මත්ද්‍රව්‍ය බෙදාහැරීම් මෙන්ම බිහිසුණු අපරාධ කිහිපයක් මෙහෙයවීමේ ඇතුළු චෝදනා රැසක් යටතේ සැකපිට, නඳුන් චින්තක (‘හරක් කටා’) සහ සළිඳු මල්සිත ('කුඩු සළිඳු'), පසුගියදා මැඩගස්කරයේ අත්අඩංගුවටගෙන ලංකාව වෙත ගෙන එනු ලැබූවා. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටිමින් ඔවුන් පිළිබඳ විමර්ශන සිදුවන පසුබිමක, ‘හරක් කටා’ වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා සාලිය පීරිස් බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහන් රැසක් හුවමාරු වුණා.

සමාජ මාධ්‍ය සටහන් :

“හරක් කටා වැනි පාතාල නායකයින් නිදහස් කිරීමට මොහු දායක වී ඇත” යනුවෙන් සඳහන් කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ ඡායාරූපයක් ද සමගින් සටහනක් සංසරණය වී තිබුණා.

Facebook | Archived Link Facebook | Archived Link Facebook | Archived Link

ඒ හා සමාන තේමාවන් යටතේ, ‘හරක් කටා’ නමැති පාතාල නායකයෙකු නිදහස් කර ගැනීම සඳහා නීතිඥ සාලිය පීරිස් පෙනී සිටින බව හඟවමින් පළ වූ තවත් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වුණා.

බොහෝ පිරිසක් උපකල්පනය කර තිබුණේ, ‘හරක් කටා’ වැනි අපරාධකරුවන් නිදහස් කර ගැනීමට විත්තියේ පාර්ශවය වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටින්නේ සාලිය පිරිස් මහතා බවයි.

එසේම පසුගිය දා නීතිඥ සංගමයේ සභාපති ධුරයෙන් සාලිය පීරිස් මහතා ඉවත්වීම ද මෙම ‘හරක් කටා’ වෙනුවෙන් පෙනී සිටින නඩුවකට සම්බන්ධ කරමින් ද ෆේස්බුක් සටහන් පළවී තිබුණේ මෙලෙසින්. Archived

මෙහි නිරවද්‍යතාව සොයා මේ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීමට අප පියවර ගනු ලැබුවා.

Explainer (කරුණු පැහැදිලි කිරීම):

පසුගිය 21 වන දා පාර්ලිමේන්තු රැස්වීමේදී, විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ හේරත් මහතා විසින් සහ මන්ත්‍රි ඩී.වී. චානක මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් ද ඔස්සේ, ඊට පෙර දින වාර්තා වූ පුවතක් මුල්කරගනිමින් මෙලෙසින් සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය වී තිබුණා.

අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසා සිටියේ, අරගල සමයේ අරගලකරුවන්ට ආරක්ෂාව සැපයීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා නීතීඥ සංගමේ සභාපතිව සිටි නීතිඥ සාලිය පීරිස් මහතා මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රබලයෙකු වූ ‘හරක් කටා’ ලෙස හඳුන්වන පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටින බවයි.

පාර්ලිමේන්තු සම්පූර්ණ සජීවි විකාශය මෙතනින්.

(ඉන්දික අනුරුද්ධ - 5.59) (ඩී.වී. චානක - 07.10)

මාධ්‍යවේදී කීර්ති රත්නායක විසින් Truth with Chamuditha යූ ටියුබ් නාලිකාවේදී ද, සාලිය පීරිස් මහතා ‘හරක් කටා’ වෙනුවෙන් පෙනී සිටි බවට චෝදනා කර තිබුණා. එම වැඩසටහන මෙතනින්.

'හරක් කටා' අත්අඩංගුවට ගැනීම

මෑත කාලයේ ලංකාවට අති විශාල ලෙසින් මත්ද්‍රව්‍ය බෙදාහැරීම් සහ බිහිසුණු ඝාතන ගණනාවක් මෙහෙයවූ චරිත දෙකක් බව කියන, ශ්‍රී ලංකාවට අවශ්‍ය රතු වරෙන්තු නිකුත් කෙරුණු අපරාධකරුවන් දෙදෙනකු බවට හඳුනා ගෙන තිබෙන, නඳුන් චින්තක (හරක් කටා) සහ සළිඳු මල්සිත ('කුඩු සළිඳු'), පසුගියදා මැඩගස්කරයේ ඉවාටෝ ගුවන්තොටුපළේදී , එරට ආරක්‍ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන, මෙරට පොලීසියට දැනුම් දී තිබුණි. ඒ අනුව ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා රජය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් මැඩගස්කරයට පිටත්ව ගොස් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටිනු ලබයි.

