මන්නාරම වෙඩිතලව් හමුදා කඳවුරේ සෙබළුන් අතර පැතිර යන උණ රෝගය ගැන කරුණු පැහැදිලි කිරීමක්!

Insight Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

පසුගිය දෙදින පුරා බොහෝ දෙනාගේ අවදානයට ලක්වූ පුවතක් වුණේ උණ රෝගය නිසා මන්නාරම හමුදා පුහුණු පාසලක පුහුණුවීම් ලබන හමුදා සෙබළුන් නිරෝධායනට ලක්කර ඇති බවයි. මෙම තත්වය පිළිබඳ හුවමාරු වූ පුවත් හේතුවෙන් ඇතමුන් අතර යම් බියක් හටගෙන තිබෙනවා. එම නිසා මෙම උණ රෝගී තත්වය පිළිබඳව කරුණු සොයා බැලීමක් සිදුකරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):  

උණ රෝගී තත්වයක් හේතුවෙන් මන්නාරම හමුදා පුහුණු පාසක පුහුණුවීම් තාවකාලිකව නවතා ඇති බවත් සෙබළුන් 25ක් රෝහල්ගත කර ඇති බවත් ස්වර්ණවාහිනී මාධ්‍යයේ පුවතක් පළ වී තිබූ බවටත් වට්ස් ඇප් ඔස්සේ පණිවිඩයක් හුවමාරු වී තිබුණේ මේ අයුරිනි. මෙය කොවිඩ් 19 වැනි තත්වයක් ද? යනුවෙන් ද මෙම පණිවුඩයේ දක්වා තිබීම හේතුවෙන් බොහෝ දෙනා මේ ගැන තොරතුරු දැන ගැනීමට උත්සුක වී තිබුණා.

ලලිත් මෙන්ඩිස් වෛද්‍යවරයා මෙම උණ තත්වය වළක්වා ගැනීමට කරාබුනැටි ගන්නා ලෙසත්,කුරුඳු තේ සහ කොත්තමල්ලි කළුදුරු වැනි පානයන් ගන්නා ලෙසත් දන්වා ඇති බව මෙහි සඳහන්වනවා.

කොවිඩ් 19 ආරම්භයේ දී හමුදා කඳවුරු තුළ එම වසංගත තත්වය පැතිර යාම හේතුවෙන්, දැන් පැතිරෙන්න උණ රෝගී තත්වයත්, Covid 19 වැනි වසංගත තත්වයක් ද යන්න පිළිබඳවබොහෝ දෙනෙක් අපෙන් ද විමසා තිබු බැවින් ද, මේ පිළිබඳව කරුණු සොයා බැලීමක් සිදුකළේ මේ අයුරිනි.

කරුණු විමසා බැලීම  (Explainer) :

මුලින්ම අප මෙම පුවතට මුල් වී ඇති බව සඳහන් කර තිබෙන ස්වර්ණවාහිනී නාලිකාව විසින් අදාළ පුවත වාර්තා කර තිබු ආකාරය පරික්ෂා කළා. “උණ රෝගයක් නිසා මන්නාරම හමුදා පුහුණු පාසලක පුහුණුවීම් තාවකාලිකව අත්හිටුවයි” යනුවෙන් පළකර තිබු එම පුවත පහතින්.

Fb |Archive

මෙහිදී වාර්තා කර තිබුනේ මන්නාරම වෙඩිතලව් යුධ හමුදා ආධුනික පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිර යාම හේතුවෙන් එම කඳවුරේ පුහුණු සෙබළුන් පන්සියයකට ආසන්න පිරිසක් කඳවුර තුළ ම නිරෝධායනය කිරීමට කටයුතු කර තිබෙන බවයි. 

යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රසික කුමාර 

යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී අදහස් දක්වමින් පවසන්නේ පසුගිය 11 වන දින සිට පුහුණුවීම්වල නිරත වූ ආධුනික සෙබළුන් අතර උණ රෝගී තත්වයක් පැතිර යාම හේතුවෙන් 24 ක් සෙබළුන් රෝහල්ගත කර ඇතිවයි. එසේම තත්වය බරපතල වූ සෙබලුන් දෙදෙනෙක් ජාතික බෝවන රෝග විද්‍යායතන (NIID)  වෙත යොමු කර ඇති බවත් ඒ මහාතා පවසනවා. මේ හේතුවෙන් කඳවුරේ පුහුණුවීම් නවතා, වෛද්‍ය නිර්දේශමත, අනෙක් සෙබළුන් කඳවුරේ ම නිරෝධායන කර ඇති බවත් ඒ අනුව මෙම උණ රෝගී තත්වය පැතිර යාම සාර්ථකව පාලනය කර ඇති බවත් මේජර් ජනරාල් රසික කුමාර මහතා පවසනවා.

මේ පිළිබඳව පුවත් වෙතන් මාධ්‍ය විසින් ද වාර්තා කිරීම් සිදුව තිබුණේ මේ අයුරින්, මේ අයුරින් සහ මේ අයුරිනි. මෙහිද ඉහත පරිදි ඉහත පරිදි තොරතුරු වර්තා කර තිබෙනවා.

මන්නාරම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය 

අප මෙම තත්වය පිළිබඳව මන්නාරම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් විමසීමක් සිදුකරනු ලැබුවා. මන්නාරම වෙඩිතලව් හමුදා කඳවුරෙන් පසුගිය දා උණ රෝග තත්වයක් වාර්තා වී තිබෙන අතර මුලින් සෙබළුන් 7ක් වැනි ප්‍රමාණයකට උණ වැළදී ඇති අතර එය සාමාන්‍ය උණ තත්වයක් ලෙස සලකා උණ ඇති වූ සෙබළුන්ව මන්නාරම රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා. 

පසුව මෙය පැතිර යාමක් සිදුව ඇති බැවින් කඳවුරේ පුහුණුවීම් නතර කිරීමක් සිදුව ඇති අතර එමඟින් එම තත්වය පාලනය වීමක් සිදුව තිබෙනවා. නමුත් නැවතත් පුහුණුවීම් ආරම්භ කිරීමෙන් මෙම උණ තත්වය නැවත හමුදා සෙබළුන් අතර පැතිර ගොස් තිබෙන බවයි මන්නාරම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් අප වෙත පැවසුවේ. 

ඉන් පසු රෝගය පැතිර යාමෙන් එක් සෙබළෙක්ට උණ තත්වය වැඩි වී යාපනය රෝහල වෙත යැවූ බවත් එම සෙබළා මේ වන විට රෝහලෙන් පිටව ගොස් ඇති බවත් ඔවුන් අප වෙත පැවසුවා. එමෙන් ම සෙබළුන් දෙදෙනෙක් බෝවන රෝග විද්‍යායතනය වෙත යවා තිබෙනවා. බෝවන රෝග විද්‍යායතනයෙන් පරීක්ෂා කර පවසා ඇත්තේ මෙය මෙනින්ගොකෝකල් (Meningococcal)  නම් බැක්ටීරියා තත්වයක් නිසා ඇතිවන උණ තත්වයක් බවයි.

දැනට මෙම උණ තත්වය එම ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාව අතර පැතිර යාමක් සිදුව නොමැති බවත් කොවිඩ් 19 වැනි තත්වයක් නොවන බවත් මන්නාරම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා. 

