ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අස්ථාවර තත්ත්වය සමගම විදෙස් රටවලින් සහ ආයතන වලින් ලබාගත් ණය ගෙවා දැමීමට අපහසු තත්ත්වයක් ඉස්මතුව පවතිනවා. ණය ගෙවීම් සඳහා ශ්‍රී ලංකාව විසින් අදාළ රටවලින් සහ ආයතන වලින් සහන කාලයක් ඉල්ලා ගෙන ණය ගෙවා දැමිය හැකි කාල සීමාව දීර්ඝ කිරීම සඳහා සහන ඉල්ලමින් සිටිනවා. එවන් වාතාවරණයක් තුළ පවතින මෙම අර්බුදකාරී තත්ත්ව හමුවේ විදෙස්ගත වීමට බලාපොරොත්තුව සිටින ග්‍රමිකයින්ට මෙන්ම උසස් අධ්‍යාපනය ලබමින් සිටින සිසුන්ට කෙබදු බලපෑමක් ඇති කරාවිද ? ඒ සම්බන්ධයෙන් විවිධ සමාජ ජාලා සටහන් පැතිර යමින් පවතිනවා. මේ සමාජ ජාලා වල සටහන් එවැනි කරුණු සම්බන්ධයෙන් අප විසින් සිදු කළ විමසා බැලීමක්.

සමාජ ජාලා සටහන්

රට බංකොත්වීම නිසා ඇති තත්ත්වය හමුවේ ඉදිරියේදී ලංකාවේ විශ්ව විද්‍යාල වල උපාධි සහතික වල වලංගුතාවය ගැටලුකාරී විය හැකි බවත් විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් පිටත්වීමේදී ඇතිවන අර්බුදකාරී තත්ත්වයන් පිළිබදවත් සමාජ ජාලා සටහන් පැතිර පැවතියේ මේ අයුරින්.

Facebook | Archived

එවැනි තවත් සටහන් පැතිර පැවතියේ මෙලෙසින්.

“Congratulations!!

අපේ රට නිල වශයෙන් බංකොලොත්..

මේකේ තේරුම දන්නවද?

අවුරුදු 5කට අපිට employee විදිහට වෙන රටකට යන්න බෑ.. visiting only..

අපි රෑ දවල් නැතුව මහන්සිවෙලා පාඩම් කරලා කරන මේ degree එක වත් valid නැතිවෙයි ඉස්සරහට.

ඉස්සරහට සෝමාලියාවට පාන් දැම්මා වගේ කියලා නෙවෙයි.. ලංකාවට පාන් දැම්ම වගේ කියලා වෙනස් වෙයි.. මොකද දැන් අපි ඒ රටවලටත් එහා.

දවසක් මම ඔයාලගෙන් ඇහුවා උබලට බය හිතෙන්නැද්ද කියලා..

මම අදත් ඒ ප්‍රශ්නෙම අහනවා..

උබලට දැං වත් බය හිතෙන්නෙ නැද්ද?????

Facebook | Archived

ඒ සම්බන්ධ WhatsApp ඔස්සේ ද සටහන් පැතිර පැවතියේ මේ ආකාරයෙන් .

මේ පිළිබදව ගවේෂණයක් කිරීමට අප තීරණය කළා.

කරුණු විමසා බැලීම:

නිදහසින් පසු ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වතාවට රට බංකොලොත් තත්ත්වයට පත්වූ ලෙස ප්‍රකාශයට පත්වුයේ පසුගිය සතියේ දී යි(මැයි 19). ඒ , සහන කාලය ලෙස ලබාදී තිබූ මාසයක් පසු කරත් ඩොලර් මිලියන 78 ක විදෙස් ණය පොලී මුදලක් ගෙවීමට නොහැකිවීම නිසයි. ඒ පිළිබදව විස්තර ලබාගත හැකියි මෙතනින්. Archived

