FACT CHECK: පසුගිය දිනවල කතාබහට ලක් වූ කෲඩියා සිලනිකා ශාකය ලොවින් තුරන් වී මෙරටින් හමුවුණු එකම ශාකය ද?

Misleading Social

කාලයක් වඳ වී ගිය ශාකයක් ලෙස හඳුන්වා තිබූ ශාක විශේෂයක් වූ කෲඩියා සිලනිකා (Crudia Zeylanica) නම් ශාක විශේෂය පිළිබඳව පසුගිය දින කිහිපයේ විශාල වශයෙන් කතාබහකට ලක් වුණා. මේ සඳහා බොහෝදුරට මුල් වී තිබුණේ මධ්‍යම අධිවේගී මාර්ගය සැකසීමේ කටයුතු වලදී ගම්පහ දාරලුව ප්‍රදේශයේ පිහිටි එම වර්ගයේ ශාකයක් ඉවත් කිරීමේ උත්සාහයක් පිළිබඳව ඇතිවූ කතාබහක්. 

මේ සම්බන්ධයෙන් පළවූ විවිධාකාරයේ සමාජ මාධ්‍ය ජාලා සටහන් කිහිපයකින්ම දක්වා තිබුණේ කෲඩියා සිලනිකා වර්ගයේ ලොව ඉතිරිව ඇති එකම ශාකය ඉවත්කිරීමට යාමේදී අනුනවයෙන් බේරුණු බවක්. නමුත් අපගේ විමර්ශණයෙන් පැහැදිලි වුනේ කාලයක් වඳ වී ගිය ශාකයක් ලෙස රතු දත්ත වාර්තාවල සඳහන් වී තිබු කෲඩියා සිලනිකා (Crudia Zeylanica) නම් ශාක විශේෂය, මේ වන විට වඳවීමේ තර්ජනයකට මුහුණ දී නොමැති බවත් අවශ්‍ය සංරක්ෂණ කටයුතු නිසි පරිදි සිදුවෙන බවත් රාජකීය උද්හිද උද්‍යානය සහ ජාතික ශාකාගාරය තහවුරු කර සිටින බවයි. එසේම ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබෙන මෙම වර්ගයේ ශාකය මෙන්ම පරිණත ශාක වෙනත් ප්‍රදේශ වලින් ද හමු වී තිබෙන බව ද අනාවරණය වුණා.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන්:

මෙම සටහන් සඳහා මුලික වූ “ලොවින් තුරන් වී ඇතැයි සැලකූ, මෙරටින් හමුවුණු එකම ශාඛය 99න් බේරෙයි” යන තේමාව යටතේ පළවී තිබු ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියගේ අදහස් දැක්වීම මෙතනින්.

මේ පිළිබඳව පළවූ තවත් වීඩියෝවක් තුළින් කිහිප වරක්ම අවධාරණය කර තිබුනේ ලොව තිබෙන එකම කෲඩියා සිලනිකා වර්ගයේ ශාකය මෙය බවත් මාර්ග සංවර්ධන කටයුතු සිදුවිය යුතු වුවද මෙම ශාකය ආරක්ෂා කරගනිමින් එම කටයුතු සිදුවිය යුතු බවක්.

එකම  කෲඩියා සිලනිකා වර්ගයේ ශාකය යන තේමාවෙන් පළවී තිබු ෆේස්බුක් සටහන් කිහිපයක් පහතින්.

Link | Archived  Facebook | Archived

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම

මෙරටින්මේ හමුවී තිබු කෲඩියා සිලනිකා එකම ශාකය මෙසේ ගම්පහ දී අධිවේගී මාර්ගය ට බිලිවීමෙන් බේරුනේ දැයි කරුණු විමර්ෂණය කිරීමට අප මුලින්ම ඒ සම්බන්ධයෙන් පළ වී තිබූ මාධ්‍ය වාර්තා පරික්ෂා කළෙමු. 

