
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව පිළිබඳව ශ්‍රී ලංකාව තුළ විශාල වශයෙන් කතාබහට ලක්වෙනවා. මෙහිදී මූලික වශයෙන්ම 2009 වසරේදී නිමවූ යුද්ධය සහ එහි අවසාන සමයේ සිදුවූ සිදුවීම්, සංහිදියාව ඇති කරන යාන්ත්‍රණයන් පිලිබදව ශ්‍රී ලංකා රජයට යෝජනා ඉදිරිපත් කරනවා. නමුත් බොහෝ අවස්ථාවලදී මෙම යෝජනා වලට ශ්‍රී ලංකා රජය විරුද්ධවන අතර එම නිසා එම යෝජනා සම්බන්ධයෙන් ඡන්ද විමසීම් පැවැත්වෙනවා.
මෙම අවස්ථාවලදී ඇතැම් රටවල් ශ්‍රී ලංකා රජය සිටින මතයට අනුකුලව අදාළ යෝජනාවලට විරුද්ධව ඡන්දය භාවිතා කරන අතර තවත් සමහර රටවල් එම යෝජනාවලට පක්ෂව ඡන්දය පාවිච්චි කරනවා. එවන් වාතාවරණයක් තුළ මීට දින කිහිපයකට පෙර ලංකාවට සම්බන්ධ යෝජනාවක් පිලිබඳ ඡන්ද විමසීමක් පැවති අතර එහිදී එම යෝජනාව සම්මත වී තිබුණා. එනම් ශ්‍රී ලංකා රජය දැරූ ස්ථාවරත්වයට විරුද්ධ ස්ථාවරය, වැඩි ඡන්ද 13කින් සම්මත වුණා.
එවන් වටපිටාවක් තුළ නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වය යටතේ පවතින වත්මන් රජයට, ඉන්දියාව ආදී මීට පෙර මෙම යෝජනාවට සහය දැක්වූ ඇතැම් රටවල් ද සහය නොදැක්වූ බව හැගවෙන සමාජ ජාලා සටහන් සංසරණය වෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක්.
සමාජ ජාලා සටහන්
ඉන්දියාව ආදී රටවල් අලුත් ජනාධිපතිවරයා යටතේ පවතින රජයට මෙවර සහාය නොදැක්වූ බවත්, මීට කලින් සහාය දැක්වූ බවටත් දැක්වෙන සටහන් සමාජ ජාලාවල පැතිර ගියේ පහත අයුරින්.
“වෙනදා ලංකාවට සහාය දුන් ඉන්දියාව ,නේපාලය සහ මැදපෙරදිග රටවල් මෙවර අහක බලාගනී.මුළු ලෝකෙන්ම ලංකාවේ සහයට ඉන්නේ රටවල් 6 ක් පමණයි.බටහිර රටවල් සියල්ල ලංකාවට විරුද්ධව සිටියි.කෝ බන් අර මුළු ජාත්‍යන්තරයම පිලිගන්නවා කියපු රනිල් වික්‍රමසිංහ …”

ඒ හා සම්බන්ධ තවත් සටහන් පැතිර තිබුණේ මේ ආකාරයෙන්.