මෙසේ රටක් විසින් ණය ගෙවීමට නොහැකිවීමත් සමඟ බංකොලොත් තත්ත්වයට පත්වීම පිලිබඳ වැඩිදුර විස්තර මෙතනින් | Archived

මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහද මාධ්‍ය ඉදිරියේ ඒ බව පිළිගෙන තිබුණා. ඔහු පවසා සිටියේ ශ්‍රී ලංකාව “Pre-Emptive Default” තත්ත්වයට පත්ව තිබෙණ බවයි. ණය ගෙවීමේ කාල සටහන වෙනස් කිරීමකින් (Restructuring) කිරීමකින් තොරව ශ්‍රී ලංකාවට ණය ගෙවිය නොහැකි බවද ඔහු පවසා තිබුණා.ඒ පිළිබද විස්තර ලබාගත හැකියි මෙතනින්. Archived

එය අන්තර්ජාතික මාධ්‍ය මගින් දක්වා තිබුණේ රට බංකොලොත් බව නිල වශයෙන් පිළිගැනීමක් ලෙසයි. එමෙන්ම මූඩි සහ ෆිච් රේටිංග්ස් මූල්‍ය වර්ගීකරණ ඒජන්සිද ශ්‍රී ලංකාව බංකොලොත් ලෙස වර්ගීකරණය කර තිබුණා. ශ්‍රී ලංකාව මේ වන විට විදෙස් රටවල් , සංවිධාන සහ බැංකු වලින් ලබාගත් ඩොලර් බිලියන 50 ක ණය ප්‍රමාණයක් ගෙවා ගැනීමට නොහැකි නිසා ණය ප්‍රතිව්‍යුහගත (Restructuring) කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටිමින් සිටින කාල වකවානුවකයි අප මේ ජීවත්වන්නේ. ණය ගෙවීම පැහැර හැර ඇති මෙම තත්ත්වය නිසා ඉදිරියේදී ණය ලබාගැනීමේදී මෙන්ම රට තුළට ආයෝජන ගලා ඒමේදී ද බලපෑම් ඇතිවිය හැකි බවයි පැවසෙන්නේ. මේ සම්බන්ධයෙන් වන BBC වාර්තාවකට පිවිසීම මෙතනින්. Archived

විදෙස් ගත රැකියා වල නිරතවීමට සහ උපාධි සහතික වල වලංගුභාවය සම්බන්ධයෙන් රට බංකොලොත් වීමේ සාධකය බලපාන්නේ කෙසේද ?

මුලින්ම අප අවධානය යොමුකළේ, මෙයින් පස් වසරක් ගතවන තෙක් ලාංකිකයන්ට විදෙස් රටවල රැකියා ලබාදීම සඳහා වීසා ලබා ගත නොහැකි බවට පළවන කරුණ පිළිබඳවයි. රට බංකොලොත් වූ විට මෙවැනි තත්ත්වයක් ඇති වේද ?

බංකොලොත් තත්ත්වයකට පත්වූ රටක පුරවැසියන්ට මුලින් බංකොලොත්වූ දින සිට වසර 5 ක් දක්වා වෙනත් රටකට ගොස් රැකියාවක් සිදු කිරීමට නොහැකිද ? ඒ සම්බන්ධයෙන් අප සොයා බැලීමක් සිදු කළා. කෙසේ එතත් එවැනි රෙගුලාසිමය තත්ත්වයක් ජාත්‍යන්තරව තිබෙන බවක් අපට නිරීක්ෂණය වූයේ නැහැ.

මෙම තත්ත්වයට මුහුණ දුන් වෙනත් රටක ඇතිවූ තත්ත්වය

ඉන් අනතුරුව අප ලෝකයේ ප්‍රකට, දශක ගණනාවක සිට බංකොලොත්වූ ආර්ථිකයක් ඇති රටක් ලෙස සැලකෙන සිම්බාබ්බේ රටේ ඇතිවූ තත්ත්වය සහ ඉන් අනතුරුව එහි වැසියන් විදෙස් ගතවී රැකියා කරන ආකාරය සොයා බැලුවා. සිම්බාබ්බේ වසර ගණනාවක සිට බංකොලොත් ආර්ථිකයක් ඇති රටක් ලෙස සැලකෙනවා.

