වඩමාරච්චි ඉඩමකින් හමුදා කඳවුරක් ඉවත් කර ගැනීම ගැන කරුණු පැහැදිලි කිරීමක්!

Insight Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

උතුරු පළාතේ, යාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි ප්‍රදේශයේ මෙතුවක් පිහිටුවා තිබූ හමුදා කඳවුරක් ඉවත් කිරීමට වත්මන් රජය පත් වූ විගසම පියවර ගත් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහන් මෙන් ම ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා ද, වාර්තා කර තිබුණා. මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව සොයා කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

වඩමාරච්චි ඉඩමකින් හමුදා කඳවුරක් ඉවත් කර ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වුණා. එම සටහන් වලින් හඟවා තිබුණේ වත්මන් පාර්ලිමේන්තුව පත් වීමත් සමග මෙම තීරණය ගෙන ඇති බවයි.

 

Facebook | Archived Link

 

Facebook | Archived Link

 

Facebook | Archived Link

මෙහි නිරවද්‍යතාව විමසා බැලීමට අප කටයුතු කළේ මෙලෙසින්.

Explainer (කරුණු පැහැදිලි කිරීම) : 

වත්මන් රජය පත් වුවායින් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියෝගයක් මත වඩමාරච්චි, ප්‍රදේශයේ හමුදා කඳවුරක් ඉවත් කර ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර ඇත් ද, යන්න අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කරනු ලැබුවා.

ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් වාර්තා කර තිබුණේ, යාපනයේ වඩමාරච්චි කාර්කෝවලම් ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක පවත්වා ගෙන ගිය යුද හමුදා කඳවුරක්, මේ මස 30 වනදා ට පෙර ඉවත් කර ගැනීමට යුද හමුදා මූලස්ථානය පියවර ඇති බවත්, අක්කර 8 ක වපසරියකින් යුතු මේ ඉඩම අයිතිකරුවන් තුන්දෙනකුට අයත් ඉඩම් කොටසක් වන බැවින්, එම ඉඩම්වල අයිතිකරුවන් කාලයක සිට රජයෙන් කළ ඉල්ලීම්වලට අනුව, එම ඉඩමෙන් යුද හමුදා කඳවුර ඉවත් කිරීමට තීරණය කොට ඇති බවයි. 

මේ ප්‍රදේශයේ වැසියන් යුද සමයේදී පළාත් අතහැර යෑමෙන් පසුව වඩමාරච්චි කාර්කෝවලම් ප්‍රදේශයේ ආරක්ෂාව පවත්වාගෙන යෑමට හමුදා සේනාංක රඳවා තැබීම සඳහා මෙම ඉඩම අත්පත් කරගෙන තිබුණි.

වසර 34 කට පෙර අත්පත් කරගත් මේ ඉඩමේ ස්ථිර ගොඩනැඟිලි රාශියක් හා ස්ථිර වගා විශාල සංඛ්‍යාවක් ඇති අතර කඳවුරේ ගොඩනැඟිලි හා වගාවන් එලෙසම තිබියදී හමුදා භට පිරිස් හා වාහන පමණක් ඉවත් කර ගැනීමට තීරණය කොට ඇති බවත් සඳහන් කර තිබුණා. ඒ අනුව මෙය හදිසියේ ගත තීරණයක් බව බොහෝ වාර්තා මගින් හඟවා තිබුණා. මේ සම්බන්ධයෙන් වාර්තා වූ පුවත් මෙතනින් සහ මෙතිනින්. Archived Link |Archived Link

වඩමාරච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

වඩමාරච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් අප මෙම ඉඩම සහ හමුදා කඳවුර සම්බන්ධයෙන් විමසීමක් කරනු ලැබුවා.

එහිදී ඔවුන් පවසා සිටියේ පසුගිය වසරේ (2023) සිට මෙම ඉඩමේ ඇති හමුදා කඳවුර ඉවත් කර ගන්නා ලෙස පිරිසක් උද්ඝෝෂණය කළ බවයි. ඒ අනුව, වත්මන් රජය පත් වීමට පෙර සිටම මෙම කඳවුර ඉවත් කිරීමට තිරීණය කර තිබූ බවත්, ඒ අනුව යුධ සෙබළුන් බොහෝ පිරිසක් මින් ඉවත් වූ බවත් ඔවුන් පවසා සිටියා. 

නමුත් පසුගිය අවුරුද්දේ එම හමුදා කඳවුර අයත් වඩමාරච්චි ප්‍රදේශයේ ජනතාව විසින් කඳවුර ඉවත් නොකර ගන්නා ලෙසට ඉල්ලීම් කරමින් විරෝධතා දැක් වූ බවත්, ඊට හේතුව වී ඇත්තේ, මත්ද්‍රව්‍ය, අනවසර වැලි ගොඩ දැමීම්, ජාවාරම් නැවත වර්ධනය වීමේ අවධානමක් පවතින බැවින් බවත්, ඒ අනුව එම කඳවුරේ සීමිත යුධ භටයික් පිරිසක් ඉතිරිවූ බවයි ඔවුන් පවසන්නේ.