අත්අඩංගුවට පත් නඳුන් චින්තක සහ සළිඳු මල්සිත, ඇතුළු තව ත් පුද්ගලයන් 6 දෙනෙකු මාර්තු 15 වන දා මෙරට ට ගුවනින් රැගෙන ආ අතර, ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ ඔවුන් දින 90 ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍ය ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසර ලබා දී තිබුණා. සැකකරුවන් පිලිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි විමර්ශන අංශය විසින් ක්‍රියාත්මක කෙරිණ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පළ වූ ප්‍රධාන මාධ්‍ය ධාරා සවිස්තාරාත්මක පුවත් කිහිපයක් මෙතනින්, මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

නීතිඥ සාලිය පීරිස් විසින් සත්‍ය වශයෙන් ම ‘හරක් කටා’ වෙනුවෙන් පෙනී සිටිනවා ද යන්න පිළිබඳ විමසා බැලීම සිදු කිරීම සඳහා අප ප්‍රධාන මාධ්‍ය වාර්තා, අධිකරණ වාර්තා පිළිබඳ අවධානය යොමු කළා.

සැකකරුවන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලමින් ගොනුකර තිබු රීට් පෙත්සම

සැකකරුවන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන්නැයි ඉල්ලා, ඔවුන්ගේ මව්පියන් අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනුකර තිබූ අතර එම පෙත්සම පසුගිය 20 වන දා අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙහිදී 'හරක් කටා' නමැති සැකකරු වෙනුවෙන් ඔහුගේ පියා ඉදිරිපත් කළ පෙත්සම සඳහා ඉදිරිපත් කර තිබුණේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා යටතේ වන අතර 'කුඩු සළිඳු' නමැති විත්තිකරුගේ පියා ඉදිරිපත් කළ පෙත්සම වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතායි.

පසුගිය කාලයේ රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ සිටි 'මාකඳුරේ මධුෂ්' වැනි සැකකරුවන් රැඳවුම් නියෝග අවසන් වී දින කිහිපයකින් පසුව විමර්ශන කටයුතු සඳහා පිටස්තර ස්ථානයකට රැගෙන ගිය අවස්ථාවේදී වෙඩි තබා මරා දැමු බව පෙන්වා දීම ඇතුළුව, පෙත්සම්කාර පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු දෙපළම අධිකරණය හමුවේ කරුණු දක්වන්නේ තම සේවාදායකයින්ගේ ජීවිත ආරක්ෂාවට දැඩි තර්ජනයකට ලක් වී තිබෙන බවයි.

කෙසේවෙතත් මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා තිබුණේ එම පෙත්සම් මුළුමනින්ම උපකල්පනය කරන ලද කරුණු මත ගොනුකර තිබු හෙයින් ඒවා විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසයි.

මේ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය, පෙත්සම්වලට අදාළ සීමිත විරෝධතා අප්‍රේල් මස 4 වන දා ට පෙර ගොනුකරන ලෙස නීතිපතිවරයාට නියෝග කළා. ඒ පිළිබඳව පළ වූ ප්‍රධාන මාධ්‍ය ධාරා වීඩියෝවක් මෙතනින්.

‘හරක් කටා’ වෙනුවෙන් නීතිඥ සාලිය පීරිස් මහතා ඔහුගේ ආරක්ෂාව සම්බන්ධ පෙත්සම වෙනුවෙන් පමණක් පෙනී සිටි බවට තොරතුරු වාර්තා වූවත්, ඔහු සම්බන්ධ අනෙක් නඩු පිළිබඳ ව පෙනී සිටි බවට අධිකරණ වාර්තා හෝ මාධ්‍ය වාර්තා වල අපට දැක ගන්නට නොලැබුණි.

මේ හේතුවෙන් මේ පිළිබඳ විමසීම සඳහා අප නීතිඥ සාලිය පීරිස් මහතා සම්බන්ධ කර ගනු ලැබුවා.

