දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ජාතික ජන බලවේගය විසින් වෛද්‍යවරුන්ගේ, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ තීරු බදු රහිතව වාහන ආනයනය කිරීමේ බලපත්‍රය අහෝසි කරන බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

Claim 1:

ජාතික ජන බලවේගය විසින් එහි ආණ්ඩුවක් යටතේ, මන්ත්‍රීවරුන්ගේ විතරක් නෙමෙයි, වෛද්‍යවරුන්ගේ, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වාහන බලපත්‍රත් අහෝසි කරන බවට තීරණයක් ගෙන ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

එහි දක්වා තිබූ සබැඳියේ දක්වා තිබූ පුවත පහතින්.

Archived Link

මෙම සටහන සඳහා දක්වා තිබූ ප්‍රතිචාර කිහිපයක් පහතින්.

Claim 2:

සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් මෙම තේමාව යටතේම සිදු කළ ප්‍රකාශයක් සිරස ප්‍රවෘත්ති නිල ෆේස්බුක් පිටුවේ පළ වී ඇති බවට ද, දක්වා තිබුණේ මෙලෙසින්.

මන්ත්‍රීවරුන්ටත් වඩා ලයින් අරන් තියෙන්නේ වෛද්‍යවරු. මාලිමා ආණ්ඩුවක් යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පමණක් නොව, වෛද්‍යවරුන්ගේ සහ රජයේ විධායක නිලධාරීන්ගේ වාහන බලපත්‍රත් අහෝසි කරනවා

Facebook | Archived Link

මෙහි නිරවද්‍යතාව විමසමින් අප වෙත ලැබුණු ඉල්ලීම් ද, මුල් කර ගනිමින් මේ පිළිබඳ කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ වෛද්‍යවරුන්ගේ සහ රජයේ විධායක නිලධාරීන්ගේ වාහන බලපත්‍ර අහෝසි කරන බවට එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කර තිබුණේ ද, යන්න පිළිබඳ අප පරීක්ෂා කළා. නමුත් ඔහු විසින් එවැනි ප්‍රකාශයක් දේශපාලන වේදිකාවකදී , වෙනත් රැස්වීමකදී හෝ වෙනත් වැඩසටහනකදී හෝ ප්‍රකාශ කළ බවට දැක ගන්නට නොලැබුණි.

එමෙන් ම කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවකද, එවැනි පුවතක් පළ කර ඇති බවට දැක ගන්නට නොලැබුණි.

ඉහත වෙබ් අඩවියේ පෙන්වා දෙන අයුරින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යවරුන් සහ මෙම බලපත්‍ර සඳහා හිමිකම් කියන බොහෝ දෙනෙකු වහාම මේ බලපත්‍ර අහෝසි කොට නිසි ලෙස බදු අයකරන ලෙස අනුර දිසානායක මහතාගෙන් ඉල්ලීම් කර ඇති බවට දැක්වෙන පුවතක් හෝ වාර්තා වී ඇති බව ද, දැක ගැනීමට නොහැකි විය.

ජයග්‍රහණයෙන් පසුව ඉදිරිපත් කෙරෙන පළමු අයවැය ඉදිරිපත් කරමින් ජාතික ජනබලවේගය මෙම තීරුබදු සහන බලපත්‍රය ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කරනු ඇතැයි වාර්තා වන බවට එම ලිපියේ දක්වා තිබුණත්, වෙනත් කිසිදු මාධ්‍ය වාර්තාවක එවැනි වාර්තාවක් පළ වී ඇති බව ටද, අප ට දැක ගන්නට නොලැබුණි.

ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් නොවන කරුණක්

කෙසේ වෙතත් මෙහි පෙන්වා දෙන පරිදි ජාතික ජන බලවේගයේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වෛද්‍යවරුන්ගේ සහ රජයේ විධායක නිලධාරීන්ගේ වාහන බලපත්‍ර අහෝසි කරන බවට සඳහන් වනවා ද, යන්න පිළිබඳ අප පරීක්ෂා කළ අතර එහිදීද මෙම ක්ෂේත්‍රයන් වල වාහන බලපත්‍ර අහෝසි කරන බවට දක්වා නොතිබුණි.

