දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

Frank Hoogerbeets , ලංකාවේ භුමිකම්පා සහ අනුමාන !

තුර්කියේ සිදුවූ දැවැන්ත භූමිකම්පාව හා සමගම පසුගිය දින කිහිපයේත් ඇතිවූ භූ-කම්පා පෙළ සමඟින්, මේ පිළිබඳව සමාජයේ විශාල කතිකාවතක් නිර්මාණය වී තිබෙනවා. ශ්‍රී ලංකාවේද බුක්තල ආදී ප්‍රදේශ කිහිපයක සුලු භූ-චලනද ඇතිවුයේ මේ වකවානුවේදීයි.

මේ අතර Frank Hoogerbeets නම් නෙදර්ලන්ත ජාතික පර්යේෂකයා විසින් භූකම්පන පිලිබදව පවසන අනාවැකි මෙන්ම භූ කම්පා කලින් අනාවරණය කර ගත හැකිද සහ ලංකාවේ අවදානම් තත්වයන් කරුණු කාරණා පිලිබදව FactCrescendo කණ්ඩායම මගින් කරුණු විමසා බැලීමක් සිදු කළා.

Solar System Geometric Survey නැතහොත් SSGEOS නමින් හඳුන්වාගන්නා සංවිධානයක් මගින් Frank Hoogerbeets නම් ඕලන්ද ජාතික ආන්දෝලනාත්මක පර්යේෂකයා විසින් පවසන ලද අදහස් සමගින් දිගින් දිගටම ට්විටර් පණිවිඩ පළ කරමින්, විවිධ ප්‍රදේශවලට භූමිකම්පා ඇතිවන බවට වන අනතුරු ඇගවීම් පළකෙරුණා.

තුර්කි භූ කම්පන සම්බන්ධයෙන් මෙලෙස නිකුත් කල පුරෝකථනවල දින පරාසයන්ගේ සහ භූ ගෝලීය කලාපයන්ගේ යම් ආසන්න බවක් දිස්වීම නිසා එම සංවිධානයේ පුරෝකථන වෙත මේ වන විට බොහෝදෙනාගේ අවධානය යොමුව තිබෙනවා.

SSGEOS සංවිධානය භූ කම්පන පිලිබදව සිය පුරෝකථන ඉදිරිපත් කරන්නේ ප්‍රධාන වශයෙන්ම පෘථීවියේ මෙන්ම අනෙත් සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහ වස්තුන්ගේ භ්‍රමණය, ඒවා පිහිටන ස්ථාන ආදිය මත පදනම්ව බව ඔවුන්ගේ වෙබ් අඩවියේ සදහන් වනවා. එමෙන්ම ඔවුන් ඒ සදහා මෘදුකාංගයක් සකසා ඇති බවද සදහන්.

කෙසේනමුත් Hoogerbeets විසින් අතීතයේ පවසන ලද සියලු පුරෝකථන සත්‍ය හෝ අර්ධ සත්‍ය බවට පත්ව නැහැ. ඔහුගේ ඇතැම් පුරෝකථන සම්පුර්ණ වශයෙන්ම අසාර්ථක වී තිබෙනවා.

එහෙත් මෙම අනාවැකි සම්බන්ධයෙන් බොහෝ ප්‍රධාන ධාරාවේ විද්‍යාඥයන් සහ සංවිධාන සැලකිය යුතු පිරිසක් මේ වන විටත් සිය විරෝධය පළකර තිබෙනවා. ඔවුන් පවසන්නේ භූකම්පන සම්බන්ධයෙන් නිශ්චිත අනාවැකි පළකිරීම වර්තමාන විද්‍යාත්මක දැනුම අනුව සිදුකල නොහැකි දෙයක් බවයි.

ඇමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ මෙතෙක් ලෝකයේ කිසිම විද්‍යාඥයෙක් හෝ සංවිධානයක් විසින් භූ කම්පනයක් පිලිබදව නිශ්චිත අනාවැකියක් පවසා නොමැති බවත් මෙතෙක් දියුණුව ඇති විද්‍යාව සහ තාක්ෂනය අනුව සිදුකල හැක්කේ යම් භූගෝලීය ප්‍රදේශයක , නිශ්චිත කාලරාමුවක් තුළ භූ කම්පනයක් ඇතිවීමට ඇති හැකියාව පිළිබදව සම්භාවිතාවය ගැන යම් අදහසක් පළ කිරීම බවයි.