නීතිඥ සාලිය පීරිස්

ශ්‍රී ලංකා නීතීඥ සංගමේ සභාපති සාලිය පීරිස් මහතා සඳහන් කළේ, ‘හරක් කටා’ ලෙසින් හඳුන්වන නඳුන් චින්තක වෙනුවෙන් තමන් පෙනී සිටින්නේ, ඔහු රැඳවුම් භාරය තුළදී ආයුධ පෙන්වීමට යෑම වැනි කරුණු ඔස්සේ එම පුද්ගලයාගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් සහතික වීම පිළිබඳව පමණක් බවයි.

එනම් පසුගිය සමයේ බොහෝ අපරාධ කරුවන් ආයුධ පෙන්වීමට රැගෙන ගිය අවස්ථාවන් වල නිලධාරීන් පවසා තිබුණේ, මාංචු නොදා තිබූ බැවින් සැකකරුවන් එල්ල කරන ප්‍රහාරයන් ආරක්ෂා වීම සඳහා ඔවුන් මරා දැමූ බවටයි.

මේ හේතුවෙන් වැඩිදුර විමර්ශනයන් සිදු කොට අපරාධ සම්බන්ධ තොරතුරු රැසක් හෙළි කර ගන්නා තිබූ අවස්ථා වැළකුණු අතර අධිකරණය මගින් නිසි විභාගයකින් තොරව සැකකරුවෙකු ඝාතනය කිරීමට පොලිසියේ ඉහළ පුටුවල ඕනෑ කමට පුද්ගලයන්ගේ ජීවිත පිළිබදව තීරණය කිරීම සිදු නොවිය යුතු බවයි.

සමාජයේ ඇතැමුන් අතර මෙවැනි අපරාධකරුවන්ගේ ජීවිතය තොර කිරීම සාධාරණිකරණය කර තිබුණත්, ශිෂ්ඨ සමාජයක එය සිදු නොවිය යුතු බවත්, එපමණක් නොව මේ ආකාරයේ සැකකරුවන් පොලිසිය භාරයේ සිටිය දී ඝාතනය කිරීමේ දී අත්‍යාවශ්‍ය සාක්ෂි පවා වසන් කළ හැකි අතර, ඇතැම් විට යම්කිසි අපරාධයකට පොලිසියේ අයවලුන් ඇතුළු පාර්ශව ද සම්බන්ධ නම්, ඒවා ද වසන් විය හැකි බව ද සාලිය පිරිස් මහතා පැහැදිලි කරනවා.

එසේම තමන්ගේ ස්ථාවරය වන්නේ ඕනෑම චෝදනාකරුවෙකු සම්බන්ධයෙන් නීතියට අනුව කටයුතු කළ යුතු බවත්, නඩු මාර්ගයෙන් කිනම් හෝ දඬුවමක්, එල්ලුම්ගසට යැවීම හෝ සිදුකළ හැකි බවත්, මීට පෙර තමාට වඩා ජ්‍යෙෂ්ඨ නීතීඥවරු ද මෙවැනි නඩු සඳහා පෙනී සිට ඇති බවත්, මෙම අවස්ථාවේ දී ද තම සේවාදායකයාට අමතර අනෙකුත් විත්තිකාර පාර්ශවය (සළිඳු මල්සිත ('කුඩු සළිඳු')) වෙනුවෙන් ද ජනාධිපති නීතීඥවරයෙකු පෙනී සිටින බවත් සාලිය පිරිස් මහතා අවධාරණය කර සිටියා.

කෙසේ වෙතත් තමන් පෙනී සිටින්නේ මොහුගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධ පෙත්සමට පමණක් බවත්, එය වෙනම නඩුවක් පමණක් බවත්, තමන් මෙම විත්තිකරුට සම්බන්ධ අනෙක් නඩු සඳහා පෙනී නොසිටන අතර ඒ හා සම්බන්ධයක් නොමැති බවත්, නදුන් චින්තක , එනම් විත්තිකාර පාර්ශවය වෙනුවෙන් අනෙකුත් නඩු සඳහා පෙනී සිටින නීතිඥවරුන් සම්බන්ධයෙන් ද, තමන් වැරැද්දක් නොදකින අතර සේවා දායකයකයන් වෙනුවෙන් පෙනී සිටීම සීමිත හේතූන් මත මිස එම සේවා දායකයගේ නඩුව ප්‍රතික්ෂේප කිරීමට නීතිඥවරයෙකුට නොහැකි බවත් සඳහන් කළා. එය වෛද්‍යවරයෙකු ඕනෑම පුද්ගලයෙකුට ප්‍රතිකාර කිරීමට බැඳී සිටින අයුරු හා සමාන බව ත් ඔහු ප්‍රකාශ කළා.

