දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

සමාජය දැනුවත් කරමින් පණිවිඩයක් ලබා දෙන පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂයෙන් WhatsApp හරහා හඬ පට නිකුත් කිරීම සුලබව දක්නට ලැබෙනවා. මෙවැනි පණිවිඩ සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරු වන්නේ එහි නිවැරදි තොරතුරු ඇතුළත් ද යන්න පිළිබඳ සොයා බැලීමකින් තොරවයි. එලෙසින් පළ වූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

WhatsApp ඔස්සේ බහුලව සංසරණය වූ හඬපයටයක් මේ දිනවල සැමගේ අවධානය යොමු වී තිබෙනවා. පාසල් අවට විකුණන බව කියන ටොෆියක් එය කටට දැමූ විට එය කටෙහිද ම පුපුරන බව ත්, එහි මත්ද්‍රව්‍ය ඇතුළත් බව ත්, Tattoo Popping Candy නමැති එම ටොෆියේ ඡායාරූප ද එම පණිවිඩයේ යොමු කර තිබුණා. එම පණිවිඩය පහතින්.

දෙමව්පියන්ටයි මෙම පණිවිඩය මෙම ටොෆිය පාසලට ඇවිත් තියෙනවා. දැනට පාසල් ඇතුළේ තියෙනවා. ඒ නිසා තමන්ගේ දරුවන් පරිස්සම් කරගන්න. මේක කටට දැම්මම පුපුරනවා. විනාඩි 5ක් පමණ පුපුරනවා. ඊට පස්සේ ඒකේ ඇතුළේ තියෙන්නේ කුඩු ජාතියක්. ඒ වගේම ඒ ටොෆියේ තියෙනවා ටැටූ එකක් ඒක ඇඟේ ගහගන්න තියෙන්නේ. මේක මත්ද්‍රව්‍යයක් කියලා තමයි අපට දැනුම් දී තිබෙන්නේ. ඒ නිසා තමන්ගේ දරුවන් පරිස්සම් කර ගන්න. කිසිම වෙලාවක මේ දිනවල ටොෆි අරන් දෙන්න එපා. ඒවගේම මේක අපි කඩල බලලා වතුරට දැම්මා. වතුරට දාපුවමත් මෙය පුපුරනවා. ඒ කියන්නේ මේකේ ඇත්තටම අහිතකර දෙයක් මේකේ තියෙනවා. දැනට මෙය විවිධ රසවලින් තිබෙනවා. ඉස්කෝලෙන් හම්බවුණේ මේ ජාති දෙක විතරයි. තව විවිධ රස විවිධ පාට තියෙනවලු. රු. 60 යි ලු. පුංචි ලෑලි කඩවල තමයි මෙම ටොෆි තියෙන්නේ.

එම හඬපටය පහතින්.

http://srilanka.factcrescendo.com/wp-content/uploads/2024/03/WhatsApp-Audio-2024-03-28-at-9.07.09-PM-1.ogg

මෙහි නිරවද්‍යතාවය පිළිබඳ විමසමින් අප වෙත ඉල්ලීම් බහුලව ලැබුණු අතර ඒවාද මූලික කර ගනිමින් අප මේ පිළිබඳව කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ඉහත පණිවිඩයේ කුමන පාසලකින්, කුමන ප්‍රදේශයකින් මෙම පැණිරස ආහාරය(Candy) හමුවූ බව ට සඳහන් නොකිරීම හේතුවෙන් ෙඅප ඉහත පණිවිඩයේ මත්ද්‍රව්‍ය අඩංගු බව කියන එම පැණිරස ආහාරයේ ඡායාරූප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

ඒ අනුව ඒවා "චීනයේ පළමු ආහාර නගරය" ලෙස කීර්තියක් හිමිකරගත් අන්බු නගරයේ පිහිටා ඇති බිස්කට්, කැන්ඩි, ජෙරී, කල් තබා ගත් පළතුරු, ගෙඩි ආදිය නිෂ්පාදනය කිරීම සඳහා විශේෂිත වූ සමාගමක් වන Guangdong Shangyi Food Co., Ltd.සමාගමේ Tattoo Popping Candy(ටැටූ ස්ටිකර් ලබා දෙන කනවිට කටේ පුපුරන පැණිරස කෑමක් යන අර්ථය ලබා දේ) නිෂ්පාදනයක් බවයි.