මාධ්‍ය වාර්තා

“කෲඩියා සිලනිකා“ නම් ශාකයේ තවත් ගස් 07ක් මෙරට විවිධ ප්‍රදේශවලින් මේ වනවිටත් සොයාගෙන ඇති බව පේරාදෙණිය උද්භිත උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අචලා අත්තනායක මහත්මිය පවසා තිබුනා. 

ගම්පහ බෙම්මුල්ල, ගම්පහ උද්භිත උද්‍යානය , දොරණගොඩ දකුණ, මිනුවන්ගොඩ හැන්දිමහර, කඩුවෙල සහ ගම්පහ දාරළුව යන ප්‍රදේශවලය එම ශාක තිබෙන බව පෙන්වා දෙමින් එම ශාකයේ පැළ කිහිපයක් ගම්පහ සහ පේරාදෙණිය උද්භිත උද්‍යානවල තිබෙන අයුරු ද දක්වා තිබුණා. 

කෙසේවෙතත් මෙම අවස්ථාවේ දී සමස්ත පරිසර පද්ධතියට ම සිදුවිය හැකි හානිය පිළිබඳව පරිසරවේදීන් දිගින් දිගටම හඬක් නඟමින් පවසා සිටින්නේ මෙවැනි ඉතාම දුර්ලභ ගසක් සංරක්ෂණය කිරීමෙන් මුළු ලොවටම හොඳ පණිවුඩයක් ලබාදීමට හැකිවන බවයි.

එම කරුණු ඇතුළත් වීඩියෝවක් පහතින්

Ada Derana | Archived

“කෲඩියා සිලනිකා: ශාකය වෙනත් තැනකට රැගෙනයාම අසාර්ථක වීමේ හැකියාව වැඩියි” යන තේමාවෙන් පළවූ පහත ලිපියේ ද දිවයිනේ අනෙකුත් ස්ථානවලින් මෙම ශාක වර්ගය හමුවීම පිලිබඳ සඳහන් වෙනවා.

BBC Sinhala | Archived

එසේම මෙම කෲඩියා සිලනිකා ගස සඟසතු කළ අවස්ථාව පිලිබඳව ද එම ශාක විශේෂයේ තවත් ශාක සෙවීමට වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශය ජනතා සහය ඉල්ලා සිටි බවට මෙවැනි පුවත් වාර්තා ද දැක ගණනට ලැබුණි.

එසේම ගම්පහ දාරලුව ප්‍රදේශයේ පිහිටි මෙම පරිණත කෲඩියා සිලනිකා නැතහොත් පඬු කරඳ ශාකය පිළිබඳව අවසන් වාර්තාවක් අදාළ පාර්ශව විසින් ලබා දෙන තුරු එම ශාකය වෙනත් ස්ථානයකට ගෙන යෑමේ තීරණය ගන්නේ නැති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා තිබෙනු අපට මෙසේ දැකගන්නට ලැබුණා

වැඩිදුර කරුණු විමර්ෂණය කිරීම සඳහා අප පේරාදෙණියේ පිහිටි ජාතික ශාකගාරයෙන් , වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මෙන්ම මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සම්බන්ධ නිලධාරීයෙකුගේ ද අදහස් විමසීමක් සිදු කර සිටියා.

ඒ සියලු දෙනාම ද අපට තහවුරු කර සිටියේ මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදුකරන ලද මූලික පාරිසරික අධ්‍යයන වලදී (EIA) අධිවේගී මාර්ගය සැලසුම් කර තිබු මාර්ගයේ කෲඩියා සිලනිකා නම් ශාක ප්‍රභේදයක් තිබෙන බව හඳුනාගෙන තිබුනේ නැති බවත්, හඳුනාගත් අවධිය වන විට මුලික සැලසුම් රැසක් අවසන් වී තිබු බවත්ය. “කෲඩියා; වැරදුණේ කොතැනද ?” යනුවෙන් මේ පිලිබඳ ප්‍රශ්න කරමින් පළවූ ලිපියක් මෙතනින්

