දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ඡායාරූප සංස්කරණය හැකියාවන් යොදාගනිමින්, නොයෙකුත් වාසි තකා ජනතාව නොමග යැවීමේ අරමුණින් ව්‍යාජ තොරතුරු නිර්මාණය කිරීමට ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයින් පෙළඹෙනවා. එලෙසින් නොමඟ යවන සුළු ඡායාරූප සටහනක් පිළිබඳ අප සිදු කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන්:

“මා බුදු දහම පිළි නොගන්නා නමුත් කර්මය පිළිගනිමි. සොබාදහම දඬුවම් දීම අරඹා ඇත...” යනුවෙන් බිමල් රත්නායක මහතා ‘ X’ (Twitter) ඔස්සේ පණිවිඩයක් තබා ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link Facebook | Archived Link

මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් පෙනී යන්නේ බිමල් රත්නායක මහතා විසින් මෙවැනි සටහනක් සත්‍ය වශයෙන් ම පළ කර ඇති බවට බොහෝ දෙනා උපකල්පනය කර තිබූ බවයි.

මෙහි නිරවද්‍යතාවය විමසමින් අපට ලැබුණු ඉල්ලීම් කිහිපයක් ද, මුල් කර ගනිමින් මේ පිළිබඳව විමර්ශනය කිරීමට අප කටයුතු කළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවයත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් මාතෘකා ඔස්සේ ඒ පිළිබඳව කතා බහට ලක් වුණා. 

Also Read: සනත් නිශාන්තගේ අභාවය අළලා, බිමල් රත්නායක ටව්ටර් පණිවිඩයක් පළ කළාද?

බෞද්ධ දර්ශනයේ දැක්වෙන කරුණු සමගින් ද ඇතැම් පිරිසක් මෙම අභාවය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතර, ජාතික ජනබලවේගයේ විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් ද, එලෙසින් අරුත් ගැන්වෙන අයුරින් ප්‍රකාශයක් සිදු කර ඇත් ද යන්න පිළිබඳ අප පරීක්ෂා කළා.

එහිදී ‘X’ ඔස්සේ පළ කරන ලද බවට දක්වා තිබූ බිමල් රත්නායක මහතාගේ Twitter හසුරුව(@BimalRathnayake) මගින් පළ කර ඇති පණිවිඩ වෙත අපගේ අවධානය යොමු වුණා. නමුත් අපට ඉහත සඳහන් ආකාරයේ පණිවඩයක් එම හසුරුව මගින් පළ කර නොමැති බව දැක ගන්නට ලැබුණා. ඔහු අවසන් වරට ජනවාරි 24 වනදා X පණිවුඩ දෙකක් පළකර තිබූ බව දැක ගන්නට ලැබෙනවා.

X(BimalRathnayake)

කෙසේ වෙතත් එවැනි සටහනක් පළ කිරීමෙන් පසු ඉවත් කර ඇත් ද, යන්න පරීක්ෂා කිරීමට ද අප උත්සුක වුණා. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහන්හි දැක්වූ ඡායාරූපයේ සටහනේ දක්වා ඇති අයුරින් එම X පණිවිඩය පරිශීලකයින් රැසක් වෙත ළඟා වී ඇති බව(Engagement) පෙන්වා තිබු බැවින්, එහි දක්වා ඇති අයුරින් මෙම පණිවිඩය සඳහා ප්‍රතිචාර ද, ලැබී තිබුනේ නම්, මුල් X පණිවුඩය මකා දමා තිබුණ ද ඒ සඳහා ලබා දී තිබු ප්‍රතිචාර දැකගත හැකි විය යුතුය. (X පණිවිඩය ඉවත් කර ඇතත් ප්‍රතිචාර දැක ගැනීමේ පහසුකම Twitter වල තිබේ). නමුත් @BimalRathnayake හසුරුව ඔස්සේ සත්‍ය වශයෙන් ම එවැනි ප්‍රතිචාර ලැබී ඇති බවට ද, දැක ගන්නට නොලැබෙන අතර අවසන් වරට ජනවාරි 18 පණිවුඩයකට ලබා දී තිබූ ප්‍රතිචාරයක් පමණක් දැක ගන්නට ලැබුණි.

තවද, X (Twitter) පළකිරීම් ඇතුළු එහි ක්‍රියාකාරකම් නිරීක්ෂණය කොට දත්ත ලබා ගත හැකි Social Blade නමැති මෙවලම හරහා ද අප බිමල් රත්නායකගේ X ගිණුම පරික්ෂා කළා. එහිදී නිරීෂණය වූයේ බිමල් රත්නායකගේ X ගිණුමේ පසුගිය දින 3 තුළ, එනම් ජනවාරි 24,25 සහ 26 දිනයන්හි පළ කරන ලද X පණිවිඩ ගණන 2ක් බවත් මේ දක්වා එහි පළ කර ඇති මුළු පණිවුඩ ගණන 608ක් බවත්ය.

එනම් ජනවාරි 24 සිට මේ මොහොත වන තෙක් පළ කර ඇත්තේ X පණිවිඩ දෙකක් පමණක් බව දැක ගන්නට ලැබේ. එම පණිවුඩ දෙක ඉහළින් දක්වා ඇති Human Rights Watch විසින් පළකරන ලද ලිපිය හා බැඳී ඇති බව පෙනී යනවා. එනම් එම පණිවුඩ දෙකට අමතර කිසිඳු X පණිවුඩයක් , @BimalRathnayake හසුරුවේ පසුගිය දින 3 තුළ පළවී නොමැති බව, මෙම යෙදවුම මගින් ද, තහවුරු වෙනවා.

මේ පිළිබඳව අප බිමල් රත්නායක මහතාගෙන් ද, විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, තමන් කිසිදු අවස්ථාවක ඉහත සමාජ මාධ්‍ය ජාලාවල දැක්වෙන අයුරින් සටහනක්, ‘X’ ඇතුළුව වෙනත් කිසිදු හෝ සමාජ මාධ්‍ය ජාලාවක පළ නොකළ බවයි. එසේම හුවමාරු වන්නේ සංස්කරණය කරමින් නිර්මාණය කළ ඡායාරුපයක් වන අතර, තමන් ‘X’ ඔස්සේ සාමාන්‍යයෙන් සිංහල බසින් පණිවිඩ පළ නොකරන බවත් බිමල් රත්නායක සඳහන් කළා.

මීට පෙර ද අවස්ථා කිහිපයක දී ම බිමල් රත්නායක මහතාගේ X ගිණුමේ පළවූ සටහන් ලෙස සංස්කරණය කරමින් පළකරන ලද සටහන් පළවී තිබු අතර අප ඒ පිළිබඳව පසුගිය වසරවල දී ද සිදුකර තිබූ විමර්ශන කිහිපයක් මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවයත් සමඟ, මා බුදු දහම පිළි නොගන්නා නමුත් කර්මය පිළිගනිමි. සොබාදහම දඬුවම් දීම අරඹා ඇත...” යනුවෙන් බිමල් රත්නායක මහතා ‘ X’ (Twitter) ඔස්සේ පණිවිඩයක් පළ කර ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් ව්‍යාජ ලෙස සංස්කරණය කරමින් නිර්මාණය කරන ලද සටහන් බවයි.

Avatar

Title:සනත් නිශාන්තගේ අභාවය සම්බන්ධයෙන් බිමල් රත්නායක ටව්ටර් පණිවිඩයක් සඳහන් කළා ද?

Written By: Pavithra Sandamali

Result: False