දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ප්‍රභාකරන්ගේ බාලදරුවා ඝාතනය කිරීම නින්දිත වැඩක් බවත්, යුද්ධයේ අවසන් දින වල ගෝඨා, කමල් ශවේන්ද්‍ර, චාගී හිතේ හැටියට යුධ අපරාධ කළ බවත්, යුද්ධය අවසන් කාලය තුළ හමුදාව තිබුණේ තමාගේ පාලනයේ නොවන බවත්, දක්වමින් ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ප්‍රසිද්ධ යූ ටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශයක් කළ බව දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. මේ ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

අදාළ සටහන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.



මෙහි සත්‍යා සත්‍යභාවය සොයා බැලීමට අප කටයුතු කළා.
Fact check (කරුණු විමර්ශනය කිරීම)
සරත් ෆොන්සේකා මහතා විසින් ප්‍රභාකරන්ගේ දරුවකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශයක් සිදු කර ඇති බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් විසින් හෝ නිල මූලාශ්‍ර ඔස්සේ තහවුරු කර තිබුණේ නැහැ. එසේම අප විසින් සරත් ෆොන්සේකා මහතා විසින් සහභාගී වූ යූ-ටියුබ් සාකච්ඡාවක මෙවැන්නක් ප්‍රකාශ කර ඇත්ද යන්න පරීක්ෂා කළත්, එවැන්නක් ප්‍රකාශ කර ඇති බව හඳුනා ගැනීමට ලැබුණේ නැහැ.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා
අප විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය විසින් සඳහන් කළේ, එවැනි ප්‍රකාශයක් සරත් ෆොන්සේකා මහතා විසින් සිදු කර නොමැති බවත් අදාළ සටහන ව්‍යාජ සටහනක් බවත්ය.
එසේම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ ද මේ සම්බන්ධයෙන් සටහනක් පල කර තිබුණා. මෙය ද්වේෂ සහගතව පල කරන ලද්දක් බවත්, ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා කිසිදු අවස්ථාවක මෙවැනි ප්‍රකාශයක් සිදුකොට නැති බවත් එම සටහන ඔස්සේ ප්‍රකාශ කර තිබෙනවා.

සුන්දරී නැමැති ෆේස්බුක් පිටුවේ පලවූවක් නොවේ.
අදාළ සටහන සුන්දරී නැමැති ෆේස්බුක් පිටුවක ආකෘතියෙන් නිර්මාණය කර තිබූ බැවින් අප විසින් එය අදාළ ෆේස්බුක් පිටුවේ පළ කරන ලද්දක් ද යන්න පරීක්ෂා කිරීමට කටයුතු කළා. නමුත් එහිදී නිරීක්ෂණය වූයේ අදාළ සටහන එම ෆේස්බුක් පිටුව ඔස්සේ පළ කරන ලද්දක් නොවන බවයි.
ප්‍රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍රන් සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා ඇත්තටම කිව්ව දේ…
තමා හමුදාපති වශයෙන් සිටියදී ප්‍රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍රන් හමුදාවෙන් ඝාතනය නොකළ බවත් 2009 මැයි 19 වැනිදා පෙරවරු 10.00 යුද්ධය අවසන් වූ බවත් බාලචන්ද්‍රන් මියගිය බව හෝ ඔහුගේ සිරුර හෝ හමුදාවට වාර්තා නොවූ බවත් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සේවයේ සංදේශයට 2013 වසරේදී පවසා තිබුණා.
ඒ එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන් ගේ දොළොස් හැවිරිදි පුත් බාලචන්ද්‍රන් අත් අඩංගුවට ගැනීමෙන් පසු විවේකීව වාඩිවී සිටින ඡායාරුපයක් සහ ඔහුගේ වෙඩි වැදුණු සිරුරේ ඡ්යාරුපයක් සාක්ෂි ඇති බවට ඉදිරිපත් කෙරෙන බ්‍රිතාන්‍යයේ චැනල් 4 රුපවාහිනී ආයතනය සඳහා නිර්මාණය කෙරුණු චිත්‍රපටය පිළිබද විමසුමකට පිළිතුරු දෙමිනි.
යුධ හමුදාවට එරෙහිව ඇති චෝදනා පිළිබඳ ඕනෑම ආකාරයක පරීක්ෂණයකට මුහුණදීමට සුදානම් බවද එහිදි හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පවසා තිබුණා. ඒ පිළිබද වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ප්‍රභාකරන්ගේ බාලදරුවා ඝාතනය කිරීම නින්දිත වැඩක් බවත්, යුද්ධයේ අවසන් දින වල ගෝඨා, කමල් ශවේන්ද්‍ර, චාගී හිතේ හැටියට යුධ අපරාධ කළ බවත්, යුද්ධය අවසන් කාලය තුළ හමුදාව තිබුණේ තමාගේ පාලනයේ නොවන බවත්, දක්වමින් ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් සිදු කළ ප්‍රකාශ්‍යක් බවට දක්වා තිබූ සටහන් අසත්‍ය වන අතර, සරත් ෆොන්සේකා මහතා විසින් එවැනි ප්‍රකාශයක් කර නොතිබුණි. එමෙන් ම ඔහුගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරිණිය ද, ඒ පිළිබඳ තහවුරු කළ අතර, සරත් ෆොන්සේකා මීට පෙර අවස්ථාවකදී තමා හමුදාපති වශයෙන් සිටියදී ප්‍රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍රන් හමුදාවෙන් ඝාතනය නොකළ බවත් 2009 මැයි 19 වැනිදා පෙරවරු 10.00 යුද්ධය අවසන් වූ බවත් බාලචන්ද්‍රන් මියගිය බව හෝ ඔහුගේ සිරුර හෝ හමුදාවට වාර්තා නොවූ බවත් පවසා තිබුණා.