එසේම මෙම ශාකයක කෲඩියා සිලනිකා වර්ගයේ එකම ශාකය නොවන බව ද ලංකාවේ තවත් ප්‍රදේශ කිහිපයකින් ම මෙම ශාක හමුවී තිබෙන බව ද මීට වඩා විශාල ලෙස වර්ධනය වූ ශාක ද දැකගන්නට ලැබුණු බවත් ඔවුන් කරුණු දක්වා සිටියා.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක මංජුල අමරරත්න මහතාගෙන් මේ පිළිබඳ කරුණු විමසා සිටියෙමු.

මෙම ශාකය මුලික අධ්‍යයනයන් හි දී හඳුනා ගෙන තිබුනේ නැති බැවින් හඳුනාගන්නා අවධිය වන විට මධ්‍යම අධිවේගී මාර්ගය මුලික සැලසුම් නිම වී තිබූ බව අප සමඟ පවසා සිටියා.

එබැවින් එම වර්ගයේ අනෙකුත් ශාක සියල්ලේම මනා අධ්‍යයනකින් පසුව මීට වඩා විශාල ශාක ද හමුවූ බවත් එසේම කමිටු තීරණය අනුව සංරක්ෂණය කළ යුතු ශාකයක් බැවින් ආරක්‍ෂිත විධිවිධාන යටතේ එම ශාකය ඉවත් කර සුදුසු පරිසරයක නැවත ස්ථාපිත කිරීම සිදු කරන්නේ නම් කටයුතු කළ යුතු ආකාරය පිලිබඳ උපදෙස් මාලාවක් ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ලබාදී තිබු බවත් පවසා සිටියා.

තවදුරටත් කරුණු දක්වමින් අමරරත්න මහතා පවසා සිටියේ දක්ෂිණ අධිවේගී මාර්ගය සංවර්ධනය කිරීමේ දී ද දන්දෙණිය රක්ෂිතය හරහා මාර්ගයේ කොටසක් ඉදිවූ අතර එහිදී අධිවේගී මාර්ගයේ උඩින් ඉදිවූ ගුවන් පාලමක් හරහා සතුන්ට එහා මෙහා ගමන් කිරීමට ඉඩසලසා තිබෙන බවත් සංවර්ධන කටයුතු වලදී මෙබඳු අවස්ථාවලට මුහුණ දීමට සිදුවන බවත් සියලු අංශ සැලකිල්ලට ගනිමින් වඩාත් යෝග්‍ය තීරණ වලට එළඹෙන බවත්ය.  ඒ සම්බන්ධ පුවත් වාර්තාවක් මෙතනින්

එසේම මෙම ශාක ‍ප්‍රභේදය සංරක්ෂණය කිරීමට අවශ්‍ය කටයුතු අදාළ පාර්ශවයන් විසින් සිදුකර ඇති අතර මෙහි ඇට වලින් බෝ වන ප්‍රතිශතය ද ඉහළ අගයක තිබෙන බව හඳුනාගෙන ඇතැයි ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකතුමා පවසා සිටියා.

ඒ බව සඳහන් කරමින් පළවූ මෙම සමාජ මාධ්‍ය සටහන ද බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබු අයුරු අපට දැක ගණනට ලැබුනේ මෙලෙසින්

ජාතික ශාකගාරය (National Herbarium)

පේරාදෙණියේ පිහිටි ජාතික ශාකාගාරයෙන් ද අප මේ පිළිබඳව විමසා සිටියෙමු. එහිදී අපට දැනගන්නට ලැබුනේ කෲඩියා සිලනිකා ශාක විශේෂය පිලිබඳ සිදුකළ අධ්‍යයන වලදී ගම්පහ දාරලුව ප්‍රදේශයේ ශාකවලට අමතරව  වෙනත් ස්ථාන 6 කින් පමණ එම ශාක හමුවූ බවත් කළුතර ප්‍රදේශයෙන් ද පැරණි ශාකයක් හමුවු බවත්ය. 