ඔවුන්ට අනුව භූ කම්පනයක් පිළිබඳව අනාවැකියක තිබිය යුතු මුලික කරුණු 3 ක් පවතිනවා. එනම් , භුමි කම්පාව සිදුවන දිනය සහ වෙලාව ,භුමි කම්පාවේ විශාලත්වය , ස්ථානය යන කරුණුයි. ඔවුන්ට අනුව, මෙම කරුණු 3 සම්පුර්ණ නොවන්නේ නම් එය භූ කම්පන පිළිබඳව වන අනාවැකියක් ලෙස හැදින්විය නොහැකියි.

Hoogerbeets ගේ ප්‍රකාශ, ලංකාවේ භූ කම්පන, ඒවායෙන් වැව් බැමිවලට හානි සිදුවෙන ප්‍රවණතා පවතීද යන කරුණු පිළිබද විස්තර දැනගැනීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ විද්‍යාව පිළිබද හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න ව සම්බන්ධ කර ගැනීමට අපට හැකියාව ලැබුණා.

මහාචාර්යවරයා පැවසුවේ භුමිකම්පා සිදුවන ආකාරය පිලිබදව නිශ්චිතව අනුමාන කල හැකි ක්‍රමයක් පිළිබඳව පර්යේෂණ සිදුකරන විශාල පිරිසක් අතර තමන්ද එක් අයෙකු බවයි. භූ කම්පන සිදුවීමේ යම් පුනරාවර්තනිය රටාවක් (Recurrence) පවතින බව හදුනා ගැනීමට තමන්ටද හැකියාව ලැබුණු බව ඔහු පැවසුවා.

මහාචාර්යවරයා පැවසුවේ, මේ සම්බන්ධයෙන් යම් පෘථිවි භ්‍රමණයේ සහ ග්‍රහ වස්තූන් සහ පොදුවේ සැලකු විට යම් විශ්වීය චලනයන්ගේ බලපෑමක් ඇති බව සිතීමට සිදුවන බවයි. යම් සුර්යග්‍රහණ ,චන්ද්‍රග්‍රහණ ආදිය සිදුවූ අවස්ථාවලදී සිදුවූ භූ චලන ආදී සංසිද්ධි නිරීක්ෂණය කිරීමෙන් මෙම තත්ත්වය වඩාත් පැහැදිලි වන බවත් ඔහු පැවසුවා.

නමුත් මෙම සියලු තත්ත්වයන් සලකා බලා යම් සමීකරණයක් තුලින් භූමිකම්පාවක් නිශ්චිතවම සිදුවන කාලයක් තීරණය කිරීමට මෙතෙක් කිසිදු පර්යේෂකයෙක් සමත්ව නොමැති බව තමන්ගේ අදහස බවයි මහාචාර්ය අතුල සේනාරත්න පැවසුවේ. ඔහු තවදුරටත් පවසන්නේ යම් භුකම්පා අනාවැකියක්, සාර්ථක පුරෝකථනයන් ලෙස හැදින්වීම සදහා පුරෝකථන 10 ක් පවසින විට ඉන් 7 ක් හෝ 8 ක් සාර්ථක විය යුතු බවත් සාර්ථක වන්නේ අනාවැකි 5 ක් හෝ අඩු ප්‍රමාණයක් නම් එය සාර්ථක පුරෝකථනයන් ලෙස අර්ථ දැක්විය නොහැකි බවයි මහාචාර්යවරයා ගේ අදහස.