එහි සඳහන් වී තිබුණේ, මන්ත්‍රීවරුන්ගේ තීරුබදු රහිත වාහන බලපත්‍ර ක්‍රමය ඉවත් කරන බවට පමණයි. එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 194 වන පිටුවේ එය සඳහන් වේ. ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙතනින්.

සුනිල් හඳුන්නෙත්ති

එමනේ ම හඳුන්නෙත්ති මහතා ද, මෙවැනි ප්‍රකාශයක් කළ බව ත්, එය සිරස නාළිකාවේ නිල පුවත් ෆේස්බුක් පිටුවේ බව ට දක්වා තිබුණු හෙයින් අප එම නිල ෆේස්බුක් පිටුව හරහා මේ සම්බන්ධයෙන් පරීක්ෂා කළත්, එවැනි පුවතක් එහි වාර්තා වී නොතිබුණු අතර එහි මෙම ආකෘතියෙන් පුවත් පළ නොවන බව ට ද, දැක ගන්නට ලැබුණා.

අප මේ පිළිබඳව එහි ප්‍රවෘත්ති කළමණාකරවරයෙකුගෙන් ද, විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, ඉහත සඳහන් ආකාරයේ හඳුන්නෙත්ති මහතා කළ බවට පුවතක් පළ නොකළ බවත්, එය ව්‍යාජ ලෙස සකසා ඇති පුවතක් බවයි.

සටනරුපවාහිනි වැඩ සටහනේදී හඳුනේත්තිගේ ප්‍රකාශය

එමෙන් ම පසුගිය අගෝස්තු 27 වන දා සිරස නාලිකාවේ පැවති ‘සටන’ වැඩ සටහනේදී එක් මාධ්‍යවේදියෙකු විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිතව වාහන ලබා දීම ඉවත් කරන බවට ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරුණු ගැන හඳුන්නෙත්ති මහතාගෙන් විමසන අතර ඉන් පසුව ප්‍රතිපත්ති රාජ්‍ය සේවයේ මාණ්ඩලික නිලධාරීන්, වෛද්‍යවරුන් ලබා දෙන වාහන බලපත්‍රය සම්බන්ධයෙන් අවුරුදු 5න් 5ට වාහන බලපත්‍රයක් ලැබෙන බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශන‍ේ ඇතුළත් නොකිරීම සම්බන්ධ‍ෙන් මෙහිදී ප්‍රශ්න කරනු ලබනවා.

මෙම අවස්ථාවේදී ඊට පිළිතුරු සපයමින් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කරන්නේ, ලංකාවේ රාජ්‍ය සේවයේ අමාත්‍යාංශයේ ලේකම්වරු නිලධාරීන්වරුන් ගේ නිලය අනුව වාහන ලැබෙන සුදුසුකම ඔවුන් පැමිණි විට අහෝසි කරන බවට ඇතැම් පිරිස් සමාජයේ භීතියක් ඇති කිරීමට උත්සහ කරන බවත්, පක්ෂයේ අපේක්ෂාව දේශපාලඥයින් ලැබෙන තීරුබදු රහිතව වාහන ලබා ගැනීමේ අවස්ථාව ඉවත් කිරීම පමණක් බවත් පෙන්වා දෙනවා.

මාධ්‍ය වේදියා විසින් මෙම අවස්ථාවේ, අවුරුදු 5න් 5ට වාහන බලපත්‍රයක් ඉහත ක්ෂේත්‍ර වල නිලධාරීන්ට හිමි වන බව පවසන අතර මෙහිදී හදුන්නෙත්ති සඳහන් කරනු ලබන්නේ, එලෙසින් එම ක්ෂේත්‍රයේ අයට අවුරුදු ගාන අනුව වාහන බලපත්‍ර ඔවුන්ට හිමි නොව න බවත්ය.

එලෙසින් ලැබෙනවා නම් ඒවාද අයින් කළ යුතු නොවේද යනුවෙන් මාධ්‍ය වේදියා නැවත පැනයක් යොමු කරන අතර ඊට පිළිතුරු දෙමින් හඳුනෙත්ති පවසන්නේ මුලින් ම දේශපාලනඥයින් සම්බන්ධයෙන් ගැටලුව විසඳාගත යුතු බවත්, නමුත් පටන් ගැන්මේදී එය සිදු කිරීමට නොහැකි බවයි. එම අවස්ථාවේ වීඩියෝව මෙතනින්.