පේරාදෙණිය උද්හිද උද්‍යානයේ වතු අධිකාරී වශයෙන් කටයුතු කල George Henry Kendrick Thwaites නම් ඉංග්‍රීසි ජාතික උද්භිද විද්‍යාඥයෙකු විසින් මෙම ශාකය 1860 ගණන් වල මුලින්ම හඳුනාගෙන ශාකාගාර නිදර්ශක (herbarium specimens) රාජකීය උද්හිද උද්‍යානයට එකතු කල බවද සඳහන් කර සිටියා. 1911 දී Crudia zeylanica Wikipedia සඳහනක් ද දකින්නට ලැබෙනවා. එය පේරාදෙණිය උද්භිද උද්‍යානයේ තිබු ශාකය දුර්වල වී මිය ගිය අවස්ථාවක් විය හැකි බව ද දන්වා සිටියා.

එසේම මෙම ශාක විශේෂ  දිවයිනේ වෙනත් ස්ථානවලින් ද ඉදිරියේදී හමුවිය හැකි බවත් ඒ පිලිබඳ තවදුරටත් ගවේෂණය කල යුතු බවත් පවසා සිටියා. ගම්පහ ප්‍රදේශයේ ද හමුවී තිබෙන අනෙකුත් ශාක ද විසිරී තිබෙන ස්වයංසිද්ධ (spontaneous) පැළවීම් බැවින් මේ පිලිබඳ අධ්‍යයන කරමින් Germplasm conservation සංරක්ෂණ කටයුතු ඉදිරි වසර 8-10 කාලයේ දී සිදුකිරීමට අවශ්‍ය වන බවත් ඒ පිළිබඳව මීට මාස 3-4 කට පෙර මාර්ග සංවර්ධන අධිකාරිය දැනුවත් කල බවත් දන්වා සිටියා. 

මෙම ශාකය නැවත වෙනත් තැනකට ගෙනයන්නේ නම් ඒ සඳහා ද අවශ්‍ය දැනුම දෙපාර්තමේන්තුව සතුව තිබෙන බවත් ඒ පිලිබඳ සියලු පැතිකඩ සලකා බලා අවශ්‍ය තීරණ මාර්ග සංවර්ධන අධිකාරිය මුල්වී සිදුකළ යුතු බවත් පවසා සිටියා.

කෙසේවෙතත් Crudia zeylanica ශාක විශේෂය වඳ වීමේ තර්ජනයක් නැති බවත් එහි සංරක්ෂණ කටයුතු නිසි පරිදි රාජකීය උද්හිද උද්‍යානය සහ ජාතික ශාකාගාරය මඟින් සිදුවන බවත් තහවුරු කර සිටියා.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය

මධ්‍යම අධිවේගී ව්‍යාපෘතියේ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂක තුමාව ද දුරකථනයෙන් සම්බන්ධ කරගත්තෙමු.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් මුලින්ම සිදුකරන ලද අධ්‍යයනයේ දී අදාළ ස්ථානයේ කෲඩියා සිලනිකා පරිණත ශාකයක් පිහිටීම පිළිබඳව සොයාගැනීමක් සිදුවී තිබුනේ නැති බව පවසා සිටියා. ඉන්පසුව මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය යටතේ විශේෂඥ කණ්ඩායමක් යොදා සිදුකල අධ්‍යයනයේදී මෙම ශාකය පිලිබඳව මුලින්ම හඳුනාගත් බවත් 2019 වසරේ අග භාගයේ දී හිමේෂ් ඩිල්රුවන් ජයසිංහ මහතා විසින් එම ශාකයේ මල් පිපීමෙන් පසුව Crudia zeylanica බව තහවුරු කරගත් බවත් පවසා සිටියා. ඊට පෙර ගම්හපහ දාරලුව ප්‍රදේශයේ මහජනතාව ද කිසිඳු දැනුම්දීමක් හෝ විරෝධතාවක් මේ සම්බන්ධයෙන් සිදු නොකළ බවත් එතුමා පවසා සිටියා.