එසේම මෙම සිදුවීම් මාලාව සම්බන්ධයෙන් පැහැදිලි කරමින් සාලිය පිරිස් මහතා අදහස් දැක්වූ අවස්තාවක් පහතින්.

https://youtu.be/_q90C2kygHk

නීතිය අවභාවිතයට ප්‍රධානම හේතුව ආයතන තුළ තිබෙන ගැටුම් බවත්, ඒ අතරින් විශේෂයෙන්ම පොලිසිය සම්බන්ධව සහ එහි නිලධාරින් පත්කිරීම සම්බන්ධව විවේචන රැසක් ඇති බවත්, මේ ඔස්සේ ඇතිවන වෙනත් ප්‍රශ්නගත සිදුවීම් (පොලිස් භාරයේ දී අපරාධකරුවන් ඝාතනය කිරීම වැනි) හේතුවෙන් නීතිය අවභාවිතා කිරීමේ සිදුවීම් වැළැක්වීම අපහසු බවත්, සාලිය පිරිස් මහතා පසුගිය දා අදහස් දක්වමින් පවසා තිබුණා. එසේම මෙවැනි ක්‍රියා සිදුවීම වළක්වමින්, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව වෙනුවෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිරන්තරයෙන්ම පෙනී සිටින බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ ඇත්ත තතු විකෘති කරමින් ගෙන යන ප්‍රචාර වලට නොසැලෙන බවටත් අවධාරණය කරමින් සාලිය පිරිස් මහතා අදහස් දක්වා තිබුණේ ද මෙලෙසින්. සම්පුර්ණ වීඩියෝව මෙතනින්

සාලිය පිරිස් පෙනී සිටින රීට් පෙත්සමේ අඩංගු කරුණු මොනවා ද?

එමෙන්ම ‘හරක් කටා’ නමැති සැකකරු වෙනුවෙන් පෙනීසිටින නීතිඥයින්ගෙන් ද, අප විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, නීතිඥ සාලිය පීරිස් මහතා පෙනීසිටියේ නඳුන් චින්තකගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහුගේ පියා විසින් ඉදිරිපත් කළ පෙත්සමට පමණක් බවත්ය.

අදාළ රීට් පෙත්සමේ පිටපතක් ද, අප ලබා ගත් අතර සාලිය පීරිස් මහතා යටතේ ඉදිරිපත් කර ඇති එම පෙත්සමයේ සඳහන් වන්නේ නදුන් චින්තකගේ පියා වන පෙත්සම්කරු විසින් තම පුතාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට සබැඳි ඉල්ලීම් පෙළක් පමණක් බවත්, නදුන් චින්තක(‘හරක් කටා’) නිදොස් බව දක්වමින් සඳහන් කරුණු කිසිවක් එහි නොමැති බවත් ය.

පෙත්සම්කරු විසින් වගඋත්තරකාර පාර්ශව ලෙස පොලිස් දෙපාර්තමේන්තුව ,ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු ශ්‍රී ලංකා පොලිස් සේවයේ ප්‍රධානියා වන පොලිස්පතිවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා , ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නීතිපතිවරයා මෙම රීට් අයදුම්පතෙහි පාර්ශවකරුවෙකු බවට පත්කර තිබුණා.

එම පෙත්සම මඟින් පවසන්නේ ආයුධ සොයා ගැනීමට උත්සාහ කිරීමේදී පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් ඝාතනය වූ අවස්ථා ඕනෑ තරම් ඇති බැවින් එවැනි අවස්ථාවලදී පොලිසිය විසින් කරන ලද පැහැදිලි කිරීම නම් සැකකරු ආයුධයක් සොයා ගැනීමට උත්සාහ කිරීමේදී පලා යාමට උත්සාහ කළ බවත් ඉන් අනතුරුව ඇති වූ අරගලයේදී සැකකරුට වෙඩි තැබීම වැනි සිදුවීම් දැකගනන්ට ලැබුණු බවයි.

