දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ගෝලීය උණුසුම ඉහල යාමත් සමගම ඇතිව ඇති දේශගුණික විපර්යාස හා සමගම අනාගතයේදී ඇතිවිය හැකි තත්ත්වයන් ලෙස නිතර පුරෝකථන ඉදිරිපත් වෙනවා. මෙම ඇතැම් පුරෝකථන දත්ත මත පදනම්වූ කරුණු වුවත් සමහර පුරෝකථනයන් ජනතාව නොමගයවන සුලු  මෙන්ම නුදුරු අනාගතය පිලිබදව අනියත බියක්ද මිනිස් සිත් සතන් තුළ ඇති කරවනවා. තවත් වසර 15 ක් වැනි කාල සීමාවක් ඇතුළත අයිස් යුගයක් ඇතිවනු ඇති බවට නිරන්තරයෙන්ම සමාජ ජාලා තුළ විටින් විට සංසරණය වන අතර මේ පිලිබදව අප විසින් කරුණු විමසා බැලීමක් සිදු කිරීමට උත්සාහ කළා.

සමාජ ජාලා සටහන් 

තවත් වසර 15 ක් ඇතුළත පෘථීවියේ අයිස් යුගයක් ඇතිවනු ඇති බවට සමාජ ජාලා සටහන් පැතිර තිබුණේ මෙලෙසින්.

Facebook | Archived

ඒ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

Fact Check

මේ සම්බන්ධව අන්තර්ජාල මුලාශ්‍රවල විවිධ කරුණු අන්තර්ගතව තිබුණු ඒ තුළ වඩාත් විශ්වාසනීය මුලාශ්‍ර ගණනාවක ඇති කරුණු පිලිබදව අපගේ අවධානය යොමු වුණා.

නාසා වෙබ් අඩවිය වසර ගණනාවක සිට පැවතෙන මෙම විශ්වාසයන් පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කරමින් සදහන් කරන්නේ මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මට යම් තර්ජනයක් ඇති කරන ආකාරයේ කුඩා අයිස් යුගයක් ඇතිවීමේ හැකියාවක් මෑත කාලීන අනාගතයේ නොමැති බවයි.

පෘථීවියේ ප්‍රධාන ශක්ති ප්‍රභවය වන සහ පෘථිවි උෂ්ණත්වය හෝ සීතල සම්බන්ධයෙන් වඩාත් වැදගත් වන සුර්යයා විසින් සිය ශක්තිය පිටකරන ක්‍රියාවලිය කාලයක් සමග විටින් විට වෙනස් වෙනවා.සුර්යයා ක්‍රියාකාරීත්වයෙන් වැඩි (සුර්ය ලප ) වැඩියෙන් ඇති කාල ,මෙන්ම සුර්ය ක්‍රියාකාරිත්වය අඩුවෙන් සිදුවන (සුර්ය ලප අඩු ) කාල සීමාවන් සමහර අවස්ථාවලදී චක්‍රීයව සිදුවන අතර එම කාල සීමාවන් අනුමාන කල හැකියි.ඇතැම් අවස්ථාවලදී සූර්ය ක්‍රියාකාරිත්වය ඉතා අඩු වන අතර දිගු කාලයක් පවතින එම කාල හදුන්වාදීම සදහා Grand Solar Minimum යන වචනය භාවිතයට ගන්නවා.මෙම Grand Solar Minimum කාල පරිච්චේදයත් සමගම ක්‍රිස්තු වර්ෂ 1650- 1715 අතර කාල සීමාව අතරදී ගිනි කදු වලින් පිටවූ අළු ඉහල අවකාශයේ රැදී සිටීම සහ පෘථීවියේ උතුරු අර්ධගෝලයේ උණුසුම විශේෂයෙන්ම අඩුවී පෘථිවිය මතුපිට උෂ්ණත්වයද අඩුව පැවත තිබෙනවා .එම ඇති වූ තත්ත්වය හැදින්වීම සදහා භාවිතා කර ඇති නාමය හැදින්වෙන්නේ Mini Ice Age (කුඩා අයිස් යුගය ) ලෙසයි.වඩාත් මෑතකදී ඇතිව ඇති “කුඩා අයිස් යුගය ,” එයයි.