එමෙන් ම ඉහත නිෂ්පාදනය අග්නිදිග ආසියාවේ තායිලන්තය, තායිවානය, සිංගප්පූරුව, මැලේසියාව, වියට්නාමය, කොම්බෝඩියාව, සහ දකුණු ඇමරිකාව ආර්ජන්ටිනාව සහ දකුණු අප්‍රිකාව වෙත අපනයනය කරන බව ත්, එම නිල වෙබ් අඩවියේ සඳහන් වී තිබුණේ මේ අයුරින්.

shangyicn

ඔවුන්ගේ වෙබ් අඩවියේ දක්වා ඇත්තේ, ඔවුන්ගේ නිෂ්පාදන තත්ත්ව පරීක්ෂණ මධ්‍යස්ථානයිකින් පරීක්ෂා කෙරෙන අතර සියලු වර්ගවල වෘත්තීය සහ තාක්ෂණික කාර්ය මණ්ඩලයක් ඔවුන් සතුව ඇති බව ත්,තාක්ෂණික උපදේශක ලෙස වෘත්තීය පෝෂණවේදින් ඔවුන්ගේ සේවක මණ්ඩලයේ සිටින බවයි. එම තොරතුරු මෙතනින්.

තව ද, 2014 වසරේ සිට ක්‍රියාත්මක වන එරට ලියාපදිංචි කර ඇති සමාගමක් වන එම සහතිකයන් පහතින්.

shangyicn

කෙසේ වෙතත් මෙම ආයතනය විසින් මත්ද්‍රව්‍ය ඇතුළත් නිෂ්පාදන අලෙවි කරන බව ට සිදුවීම් වාර්තා වී ඇත්දැයි යන්න පිළිබඳ අප පරීක්ෂා කළ අතර එවැනි ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තාවක් හෝ අප ට දැක ගන්නට නොලැබුණි.

කෙසේ වෙතත් මෙම නිෂ්පාදනය සම්බන්ධයෙන් අප එම ආයතනයෙන් විමසීමක් කළ අතර ඔවුන්ගේ පිළිතුර සමගින් මෙම ලිපිය යාවත් කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මාධ්‍ය සම්බන්ධීකාරක | අධ්‍යාපන හා තොරතුරු නිලධාරී චාමර කරුණාරත්න මහතා පවසන්නේ, මේ වන තෙක් මෙම නිෂ්පාදනය සම්බන්ධයෙන් හෝ මෙහි මත්ද්‍රව්‍ය ඇතුළත් බව ට අප මණ්ඩලයට කිසිදු වාර්තාකරණයක් සිදු වී නොමැති අතරඑවැනි නිෂ්පාදනයක් ඇත්නම් අදාළ පර්යේෂණ පවත්වා ඒ පිළිබඳ තහවුරු කිරීමට හැකියාව පවතින බැවින් ඔවුන් මේ පිළිබඳ ඉතා අවධානයෙන් සිටින බව යි.

මෙවන් දේවල් පිළිබද සමාජ මාධ්‍යයන් හරහා ඇසූ දුටු පමණින් එය හුවමාරු කර නොගන්නා ලෙසත් අදාල පණිවිඩ, තොරතුරු පිලිබද මීට වඩා සබුද්ධිකව සොයාබලා කටයුතු කලයුතු බවත් මෙහිලා ප්‍රකාශ කළ යුතුයි.

එක් එක් කාලවලදී මත්ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන නීති විරෝධී ආකාරයෙන් මේ රටට විදේශිකයන් සහ විදෙස් ගත් ශ්‍රී ලාංකිකයින් විසින් රැගෙන එනවා. දරුවන් සහ තරුණයින් මූලික කරගෙන මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනයන් ඉතා සූක්ෂම ආකාරයෙන් ක්‍රියාත්මක වන කාලයක මෙවන් ආගන්තුක මොනයම් හෝ නිෂ්පාදනයන් පිළිබද දරුවන් තරුණයන් සහ සමාජයේ ආකර්ශනය දිනා ගැනීමේ පහත් මානසිකත්වයෙන් සහ වගකීම් විරහිත ආකාරයෙන් කටයුතු කරන මිනිස්සු ඕන තරම් මේ සමාජයේ ඉන්න පුලුවන්.

