අශේන් සේනාරත්න මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරනවා ද?

Insight Social

 

 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

කොළඹ දිස්ත්‍රික්කයෙන්, ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා භාර දීමට ගොස් ගැටලුවකට මුහුණ පෑ, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් අශේන් සේනාරත්නගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වීම ගැන පසුගිය කාලයේ සමාජයේ දැඩි කතාබහක් ඇති වුණා.

ඒ අනුව නැවතත් අශේන් සේනාරත්න අංක 15 ස්වාධීන කණ්ඩායම ඔස්සේ පාර්ලිමේන්තුවට පැමිණෙන බව සමාජ මාධ්‍ය ඔස්සේ සහ මාධ්‍ය සාකච්ඡා ඔස්සේ ප්‍රකාශ කිරීම නිසා නැවතත් අශේන් සේනාරත්න මහ මැතිවරණයට තරඟ කිරීම පිළිබඳ කතා බහක් ඇති වී තිබෙනවා. මෙහි බොහෝ දෙනෙක් නඟන ප්‍රශ්නයක් වනුයේ නාම යෝජනා ප්‍රතිෂේප වූ අයෙක්ට නැවත වෙනත් පක්ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින් තරඟ කළ හැකි ද යන්නයි. එබැවින් අප මෙම සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමක් කිරීමට තීරණය කළා. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):  

අශේන් සේනාරත්න ප්‍රධාන මාධ්‍ය සම්බන්ධ කරගනිමින් පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවක් ඔස්සේ ප්‍රකාශ කරනු ලැබුවේ, නාම යෝජනා ප්‍රතික්ෂේප වූ තමා සිය දේශපාලන ගමන නවත්වා නොමැති අතර කොළඹ දිස්ත්‍රික්කය ම නියෝජනය කරන යතුරු කැරැල්ල, අංක 15 ස්වාධීන කණ්ඩායම ඔස්සේ තමාව පාර්ලිමේන්තු යැවීමට ජනතාවට අවස්ථාව තිබෙන බවයි. එම වීඩියෝව ඔහු සිය ෆේස් බුක් ගිණුමේ පළ කර තිබුණේ ද “ කොළඹින් අශේන් රටටම” යන සටහනත් සමඟයි.

මෙලෙස අශේන් ප්‍රකාශ කිරීම ඔස්සේ ඔහු පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරනවා වැනි අදහසක් සමාජගත වන බැවින් බොහෝ දෙනෙකු අපගෙන් විමසීමක් සිදු කළේ, ඇත්තටම අශේන් සේනාරත්න කොළඹ දිස්ත්‍රික්කයේ අංක 15 ස්වාධීන කණ්ඩායමෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරනවා ද යනුවෙනි. ඒ හේතුවෙන් අප මේ පිළිබඳ සොයා බැලීමක් සිදු කළා.

Explainer (කරුණු පැහැදිලි කිරීම)  :

අශේන් සේනාරත්නගේ නාම යෝජනා ප්‍රතිෂේප වීමෙන් පසුව නැවත ඔහු පාර්ලිමේන්තු මැතිවරණයට යම් කිසි ස්වාධීන කණ්ඩායමකින් තරඟ කරන බවට වාර්තා කිරීමක් ප්‍රධාන මාධ්‍ය සිදුකර තිබේද යන්න අප මුලින් ම සොයා බැලුවා. එහිදී අශේන් සේනාරත්න පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාව සිරස නාලිකාවේ NewsFirst.lk ෆේස්බුක් පිටුවේ පළ කිරීම අපට දැකගත හැකි වුණා. මේ සමඟ ම නැවත අශේන් සේනාරතන සිය නාම යෝජනා ප්‍රතිෂේප වීමෙන් පසුව මහ මැතිවරණයට ඉදිරිපත්වීමක් පිළිබඳව බොහෝ දෙනාගේ අවධානයට ලක් වීම සිදුවුණා.

එමෙන් ම අශේන් සේනාරත්නගේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ද එළි දැක්වීමට නියමිත බව ඔහුගේ Tik Tok නාලිකාවේ දක්වා තිබුණා.

මීට අමතරව ඔහුගේ ෆේස් බුක් පිටුවේ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශක් ද දක්වා තිබුණේ මේ අයුරිනි.

 

 

තව ද අශේන් සේනාරත්නගේ ෆේස්බුක් පිටුව, Tik Tok නාලිකාව මෙන් ම අංක 15 ස්වාධීන කණ්ඩායම් නායක සසිඳු මහානාමගේ ෆේස් බුක් පිටුව සහ Tik Tok නාලිකාව තුළ අංක 15 ස්වාධීන කණ්ඩායම අශේන් විසින් බොහෝ සෙයින් ප්‍රවර්ධනය කිරීම සිදුකර ඇති ආකාරයක් අපට දැකගත හැකි වුණා. එලෙස යතුරු කැරැල්ල ලකුණෙන් තරඟ කරන අංක 15 ස්වාධීන කණ්ඩායම අශේන් සේනාරත්නගේ මැදිහත් වීමෙන් ප්‍රවර්ධනය කර තිබූ අවස්ථා කිහිපයක් මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

අශේන් සේනාරත්න කොළඹ දිස්ත්‍රික්කයේ අංක 15 ස්වාධීන කණ්ඩායමෙන් තරඟ කරනවා ද?