මේ හේතුවෙන් වගඋත්තරකරුවන්ගෙන් කිසිවකුට සහ ඔවුන්ගේ අධිකාරිය යටතේ ක්‍රියා කරන පුද්ගලයන්ට, නදුන් චින්තක වික්‍රමරත්න නමැති 'රැඳවියාගේ' මැණික් කටුව ආරක්ෂා කරන මාංචු දැමීමකින් හා 'රැඳවියාගේ' කකුල් මාංචු තොරව රැගෙන යාම සහ, නදුන් චින්තක වික්‍රමරත්න නමැති ‘රැඳවියා’ අදාළ මහේස්ත්‍රාත්වරයාට නොදන්වා හෝ අධීක්‍ෂණයකින් තොරව කිසියම් රැඳවුම් ස්ථානයකින් පිටතට ගෙන යාම වළක්වන අතුරු නියෝගයක් පනවන ලෙස පෙත්සම්කරු වන ඔහුගේ පියා මෙහිදී ඉල්ලා තිබේ.

පෙත්සම්කරු වැඩිදුරටත් පවසන්නේ, ඉතා මෑතකදී 2023-01-12 දින පවා ශ්‍රේෂ්ඨාධිකරණය විජේවික්‍රම මනම්පේරිගේ ලීලාවතී උඩහවත්ත එදිරිව ප්‍රියන්ත කුලතුංග යන අය ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කළ සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත හෙවත් ‘මාකඳුරේ මධුෂ්’ නැමැත්තා පොලිස් අත්අඩංගුවේ සිටියදී ඝාතනය කළ බවයි. මේ හේතුවෙන් එම පුද්ගලයාට කිසිදු අධිකරණයක් ඉදිරියේ තම නිර්දෝෂීභාවය තහවුරු කිරීමට අවස්ථාවක් නොලැබූනු බවත්, කෙසේ වෙතත්, එම ඝාතනය සඳහා පැමිණි බව කියන ඝාතන කල්ලියේ සාමාජිකයින් අද වනතුරුත් අත්අඩංගුවට ගෙන නොමැති බවත්, එම ඝාතනයට අදාළ පරීක්ෂණ සම්බන්ධයෙන් කිසිදු ප්‍රගතියක් ලබා නොමැති බවත්, පෙත්සම්කාර පාර්ශවය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

එසේම පසුගිය වසර කිහිපයේ දී පොලිස් අත්අඩංගුවේ සිටියදී හෝ ඇප මත මුදාහැරීමෙන් පසුව පවා පුද්ගලයන් කිහිප දෙනෙකු ඝාතනයට ලක්වූ බව පෙත්සම්කරු වැඩිදුරටත් පවසයි. උදාහරණයක් ලෙස තාරක පෙරේරා විජේසේකර හෙවත් ‘කොස්ගොඩ තාරක’ පොලිස් අත්අඩංගුවේ සිටියදී ඝාතනයට ලක් වූ බවත්, දිනෙත් මෙලන් මාබුල හෙවත් ‘ඌරුජුවා’ නමැති තවත් පුද්ගලයෙකු ද ඝාතනයට ලක්වූයේ එලෙස බවත් පෙත්සම්කරු පවසයි.

ඉහත කරුණු අනුව ඇතැම් අවස්ථාවලදී පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් පොලිසියට සඟවා තිබූ ආයුධ පෙන්වීමට රැගෙන යද්දී මිය ගොස් ඇති බව පෙනී යන බව පෙත්සම්කරු පවසයි.

පෙත්සම්කරු පවසන්නේ එවැනි බොහෝ අවස්ථා වලදී මරණ පිළිබඳ පරීක්ෂණ ස්වාධීන අධිකාරියක් සහ/හෝ පොලිසියේ ස්වාධීන ඒකකයක් විසින් සිදු කර නොමැති බවත් පොලීසියට දඬුවම් විරහිතව කටයුතු කිරීමට අවසර දී ඇති බවත් ය.

සැකකරුවෙකු ආරක්ෂිතව අත්අඩංගුවේ පසුවුවහොත්, පොලිසිය කියන ආකාරයෙන් පොලිස් නිලධාරීන්ට පහරදීමට සැකකරුවෙකුට හැකිවනු ඇතැයි සිතිය නොහැකි අතර ඒ නිසා එවැනි අත්අඩංගුවේ පසුවන බොහෝ මරණ අධිකරණයෙන් පරිබාහිර ඝාතන බවට පෙත්සම්කරුට වැටහෙන බව පෙත්සම්කරු පවසයි.

