දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

විවිධ කාලීන මාතෘකා ඔස්සේ, අරගලකරුවන් එම මාතෘකාවන්ට ඈදා ගනිමින්, සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යවන සුළු සටහන් පළ කිරීමේ නැඹුරුවක් මෑතක සිට දක්නට ලැබෙනවා. බෞද්ධ ආගමට අපහාස කළ බව ට චෝදනාවට ලක් ව අද(28) දිනයේ අත්අඩංගුවට පත්වූ, ප්‍රහසන ශිල්පිනියක් ද ලෙස කටයුතු කළ නාතාෂා එදිරිසුරිය වෙනුවෙන්, අරගලකරුවන් විසින් හෙට (මැයි 29 දිනයේ) විරෝධතාවක් පවත්වන බවට පළ වූ සටහන් වල නිරවද්‍යතාවය විමසා බැලීමට Factcrescendo අප කටයුතු කළා.

සමාජ මාධ්‍ය සටහන් :

“නතාෂා වෙනුවෙන් අරගලකරුවන් කොළඹට හෙට සවස1ට කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී හමුවෙමු” යනුවෙන් සඳහන් කරමින් ‘රැට්ටා’ නමින් ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන රතිදු සේනාරත්න විසින් සටහනක් සිය ෆේස්බුක් පිටුවේ පළ කර ඇති බවට හඟවමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වුණා.

Facebook | Archived Link

මෙම සටහන සංසරණය වූ තවත් අවස්ථා මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link| Archived Link

එමෙන් ම මෙය සත්‍ය සටහනක් ලෙසට බොහෝ පුද්ගලයින් උපකල්පනය කර ඇති බව ට එහි දක්වා ඇති ප්‍රතිචාර වලන් ද, පෙනී ගියේ මෙලෙසින්.

මේ පිළිබඳ නිරවද්‍යතාවය විමසමින් අපට ලැබුණු ඉල්ලීම් කිහිපයක්ම මුල් කරගනිමින් මෙලෙසින් විරෝධතාවක් ක්‍රියාත්මක වනවා ද යන්න පිළිබඳව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

අද (මැයි 28 ) අළුයම, සිංගප්පුරුව බලා පිටත්ව යෑම සඳහා කටුනායක ගුවන් තොටුපොළේ රැඳී සිටියදී අත්අඩංගුවට පත් වූ 'බුදුදහමට අපහාසයක් කළ බවට' චෝදනාවට ලක් වූ ප්‍රහසන ශිල්පී නාතාෂා එදිරිසුරිය වෙනුවෙන්, අරගලකරුවන් හෙට (29) දිනයේදී විරෝධතාවක් සංවිධානයක් කර ඇත්ද යන්න පිළිබඳ අප සමාජ මාධ්‍ය හරහා “Keyword” භාවිත කරමින් පරීක්ෂා කළද, එවැනි වැඩ සටහනක් පිළිබඳ අපට නිල වාර්තා කිසිවක් දැක ගන්නට නොලැබුණි.

ඉන් අනතුරුව ‘රැට්ටා’ ෆේස්බුක් පිටුව හරහා ද, ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන පරිදි පණිවිඩයක් රැගත් සටහනක් පළ වී තිබුණා ද,යන්න පරීක්ෂා කළ ද, අපට එවැනි තොරතුරක් එහි ද පළ වී ඇති බවක් දැක ගන්නට නොලැබුණි.

මේ හේතුවෙන් රැට්ටා පිටුවේ හිමිකාරිත්වය දරන රතිදු සේනාරත්නගෙන් අප දුරකතන මාර්ගයෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, තමන් එවැනි සටහනක් තම ෆේස්බුක් පිටුවේ පළ නොකළ බවත්, අරගලකරුවන් විසින් හෙට දිනයේදී(29) නතාෂා එදිරිසූරිය වෙනුවෙන් කිසිදු විරෝධතාවක් සංවිධානය කර නොමැති බවයි.

ඔහු තවදුරටත් අවධාරණය කර සිටියේ පසුගිය කාලය පුරාවට විටින් විට සිදුකළාක් මෙන්, අරගලකරුවන් ඉලක්ක කරගනිමින් නිර්මාණය කෙරෙන අසත්‍ය සමාජ මාධ්‍ය සටහන්වල දිගුවක් ලෙස, තම ෆේස්බුක් පිටුවේ සන්නාමය අවභාවිතා කරමින් මෙම ව්‍යාජ සටහන් නිර්මාණය කොට ඇති බවයි.