විවිධ මත්ද්‍රව්‍ය, විවිධ ස්වරූපයෙන් දරුවන් අතරට පත්විය හැකි අතර දරුවන් පිළිබද වෙනදට වඩා අප සැම අවධානයෙන් සිටීම ඉතා වැදගත් වේ. ඒ වගේම මත්ද්‍රව්‍ය භාවිතයේ සැබෑ ආදීනව පිළිබද සමස්ත සමාජය මීට වැඩිය දැනුවත්ව, අවදියෙන් සිටිය යුතු කාලයක් උදා වී ඇති අතර මෙවන් ආගන්තුක නිෂ්පාදන පිලිබද මොනයම්ම හෝ තොරතුරක් වෙතොත් 1927 අපගේ ක්ෂණික දුරකථන අංකයට දැනුවත් කරන ලෙසත් දන්වා සිටීමට කැමතියි.

Popping Candy/ Pop Rocks වල මත්ද්‍රව්‍ය අඩංගු ද? - රංජිත් වික්‍රමසිංහ සහකාර අධ්‍යක්ෂ විද්‍යාත්මත පර්යේෂණ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය

ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මත්ද්‍රව්‍ය අඩංගු බවට සඳහන් වන නිෂ්පාදනය නීත්‍යානුකූලව අන්තර්ජාතික වශයෙන් බෙදා හරින පැණිරස කෑමක් පමණක් බව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ විද්‍යාත්මත පර්යේෂණ සහකාර අධ්‍යක්ෂ රංජිත් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

මෙවැනි නිෂ්පාදන අන්තර්ජාලය හරහා මාර්ගගත වෙළඳපොළවලින් ආනයනය කළ හැකි බව ත්, ඒ ආකාරයේ පැණිරස කෑම මෙරට ‍විකිණීමට ඇති අතර එහි මත්ද්‍රව්‍ය අඩංගුද යන්න පිළිබඳ රසායනාගාර පරීක්ෂණ සිදු කර ඇති බව ත්, එහි මත්ද්‍රව්‍ය අඩංගු නොවන බව ට තහවුරු වූ බව ත්, මෙය සාමාන්‍ය පැණිරස කෑමක් පමණක් බව ට තහවුරු වූ බව ත් සඳහන් කළා.

මෙහි සිට්රික් අම්ලය කුඩු ආකාරයෙන් තියෙන්න පුළුවන් බව ත්, මෙහි අධි ආම්ලික තත්ත්වය ඇති බැවින් හා කාබනේට් කර ඇති බැවින්, එය පුපුරන තත්ත්වයක් ඇති බව ත් මෙහි අධික ආම්ලික තත්ත්වය නිසා ළමුන්ගේ මෘදු පටක වලට හානි විය හැකි බව ත්, ආමාෂයට හානි විය හැකි බවත් සඳහන් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කරනවා.

ඒ මහතා පෙන්වා දුන්නේ, මේවා අන්තර්ජාලය හරහා ඇනවුම් කර ගෙන්වන පිරිස් මෙවැනි නිෂ්පාදන ආනයනය කොට එවැනි නිෂ්පාදන කඩිනමින් විකුණා ගැනීම සඳහා මෙලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය ලබා ගන්නා බවයි. ඇතැම් වැඩිහිටි පිරිස් මෙන් ම දරුවන් ද, මෙහි මත්ද්‍රව්‍ය ඇති බව ට සිතා මෙවැනි නිෂ්පාදන මිලදී ගැනීමට යොමු වන බව ත්, මෙවැනි අසත්‍ය ප්‍රචාරණයන් සෑම විටම සිදුවන බව ත්, එවැනි නිෂ්පාදන වාර්තා වූ සැනින් අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ විද්‍යාත්මත පර්යේෂණ අංශය විසින් රසායනාගාර පරීක්ෂණයන් සිදු කොට මත්ද්‍රව්‍ය අඩංගු ද, යන්න පරීක්ෂා කරන බව ත් පවසා සිටියා.

නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක  

නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතාගෙන් අප විමසීමක් කළේ, Tattoo Popping Candy නමැති මත්ද්‍රව්‍යක් පාසල් අසල අලෙවි කරන බව ට පැමිණිලි ලැබී ඇත්දැයි යන්නය.

ඒ මහතා තහවුරු කළේ, ඉහත WhatsApp පණිවිඩය සම්බන්ධය පිළිබඳ පොලිස් නිලධාරීන්ගෙන් විමසීමක් කළ ද, මෙතෙක් එවැනි පැමිණිලි ලැබී ඇති බව ට වාර්තා නොවී ඇති බවයි.

