මිනිසුන් සංවේදීවන කරුණු ඔස්සේ ජනතාව නොමග යා හැකි සටහන්, ඡායාරූප, වීඩියෝ ඔස්සේ ෆේස්බුක් පරිශීලකයින් මුලා කරමින් ජනතාව අතර අසත්‍ය තොරතුරු පැතිරවීමට බහුලව භාවිතා වෙනවා. නොමිලේ සිදුවන වකුගඩු පරිත්‍යාගයක් පිළිබඳ සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ අතර එහි නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු අනාවරණය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

හදිසි අනතුරකට මුහුණ දුන් සුධීර් නමැත්තෙකු සහ ඔහුගේ බිරිඳ මරණයට පත් වීම හේතුවෙන් ඔවුන්ගේ වකුගඩු පරිත්‍යාගය සිදු කරන බවට පවසමින් අවශ්‍යතා ඇති අයට ඇමතීමට දුරකථන අංක ලෙස දක්වමින් සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link

මෙම සටහන මීට පෙර 2021 වසරේ සිට මෙම සටහන් සංසරණය වී තිබුණේ මෙලෙසින්. Archived Link

ෆේස්බුක් පරිශිලකයින් අතර බහුලව හුවමාරු වුණේ මේ අයුරින්.

WhatsApp ඔස්සේ ද මෙම පණිවිඩය බොහෝ දෙනෙක් බෙදා ගෙන තිබු අතර එවැනිම කරුණු සඳහන් ලංකාවේ දුරකථන අංකයක් යොදාගෙන ද සටහන් පෙළක් 2024 මාර්තු මස හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

කිසිවෙකුට හෝ මෙම පණිවුඩ මගින් උදව්වක් ලැබේ යයි යන හේතුවෙන් බොහෝ දෙනෙක් මෙම සටහන් හුවමාරු කරගෙන තිබු අතර එහි නිරවද්‍යතාවය සොයා කරුණු විමර්ශනය කිරීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

අප මුල් පණිවිඩයේ දක්වා ඇති දුරකථන අංක වෙත අපගේ අවධානය ප්‍රථමයෙන්ම යොමු වූ අතර ඒවා ලංකාවේ දුරකථන ජාල වලට අංක වලට වඩා වෙනස් බව දැක ගන්නට ලැබුණා. අප Fact Crescendo ඉන්දියානු කණ්ඩායම විසින් තහවුරු කළේ, මෙම දුරකතන අංක ඉන්දියානු ඇමතුම් අංක බවයි. එමෙන්ම ඉන්දියාවේද, මෙම පණිවිඩය බහුලව හුවමාරු වූ අතර මෙය අසත්‍ය පණිවිඩයක් ලෙස තහවුරු වී ඇති බවයි.

වකුගඩු බද්ධ කිරීම හා අවයව පරිත්‍යාග කිරීම සඳහා ඉන්දියාවේ අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය

මේ පිළිබඳව අප ඉන්දියානු මලයාලම් කණ්ඩායම විසින් කේරළයේ ප්‍රාන්ත රජයේ අවයව පරිත්‍යාග සිදු කෙරෙන අංශයකින් විමසීමක් කර තිබෙනවා. එහි නියෝජිතයෙකු සඳහන් කර තිබුණේ, WhatsApp හරහා අවයව බද්ධ කිරීම පිළිබඳ තොරතුරු බෙදා ගැනීමට එරට නීත්‍යානුකූලව හැකියාවක් නොමැති බවයි.

එමෙන්ම, අවයව ලබා ගන්නේ ලියාපදිංචි රෝහල්වල සිටින රෝගීන්ගෙන් පමණක් බවත්, මොළය මිය ගිය බවට ප්‍රකාශ කරන ලද රෝගීන්ගේ අවයව බද්ධ කිරීමට සුදුසුකම් ලැබීම සඳහා ඇගයීම් වට හතරකින් පසුව සුදුසුකම් ලබා ඇත්නම් පමණක් අනුමැතිය ලබා දීම ප්‍රථමයෙන්ම සිදු කරන බවයි. මෙම පණිවිඩය සම්බන්ධයෙන් 2017 වසරේ දී ඔවුන් විසින් පැමිණිල්ලක් සිදු කර ඇති බවත්, එය ව්‍යාජ පණිවිඩයක් බවත් ඔවුන් තහවුරු කරනවා.