ශ්‍රී ලංකාවේ සිදුවන කුඩා භූ චලන මාලාව පිලිබඳව ද අදහස් දක්වමින් මහාචාර්ය අතුල පැවසුවේ දැනට වසර මිලියන සිය ගණනකට පෙර පෘථීවියේ භූ විෂමතාව වර්තමානයේ පවතින ස්වරූපයට වඩා සම්පුර්ණයෙන් වෙනස් ස්වරුපයක පැවතුණු බවත් ඒ කාලයේ සක්‍රීයව පැවති, මේ වන විට අක්‍රීයව පවතින භූ තල මායිමක් ( Dead Plate Margin) රේඛාවක් හේතුවෙන්, පසුගිය දශක කිහිපයක කාලයේ දී , කුඩා භූ චලන මාලවක් ,බුත්තල ,වැල්ලවාය ආදී ප්‍රදේශවල දැකගනන්ට ලැබෙන බවයි.

මෙම රේඛාව ත්‍රිකුණාමලය සිට උස්සන්ගොඩ දක්වා බුත්තල වැල්ලවාය ආදී ප්‍රදේශ හරහා වැටී ඇති බවත් ඔහු පැවසුවා. කෙසේ වෙතත් මෙම රේඛාව ,මේ වන විට මුලික වශයෙන් අක්‍රීය තත්ත්වයක පවතින නිසා මේ තුළ රිච්ටර් මාපාංක 2,3,4 ට වඩා ඉහල වඩාත් විශාල භූ චලන ඇතිවීමේ හැකියාව ඉතා අවම තත්ත්වයක ඇති බවත් ඔහු පැවසුවා.

නමුත් මෙවැනි කුඩා, රිච්ටර් මාපාංක 3ක භුමි කම්පාවක් වුවත් කොළඹ නගරයේ සිදු වුවහොත්, යම් විනාශකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බවත් එයට හේතුව වන්නේ නගරය තුළ පැරණි, අස්ථාවර ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් පැවතීම බවයි.

මධ්‍යම කදුකරයේ ඉදිකර ඇති විශාල ජලාශවල බැමි වලට සහ එහි ආරක්ෂිත ස්වභාවයන්ට මෙම භුමි කම්පා වලින් හානියක් වේද යන්න බොහෝ දෙනාගේ සිතට නැගෙන කරුණක්. මේ පිලිබදව අදහස් දැක්වූ මහාචාර්යවරයා පැවසුවේ මෙම කුඩා චලන නිසා ජලාශ බැමි වලට හානියක් සිදු වීමට ඇති ප්‍රවනතාවයක් නැති තරම් වන්නේ, ඒවා විදේශීය සමාගම් විසින් එම අවධියේ ලොව තිබු නවීන තාක්ෂණික ක්‍රම යටතේ සකසා ඇති බැවින් බවයි.

වික්ටෝරියා ජලාශය භාරව කටයුතු කරන මහවැලි අධිකාරිය හා අනුබද්ධව කටයුතු කරන සිවිල් ඉංජිනේරුවරයෙක් වන උදිත් ඒකනායක සඳහන් කර සිටියේ කුඩා භූ චලන වලින් මෙතෙක් වේල්ලට හෝ ආසන්න ප්‍රදේශවල පිහිටි රන්දෙනිගල , කොත්මලේ වැනි අනෙත් වේලිවලට හානි සිදුවී නොමැති බවයි.

කම්පන සංවේදී උපකරණ වික්ටෝරියා වේල්ලේ සවිකර ඇති බවත් ඒවායෙන් ලබාගත් දත්ත මත සහ අනෙකුත් උපකරණ වලින් ලබාගත් දත්ත මත (Instrumental Reading) පැහැදිලි වන්නේ බුත්තල ,වැල්ලවාය ආදී ප්‍රදේශවල සිදුවූ භූ චලන නිසා වේල්ලට කිසිදු හානියක් සිදුව නොමැති බවත් ඔහු පවසනවා. පැය 24 පුරාම ක්‍රියාත්මක වන Real Time Monitoring ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බවත් අවධාරණය කරමින් ඉංජිනේරුවරයා වැඩිදුරටත් පැවසුවේ ඕනෑම අවස්ථාවකට මුහුණදීම සදහා හදිසි ක්‍රියාකාරිත්ව සැලැස්මක් (Emergency Action Plan) පවතින බවයි.