සාමාන්‍යයෙන් චක්‍රීය ලෙස සිදුවන සූර්ය ක්‍රියාකාරිත්වයන් පිලිබදව සලකා බැලීමේදී දැනට සියවස් ගණනකට පෙර සිට එක සුර්ය චක්‍රයක් සිදුවීම සදහා ගතවන කාලය වසර 11 ක් ලෙස සැලකෙනවා.2008 වසරේ සිට ආරම්භවුණු සුර්ය චක්‍රයේ යම් වෙනස්කම් ඊට කලින් පැවති සුර්ය චක්‍ර 2 ට වඩා ඇති නිසා සමහර පර්යේෂකයන් අනාවැකි පලකලේ ඉන් අනතුරුව ඇතිවන සූර්ය චක්‍ර වඩාත් දිගු කලක් අඩු උෂ්ණත්ව යටතේ පවතිනු ඇති බවටයි.නමුත් ඒ සම්බන්ධයෙන් වන නිශ්චිත සාක්ෂි නැහැ.යම් හෙයකින් එම අනාවැකි සාර්ථක වුවත් ඔබ අප කවුරුත් දන්නා ගෝලීය උණුසුම හමුවේ උෂ්ණත්වය වැඩිවන ප්‍රමාණයන් හා සසදා බැලීමේදී එවැනි උණුසුම අඩුවීමක් නිසා පෘථිවිය මත උෂ්ණත්වය අඩු වන ප්‍රමාණයන් නොසලකා හැරිය හැකි තරම් කුඩායි.ඒ සම්බන්ධයෙන් වන වැඩිදුර විස්තර කියවිය හැකියි මෙතනින්. Archived

මහාචාර්ය චන්දන ජයරත්න - කොළඹ විශ්ව විද්‍යාලය 

අයිස් යුග පිළිබඳ ව මේ පලවන මතවාදවල සත්‍ය අසත්‍යතාව සහ විද්‍යානුකූල භාවය පිළිබඳව දැනගැනීම සඳහා අපගේ Fact Crescendo කණ්ඩායම විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්නව සමබන්ධ කරගත්තා.

ඔහුට අනුව අනුව, අයිස් යුගයන් නැවත නැවත ඇතිවන සිදුවීම් වන අතර එහි රටාවක් පවතිනවා. ඒ අනුව වසර ලක්ෂයකට වරක් දැවැන්ත අයිස් යුගයක් උදා වනවා. වසර 41000කට වරක් සාමාන්‍ය මට්ටමේ අයිස් යුග ඇතිවන අතර කුඩා පරිමාන අයිස් යුගයන් (mini ice ages) ඇතිවීමට ඇත්තේ ඊට වඩා වැඩි ප්‍රවනතාවයක් .වරින් වර මෙලෙස අයිස් යුග රටාවකට අනුව ඇතිවීම සිදුවන්නේ ප්‍රධාන වශයෙන් පෘථිවියේ චලනයන් හේතු කොටගෙනයි.මේ රටාවෙන් මිදී අයිස් යුගද ඇතිවන අතර ඒ සදහා වෙනත් හේතුද බලපෑ හැකියි.

ප්‍රධාන වශයෙන් පෘථිවි කක්ෂයේ සහ දිශානතියේ සිදුවන වෙනස්කම් නිසා මෙලෙස වරින් වර අයිස් යුග ඇති වෙනවා. වසර 41000කට වරක් පෘථිවි අක්ෂයේ නැඹුරුව වැඩි වීම සහ අඩු වීම සිදු වනවා. වසර 96000කට වරක් පෘථිවි කක්ෂයේ හැඩය වෙනස් වෙනවා. එමෙන්ම වසර 25800කට වරක් පෘථිවියේ අක්ෂය සෙලවෙයි. මේවාගේ ප්‍රථිඵලය ලෙස අවසානයේ ශීත සමයෙන් පසුද අයිස් දිය නොවී පවතිමින් අයිස් යුගයක් ආරම්භ කරනවා.