කෙසේ වෙතත් දෙශාපාලනික සහ ආර්ථික අර්බුද නිසාම ලක්ෂ ගණනක් වූ සිම්බාබ්බේ ජන ප්‍රජාවක් ජීවත්වන්නේ සිම්බාබ්බේ රාජ්‍යයෙන් බැහැරව වෙනත් රටවලට සංක්‍රමණය වීමෙන් අනතුරුවයි. එම ප්‍රජාව පොදුවේ හදුන්වන්නේ සිම්බාබ්වියන් ඩයස්පෝරාව යන නමින්. මෙම සංක්‍රමණය වීම් බොහෝ ලෙස සිම්බාබ්වේ රාජ්‍යයේ ආර්ථික අර්බුදය උග්‍රවම පැවති මේ සියවස මුල් වසර කිහිපයේ දී (2003-2008) මෙන්ම ඉන් පසුව පසුගිය වසර කිහිපයේ ද සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරනවා. සිම්බාබ්බියන් ඩයස්පෝරාව ලෝකයේ ප්‍රමුඛ පෙළේ සංවර්ධිත රටවල් ගණනාවක ඉහළ පෙලේ රැකියාවල් කරමින් ඇතැම් විට ඒවායෙහි පුරවැසි බවද ලබාගෙන ජීවත්වන පිරිස් වලින්ද සමන්විත වන අතර අදාළ රාජ්‍යයන්වලට ලැබෙන ආදායමටද විශාල වශයෙන් දායකවෙනවා.

දකුණු අප්‍රිකාව ඇතුළු අසල්වැසි අප්‍රිකානු රටවලට පමණක් නොව ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව ,අයර්ලන්තය ආදී රටවල් ගණනාවක ද මෙසේ පසුගිය දශක දෙකක කාලය තුළ සංක්‍රමණය වූ ලක්ෂ සංඛයාත සිම්බාබ්බේ ප්‍රජාවක් රැකියා කරමින් ජීවත්වෙනවා. ඒ අනුව පැහැදිලි වන කාරණය නම් බංකොලොත් ආර්ථිකයක් ඇති රටවල පුරවැසියන්ට වෙනත් රටවල රැකියා කිරීමට බංකොලොත්වූ දින සිට වසර 5 ක් දක්වා ඉඩක් නොලැබෙන බවට පැතිරෙන සමාජ ජාලා සටහන් නොමඟ යවන සුළු බවයි. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ලබාගත හැකියි මෙතනින්. Archived

ලක්ෂ සංඛ්‍යාත සිම්බබ්වියානු වැසියන්ට රැකියා විසා 2009 වසරේ දී දකුණු අප්‍රිකාවෙන් ද ලබා දී තිබු අතර ඒවා වසර ඉන්පසුව දික්කර ද තිබුණා. කෙසේවෙතත් සිම්බබ්වියානු සේවකයින් විශාල සංඛාවක වීසා තවදුරටත් දික් කිරීම නැවත්වීමට දකුණු අප්‍රිකානු රජය නිවේදනයක් පසුගිය වසරේ නිකුත් කර තිබු බව ද වාර්තා වෙනවා

ඉන්පසුව අප අවධානය යොමුකළේ, සිම්බාබ්බේ රාජ්‍යයේ උපාධි වලට ඇති පිළිගැනීම කෙරෙහි රටේ පවතින ආර්ථික අර්බුදය සහ බංකොලොත් බව කෙතරම් දුරට බලපා ඇතිද යන කාරණය පිළිබදවයි.

දශක ගණනාවක සිට බිදවැටෙන ආර්ථිකයක් සහිත සිම්බාබ්බේ රාජ්‍යයේ 21 වන සියවසේ මුල් දශකයේදී ආර්ථිකය බංකොලොත් මට්ටමක පැවතුනද එරට රජය එහි අධ්‍යාපන අවස්ථාවන් ප්‍රසාරණය කළා. කෙසේ වෙතත් එම ප්‍රසාරණයට ප්‍රමාණවත් තරම් භෞතික සම්පත් හෝ මානව සම්පත් නොමැතිවීම නිසා එම අධ්‍යාපන ආයතන මගින් ලබාදෙන උපාධි වල ගුණාත්මක බව කෙරෙහි පැවතුනේ ප්‍රශ්නකාරී පසුබිමක්. එමෙන්ම ඇතැම් අවස්ථාවල කාර්මික විද්‍යාල වලින් ලබාදෙන සහතික පත්‍ර පවා උපාධි මට්ටමට පත් කළා. මේ හේතු බොහොමයක් නිසා සිම්බාබ්බේ රාජ්‍යය මගින් ලබාදෙන ඇතැම් උපාධි වල ගුණාත්මක බව අඩු ලෙස වර්ගීකරණය කිරීමට විශ්ව විද්‍යාල වල ප්‍රමිතිය පිළිබද කටයුතු කරන ජාත්‍යන්තර ආයතන කටයුතු කළා. ඒ නිසා ඒ මගින් ලබාදෙන ඇතැම් උපාධි වල පිළිගැනීම කෙරෙහි මතුවුණේ ප්‍රශ්නකාරී පසුබිමක්. නමුත් සිම්බාබ්බේ රාජ්‍යයෙන් උපාධි ලබාගත් වෛද්‍යවරු ආදී වෘත්තිකයන් බොහෝ ගණනක් විදෙස් රටවලට සංක්‍රමණය වී ඒවායේ විවිධ කාර්‍යයන් සිදු කරමින් ජීවත්වෙනවා. ඒ සම්බන්ධ විස්තර ලබාගත හැකියි මෙතනින්. Archived

ලෝකයේ විවිධ රටවල් විවිධ අවස්ථාවලදී ආර්ථික බංකොලොත්වීම් වලට ලක්ව තිබෙනවා. නමුත් එම තත්ත්වයන් මැඩ පවත්වා සාර්ථකව නැගී සිටි රටවල් තිබෙනවා. පසුගිය වසර 200 ක කාලය දෙස අවධානය යොමු කළ විට පෘතුගාලය 4 වතාවක් බංකොලොත්වීම් වලට ලක්ව තිබෙනවා. ස්පාඤ්ඤය 6 වතාවක් පමණ බංකොලොත්වීම් වලට ලක්ව තිබෙනවා. ග්‍රීසිය 5 වතාවක් බංකොලොත්වීම් වලට ලක්ව තිබෙනවා.ඒ සම්බන්ධ විස්තර මෙතනින්. Archived

තානාපති කාර්යාල

ලංකාවේ තත්වය සම්බන්ධයෙන් හුවමාරු වන සටහන් පිලිබඳ විමසීමට අප ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්‍යාලයෙන් සහ බ්‍රිතාන්‍ය, කැනඩා, ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්‍යාලවලින් කරුණු විමසා සිටියා. ඔවුන් අප සමග පැවසුවේ ලාංකිකයන්ට රැකියා කිරීම සදහා ලබාදෙන වීසා (Work Visa) ලබාදීම අත්හිටුවීම සදහා මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සහ ඒ සම්බන්ධයෙන් සූදානමක් නොමැති බවයි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ උප සභාපති මහාචාර්‍ය චන්දන උඩවත්ත මහතා අප සමග පැවසුවේ කොවිඩ් 19 ගැටලුව, ආර්ථික අර්බුදය ආදී කුමන තත්ත්වයන් හමුවේ වුවත් ලාංකීය විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන මගින් ලබාදෙන උපාධිවල ජාත්‍යන්තරව පවතින වලංගු බව පිළිබදව ගැටලුවක් මෙතෙක් ඇතිවී නොමැති බවයි. ඔහු අවධාරණය කලේ රටේ යම් යම් ආර්ථික ප්‍රශ්න තිබුණත් උපාධි , සහතික පත්‍ර ආදිය ලබාදීමේදී පිළිපදින නිර්නායක /ප්‍රමිතීන් වෙනස් නොකරන තාක්කල් උපාධි වල ජාත්‍යන්තර වලංගු බව පිළිබද ගැටලුකාරී තත්ත්වයක් ඇති නොවන බවයි.