එම සොයාගැනීමත් සමඟම රාජකීය උද්භිත උද්‍යානයට මේ සම්බන්ධයෙන් දැනුම් දුන් අතර  ඔවුන්ගේ නිර්දේශ මත මෙම පරිණත කෲඩියා සිලනිකා ශාකය වෙනත් ස්ථානයකට ආරක්ෂිතව ගෙන යන්නේ නම් ඒ පිලිබඳ අවසන් තීරණය පරිසර අමාත්‍යංශ යටතේ පවතින මධ්‍යම පරිසර අධිකාරිය විසින් දැනුම් දිය යුතු බැවින් එය ලැබෙන තෙක් අධිවේගී මාර්ගය සකස් කිරීමට අවශ්‍ය වන යටිතළ පහසුකම් සපයා ගැනීමට අවශ්‍ය වන නියමු පාර (Pilot Road) සැකසීම සඳහා ප්‍රදේශය එළි පෙහෙළි කල බවත් පවසා සිටියා. මෙම අවස්ථාවේ ශාකය ඉවත් කිරීමේ අරමුණක් තිබුනේ නැති බවත් පවසා සිටියා.

නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂකතුමා තව දුරටත් කරුණු පැහැදිලි කරමින් පවසා සිටියේ ගම්පහ දාරලුව ප්‍රදේශයේ අදාළ ස්ථානයේ ද එක ලඟ කෲඩියා සිලනිකා ගස් දෙකක් තිබෙන අතර කලින් සැලසුම් කළ පරිදි මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි වුවහොත් පරිණත ශාකය පමණක් ඉවත්වීමක් සිදුවෙන අතර එම ස්ථානයේ පිහිටි අනෙක් කුඩා ශාකය මාර්ගයෙන් ඉවත පිහිටා ඇති බවයි.

එසේම කෲඩියා සිලනිකා ශාකය දාරලුව ප්‍රදේශයෙන් හඳුනා ගන්නා විට ද මධ්‍යම අධිවේගී මාර්ගයේ සැලසුම් සියල්ලම නිම කොට තිබූ අතර කොන්ත්‍රාත්තුව ද චීන සමාගමක් වෙත පිරිනමා තිබු බැවින් එය වෙනස් කරන්නේ නම් විශාල පිරිවැයක් දැරීමට සිදුවන අතර එම වියදම බිලියන 5ක් පමණ විය හැකි අතර ශ්‍රී ලංකාව වැනි රටකට මෙවන් කටයුත්තක් සඳහා එවැනි වියදමක් දැරිය හැකි ද යන්න පිළිබඳව ද මෙම කරුණ සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගැනීමේ දී සලකා බැලිය යුතු බවත් පවසා සිටියා. 

තවද මධ්‍යම අධිවේගී මාර්ගයේ සැලැස්ම වෙනස් කරන්නේ නම් එක් පසකින් පිහිටි දුම්රිය ස්ථානය හරහා හෝ අනෙක් පසින් දැනට ජනාවාස වී ඇති ප්‍රදේශය හරහා හෝ නව අධිවේගී මාර්ගය සැලසුම් කළ යුතු බවත් එවැනි කටයුත්තකදී නැවත ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු ද සිදු කළ යුතු අතර මේ සඳහා සැලකිය යුතු කාලයක් මෙන්ම වියදමක්ද දැරිය යුතු අතර බොහෝ විට එමඟින් බලපෑමට ලක්වෙන ප්‍රදේශවල සිටින මහජනතාව ද මෙයට විරෝධතාව දැක්විය හැකි බවත් සඳහන් කර සිටියා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කෲඩියා සිලිනිකා ශාකය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය නිවැරදිව කටයුතු කර ඇති බව ප්‍රකාශයට පත් කරමින් පරිසර අමාත්‍යංශය විසින් ඉදිරිපත් කල මාධ්‍ය නිවේදනයක් ද අපට මෙසේ දැක ගන්නට ලැබුනා.