ඇත්තට ම අශේන් සේනාරත්න කොළඹ දිස්ත්‍රික්කයේ අංක 15 ස්වාධීන කණ්ඩායමෙන් තරඟ කරනවා ද යන්න අප සොයා බැලීමක් කළා. මුලින් ම අප මෙම යතුරු කැරැල්ල ලකුණින් තරඟ වදින අංක 15 ස්වාධීන කණ්ඩායම ඔස්සේ නාම යෝජනා භාර දී තරඟ කරන අපේක්ෂකයින් කවු ද යන්න සොයා බැලුවා. එහිදී අපට දැකගත හැකි වුණේ, කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද පත්‍රිකාවට අනුව අංක 15 ස්වාධීන කණ්ඩායමෙන් තරඟ වදින අපේක්ෂක ලැයිස්තුවේ අශේන් සේනාරත්නගේ නම නොමැති බවයි. 

 

කණ්ඩායම් අංක 15 ස්වාධීන කණ්ඩායම් නායක සසිදු මහානාම

මේ බව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වදින අංක 15 ස්වාධීන කණ්ඩායම් නායක සසිදු මහානාමව සම්බන්ධ කර ගනු ලැබුවා. ඔහු පැවසුවේ අශේන් සේනාරත්න ඔවුන්ගේ ස්වාධීන කණ්ඩායමෙන් තරඟ නොකරන බවයි. නමුත් අශේන් ඔවුන්ගේ පක්ෂය සඳහා සහය ලබා දීමට එක්වී ඇති බවත්, ඔවුන්ට කොළඹ දිස්ත්‍රික්කයෙන් ජාතික ලැයිස්තු ආසනයක් හිමි වේ යැයි ඔවුන් අපේක්ෂා කරන බවත්, එහිදී ඔවුන් අනිවාර්‍යෙන් ම අශේන් සේනාරත්නට ප්‍රමුඛතාවය ලබාදෙන බවත් අංක 15 ස්වාධීන කණ්ඩායම් නායක ආචාර්ය සසිදු මහානාම අප සමඟ පැවසුවා. එවැනි අපේක්ෂාවක් ඇතුව මෙම ප්‍රවර්ධනයන් සිදුකරන බවයි ඔහු වැඩි දුරටත් පැවසුවේ.

 

අංක 15 ස්වාධීන කණ්ඩායම් නායක ආචාර්ය සසිදු මහානාමගේ ෆේස්බුක් පිටුවේ එම ස්වාධීන කණ්ඩායමෙන් තරඟවදින අපේක්ෂකයින්ගේ නම් සඳහන් කර තිබුණේ මෙලෙසිනි.

අශේන් සේනාරත්න 

ඒ වගේ ම අප අශේන් සේනාරත්නගෙන් ද මේ බව විමසීමට ඔහුව දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සහ කරනු ලැබූ නමුත් ඔහුව සම්බන්ධ කර ගැනීමට නොහැකි වුණා.

නමුත් ඔහු දෙරණ නාලිකාවේ “මොකද වුණේ?” වැඩසටහනට සම්බන්ධ වෙමින් පැවසුවේ, කොළබ දිස්ත්‍රික්කයේ ඔහුගේ ම ප්‍රතිපත්ති තිබෙන තරුණ තරුණියන් සිටින ස්වාධීන කණ්ඩායමක් සමඟ ඔහු එක් වූ බවයි. අංක 15 ස්වාධීන කණ්ඩායමේ අපේක්ෂක ලැයිස්තුවේ තමන්ගේ නම නොමැති බවත් නමුත් අංක 15 ස්වාධීන කණ්ඩායම කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩි ම ඡන්ද ලබාගත්තොත් තමන් එම කණ්ඩායමේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යාමට බලාපොරොත්තුවන බව ඔහු වැඩිදුරටත් පවසනවා.

 

මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක

අප මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතාගෙන් විමසීමක් සිදු කළ අතර ඔහු පැවසුවේ අශේන් සේනාරත්න අංක 15 ස්වාධීන කණ්ඩායමෙන් තරඟ නොකරන බවයි. විශේෂයෙන් ම එම මහතා සඳහන් කළේ නාම යෝජනා ප්‍රතික්ෂේප වූ අයෙක්ට නැවත් වෙනත් පක්ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින් තරඟ කළ නොහැකි බවයි. යම් හෙයකින් ඔහු ඉදිරිපත් වන ස්වාධීන පක්ෂයට ආසනයක් හිමි වුවහොත් එම පක්ෂයේ තරඟ වදින සියලු දෙනා ම දිවුරුම් දෙමින් ඉවත් වෙමින් අශේන් ට එම ආසනය ලබා දිය යුතු බව ත්, එය ප්‍රායෝගිකව සිදුවීමේ අවකාශය අවම බව ත්, ඒ මහතා පෙන්වා දෙනවා.

හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය

හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ද අප සමඟ පැවසුවේ, නාම යෝජනා ප්‍රතිෂේප වූ අයෙක්ට තවත් පක්ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින් තරඟ කිරීමට කිසිසේත් නොහැකි බවයි. එමෙන් ම මෙම ස්වාධීන කණ්ඩායමට ජාතික ලැයිස්තු ආසනයක් හිමි වුණොත්, එහි පළමු වටයෙන් පාර්ලිමේන්තුවට පැමිණිය හැක්කේ තරඟ කරන අපේක්ෂකයෙක්ට වන බවයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ. ඒ අනුව ප්‍රායෝගිකව අශේන් සේනාරත්නට පාර්ලිමේන්තුවට පැමිණීමට සම්භාවිතාවක් නොමැති බවයි හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ අදහස වන්නේ.

අශේන් සේනාරත්නගේ නාම යෝජනා ප්‍රතිෂේප වීම

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා 764ක් ලැබී තිබූ අතර එයින් නාම යෝජනා 74ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළා. ඒ අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන්, ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා භාර දුන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් ලෙස ප්‍රසිද්ධියට පත් අශේන් සේනාරත්නගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වීම සිදු වූ අතර ඉන් පසු ඔහු සමාජ මාධ්‍යයේ හැසිරුණු ආකාරයත් සමඟ ඔහුගේ නාම යෝජනා ප්‍රතිෂේප වීම පිළිබඳ සමාජයේ කතා බහක් ඇති වුණා.

අශේන් සේනාරත්නගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වීම පිළිබඳව අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු පනතේ15 වන වගන්තියේ (4) වන උපවගන්තියේ හෝ (5) වන උපවගන්තියේ විධිවිධානවලට අනුකූලව අශේන් සේනාරතන නාම යෝජනා භාර නොදීම නිසා එම නාම යෝජනාව ප්‍රතික්ෂේප වූ බවයි. 

එහිදී මැතිවරණ කොමසාරිස් වරයා වැඩිදුරටත් පැහැදිලි කළේ, එම ක්‍රියාවලිය පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව සිදුව ඇති බවත්, වෙනත් පුද්ගලයින්ගේ ද මේ හේතුව නිසාම මෙවර ද නාම යෝජනා ප්‍රතික්ෂේප වී තිබු බවත්, අශේන් ට තමා ට අසාධාරණයක් සිදුව ඇති බව හැඟෙන්නේ නම්, ඒ තීරණය පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව ඔහුට පවතින බවයි.

 

ඒ අනුව  අශේන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කොළඹ දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීවරයාට සහ මැතිවරණ කොමිසමට එරෙහිව පෙත්සමක් ද ගොනුකරනු ලැබුවා. එහෙත් එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ශේප කරනු ලැබුවා.

මහමැතිවරණය පැවැත්වීමෙන් පසු ජාතික ලැයිස්තුව සඳහා යෝජිත නාම ලේඛනය සංශෝධනය කිරීමට දේශපාලන පක්ෂවලට අවස්ථාව ඇති බැවින් එහි දී තම පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ඇතුලත්වන්නේ කවුරුන්ද යන්න දැනුම් දීමේ අවසානාත්මක බලය දේශපාලන පක්ෂයක ලේඛම්වරයාට හෝ ස්වාධීන කණ්ඩායමක කණ්ඩායම් නායකයාට පවතී. එබැවින් මැතිවරණයෙන් පාර්ලිමේන්තු වරම් අහිමි වූ අපේක්ෂකයෙකුගේ නම උවද ඒ සඳහා යෝජනා කල හැකි ය.

මේ පිළිබඳව ඉතිහාසයේ ද, ඕනෑ තරමින් උදාහරණ ඇති අතර, යම්කිසි හෙයකින් අශේන් එකතු වූ සිටින ස්වාධීණ කණ්ඩායම මැතිවරණයේදී සමස්ත ලෙස අවම වශයෙන් එක් ජාතික ලැයිස්තු ආසනයක් හෝ ලබා ගැනීමට සමත් වුවහොත්, එහිදී එම පක්ෂයේ කැමැත්ත මත, ජාතික ලැයිස්තුව සංශෝධනය කරමින් අශේන් ට එම මන්ත්‍රීධූරය පිරිනැමුවොත්, ඔහුට පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මන්ත්‍රීවරයෙක් වීමේ අවස්ථාව උදා වේ.

ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූර පිරිනැමෙන අයුරු පිළිබඳ දැන ගන්න මෙතනින්

Also Read : නාම යෝජනා ප්‍රතික්ෂේප වන්නේ ඇයි ?

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

 

 

Avatar

Title:අශේන් සේනාරත්න මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරනවා ද?

Written By: Fact Crescendo Team  

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *