
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ජාතික ජන බලවේගය බලයට පත්වීමත් සමඟ එම ආණ්ඩුවේ තීරණ පිළිබඳවත් එහි පාක්ෂිකයන් පිළිබඳවත් විවිධ නොමඟ යවන සුළු සටහන් නිරන්තරයෙන් හුවමාරුවනවා. 14 වන දින පැවති මහ මැතිවරණයේ තුනෙන් දෙකක බලයක් දිනාගනිමින් ජාතික ජනබලවේගය ජයග්‍රහණය කිරීමත් සමඟ තවත් එවැනි සටහන් සංසරණය වන අයුරු අපට නිරීක්ෂණය වුණා. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය පිළිබඳව ද හුවමාරු වී තිබුණු එවන් සටහනක් පිළිබඳව අප විමසා බැලීමක් සිදුකරනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):
ජනාධිපති අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ඉවත් වී එම තනතුර සඳහා බිමල් රත්නායක මහතා පත් කර ඇති බවට සමාජ මාධ්‍ය සටහනක් හුවමාරු වී තිබුණේ මේ අයුරිනි.
ඇත්තටම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ නායකත්වයෙන් ඉවත් වුණා ද? අපි මෙහි සත්‍ය සොයා විමර්ශණයක් කළේ මේ අයුරිනි.
Explainer (කරුණු පැහැදිලි කිරීම) :
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේග පක්ෂයේ නායකයා වන අතරම ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ද වනවා. අනුර කුමාර මහතා මෙරට ජනාධිපති වීමත් සමඟ ජනතා විමුක්ති පෙරමුණේ ඔහුගේ නායකත්වය පිළිබඳව බොහෝ දෙනාගේ අවදානය යොමු වූ අතර ඒ පිළිබඳ විවිධ මත පළ කිරීම් ද සිදු වුණා. මෙවර 10 වන පාර්ලිමේන්තුව සඳහා පැවති මහ මැතිවරණය ද ජාතික ජන බලවේගය තුනෙන් දෙකක බලයක් සහිතව ජයග්‍රහණය කිරීමත් සමඟ නැවතත් ඔහුගේ පක්ෂ දෙකක නායකත්වය පිළිබඳ අවදානය යොමුව තිබෙනවා.
එවන් පසුබිමක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමක් සිදු වූයේ නම් එය මෙරට ප්‍රධාන පුවතක් ලෙස මාධ්‍ය තුළ වාර්තා වනවා. නමුත් ජානාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණ නායකත්වයෙන් ඉවත්ව ඒ සඳහා බිමල් රත්නායක මහතා පත් කර ඇති බවට කිසිඳු පුවතක් වාර්තා වී තිබුණේ නෑ.
මෙය වැඩිදුරටත් තහවුරු කරගැනීම සඳහා අප ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයයෙන් සහ ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශයෙන් මේ පිළිබඳව විමසීමක් කළා.
ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශය
ජානාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණ නායකත්වයෙන් ඉවත්ව ඒ සඳහා බිමල් රත්නායක මහතා පත් කිරීමක් සිදු කර තිබේද යන්න අප ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයෙන් විමසීමක් කළ අතර එහිදී අප වෙත පැවසුවේ පක්ෂයේ කිසිඳු තනතුරක වෙනස් වීමක් සිදු නොවූ බවයි. දේශපාලන මණ්ඩල සහ මධ්‍යම කාරක සභාව එක්ව පක්ෂ සමුළුවක් ඔස්සේ පක්ෂ නායකත්වය වැනි තනතුරක් මාරු කරන බවයි ඔවුන් අප වෙත පැවසුවේ. එබැවින් එවන් තීරණයක් ගෙන නැති බව ඔවුන් අප වෙත පැවසුවා. මෙවැනි සටහන් අසත්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
ජාතික ජන බලවේගය මාධ්‍ය අංශය
ජාතික ජන බලවේග මාධ්‍ය අංශයෙන් පැවසුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ඉවත් වීමක් සිදුව නව පත්වීමක් සිදු කරන්නේ නම් එය කිසිසේත් රහසිගතව සිදු නොවන බවයි. පක්ෂ සමුළුවක් ඔස්සේ ඒ බව තීරණය කර එම වෙනස් වීම් සිදු කරන බවත් එවන් තීරණයක් ගෙන නැති බවත් අප වෙත පැවසුවා. එවැන්නක් සිදුකරන්නේ නම් එය මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කර සිදුකරන බවයි ජාතික ජන බලවේගය මාධ්‍ය අංශය පවසන්නේ.
ජනතා විමුක්ති පෙරමුණ සහ එහි අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය
සටන්කාමී විප්ලවවාදී කන්ඩායමක් ලෙස 1960 දශකයේ මැද භාගයේ ආරම්භ “මාක්ස්වාදී-ලෙනින්වාදී” ගොඩනැගීමක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය විය. ජනතා විමුක්ති පෙරමුණ 1971 සහ 1987- 89 දී ආණ්ඩුවට එරෙහිව සන්නද්ධ කැරලි දෙකක් මෙහෙයවනු ලැබූ අතර මෙම කැරලි වලදී, එම පක්ෂයට සිංහල ගම්බද ප්‍රදේශවලින් රැඩිකල්වාදී තරුණ පරම්පරාවක් ආකර්ෂණය වීමක් සිදුවුණා.