එසේම පරිසරවේදී නිතීඥ ජගත් ගුණවර්ධන මහතා “වනජීවී සංරක්ෂණයේ වන සංරක්ෂණ නිලධාරීන් සතු බලතල​” යන තේමාවෙන් පළවූ සටහනකින් නෛතික කරුණු ද පෙන්වා දෙමින් පවසා තිබුනේ දේවානි ජයතිලක මහත්මිය මෙසේ හඬක් නැගීම ඔහුගේ ප්‍රශංසාව සහ ප්‍රණාමය පිරිනැමෙන බවක්. 2019 වසරේ දෙසැම්බර් මස වඳ වී ගොස් ඇති බවට සලකු මෙම ශාක ප්‍රභේදය නැවත වරක් හඳුනා ගැනීමත් සමඟ ජගත් ගුණවර්ධන මහතා පලකරන ලද ලිපියක් මෙතනින්

දේවානි ජයතිලක මහත්මියගේ ප්‍රකාශයත් සමඟම ඇය අළලා ව්‍යාජ සටහන් රැසක් නිර්මාණය වෙමින් පවතින අතර ඇයට විරුද්ධව විනය පරීක්ෂණයක් සිදුවූ බවට පළවූ ව්‍යාජ සටහන් පෙළක් පිළිබඳව අප සිදුකළ කරුණු අනාවරණයක් මෙතනින්. තවත් කරුණු විමර්ෂණයක් මෙතනින්

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ කාලයක් වඳ වී ගිය ශාක විශේෂයක් ලෙස හැඳින්වූ කෲඩියා සිලනිකා (Crudia Zeylanica) නම් ශාක විශේෂය මේ වන විට වඳවීමේ තර්ජනයකට මුහුණ දී නොමැති බවත් අවශ්‍ය සංරක්ෂණ කටයුතු නිසි පරිදි සිදුවෙන බවත් රාජකීය උද්හිද උද්‍යානය සහ ජාතික ශාකාගාරය තහවුරු කර සිටින බවයි. එසේම මෙම ශාකයේ ඇටවලින් බෝවීමේ ප්‍රතිශතය ද ඉතා ඉහළ මට්ටමක පවතින බව අපට දැනගනන්ට ලැබුණා.

එසේම ගම්පහ දාරළුව ප්‍රදේශයේ යෝජිත මධ්‍යම අධිවේගී මාර්ග සැලැස්මේ තිබෙන ශාකය මෙන්ම දිවයිනේ වෙනත් ප්‍රදේශ කිහිපයකින් ද කෲඩියා සිලනිකා ශාක හමු වී තිබෙන බව වන වාර්තා වෙනවා.

*අවසාන නිගමනයේ දක්වා ඇති කොටස යාවත්කාලීන කර ඇති අතර ලිපියේ අන්තර්ගත කර ඇති කරුණු මේ සඳහා යොදාගෙන ඇත. අවසන් වරට 2012 වසරේ පළවී තිබෙන ජාතික රතු දත්ත වාර්තාව තව සති කිහිපයකින් නිකුත්වීමට නියමිත වන අතර එහි කරුණු අනුව මෙම ලිපිය යාවත්කාලීන කිරීමට ද බලාපොරොත්තු වෙමු.

.container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
Avatar

Title:FACT CHECK: පසුගිය දිනවල කතාබහට ලක් වූ කෲඩියා සිලනිකා ශාකය ලොවින් තුරන් වී මෙරටින් හමුවුණු එකම ශාකය ද?

Fact Check By: Nelson Mani 

Result: Misleading


Leave a Reply