එමෙන් ම උද්ඝෝෂනය පැවැත්වූ ඇතැම් ප්‍රදේශවාසින් වඩමාරච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ද, මෙම හමුදා කඳවුර ඉවත් නොකරන ලෙස හමුදා මූලස්ථානයට දන්වන ලෙස ද, ඉල්ලීම් කර ඇති බව ත්, ඔවුන් සඳහන් කළා.

තව ද, මෙම හමුදා කඳවුරේ ඉඩමට පෞද්ගලික හිමිකාරිත්වයක් තිබෙනවාද යන්න පරීක්ෂා කිරීම සඳහා වඩමාරච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ද පසුගිය 2023 වසරේ දී ඉල්ලීමක් සිදු කර ඇති අතර ඒ පිළිබඳ පරීක්ෂා කොට එහි හිමිකාරිත්වය 1995 වසරේ සිට සහෝදරයෝ තිදෙනෙකුට අයත් ඉඩමක් බවත්, මෙම කාර්යාල විසින් දන්වා තිබෙනවා. 

මෙම ඉඩමෙන් සම්පූර්ණ හමුදා කඳවුර ඉවත් වූ පසු මෙම ඉඩම නැවත එහි හිමිකාරිත්වය පවතින තිදෙනාට භාර දීමට නියමිත බවයි ඔවුන් වැඩි දුරටත් සඳහන් කළේ.

ඒ අනුව මෙය හදිසියේ සිදු කළ ඉවත් කිරීමක් නොව, 2023 වසරේ සිට මෙම කඳවුරේ සෙබළුන් ඇතුළු එම කඳවුරේ ඇති ද්‍රව්‍ය ඉවත් කරමින් තිබූ බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාව

වඩමාරච්චි හමුදා කඳවුරේ පසුගිය වසරේ සිට භාගයකට වඩා සෙබළුන් ඉවත් වී තිබූ අතර, ඉතිරි වී ඇති පිරිස් ද ඉවත් වෙමින් සිටින බවයි මේ පිළිබඳව අප කළ විමසීමේදී ඔවුන් පැවසුවේ.

වඩමාරච්චි ප්‍රාදේශීය වාර්තාකරුවන්

වඩමාරච්චි ප්‍රාදේශීය වාර්තාකරුවන්ගෙන් ද, මෙම හමුදා කඳවුර ඉඩම සම්බන්ධයෙන් අප විමසා සිටි අතර ඔවුන් ද, තහවුරු කළේ, මෙහි පසුගිය වසරේ සිටම හමුදාව ඉවත් වෙමින් සිටින බවයි.

එම ප්‍රදේශයේ ඇතැම් දේශාපලනඥයින්, ඇතැම් ප්‍රදේශවාසින් හා එක්ව මෙම කඳවුර ඉවත් කිරීම සඳහා උද්ඝෝෂණ කළ බව ත්, නමුත් බොහෝ ප්‍රදේශවාසින් එක්ව මෙම හමුදා කඳවුර ඉවත් නොකර ගන්නා ලෙස ත්, ආරක්ෂාව දිගටම සැපයීමට කඳවුර පවත්වාගෙන යන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයන් සිදු කළ බවයි ඔවුන් පැවසුවේ. 

එසේම තට්කෝලම් ප්‍රදේශයේ ස්ථාපිතකර තිබු 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ඒකකයට අයත් යුද්ධ හමුදා කදවුර ඉවත් නොකර ගන්නා ලෙස හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සහ එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ට ඒත්තු ගන්වමින්, ඒ අවට ප්‍රදේශවාසීන් සිදුකළ උද්ඝෝෂණයක් පිළිබඳ 2023 අගෝස්තු මස පුවත් වාර්තාවක් මෙතනින්. Archived

එම උද්ඝෝෂණයේ වීඩියෝවක් මෙතනින්.

ඒ අනුව වඩමාරච්චි වාර්තාකරුවෙකු අපට පැවසුවේ පසුගිය වසරේම සම්පුර්ණ වශයෙන් ම ඉවත් වීමට සිටි හමුදා කඳවුරේ සෙබළුන් භාගයක් පමණ එහි රැඳෙමින් ඉතිරි හමුදා භටයින් ඉවත් වීම සිදු වූ බවයි .

වඩමාරච්චි ප්‍රදේශවාසින්

අප වඩමාරච්චි හමුදා කඳවුර අවට සිටින ප්‍රදේශවාසින් කිහිප දෙනෙකුගෙන් ද, මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර ඔවුන් පවසා සිටියේ හමුදා කඳවුර ඉවත් කිරීමේ කටයුතු සිදු වෙමින් පැවතී බවයි. එමෙන් ම පෞද්ගලික ඉඩමක මෙම කඳවුරු ඉදි කර ඇති අතර මෙම කඳවුර පැවතීම හේතුවෙන් එම ප්‍රදේශයේ ආරක්ෂාව සැලසුනු බව ත්, අයහපත් ක්‍රියා හිස එසවීමට හැකි බැවින් හමුදා කඳවුර ඉවත් කිරීම පිළිබඳ කැමැත්තක් නොමැති බව ත්ය.