ඒ අනුව කිසියම්ම හෝ ආකාරයකින් ජලාශවල වේලි වලට හානි වුවහොත්, අදාළ රාජ්‍ය ආයතන,ජනමාධ්‍ය වහ වහා සම්බන්ධ කර ගනිමින් ජනතාව දැනුවත් කරමින් ජලයෙන් පහළ වන ප්‍රදේශවල ජනතාව ඔවුන් සිටින ස්ථාන වලින් ඉවත් විය යුතු ආකාරය ආදිය සම්බන්ධ විශේෂිත ආරක්‍ෂිත වැඩපිළිවෙල ක්‍රියාත්මක බවත් ඔහු පැවසුවා.

දිවුලපිටියේ සිටින අමුතු සත්ත්වයෙකුගේ වීඩියෝවේ ඇත්ත කතාව!

“නමක් දන්නෑ, දිවුලපිටියෙ මේ. වලිගය දඬු ලේනෙකුගෙ වගෙ හොම්බ අලියෙකුගෙ වගේ. පැටවුනුත් ඉන්නව පිටසක්වල ජීවියෙක්ද?” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් බොහෝ දෙනා අතර සංසරණය වුණා.

FactCrescendo කරුණු විමසුමේදී තහවුරු වුයේ මෙම සමාජ ජාලා සටහන් නොමගයවනසුලු බවත්, මෙම සත්වයා කිසිලෙසකත් ලංකාවේ ජීවත්වන සත්ව කොට්ඨාශයක් නොවන බවයි.

ඒ අනුව දැක ගන්නට ලැබුණේ, අත්භූත සතෙකුගේ බව කියමින් හුවමාරු වන මෙම වීඩියෝව, මැලේසියාවේ ද, සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී ඇති බවත්, ඒ පිළිබඳව එරට Sarawak Forestry Corporation (SFC) විසින් පැහැදිලි කර තිබුණේ, මැලේසියාවේ වීඩියෝවක් නොවන බවයි. එලෙසම ඉන්දුනීසියානු බලධාරීන් ද එය ඉන්දුනිසීයාවේ සිදුවීමක් නොවන බවට පවසා තිබුණා.

එමෙන්ම මෙම වීඩියෝව මුලින් පළකර තිබු ටික්ටෝක් ගිණුමේ සඳහන් කර තිබුනේ මෙය බ්‍රසීලයේ දර්ශන පෙළක් බවයි.

මෙම සත්ත්වයාගේ ඡායාරූප Reverse Image සෙවුමක් සඳහා යොමු කිරීමේදී ‍මෙම සත්ත්වයා Myrmecophaga tridactyla යන විද්‍යාත්මක නමින් හඳුන්වන යෝධ ඇන්ටීටර් (Giant Anteaters) වර්ගයක් බව අනාවරණය වුණා. මෙම සත්ව විශේෂය දැක ගන්නට ලැබෙන්නේ විශේෂයෙන්ම දකුණු ඇමරිකාවේ, දකුණු බ්‍රසියල්යේ සහ ග්වාටමාලාවේ සිට උතුරු ආර්ජන්ටිනාව යන කලාපවල බවත් වාර්තා වෙනවා.

යෝධ ඇන්ටීටර් සත්වයා ලංකාව ඇතුළු ආසියානු කලාපයේ ම දැක ගන්නට නොලැබුණත්, ලංකාවේ ද Ant Eaters වර්ගයක් දක්නට ලැබෙනවා. ඒ, කබැල්ලෑවා නැතහොත් Indian Pangolin (Manis crassicaudata) නමින් හැඳින්වෙන සත්වයා යි.