කෙසේ වෙතත් අප කළ පරීක්ෂාවේදී ද, තහවුරු වූයේ, වර්තමානයේ දී සහනදායි පදනම මත මෝටර් රථ බලපත්‍ර ලබා දීම සඳහා අයත් වන ඉහත සඳහන් කාණ්ඩයට සේවා කාල‍යේදී 2වරක් පමණක් වාහන බලපත්‍ර ලබා ගත හැකි බවයි. ඒ සම්බන්ධයෙන් පවතින චක්‍රලේඛය මෙතනින්. මීට පෙර මෙම ක්ෂේත්‍රයේ නිලධාරීන්ට තීරු බදු රහිත වාහන ලබා ගැනීමේ ඇතිවූ ගැටලුවක් නිරාකරණය කිරීම සම්බන්ධයෙන් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේ කළ මැදිහත්වීමේ අවස්ථාවක් මෙතනින්.

රජයේ නිලධාරීන්, වෛද්‍යවරුන් සම්බන්ධයෙන් අදහස් කරන්නේ නැහැ

එමෙන් ම මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හඳුන්නෙත්ති මහතා ‘හරි TV’ වැඩසටහනකට පැමිණ ප්‍රකාශ කළේ, ජනාධිපති, ඇමති, මන්ත්‍රීවරුන්ගේ තීරුබදු රහිත වාහන බලපත්‍ර ක්‍රමය නතර කිරීම සිදු කළ යතු බවත්, දේශපාලඥයින් යනු ස්වෙච්ඡා සේවකයින් බවත්, නමුත් මෙයින් රජයේ නිලධාරීන්, වෛද්‍යවරුන් සම්බන්ධයෙන් අදහස් නොකරන බවයි.

එමෙන් ම, ඉහත සටහන අසත්‍ය සටහනක් බවට ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ ද, දක්වා තිබුණේ මේ අයුරින්.

Facebook | Archived Link

NPP මාධ්‍ය අංශය

අප මේ පිළිබඳව එම මාධ්‍ය අංශයෙන් ද, විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කරන්නේ, කිසිදු අවස්ථාවක වෛද්‍යවරුන් ඇතුළු එම සමාජ මාධ්‍ය සටහනේ පෙන්වා දෙන ඉහළ නිළධාරීන්ට තීරු බදු රහිත වාහන ලබා දීම අහෝසි කිරීමට පියවර නොගන්නා බවත්, එවැනි දෙයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හෝ නොමැති බව ත් ය.

එමෙන් ම වෛද්‍යවරුන්ට ලැබිය යුතු වරප්‍රසාද අහිමි කිරීම නිසා ඔවුන් වැඩි වශයෙන් මෙරට අත්හැර යාම නිසා බුද්ධි ගලනයක් සිදු වී ඇති බව ත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටු වීමට NPP ආණ්ඩුවක් යටතේ වැඩ පිළිවෙළක් සැකසීමට අවධානය යොමු වී ඇති බව ත් ය.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ජාතික ජන බලවේගය විසින් එහි ආණ්ඩුවක් යටතේ, වෛද්‍යවරුන්ගේ, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වාහන බලපත්‍රත් අහෝසි කරන බවට තීරණයක් ගෙන ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් අසත්‍ය වෙයි.

ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තීරු බදු රහිත වාහන ලබා දීම ඉවත් කරන බවට සඳහන් කර ඇත්තේ මන්ත්‍රීවරුන්ට පමණක් වන අතර, ඉහත ක්ෂේත්‍රයන් වල නිලධාරීන් සම්බන්ධයෙන් කිසිදු සඳහනක් නොමැති බව අප කළ පරීක්ෂාවේදී තහවුරු වේ.

Avatar

Title:NPP ආණ්ඩුවක් යටතේ වෛද්‍යවරුන්ගේ, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වාහන බලපත්‍ර අහෝසි කෙරෙනවා ද ?

Written By: Pavithra Sandamali

Result: Misleading