පාරිභෝගික අධිකාරිය

පාරිභෝගික අධිකාරියෙන් ද, අප මේ පිළිබඳ විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ ද, Tattoo Popping Candy නමැති පැණිරස ආහාරයක් සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් මෙතෙක් ලැබී නොමැති බවයි.

මෙරට Popping Candy/ Pop Rocks ආනයනය කරන වෙනත් නිෂ්පාදන සමාගමක්

මෙරට පොපිං කැන්ඩි ආනයනය කරන ආයතනයකින් ද, අප මේ පිළිබඳව විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ ද, එම පැණිරස ආහාරය සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.

Popping Candy/ Pop Rocks කියන්නේ මොකක්ද? එය මුඛය තුළ ක්‍රියාකරන්නේ කෙසේද?

සාදනු ලබන ආකාරය සම්බන්ධයෙන් ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ ආහාර රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් සහිත විද්‍යා ලේඛිකාවක් සහ සංස්කාරකවරියක් වන මහචාර්ය එමා ඩේවිස් සඳහන් කරන්නේ සීනි, ඉරිඟු සිරප් සහ කාබන් ඩයොක්සයිඩ්වල සංයෝගයකින් මෙය නිෂ්පාදනය කෙරෙන බවයි. මේ සම්බන්ධයෙන් පළ වූ වාර්තාව මෙතනින්.

මෙම උත්ප්‍රේරක සංවේදනය ඇතිවීමට හේතුව කුමක්ද?

පිපිරෙන පැණිරස ආහාරයක් යන අර්ථය ලබා දෙන මෙම පැණිරස ආහාරය මුඛයේදී පිපිරෙන්නේ ඇයි? එය රසායනික ප්‍රතික්‍රියාවක් යැයි ඔබ සිතනු ඇත, නමුත් එය ඇත්ත වශයෙන්ම වායූන් සහ තාපයේ ඉතා සිසිල් සංයෝගයක් හේතුවෙනි. මෙහි නිශ්චිත වට්ටෝරු වෙළඳ නාමයෙන් වෙළඳ නාමයට වෙනස් වේ, නමුත් පොපිං කැන්ඩි යනු සාමාන්‍යයෙන් විවිධ සීනි වර්ග කිහිපයක මිශ්‍රණයකි, සාමාන්‍යයෙන් කාබන් ඩයොක්සයිඩ් වායුවක කුඩා පීඩන බුබුලු මෙහි ක්‍රියාකරනු ලබයි. මෙම හේතුව නිසා, ඇතැම් පේටන්ට් බලපත්‍ර අයදුම්පත් වල එය 'ගෑස් කළ කැන්ඩි' ලෙසද හැඳින්වේ.

වායුව උණු කළ සීනිවලට අධික පීඩනයකින් එකතු කරනු ලැබේ. මුහුදු මට්ටමේ සාමාන්‍ය වායු පීඩනය මෙන් අවම වශයෙන් දෙතුන් ගුණයක් සහ සමහර විට ඊට වඩා වැඩි ය. උෂ්ණත්වයේ සහ පීඩනයේ නිවැරදි සංයෝජනයක් සමඟ, සීනි කුඩා ස්ඵටික සාදයි, එක් එක් වායු බුබුලු කිහිපයක් දළ වශයෙන් මිලිමීටරයෙන් දහයෙන් පහෙන් පංගුවක් අඩංගු වේ.

සීනි ජලයේ දිය වේ, එබැවින් රසකැවිලි ඔබේ දිව සමඟ ස්පර්ශ වන විට, ඔබේ ඛේට වල ජලය මෙම බුබුලු බිඳ දමයි. පීඩනයට ලක් වූ වායුව ගැලවී යයි, සමහර විට කැන්ඩි ස්ඵටිකයේ ඉතිරි කොටස් කැඩීමට ප්‍රමාණවත් බලයක් ඇත. හිරි වැටීම, පිපිරුම් සංවේදනය ඇතිවීමට හේතුව මෙයයි. මේ සම්බන්ධයෙන් පළ වූ වාර්තා මෙතනින්, මෙතනින්.