එමෙන්ම පැය හතර හයක් ඇතුළත හදවත් බද්ධ කළ යුතු අතර අක්මාව සහ වකුගඩු පැය අටක් ඇතුළත බද්ධ කළ යුතු බවත්, ඉන්ද්‍රිය බද්ධ කිරීම කළ හැක්කේ ලියාපදිංචි රෝහල් හරහා පමණකි. ඉන්ද්‍රිය පරිත්‍යාග කරන පුද්ගලයා ලියාපදිංචි නොකළ රෝහලක සිටී නම්, ඉන්ද්‍රීයන් නැවත ලබා ගැනීම සඳහා ඔවුන් ලියාපදිංචි රෝහලකට මාරු කරනු ලබන අතර රෝගියා මාරු කිරීම අපහසු නම් රජයේ අවසරය ඇතිව එම රෝහලම තාවකාලික මධ්‍යස්ථානයක් බවට පත් කරන බැවින් WhatsApp හරහා පණිවිඩ හරහා ලබා දෙමින් පුද්ගලයන් සෙවීම සිදු කිරීම විය නොහැකි සිදුවීමක් බවයි ඔවුන් වැඩි දුරටත් පවසා සිටින්නේ.

ඉන්දියාවේ 1994 මානව අවයව බද්ධ කිරීමේ පනත යටතේ වාණිජ අරමුණු සඳහා මිනිස් අවයව මාරු කිරීම වරදක් වන අතර 19 වැනි වගන්තිය යටතේ FIR වාර්තාවක් ගොනු කොට නඩුවක් ලියාපදිංචි කළ හැකි බවත් දක්වා තිබෙනවා.

සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශයට ජාතික ඉන්ද්‍රිය හා පටක බද්ධ කිරීමේ සංවිධානය (NOTTO) නමින් වෙනම අංශයක් ඇත. එහිදී එය පරිත්‍යාග කිරීම සඳහා අවයව තිබේද යන්න සහ ප්‍රමුඛතා ලැයිස්තුව මත පදනම්ව ඒවා බෙදා හැරීම සොයා බලයි. ප්‍රාන්ත සහ ප්‍රාදේශීය අංශ මගින් ඉන්ද්‍රිය පරිත්‍යාගය හා ලබා දීම නිසි ක්‍රියාපටිපාටි හා මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදු වන බවත් මීට අමතරව, අවයව පරිත්‍යාග කිරීමේ ප්‍රතිලාභ පිළිබඳව සන්නිවේදනය කරන කලාප බද්ධ සම්බන්ධීකරණ කමිටු ඇති බව ද, ඔවුන් තහවුරු කරනු ලබයි.

WhatsApp පණිවිඩයේ සඳහන් දුරකතන අංක

එමෙන්ම ඉහත පණිවිඩයේ දක්වා ඇති දුරකතන අංක තුනෙන් දෙකක් මේ වන විට භාවිතා නොවන බවත්, පළමු දුරකතන අංකය ඉන්දියාවේ, මීරට් හි (මීරට් යනු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බටහිර කොටසේ මීරුට් දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි) වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය සන්දීප් කුමාර් ගාර්ග්ට අයත් බවත්, Truecaller යෙදුමේ භාවිතා කරන්නන් කිහිප දෙනෙකු විසින් අවභාවිත කරමින් මෙය සත්‍ය පණිවිඩයක් බවට හැඟවීමට උත්සහ දරා ඇති බවද, ඉන්දියාවේ තවත් කරුණු පරීක්ෂක කණ්ඩායමක් විසින් සඳහන් කර තිබුණා. එම වාර්තාව මෙතනින්. මේ පිළිබඳව අප මලයාලම් කණ්ඩායම විසින් සිදු කරන ලද කරුණු විමර්ශන වාර්තාව මෙතනින්.

වකුගඩු රෝග පිළිබඳව මූලික අවබෝධයක් හා එය වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ 

මෙරට වකුගඩු බද්ධ කිරීම සම්බන්ධයෙන් පැන නගින සියලු මූලික තොරතුරු, ප්‍රධාන වකුගඩු රෝගාබාධ හා ප්‍රතිකාර හා වකුගඩු අක්‍රීයවීම සම්බන්ධයෙන් සියලු කරුණු ඇතුළත් "ඔබේ වකුගඩු සුරකින්න" යන පොත වකුගඩු රෝග පිළිබඳව මූලික අවබෝධයක් හා එය වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ ලබා දීමට උත්සාහ කර ඇති අතර මෙම ග්‍රන්ථයේ කතෘ වන්නේ වෘක්කවේද (වකුගඩු) වෛද්‍ය, විශේෂඥ වෛද්‍ය සුර්ජිත් සෝමයියා MBBS,DNB(Med), D.N.B.(Nephro)වේ. එහි සිංහල පරිවර්තනය මෙතනින්.

එසේම වරින් වර හුවමාරු වන මෙම ව්‍යාජ සටහන් පිලිබඳ ලංකාවේ වකුගඩු පිලිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු ද පවසා තිබුනේ මෙවැනි අසත්‍ය සටහන් හුවමාරු කරගැනීමෙන් වළකින ලෙසයි. මොළේ මැරුණු පුද්ගලයෙකුගේ වකුගඩු ලබාගැනීමේ හැකියාවක් තියෙනවනම් (භාරකාරයින්ගේ කැමැත්ත ලැබුනොත්) අදාල දැඩි සත්කාර ඒකකයේ දැනුම් දීම මත සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුදැනුම යටතේ පොරොත්තු ලේඛන වල උඩින්ම සිටින, ගැලපෙන රෝගීන්ට වකුගඩු ලබාදීම සිදුවන බවත්, එම ක්‍රියාදාමය දැනටත් කාර්‍යක්ෂමව සිදුවන බව ද මෙම පණිවිඩයේ දැක්වෙන පරිදි නිවසේ සිටින අයට කතා කර මොළේ මැරුණු අයගෙ වකුගඩු ගැනීමට නොහැකි බව ඒ මහතා පවසා තිබු ෆේස්බුක් සටහන මෙතනින්. Archived

ලංකාවේ අවයව ප්‍රදානය කිරීමේ ක්‍රියාපටිපාටිය

ලංකාවේ ද බොහෝ අවයව පරිත්‍යාගයන් සිදුවන්නේ මියගිය පරිත්‍යාගශීලීන්ගෙන්. අවශ්‍ය තරම් අවයව ප්‍රදානයන්ගේ හිඟකම විශේෂයන්ම වකුගඩු රෝගීන් සම්බන්ධයෙන් ලංකාවේ ද ගැටළුකාරී තත්වයක් ඇතිවී මේ හේතුවෙන් අවාසනාවන්ත ලෙස පුද්ගලයින් 5000කගේ පමණ ජිවිත අහිමි වෙනවා. කෙසේනමුත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ආකාරයට අවයව දන්දීම පිලිබඳ හුවමාරු වන්නේ නොමඟ යවන සුළු සටහනක්. ඒ පිළිබඳව ලංකාවෙත් රෝහල් හරහා ලියාපදිංචි කරමින් සිදුවන ක්‍රියාපටිපාටියක් තිබෙනවා.