ඉන්දියාවේ සහ ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපයට ආවේණික මෙම සත්ව විශේෂයේ ගහණය ද ක්‍රමයෙන් අඩුවෙමින් පවතින අතර වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්වයෙකු ලෙස ජාත්‍යන්තර රතු දත්ත පොතෙහි වර්ග කර තිබෙනවා. සිරුර පුරා කොරපොතු ආවරණයක් කබැල්ලෑවා, මෙම සුවිශේෂී කිෂීරපායි සත්ත්ව විශේෂය පිලිබඳ අධ්‍යයන කිහිපයක් ම සිදුකර තිබෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය ප්‍රියාන් පෙරේරා පවසන්නේ, රාත්‍රී කාලයේ දී වඩා සක්‍රීය වන මෙම දුර්ලභ සත්වයා, වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ආරක්ෂිත කොට තිබෙන සත්වයෙකු වුවද, ලංකාවේ දී මස් පිණිස දඩයමට ද ලක්වෙන අතර නීති විරෝධී ජාත්‍යන්තර වෙළඳාම හේතුවෙන් ද මෙම සත්ව කොට්ඨාශයේ ගහණය අඩුවෙමින් පවතින බවයි.

ජනතා විමුක්ති පෙරමුණත් ඡන්දේ කල් දාන ලෙස තමාගෙන් ඉල්ලීමක් සිදු කළ බවට ජනාධිපති පැවසුවා ද?

“ජනතා විමුක්ති පෙරමුණත් කිව්වා ඡන්දේ කල් දාන්න කියලා, ඔබතුමත් කිව්වා නේද මට කතා කරලා ඡන්දේ කල් දාන්න කියලා (අනුර කුමාර දිසානායකව පෙන්වමින්)” යනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ පෙබරවාරි 23 දින පාර්ලිමේන්තුවේදී පැවසු බව හඟවමින් ෆේස්බුක් සටහනක් බොහෝ දෙනා අතර හුවමාරු වී තිබුණා.

නමුත් මේ පිලිබඳ Factcrescendo සිදුකළ පරික්ෂාවේ දී දැකගන්නට ලැබුනේ මෙම සටහන් අසත්‍ය බවත් මෙහිදී ජනපති අත දිගු කරමින් චෝදනා කරන්නේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර වෙත නොවන බවයි.

අප පළමුවෙන්ම පෙබරවාරි 23 දින පාර්ලිමේන්තුවේ දී ජනපති රනිල් වික්‍රමසිංහ අදහස් දැක්වූ දර්ශන පෙළ නිරීක්ෂණය කළා. රටේ පවතින වර්තමාන ආර්ථික තත්ත්වය තුළ ඡන්දයක් පැවැත්වීම මුදල් සපයාගැනීම අපහසු බවත්, තාවකාලිකව පිහිටුවා ඇති මෙම මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ පවැත්වීම පිළිබඳව තීරණය නීත්‍යානුකූලව ගෙන නොමැති බවත්, ඇතුළු කරුණු එම කතාව අතරතුරදී ජනපති පවසනවා.

ජනපතිගේ කතාව අතරතුර එක් අවස්ථාවක දී විපක්ෂය වෙත අත දිගු කරමින් ඔහු පවසන්නේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට පළාත් පාලන ඡන්දය මේ මොහොතේ පැවත්වීම අවශ්‍ය නොවන බවත්, පාර්ලිමේන්තුවේ දී හඬක් නගා පසුව ඒ පිළිබඳ කතා කිරීම නවත්වගන්නා බවත්,ඡන්දය හැකි නම් කල් දමනා ලෙස තමන් ඇතුළු ආණ්ඩු පක්ෂයේ පිරිසකගෙන් ද ඉල්ලා ඇති බවත් යන්නයි.

එසේම නැවත වරක් විපක්ෂය වෙත අත දිගු කරමින් ජනපති එක් වෙලාවක දී අසන්නේ “කිව්වේ නැද්ද ජනතා විමුක්ති පෙරමුණ නවත්තන්න, ඡන්දේ නවත්තන්න කියල…කිව්වේ නැද්ද” යනුවෙනි.

ජනපති මෙහිදී අත දිගු කර පුද්ගලයා වෙත ම තවදුරටත් අත දිගු කරමින් විපක්ෂය සිටින දිගු කරමින් පවසන්නේ එම පුද්ගලයා නඩුවක් දමා ඇති බවත් නඩුව ඉදිරියට ගෙන යන හැටි ඔහු නොදන්නා බවත්ය. ඒ අනුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙලෙසින්, බොහෝදුරට චෝදනාව එල්ල කර තිබෙන්නේ, එසේ නඩුවක් දමා තිබෙන සමගි ජන බලවේගයේ මහලේකම් වරයාට බව පෙනී යනවා.