කැරලි මර්දන මෙහෙයුම් වලදී කැරලි දෙකම පාලනය කළ අතර එහිදී දහස් ගණන් තරුණයන් ඝාතනය වීමක් සිදුවුණා. ඒ අනුව 1987-1989 කාලය තුළ ජනතා විමුක්ති පෙරමුණට එහි නිර්මාතෘ රෝහණ විජේවීර ඇතුළු පළමු පරම්පරාවේ නායකයන් සියල්ලම පාහේ අහිමි වුණා.
1987-89 රාජ්‍ය භීෂණයෙන් දිවි ගලවා ගත් පැරණි ජවිපෙ එකම දේශපාලන මණ්ඩල සභිකයා වූ සෝමවංශ අමරසිංහගේ නායකත්වය යටතේ 1990 දශකයේ මැද භාගයේදී ජනතා විමුක්ති පෙරමුණ නැවත ප්‍රතිසංවිධානය වී ප්‍රධාන ධාරාවේ පාර්ලිමේන්තු දේශපාලනයට පිවිසෙනවා.
අනුර කුමාර දිසානායක මහතා අයත් වන්නේ ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ පාර්ලිමේන්තු අවධියේදී හැඩගැසුණු ජනතා විමුක්ති පෙරමුණ නායකත්වයේ දෙවැනි පරම්පරාවටය. අනුර දිසානායක 1980 දශකයේ අගභාගයේදී ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය අංශයට බඳවා ගනු ලැබූ අතර පසුව ඔහු ශිෂ්‍ය නායකයෙකු ලෙස මතු වී ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක බවට පත්වනවා. 2000 වසරේ දී ඔහු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර එතැන් සිට ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරනු ලැබුවා.
එම අවදියේ සිංහල ජාතිකවාදී ක්‍රමවේදයක් අනුගමනය ජනතා විමුක්ති පෙරමුණ අනුගමනය කළ අතර 2005 වර්ෂයේදී මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපෘතියේ කොටසක් වෙමින් මහින්ද චින්තනය වෙනුවෙන් ඔහු ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ පෙනී සිටියා. එය තාවකාලික මැතිවරණ ප්‍රබෝධයක් ගෙන දුන්නත් එම දේශපාලන අත්හදා බැලීම සහ සිංහල ජාතිකවාදී බව ජනතා විමුක්ති පෙරමුණට අවාසිදායක විය.
එවැනි පසුබිමක් යටතේ 2014 පෙබරවාරි 02 වැනිදා අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලෙස තේරී පත් කෙරුණේ එම පක්ෂයේ තුන්වැනි නායකයා ලෙසයි. අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදය සහ කොමියුනිස්ට්වාදය පිළිබද අදහසින් ඈත්ව වඩාත් ප්‍රතිසංස්කරණවාදී ජනප්‍රිය දේශපාලනයකට යොමු වීමක් සිදු වුණා.
ජාතික ජනබලවෙගය බිහිවීම
අනුර කුමාර දිසානායක මහතා යටතේ සමාජයේ විවිධ කොටස් ආකර්ශණය කරගත හැකි පුළුල් මහජන ව්‍යාපාරයක් ලෙස මතුවීමට ජනතා විමුක්ති පෙරමුණ උත්සහ කළා. ඒ අනුව ජාතික ජන බලවේගය 2019 දී පිහිටුවනු ලබනවා.
2022 වසරේ ඇතිවූ ආර්ථික අර්බුධය සහ අරගලය ජාතික ජන බලවේගය විශාල ව්‍යාපාරයක් ලෙස ගොඩනැඟීමට පසුබිමක් විය. ආර්ථික අර්බුධය හමුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අසාර්ථක වූ අතර එම අවස්ථාවේ ඇති වූ දේශපාලන රික්තකය ජාතික ජන බලවේගය ග්‍රහණය කරගනු ලැබුවා. ඔවුන් එම අවස්ථාවේ ආර්ථික කඩා වැටීමට හේතුවූ දූෂිත දේශපාලනය පිළිබඳ ජනතා අභිලාශයන් උපායමාර්ගිකව ආමන්ත්‍රණය කරමින් අද වන විට අනුර කුමාර මහතාගේ පක්ෂ නායකත්වය යටතේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් දිනාගෙන තිබෙනවා. මෙම ජයග්‍රහනය මෙරට දේශපාලන ඉතාහසයේ තනි පක්ෂයක් විසින් ලබාගත් වැඩිම ජයග්‍රහණය ද වනවා. දේශපාලන ඉතිහාසයේ වාර්තා ගණනාවක් ම බිඳ දැමීමට මෙවර මහ මැතිවරණයෙන් ජාතික ජනබලවේගයට හැකිව තිබෙනවා.
මේ අනුව පක්ෂ ද්විත්වයක නායකත්වය ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පවතින්නේ කෙසේ ද යන්න පැහැදිලි වනවා.
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
නිගමනය (Conclution) :
ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් අනුර කුමාර දිසානායක මහතා ඉවත් වී බිමල් රත්නායක මහතා පත් කර ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බව මෙම කරුණු ඔස්සේ පැහැදිලිවනවා.

Title:ජනාධිපති අනුර කුමාර දිසානායක JVP පක්ෂ නායකත්වයෙන් ඉවත් වුණා ද?
Fact Check By: Fact Crescendo TeamResult: Misleading