අවයව ලබාගැනීමට Waiting List එකක් ලංකාවේ ද පවතින අතර අවයව දන් දෙන සහ ලබාගන්නා පුද්ගලන්ගේ ගැළපීම පිළිබඳව සලකා බැලෙනවා. කෙසේවෙතත් ලංකාවේ ද අවයව ප්‍රදානයන් වැඩි වශයෙන් සිදුවන්නේ ඔවුන් සායනිකව සහ නීත්‍යානුකූලව මොළය මිය ගිය බව සැලකීමෙන් පසුවය. උදාහරණයක් ලෙස හදිසි අනතුරකට ලක්ව හෝ වෛද්‍යවරුන් කොතරම් උත්සාහ කළත් නැවත පණ ගැන්වීමට නොහැකිව දැඩි ලෙස රෝගාතුරව සිටින අයෙකු මොළය මිය ගිය අයෙකු ලෙස සලකනු ලබන අතර, ඉදිරි පැය 24 හෝ 48 තුළ අනෙකුත් අවයව ද මිය යයි. එබැවින්, මෙම කාල සීමාව අතරතුර දී අදාළ පුද්ගලයා අවයව පරිත්‍යාග කළ හැකි පරිත්‍යාගශීලියෙකු ලෙස සැලකිය හැකිය.

එක් පරිත්‍යාගශීලියෙකුට ජීවිත අටක් දක්වා බේරා ගත හැකි බවත් නිවසේ දී මියගියහොත් අවයව දන් දීම ලංකාවේදී අපහසු බවත්, අවයව පරිත්‍යාග සහ බද්ධ කිරීමේ පදනමේ කමිටු සාමාජික වෛද්‍ය යසුනි මානික්කගේ සඳහන් කරයි. ලංකාවේ නීතියට අනුව දැනට වයස අවුරුදු 21 සිට 80 පමණ දක්වා අවයව දායකයෙකු විය හැකි අතර, පරිත්‍යාගශීලියා අවයව ප්‍රදානයට සුදුසුද නැත්ද යන්න පිලිබඳ වෛද්‍ය අධ්‍යනයයක් ද සිදුකෙරෙනවා. ලංකාවේ ප්‍රධාන වශයෙන් වකුගඩු සහ අක්මා බද්ද සිදුවනවා. ඒ සම්බන්ධ ලිපියක් මෙතනින්. වීඩියෝවක් පහතින්.

https://youtu.be/yrXM8CiUPC0?t=117

Also Read: පාස්ලි කොළ භාවිත කරමින් වකුගඩු වල ඇති විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමේ පානයක්?

FACT CHECK : වකුගඩු ආබාධයකට ආධාර ලබාදෙන ලෙස පලවූ මෙම සටහනේ තරුණිය දැනට ජීවතුන් අතර නොමැත!

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, හදිසි අනතුරකට මුහුණ දුන් පුද්ගලයින් මරණයට පත් වීම හේතුවෙන් ඔවුන්ගේ වකුගඩු පරිත්‍යාගය සිදු කරන බවට පවසමින් අවශ්‍යතා ඇති අයට ඇමතීමට දුරකතන අංක දක්වමින් සඳහන් කරමින් හුවමාරු වන්නේ ව්‍යාජ පණිවිඩ බවයි. 

එසේම WhatsApp පණිවිඩ හරහා වකුගඩු අවශ්‍යතාවයන් ඇති පුද්ගලයන් සෙවීම සිදු කිරීම කිසිසේත්ම නීත්‍යානුකූල නොවන බවත්, ලියාපදිංචි රෝහල් හරහා අවශ්‍ය ඉන්ද්‍රියන් සපයාගැනීමේ ක්‍රියාවලිය නිසි ආකාරයට දැනටත් සිදුවන බවත් පැහැදිලි කරමින් ඉන්දියාවේ මෙන්ම ලංකාවේ වෛද්‍යවරුන් පවසා සිටින්නේ මෙවැනි වංචනික සහ ව්‍යාජ පණිවුඩ වලට රැවටීමෙන් මෙන්ම හුවමාරු කරගැනීමෙන් ද වැලකී සිටින ලෙසයි.

Avatar

Title:වකුගඩු 04ක් පරිත්‍යාග කරන ලෙස ඉල්ලීමක් සමඟින් හුවමාරු වන WhatsApp පණිවිඩයේ ඇත්ත කතාව!

Fact Check By: Pavithra Sandamali

Result: False