තවද පෙබරවාරි 23 දින ජාතික බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වී නොතිබුණි. ඒ, ඔහු රත්නපුරයේ ජන රැලියකට සහභාගී වී තිබීම හේතුවෙන්. එම ජන රැළියේ දී, ඡන්දය කල් දමමින් සිටින ජනපතිගේ හැසිරීම විවේචනය කරමින් අනුර කුමාර දිසානායක අදහස් දක්වා තිබුණි.

Microsoft සමාගමෙන් ලංකාවට රුපියල් බිලියන 8.5ක අත්‍යාවශ්‍ය ඖෂධ ප්‍රදානයක් සිදුකළා ද?

“රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීමකට අනුව Microsoft ආයතනයෙන් රුපියල් බිලියන 8.5ක අත්‍යාවශ්‍ය ඖෂධ ප්‍රදානයක්” යනුවෙන් පුවතක් පළ වූ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වී තිබුණා.

FactCrescendo කරුණු විමසුමේදී තහවුරු වුයේ මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් අත්‍යාවශ්‍ය ඖෂධ ප්‍රදානයක් සිදුකර තිබුණත් එහි මිලියන අගය වෙනුවට බිලියන අගයක් යෙදීම හේතුවෙන් බොහෝ පිරිස් නොමඟ ගොස් තිබු බවයි.

පෙබරවාරි 13 වන දා The Island සහ 19 වන දා Sunday Observer යන ඉංග්‍රීසි භාෂා පුවත් වෙබ් අඩවියන්හි මේ සම්න්ධයෙන් පළවූ පුවත් කෙරෙහි අප මුලින්ම අවධානය යොමුකළා.

ඒ අනුව, රට තුළ පවතින ඖෂධ හිඟයට ප්‍රතිචාර දක්වමින් මයික්‍රොසොෆ්ට් සමාගම ශ්‍රී ලංකා රතු කුරුස සමාජයට (SLRCS), රුපියල් මිලියන 8.5ක් වටිනා අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාගයක් සිදුකළ බව සඳහන්.

එනම් සමාජ මාධ්‍ය සටහන් වල දක්වා තිබුණේ, රුපියල් බිලියන 8.5ක (කෝටි 850 ක නැතහොත් ලක්ෂ 85000ක) වටිනා ඖෂධ වුවද, පුවත් වාර්තා වල පෙන්වා දී තිබුණේ, රුපියල් මිලියන 8.5(ලක්ෂ 85 ක)ක් වටිනා අත්‍යවශ්‍ය ඖෂධ මයික්‍රොසොෆ්ට් සමාගම විසින් පරිත්‍යාග කළ බවයි.

මෙම පරිත්‍යාගය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ නිලධාරීන් ඉදිරියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඒ. ටී. සුදර්ශන වෙත මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා සහ මාලදිවයිනේ කළමනාකාර හර්ෂ රන්දෙනි විසින් භාර දුන් බවට වාර්තා කර තිබුණේ එම අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයක් ද, සමගින්.

එමෙන් ම ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ නිල ෆේස්බුක් පිටුවේ සටහනකින් ද, මේ සම්බන්ධයෙන් විස්තර පළ කර තිබුණා. එහි දැක්වෙන්නේ මයික්‍රොසොෆ්ට් සමාගම, ශ්‍රී ලංකාවේ සහ ආසියා-පැසිෆික් කලාපයේ සිය සේවකයින්ගේ දායකත්වය සමඟින්, ලංකාව තුළ පවතින ඖෂධ හිඟය මඟහරවා ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් 23,700 ක් (ලංකාවේ රුපියල් මිලියන 8.5ක් පමණ) වටිනා ඖෂධ, ‘Elixir’ නමැති වෛද්‍ය පරිත්‍යාග ලබාගැනීමේ වේදිකාව වෙත පරිත්‍යාග කර ඇති බවයි.

