමකට පත්විය හැකි බවත්, මෙය අති ප්‍රබල එල් නිනෝවක් විය හැකි බවට ද පුරෝකථනය කර ඇති බවත් ඔහු සඳහන් කළා. එසේ වන්නේ නම් එහි උපරිම තත්ත්වය දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි මාසවල ඇතිවිය හැකිය.
මැයි-ජූනි මාසවලදී ලැබිය යුතු ප්‍රමාණයටත් වඩා වැඩි වර්ෂාපතනයක් ලැබුණද, ජූලි-අගෝස්තු මාසවල වර්ෂාපතනයේ අඩුවක් අපේක්ෂා කරන අතර ඒ අනුව යම් නියඟ තත්ත්වයක් ඇතිවිය හැකි බව ඔහු සඳහන් කළා. අගෝස්තු වැනි මාසවල රස්නය වැඩි විය හැකි නමුත් එය දරාගත නොහැකි තත්ත්වයක් නොවන බව ද ඔහු කීවේය.
සැප්තැම්බර් දෙවන අන්තර් මෝසම ආරම්භ වන අවධිය බැවින්, පැසිෆික් සාගරයේ සුළිකුණාටු ඇති වුවහොත් මෝසම සක්‍රීය වී වැඩි වර්ෂාපතනයක් ලැබීමේ හැකියාව පවතින බවත්, ඔක්තෝබර්-නොවැම්බර් කාලයේ එල් නිනෝ තත්ත්වය තුළ වර්ෂාපතනය, සුළිකුණාටු, කැලඹිලි සහ ගංවතුර ඇතිවිය හැකි බවත් ඔහු සඳහන් කළා. නැවත 2027 ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් කාලවලදී වර්ෂාව අඩුවීමේ තත්ත්වයක් ඇතිවිය හැකි අතර, එල් නිනෝව නිසා ඇතිවන නියඟයේ බලපෑම මෙම කාලවලදීද වැඩි විය හැකි බව ඔහු සඳහන් කළා.
නිගමනය
ඒ අනුව පැහැදිලි වන්නේ, එල් නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඇතැම් තොරතුරු නොමඟ යවනසුළු බවයි. විශේෂයෙන් එල් නිනෝ තත්ත්වයකදී වර්ෂාව ඇතිවිය නොහැකි බවට සමාජය තුළ මතයක් නිර්මාණය වී ඇති නමුත්, කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂවරයා ද පැහැදිලි කළේ එල් නිනෝ තත්ත්වය තුළ වියළි කාලගුණයක් මෙන්ම වර්ෂාධික කාලගුණයක් ද ඇතිවන බවයි.
කෙසේ නමුත් මේ මොහොතේ එය දුර්වල මට්ටමේ එල් නිනෝ තත්ත්වයක් ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින බැවින්, මේ වන විට ශ්රී ලංකාවට ලැබෙන වැසි එල් නිනෝ නිසා ඇතිවන්නක් නොව නිරිතදිග මෝසම නිසා ඇතිවන වැසි තත්ත්වයකි. නමුත් ඉදිරි මාස දෙක තුළ වර්ෂාවේ අඩුවීමක් අපේක්ෂා කළ හැකිය. සැලකිය යුතු කරුණක් නම්, මෙය මාස ගණනාවක් (2027 පෙබරවාරි දක්වා පමණ) පැවතිය හැකි දිගුකාලීන තත්ත්වයක් වීමයි. එබැවින් ඉදිරියේදී වියළි, නියඟ සහිත කාලගුණ තත්ත්වයන් මෙන්ම අධිවර්ෂාව හා ගංවතුර වැනි තත්ත්වයන් ද බලාපොරොත්තු විය හැක. නිල කාලගුණ වාර්තා අනුගමනය කරමින් ජලය සකසුරුවම් ලෙස භාවිත කිරීම වඩාත් සුදුසුය.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න: Facebook | Twitter | Instagram | Google News | TikTok
මූලාශ්‍ර (Sources)
- NOAA CPC — ENSO Diagnostic Discussion (2026 ජූනි 11)
- WMO — Prepare for El Niño (2026 ජූනි)
- Daily Mirror — Sri Lanka braces for severe heat in July-August
- Ada Derana — Drought likely in July-August
- The Morning — El Niño: possible drought in July-Aug
- World Bank/IMF/WFP — Food Security Update (2026 අප්‍රේල්)
- IMD 2026 monsoon forecast (Business Standard)
- ADB & World Bank — Climate Risk Country Profile: Sri Lanka
- Climate Fact Checks — 45-55°C heat hoax debunk
- World Bank — 2016 Sri Lanka floods PDNA