මීට වසර 11000කට පමණ පෙර අවසන් වරට ප්‍රධාන අයිස් යුගයක් පැවතුණා. පෘථිවියේ චලන සමඟ නැවත අයිස් යුගයක් උදා වීම පැහැදිලිවම සිදු විය හැකි වුණත්, එයට වසර දහස් ගණනක් ගත වේවි. ඉහත සඳහන් කළ චක්‍ර වලින් අවස්ථාවක්වත් අප ආසන්නයේ හෝ අවුරුදු 15කින් උදා වන්නේ නැහැ.

වර්තමානයේ පවතින දේශගුණික විපර්‍යාස තත්ත්ව සැලකූ විට, ගෝලීය උෂ්ණත්වය වැඩිවීම දෙසට වැඩි නැඹුරුතාවක් දක්වනවා. ඒ තත්ත්වයත් සමඟ තවත් වසර 15ක් තුළ මෙම තත්ත්වය ආපස්සට හැරේවි යැයි උපකල්පනය කිරීම අපහසුයි.

නමුත්, ආචාර්‍ය චන්දන ජයරත්නට අනුව, මේ කාල සීමාව තුළ සිදුවන යම්කිසි විශේෂිත සංසිද්ධියක් හේතුවෙන් මෙවන් අයිස් යුගයක් ඇතිවීමට අවකාශය පවතිනවා . දරුණු දූවිලි කුණාටු හෝ එවැනි සිදුවීමක් හේතු කරගෙන වායුගෝලයේ විශාල දූවිලි තට්ටුවක් හෝ වෙනත් ඕනෑම ආවරණ තට්ටුවක් තැම්පත් වීම සිදු වෙනවා. මෙමඟින් සූර්‍යාලෝකය සහ හිරුගෙන් නිකුත්වන කිරණවලින් බහුතරයක් පොළව මතට වැටීම වලක්වනවා. එහිදී පෘථිවි අභ්‍යන්තරය විශාල ලෙස සිසිල් වී එම තත්ත්වය ක්‍රමයෙන් අයිස් යුගයක් දක්වා වර්ධනය විය හැකියි.

නමුත් මෙවැනි සිදුවීමක් ඉදිරි වසර ගණනක කාලය තුළ සිදුවන බවට කිසිදු ලෙසකිනුත් වාර්තා වන්නේ නැහැ. එබැවින් ඉදිරි වසර 15 තුළ අයිස් යුගයක් උදාවන බව තහවුරු කරමින් පලකරන මත පිළිගැනීම අපහසුයි .

එවන් තත්ත්වයක් යම් ලෙසකින් එම කාල සීමාව තුළ ඇතිවීමේ හැකියාව පැවතියත්, එය දේශගුණික හා අභ්‍යවකාශ විද්‍යා දත්තවලට අනුව සොයා ගැනුනු හෝ තහවුරු කළ තත්ත්වයක් නොවේ. අහම්බෙන් ඇතිවන යම්කිසි වෙනසක ප්‍රතිඵල ලෙස පමණක් මෙවැනි තත්ත්වයක් ඇතිවීම සඳහා ඉතා අඩු සම්භාවිතාවක් පවතිනවා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion

අප විසින් සිදු කරන ලද කරුණු අනුව තහවුරු වුවේ ඉදිරි වසර 15 තුළ කුඩා අයිස් යුගයකට (Mini Ice Age) මුහුණදීමේ ඉහළ හෝ නිශ්චිත අවදානමක් පෘථිවි වාසීනට නොමැති බවයි.කුඩා අයිස් යුගයක් ඇතිවීමට විද්‍යාත්මකව ඇත්තේ ඉතාමත්ම අඩු සම්භාවිතාවකි.

Avatar

Title:තවත් වසර 15 ක් ඇතුලත අයිස් යුගයකට මුහුණදීමට පෘථිවි වාසීනට සිදුවේවිද ??

Fact Check By: Kalana Krishantha

Result: Misleading