මේ පිළිබඳව අප තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඒ. ටී. සුදර්ශනගෙන් ද, විමසීමක් කළ අතර ඔහු ද, තහවුරු කළේ, මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඩොලර් 23,700 ක් වටිනා ඖෂධ පරිත්‍යාග කළ බවයි. රජය විසින් නොමිලයේ ජනතාවට බෙහෙත් වර්ග සැපයීම සඳහා දැරීමට සිදුවන වාර්ෂික පිරිවැය මෙරට මුදලින් රුපියල් බිලියන 56(කෝටි 5600) ක් පමණ වන බවත් වෛද්‍ය සුදර්ශන වැඩිදුරටත් සඳහන් කළා.

දුම්රියක් පැමිණෙන විට දුම්රිය පේළි මත දිගාවී නිරුපද්‍රිතව සිටිය හැකි දැයි අත්හදා බැලීම වැනි ක්‍රියා සිදුනොකරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවෙන් උපදෙස්!

ලංකාවේ සිදුවීමක් ලෙස අඟවමින් දුම්රිය පැමිණීමට පෙර දුම්රිය පීළි මත දිගා වී, දුම්රිය ඔහු මතින් ගිය ද, කිසිදු අනතුරකින් තොරව දිවි බේරා ගන්නා පුද්ගලයෙකුගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් පළ වී තිබුණා.

FactCrescendo කණ්ඩායම සිදුකල කරුණු විමසුමේදී ,මෙම සිදුවීම මෙරට සිදුවීමක් නොව 2018 වර්ෂයේ ඉන්දියාවේ සිදුවීමක් බවයි. අවුරුදු 24ක ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පුද්ගලයෙකු, ජීවිත අවධානමක් ගනිමින් ගෙන සිය ජංගම දුරකථනයෙන් මෙම සිදුවීම එම අවධියේ දී පටිගත වීමට ඉඩ සලසා තිබුණා.

කෙසේ වෙතත් මෙවැනි වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග මෙවැනි ක්‍රියා අත්හදා බැලීමට බොහෝ තරුණ පිරිස් පෙළඹෙන බැවින් අප දුම්රිය දෙපාර්තමේන්තුවේ, දුම්රිය ආර්ක්ෂණ මෙහෙයුම් ඒකකයෙන් මෙහි අවදානම පිළිබඳ විමසා බැලීමක් සිදු කළා.

මෙවැනි ජීවිත අවදානමක් ඇති ක්‍රියාවලට යොමු වීමෙන් වළකින ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, ලංකාවේ මෙලෙස ක්‍රියා කිරීම තුළින් ජීවිතක්ෂයට පත් වීමේ අවදානය වැඩි බව පෙන්වා දුන්නා.

දුම්රියේ cowcatcher(කුල්ල) අසුවුවහොත් අනිවාර්යයෙන්ම අනතුරක් විය හැකි බවත්, මෝටර් රථවල මෙන් දුම්රියේ යට කිසිදු ආවරණයක් නොමැති බැවින් එම ද්‍රව්‍ය වල වැදීමෙන්ද අනතුරු සිදුවිය හැකි බවත්, දුම්රිය ආර්ක්ෂණ මෙහෙයුම් ඒකකය පවසනවා.

දුම්රිය ආඥාපනතට අනුව දුම්රිය මාර්ගයකට ඇතුළුවීම පවා තහනම් බවත්, පසුගිය කාලවකවාණුවේ දුම්රියේ ගමන් කිරීමේදී, දුම්රියේ පා පුවරුවේ මෙන්ම දුම්රිය පීළි මත ‘Selfie’ ගැනීමට ගොස් බොහෝ තරුණයින් ජීවිතෙන්ද වන්දි ගෙවීමට සිදුවූ බවත්, මේ හේතුවෙන් දුම්රිය, දුම්රිය මාර්ග තුළ අනව්‍යශ්‍ය ක්‍රියා වීර ක්‍රියාවන් කිරීමට උත්සාහ නොකරන ලෙසත් දුම්රිය දෙපර්තම්නේතුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.