නීතිඥවරුන්ගේ මතයන්

මත්කුඩු ජාවාරමේ තොරතුරු ගබඩාවක් වූ මාකඳුරේ මදූෂ් වැනි අපරාධකරුවන්ගෙන් විශාල වශයෙන් හෙළිකර ගැනීමට තිබූ තොරතුරු, ඇතැම් විට මේ හා සම්බන්ධ ලොකු පුටු කවුරුන් ද යන්න පිළිබඳ හෙළි කර ගැනීමට තිබූ අවස්ථා වල දොරටු වැසුණේ, මෙවැනි අපරාධකරුවන් රැගෙන ආයුධ සොයන්නට යෑමේදී අත්බෝම්බවලින් පොලිසියට එල්ල කිරීමට ඔවුන්ට අවස්ථාවක් ලබා දීම හෝ වෙනත් කල්ලියක වෙඩි ප්‍රහාර වලට ලක් වීම හේතුවෙනි.

මේ හේතුවෙන් මොවුන්ට ලබා දිය යුතු ආරක්ෂාව ලබා දී මොවුන් දෙදෙනා සතුව ඇති ජාත්‍යන්තර හෙරොයින් මත්කුඩු ජාලයේ සැබෑ තොරතුරු හෙළි කරගනිමින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, රාජ්‍ය බුද්ධි සේවය, යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය සහ නාවික බුද්ධි බළකාය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශය ඇතුළු සියලු පාර්ශ්ව සම්බන්ධ කෙරුණු විනිවිදභාවයෙන් යුතු විශේෂ විමර්ශන කණ්ඩායමකට විමර්ශනයන් භාර කොට අධිකරණය ස්වාධීන කරමින් තීන්දු ලබා දීම විනා ඇතැම් බලධාරීන් ගලවා ගැනීම සඳහා මෙවැනි පුද්ගලයන් නිහඬ කිරීම සිදු නොකළ යුතු බැවින් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ජනාධිපති නීතිඥ සාලිය පීරිස් වැනි පුද්ගලයන් පෙනී සිටීම කළ යුතු බවට අප මෙම සිදුවීම් පෙළ සම්බන්ධයෙන් අදහස් විමසු නීතිඥවරුන් කිහිප දෙනෙකුම සඳහන් කළා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති ධුරයෙන් සාලිය පිරිස් ඉවත්වුනේ ‘හරක් කටා’ නඩුව නිසා ද?

මීට පෙර ද අවස්ථා ගණනාවක දී ම සාලිය පිරිස් ඉලක්ක කරගනිමින් නොමඟ යවන සුළු සටහන් පළවී තිබු අතර එවැනි කරුණු විමර්ශනයක දී ද ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ භාණ්ඩාගාරික රජින්ඩ් පෙරේරා මහතා අප සමඟ පැවසුවේ සාලිය පිරිස් මහතා මේ වන විටත් අවස්ථා දෙකක දී නීතිඥ සංගමයේ සභාපති ධුරයට තේරී පත් වී තිබු බැවින්, BASL ව්‍යවස්ථාවට අනුව තුන්වන වරටත් සභාපති ධුරය සඳහා තරඟ කළ හෝ නොහැකි බවයි.

එසේම 2023/24 වසර සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සහ ලේකම් තනතුරු සඳහා නිතරඟයෙන් තේරී පත්වී තිබෙන්නේ පිළිවෙලින් කෞශල්‍ය නවරත්න සහ ඉසුරු බාලපටබැඳි (හිටපු ලේකම්) යන මහතුන් බවට, ජනාවාරි 12 වෙනිදා, එනම් 'හරක් කටා' අත්අඩංගුවට ගෙන ලංකාවට රැගෙන ඒමටත් මාස දෙකකට පෙර, BASL නිවේදනයක් නිකුත් කර තිබුනේ මෙලෙසින්. එසේ පත්වූ නව නිලධාරීන් වැඩ අද දින (මාර්තු 25) සිට නිල වශයෙන් මෙම ධුරවල වැඩ කටයුතු සිදුකරනු ඇති බවත් එම නිවේදනය දැක්වෙනවා. Archived

Also Read: ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ එහි සභාපති සාලිය පීරිස් ඉලක්ක කරමින් ව්‍යාජ සටහන් පෙළක්!

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා සමග දුරකතන සංවාදයක් ද?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:‘හරක් කටා’ නිදහස් කර ගැනීමේ නඩුවට පෙනී සිටින්නේ සාලිය පිරිස් ද?

By: Pavithra Sandamali

Result: Explainer