බුබුලු සහ ස්ඵටික දෙකම ඉතා කුඩා බැවින් මෙම ඉරිතැලීම්වලට සම්බන්ධ වන බලයේ ප්රමාණයෙන් කිසිදු ගැටළුවක් ඇති නොවන බව පෙන්වා දේ නමුත් එක් රසායනාගාර පාදක අධ්‍යයනයකින් සොයාගෙන ඇත්තේ කැන්ඩි පොපිං දත් එනමලයට බලපෑමක් ඇති කළ හැකි බවයි. එම අධ්‍යනය මෙතනින්.

වතුර මත මෙය ක්‍රියාකරන ආකාරයේ වීඩියෝවක් පහතින්.

https://www.youtube.com/watch?v=3lC6oanUQFI

ආහාර ද්‍රව්‍යවලට මත්ද්‍රව්‍ය එකතු කිරීම

නොයෙකුත් ආහාර වල මත්ද්‍රව්‍ය ඇතුළත් කර ඇති අවස්ථා ද, ලෝකයේ වාර්තා වී ඇති සිදුවීම් ඕනා තරම් තිබෙන අතර විශේෂයෙන් ළමුන් ඉලක්ක කර ගනිමින් පැණිරස ආහාර වල, මත්ද්‍රව්‍ය ඇතුළත් කර ඇති අවස්ථා වාර්තා වේ. මේ හේතුවෙන් මේ පිළිබඳ සමාජය සැළකිලමත් විය යුතුයි.

කෙසේ වෙතත් ඉහත නිෂ්පාදනයේ මත්ද්‍රව්‍ය ඇති බවට සැක සහිත නම් මේ පිළිබඳ මේ වන විට ඉහත සඳහන් නීත්‍යානුකූල ආයතන වෙත වාර්තා විය යුතු ව ඇති මුත් මෙතෙක් කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බව ට එම ආයතන තහවුරු කරනු ලබයි.

ඕනෑම නිෂ්පාදනයක මත්ද්‍රව්‍ය අඩංගු බව ට සැක සහිත නම් මෙරටින් ඒ සඳහා ක්‍රියාත්මක වන ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේ ඇති අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය දැනුවත් කළ එම නිෂ්පාදන රසායනාගාර පරීක්ෂාවකට ලක් කළ හැක. නමුත් තොරතුරක් ලද සැනින් ඒ පිළිබඳ විමසා බැලීමකින් තොරව සමාජ මාධ්‍ය ඔස්සේ එවැනි පණිවිඩ හුවමාරු කර ගැනීම තුළින්, සැබෑම මත් ද්‍රව්‍යයක් ඇතුළත් නිෂ්පාදන වුවද තව තව ත් අලෙවි කර ගැනීමට එලෙසින් අසත්‍ය ප්‍රචාරණය කරන්නන්ගේ අරමුණු ද ඉෂ්ඨ වන බැවින් ප්‍රථමයෙන් අදාළ ආයතන දැනුවත් කිරීමට පියවර ගැනීම සමාජයේ වගකීම බව අප මින් දැනුවත් කරන්නෙමු.

තායිලන්තයේ ද සමාජ මාධ්‍ය ඔස්සේ මෙම නිෂ්පාදනයේ මත්ද්‍රව්‍ය අඩංගු බවට අසත්‍ය තොරතුරු පළ වූ අතර මේ පිළිබඳ අපගේ Fact Crescendo තායි භාෂා කණ්ඩායම විසින් සිදු කළ කරුණු විමර්ශනය මෙතනින්.

Also Read : ට්‍රැමඩෝල් Pencil Candy පිළිබඳ මත්ද්‍රව්‍ය නාශක අංශවලින් අනතුරු ඇඟවීමක්!

Also Read : මත්ද්‍රව්‍ය ඇතුළත් ලොසින්ජර පිළිබඳ පළ වූ WhatsApp පණිවිඩය පිළිබඳ ඔබ දැනුවත් ද?

Also Read : ළමුන් අඩපණ කරන මත්පෙති සමඟ ලංකාවේ වෙළඳපොළේ අලෙවිවෙන Luppo කේක් ? (Video)

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok|WhatsApp

Avatar

Title:පාසල් අවට මත්ද්‍රව්‍ය ඇතුළත් ටොෆියක් ඇති බවට පළ වූ WhatsApp පණිවිඩයේ ඇත්ත කතාව!

Written By: Pavithra Sandamali

Result: False