කෙසේ වෙතත් රටේ පවතින දැඩි උද්ධමන තත්ත්වය දිගින් දිගටම පැවතුනහොත් බුද්ධි ගලනයක් ඇතිවීමේ ප්‍රවණතාවක් අනාගතයේදී ඇතිවිය හැකි වුවත් පවතින වත්මන් තත්ත්වය තුළ විශ්ව විද්‍යාල වල ප්‍රමිතියට දැඩි බලපෑමක් ඇතිවිය හැකි බුද්ධි ගලනයක් සිදු නොවන බවත් ඔහු පැවසුවා.මේ වසරේදී අයවැය මගින් අධ්‍යාපනයට වෙන්කර ඇති මුදල් ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව යම් අඩුවීමක් පෙන්නුම් කළත් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව මගින් ලැබෙන ආධාර නිසා එම තත්ත්වය මගින් අහිතකර බලපෑම් ඇති වී නොමැති බවයි ඔහු පැවසුවේ. ජාත්‍යන්තර ප්‍රමිතිගත තත්ත්වයන් ආරක්ෂා කරන තාක්කාල් ආර්ථික අර්බුදය කෙතරම් දරුණු වුවත් ලංකාවේ විශ්ව විද්‍යාල/උසස් අධ්‍යාපන ආයතන මගින් පිරිනමන උපාධි සහතික වල වලංගුතාවය අභියෝගයට ලක් නොවනු ඇති බවයි ඔහු පැවසුවේ. මේ වන විට ලංකාවේ විශ්ව විද්‍යාල/උසස් අධ්‍යාපන ආයතන සතුව ප්‍රමාණවත් භෞතික සහ මානව සම්පත් පවතින බවත් ඔහු පැවසුවා.

වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන හා වානිජ පීඨයේ මහාචාර්‍ය අමින්ද මෙත්සිල පෙරේරා

මේ සම්බන්ධයෙන් අප හා අදහස් දැක්වූ වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන හා වානිජ පීඨයේ මහාචාර්‍ය අමින්ද මෙත්සිල පෙරේරා පවසා සිටියේ රටක් බංකොලොත් තත්ත්වයට පත්වීම හේතුවෙන්ම එයම පදනම් කර ගනිමින් රටවැසියන්ට වෙනත් රටකට ගොස් රැකියා කිරීමේ අයිතිය අහිමිවීමත් හෝ උපාධි සහතික වලංගු ලෙස පිළි නොගැනීම සිදු නොවන බවයි.කෙසේ වෙතත් රට වැසියන් අර්බුදය නිසා විශාල වශයෙන් යම් විදෙස් රටකට දැරිය හැකි ප්‍රමාණයකට වඩා සංක්‍රමණය වීමට උත්සාහ දැරුවහොත් වීසා තානාපති කාර්‍යාල ආදිය මගින් වීසා ලබාදීම ආදිය අත්හිටුවීමට ඉඩකඩ ඇති බවත් ඔහු පැවසුවා.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Avatar

Title:බංකොලොත්වූ ශ්‍රී ලංකාවේ රැකියා සඳහා විදෙස් ගතවීමේ හැකියාව සහ උපාධි සහතික වල වලංගු බව !

Fact Check By: Kalana Krishantha

Result: Explainer