උතුරේ ඉඩම් නිදහස් කිරීම

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පරිහරණය කරන ලද ඉඩම් නිදහස් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබුවා. පසුගිය මාර්තු 22 වන දා යාපනය ඔට්ටගපුලම් ප්‍රදේශයේදී පැවති උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනට සමගාමීව පලාලි ගුවන් හමුදා කඳවුරේ මෙම වැඩසටහන ද, දියත් කළ අතර යාපනය ආඥාපති මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා විසින් ඉඩම් නිදහස් කිරීමේ නිල ලිපි ලේඛන මෙහිදී ජනාධිපතිවරයාට භාර දුන් අතර, අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම ලිපි ලේඛන යාපනය දිසාපති මරදලිංගම් ප්‍රදීපන් මහතා වෙත භාර දී තිබුණා. 

හිටපු ජනාධිපතිවරයා එහිදී පවසා තිබුණේ, යුද්ධයෙන් පසු විශාල ඉඩම් ප්‍රමාණයක් හමුදාව යටතට ගැනීමට සිදු වූ අතර ඒ වන විට ආණ්ඩුව, රජයේ සහ පුද්ගලික ඉඩම් අක්කර 63,000ක් පමණ නිදහස් කර ඇති බව ත්, නාවික හමුදාව යටතේ තිබූ රජයේ සහ පුද්ගලික ඉඩම් අක්කර 2600ක් පමණ නිදහස් කර ඇති බවයි.

තවද, ගුවන් හමුදාව යටතේ තිබූ රජයේ සහ පුද්ගලික ඉඩම් අක්කර 2600ක් පමණ නිදහස් කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් පළ වූ ප්‍රධාන මාධ්‍ය වාර්තාව මෙතනින් සහ මෙතිනින්. Archived Link ‍| Archived Link

ආරක්ෂක අංශ භාවිත කරන උතුරේ ඉඩම් අක්කර 100ක් පසුගිය වසරේ ලබා දී බව ට පළ වූ ප්‍රධාන මාධ්‍ය ධාරා පුවතක් මෙතනින්.  තව ත් ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

ආරක්ෂක අමාත්‍යාංශය

ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ සහ ප්‍රකාශක කර්නල් නලින් හේරත් මහතාගෙන් අප මේ පිළිබඳ විමසීමක් කළ අතර ඔවුන් පවසා සිටියේ වඩමාරච්චි හමුදා කඳවුර ඉවත් කිරීමේ තීරණය හදිසියේ ගත් තීරණයක් නොවන බව ත්. එය පසුගිය වසරේ සිට ඉවත් කිරීමේ කටයුතු සිදු වෙමින් පැවති අතර සම්පූර්ණ හමුදා කඳවුර ඉවත් කිරීමට පෙර පසුගිය වසර සිට ආරක්ෂාව තත්ත්වයන්, විශ්ලේෂණය කොට, සමාලෝචනය කොට ඒ හා සම්බන්ධ කරුණු රාශියක් ඇගයීම් සිදු කොට මේ පිළිබඳ තීරණය කළ බවයි.

ජනාධිපති මාධ්‍ය අංශය

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නජිත් ඉන්දික මහතාගෙන් අප මෙම ගැටලුව සම්බන්ධයෙන් විමසීමක් කළා. ඒ මහතා සඳහන් කළේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කළ උතුරේ ඉඩම් සලකා බලා නිදහස් කිරීමේ ව්‍යාපෘතියක් සිදු කළ බව ත්, මේ හමුදා කඳවුර සම්බන්ධ ඉඩමද පෞද්ගලික ඉඩමක් බැවින් මේ සම්බන්ධයෙන් අදාළ විමර්ශනයන් සිදු කොට නිදහස් කිරීම සඳහා ආරම්භ කළේ මේ ආණ්ඩුව පත්වීමට පෙර සිට බව ත්, මෙය සම්පූර්ණ නිදහස් කොට භාර දිය යුතු වන දිනය මේ මස අග බවත් දක්වා තිබෙන බවයි.

නමුත් මෙම ඉඩම සහ කඳවුර සම්බන්ධයෙන් අදාළ තත්ත්වයන් පරීක්ෂා කර නිදහස් කිරීමට නියෝග කර නොමැති වුවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ උතුරේ ජනතාවගේ අත්පත් කර ගත් ඉඩම් ක්‍රමානුකූලව නිදහස් කරන බව බැවින් ඒ සඳහා අදාළ තත්ත්වයන්, විශ්ලේෂණය කර බලා කටයුතු සිදු කරන බව ද, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කළා.

රජය පවරාගෙන ඇති උතුරේ ජනතාවගේ ඉඩම් පියවරෙන් පියවර නිදහස් කරන බවට වත්මන් ජනාධිපතිවරයා මෑතකදී සඳහන් කළ අවස්ථාවක් මෙතනින්.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:වඩමාරච්චි ඉඩමකින් හමුදා කඳවුර ඉවත් කර ගැනීම පැහැදිලි කිරීමක්!

Written By: Pavithra Sandamali  

Result: Insight


Leave a Reply

Your email address will not be published. Required fields are marked *