අප ‘Ratta’ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ සිදුකළ තාක්ෂණික පරීක්ෂාවෙන් ද, තහවුරු වූයේ, එම පිටුවේ ඉහත දැක්වූ ආකාරයේ ෆේස්බුක් සටහනක් පළකොට මේ වන විට ඉවත් කිරීමක් හෝ සිදුව නොමැති බවත්, කිසිවිටෙකත් එවැනි සටහනක් පළකොට තිබුනේ නැති බවත්ය.

ඉහත සටහනේ දැක්වෙන පරිදි හෙට(29) දිනයේ විරෝධතාවයක් පැවැත්වෙනවා ද යන්න අප තවදුරටත් කරුණු තහුවරු කිරීම සඳහා පසුගිය වසරේ ‘ගෝඨාගෝගම’ අරගලය සඳහා සක්‍රීය දායකත්වය සැපයූ පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් ද, විමසීම් සිදු කළ අතර ඔවුන් සියලු දෙනාම තහවුරු කර සිටියේ ද, හෙට දිනයේ කොළඹ දුම්රියපළ ඉදිරිපිට හෝ වෙනත් ස්ථානයක එවැනි විරෝධතාවක් ක්‍රියාත්මක නොවන බවත්, මෙතෙක් නතාෂා වෙනුවෙන් විරෝධතාවක් පැවැත්වීමේ තීරණයක් ගෙන නොමැති බවයි. බොහෝ විට ඇය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීමේ ඉඩක් ඇති බව ද, ඔවුන් සඳහන් කළා.

කොළඹ දී පසුගියදා පැවැත්වූ මෝඩාභිමානය (Fool's Pride) නමැති ප්‍රහසන වැඩසටහනකදී බුදු දහමට, සිදුහත් උපතට සහ  සිදුහත් චරිතයට, බෞද්ධ සාහිත්‍යට සහ බෞද්ධ දර්ශනයට, බෞද්ධ බාලිකා පාසල්වල ට අපහාස කළ බවට නාතාෂා එදිරිසුරිය නමැති ප්‍රහසන ශිල්පිනිය විසින් සිදු කළ ප්‍රකාශ ඇතුළත් වීඩියෝ පට මීට දින කිහිපයකට ඉහතදී සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණා. මෙම ප්‍රකාශයන් සඳහා සමාජයේ දැඩි විරෝධයක් එල්ල වී තිබු අතර ඇයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි 08ක් ලැබී ඇති බවත් ඊට අමතරව මේ සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගෙන් ද පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් ලැබී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද(28) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලද ප්‍රහසන ශිල්පී නාතාෂා එදිරිසුරිය ජුනි මස 07 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (මැයි 28) නියෝග කර තිබුණා.

තමන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් නාතාෂා එදිරිසූරිය පසුගිය දිනයක, සමාව ඉල්ලා තිබූ ප්‍රකාශය ද, ප්‍රධාන මාධ්‍ය ධාරා ෆේස්බුක් පිටුවල පළ වී තිබුණේ මෙලෙසින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මේ වන විට බන්ධනාගාරගත කර සිටින ප්‍රහසන ශිල්පිනි නාතාෂා එදිරිසුරිය වෙනුවෙන් අරගලකරුවන් හෙට දිනයේ (මැයි 29) කොළඹ දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර ඇති බවට දක්වමින් රතිදු සේනාරත්න(රැට්ටා) විසින් ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ ෆේස්බුක් සටහනක් පළ කර ඇති බවට දක්වා තිබූ සමාජ මාධ්‍ය සටහන අසත්‍ය බවයි.

රතිදු සේනාරත්න (රැට්ටා) විසින් එවැනි සටහනක් සිය නිල ෆේස්බුක් ගිණුමේ පළ කර නොතිබුණු අතර ව්‍යාජ ලෙස සිදුකර තිබු සංස්කරණයක් වන අතර, එලෙසින් උද්ඝෝණයක් හෝ හෙට දිනයේ සංවිධානය කර නොමැති බව ඔහු ඇතුළු අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් කිහිපදෙනෙකුම තහුවරු කළා.

Avatar

Title:නතාෂා වෙනුවෙන් අරගලකරුවන් හෙට (මැයි 29) කොළඹට?

Written By: Pavithra Sandamali 

Result: False