මේ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

මේ සම්බන්ධව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.
Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)
අප මුලින්ම විමසා බැලුවේ පසුගියදා පැවති ලංකාවේ සංහිදියාවක් ඇති කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ යෝජනාවට පක්ෂව සහ විපක්ෂව ඡන්දය ලබාදුන් රටවල් සහ ඡන්දය ලබාදීමෙන් වැලකි සිටි රටවල් මොනවාද යන්න විමසා බැලීමයි. ඒ අනුව පහත දත්ත ඒ සම්බන්ධයෙන් ලබාගැනීමට අපට හැකිවුණා. ඒ පිළිබඳව පුවත් වාර්තාවක් මෙතනින්
ඒ අනුව (A/HRC/51/L.1/Rev.1) නම් ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ යෝජනාවට පක්ෂව රටවල් 20 ක් ඡන්දය භාවිතා කර තිබෙනවා. විපක්ෂය 7 ක් ඡන්දය භාවිතා කර තිබෙන අතර ඡන්දය ලබාදීමෙන් වැළකී ඇති රටවල් ගණන 20 ක් .
මේ එම යෝජනාවට පක්ෂව ඡන්දය පළකර ඇති රටවල් 20 පහතින්
- Argentina
- Armenia
- Czech Republic
- Finland
- France
- Germany
- Honduras
- Lithuania
- Luxembourg
- Malawi
- Marshall Islands
- Mexico
- Montenegro
- Netherlands
- Paraguay
- Poland
- Republic of Korea
- Ukraine
- UK of Great Britain & Northern Ireland
- United States of America
යෝජනාවට විරුද්ධව එනම් ශ්‍රී ලංකා රජයට සහාය පළකරමින් ඡන්දය පළකර ඇති රටවල් 7 පහතින්.
- Bolivia
- China
- Cuba
- Eritrea
- Pakistan
- Uzbekistan
- Venezuela
ඡන්දය පළකිරීමෙන් වැලකි සිට ඇති රටවල් 20 පහතින්.
- Benin
- Brazil
- Cameroon
- Ivory Coast
- Gabon
- Gambia
- India
- Indonesia
- Japan
- Kazakhstan
- Libya
- Malaysia
- Mauritania
- Namibia
- Nepal
- Qatar
- Senegal
- Somalia
- Sudan
- UAE
ඉන් අනතුරුව අප විසින් අවධානය යොමුකළේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මීට වසරකට පෙර , එනම් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමට පෙර ගෙන ආ යෝජනාවකට , එවක ශ්‍රී ලංකා රජය විසින් විරුද්ධවූ අවස්ථාවේ එයට පක්ෂව , එනම් යෝජනාවට විරුධව ඡන්දය ලබාදුන් පිරිස සහ ඡන්දය ලබාදීමෙන් වැලකි සිටි පිරිස සම්බන්ධවයි.
එහිදී අපට දැකගන්නට ලැබුණේ සමාජ ජාලා සටහන්වල දැක්වෙන ආකාරයට ලංකා රජයට සහාය පළකරමින් ඉන්දියාව,නේපාලය හෝ මැදපෙරදිග රටවල් යෝජනාවට විරුද්ධව 2021 වසරේදීද ඡන්දය භාවිතා කර නොමැති අතර , එහිදී ද ඔවුන් ඡන්දය භාවිතා කිරීමෙන් වැලකි සිට ඇති බවයි. ඒ පිලිබඳ පුවත් වාර්තාවක් මෙතනින්
2021 දී මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද බලය හිමි සාමාජික රටක්ව සිටි මැදපෙරදිග රට වන්නේ බහරේනය යි. එහිදී ඔවුන් ඡන්දය පළ කිරීමෙන් වැළකී සිට තිබෙනවා. මෙවර ඡන්ද බලය හිමි සාමාජික මැදපෙරදිග රටවල් වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාරයයි. ඔවුන්ද එම යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය පළ කිරීමෙන් වැලකි සිට තිබෙනවා. ඒ අනුව රනිල් වික්‍රමසිංහ රජයට මැදපෙරදිග රටවලින්, සමාජ ජාලාවල සදහන් ආකාරයේ යම් විශේෂ විරෝධයක් එල්ලව නොමැති බව පැහැදිලියි.
මානව හිමිකම් පිලිබදව කවුන්සිලයේ සංයුතිය කලින් කලට වෙනස් වන නිසා ශ්‍රී ලංකා රජයට පක්ෂපාති වන ආකාරයෙන් 2021 වසරේදී ඡන්දය ලබාදුන් රටවල් 11 අතරින් අදවන විට මානව හිමිකම් කවුන්සිලයේ සිටින්නේ රටවල් 8 ක් පමණක් වන අතර ඔවුන් අතරින් 7 දෙනෙක් පමණක් ඡන්දය ලබාදී තිබෙනවා. 2021 දී ලංකා රජයට පක්ෂපාති ආකාරයට ඡන්දය පලකළ සෝමාලියාව මෙවර ඡන්දය භාවිතා කිරීමෙන් වැලකි තිබෙනවා. 2021 දී ලංකා රජයට සහය පලකරන ලද ප්‍රබල රටක් වන රුසියාව මේ වන විට මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්ව ඇත්තේ යුක්රේන අර්බුදය නිසායි .
ඉන්දියාවේ ස්ථාවරය
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බටහිර රටවල් ගෙන ආ යෝජනාවට පක්ෂපාතිව සිය ඡන්දය ලබා නොදුන්නත් ඉන්දියාව මෙහිදී 13 වන සංශෝධනය පූර්ණව බලාත්මක කිරීම,අර්ථාන්විත බලය බෙදීමක් ලබාදීම ආදී කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් ,ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ක්‍රියාත්මක වීම ප්‍රමාණාත්මක තත්ත්වයක නොමැති බව පවසා තිබෙනවා. ඒ සම්බන්ධ විස්තරයක් කියවිය හැකියි මෙතනින්.
එසේම ජිනීවාහි දී මානව හිමිකම් කවුන්සිලයේ (HRC) වැඩි ඡන්දයකින් සම්මත වූ A/HRC/51/L.1 (Rev.1) යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවට විදේශ අමාත්‍යවරයා අදහස් දක්වා තිබුනේ මෙලෙසින්.
අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok

Title:පසුගිය වසර වල මානව හිමිකම් සමුළුවේදී ඉන්දියාවෙන් ලැබුණු සහාය නව ජනාධිපතිවරයාට මෙවර අහිමි වුණාද?
By: Kalana KrishanthaResult: Explainer
Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,