නිරෝධායනය කර ඇති සෙබළුන්ව ද සුදුසු සෞඛ්‍ය ක්‍රමවේද ඔස්සේ නිරෝදායට ලක් කර ඇති අතර හමුදා කඳවුරේ පුහුණු වීම් ද නවතා තිබෙනවා. මේ වන විට උණ තත්වය පැතිර යාම පාලනය කර ඇති බවයි මන්නාරම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ. උණ, හිසරදය, ඇඟපත අමාරුවීම් වැනි රෝග ලක්ෂණ මෙම තත්වය නිසා ඇතිවන බවයි ඔවුන් පවසන්නේ.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ වෛද්‍ය අරුණ චන්දනායක මහතා 

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ වෛද්‍ය අරුණ චන්දනායක මහතා ද පවසන්නේ මෙය කොවිඩ් 19 වැනි තත්වයක් නොවන බැවින් අනවශ්‍ය බියක් ඇති නොකරගත යුතු බවයි. මෙය බැක්ටීරියා ආසාදනයක් වන අතර බැක්ටීරියා ආසාදන නිසා ඇතිවන රෝග ලක්ෂණ සාමාන්‍ය ලෙස මෙහිදී ද පවතින බව ඔහු පවසනවා. 

එසේම වෙඩිතලතිව් කඳවුරේ තත්වය ගැන ජාතික බෝවන රෝග විද්‍යායතනය උපුටා දක්වමින් ඩේලිමිරර් දක්වා තිබුනේ, මෙනින්ගොකෝකල් බැක්ටීරියා හේතුවෙන් ඇතිව තිබෙන මෙම රෝගී තත්වය පාලනය කිරීමට අවශ්‍ය විධිවිධාන ගෙන ඇති බවක්.

මෙනින්ගොකෝකල් බැක්ටීරියාව හේතුවෙන් පසුගිය 2023 වසරේ ගාල්ල රැඳවියන් අතරේ ද මෙම තත්වය පැතිර යාමක් සිදුව තිබු අතර එහිදී ද එම තත්වය, බාහිර සමාජයට පැතිරීම වැලක්වීමට බලධාරීන් ඉක්මණින් කටයුතු කර තිබුණා.

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සමඟ 2023 වසරේ දී මෙම මෙනින්ගොකෝකල් බැක්ටීරියා හේතුවෙන් සිදුවිය හැකි ආසාදන තත්වය ඇතුළු කරුණු පැහැදිලි කර තිබුනේ මෙලෙසින්. එසේම මෙම තත්වය පුද්ගල සමීප ඇසුර මත පැතිරීමේ අවදානමක් තිබුණ ද කොවිඩ්19 වැනි තත්වයක් නොවන බවත්, ඒ තරම් වේගයෙන්, බහුලව පැතිරීමක් ද සිදුනොවන බවත්, කෙළ, සෙම වැනි දේ මඟින් මෙම මෙනින්ගොකෝකල් තත්වය බෝවීමේ සිදුවන බවයි.

සමාජ මාධ්‍ය සටහන්හි සඳහන් පරිදි ලලිත් මෙන්ඩිස් නම් වෛද්‍යවරයා මෙම රෝගී තත්වය පාලනයට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීමක් මාධ්‍ය වෙත සිදුකර තිබේද යන්න අප විමසා බැලූ නමුත් වෛද්‍යවරයාගේ එවැනි දැනුවත් කිරීමක් පිළිබඳ තොරතුරු අපට හමු නොවී ය. එබැවින් වෛද්‍යවරයා මෙවන් දැනුවත් කිරීමක් සිදුකර තිබේ ද යන්න වෛද්‍යවරයාගෙන් ම තහවුරු කිරීමක් සිදුකර මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

නිගමනය (Conclusion) :

උණ රෝගී තත්වයක් මන්නාරම වෙඩිතලව් යුධ හමුදා කඳවුර තුළ පැතිර යාමෙන් සෙබළුන් නිරෝදායනට ලක් කර ඇති අතර එය බැක්ටීරියා තත්වයක් නිසා ඇතිවන බව මේ වන විට තහවුරු කරගෙන තිබෙනවා. මේ වන විට සාමාන්‍ය ජනතාව අතර මෙම උණ තත්වය පැතිර යාමක් වාර්තා වී නොමැති අතර එය කොවිඩ් 19 වැනි වෛරස තත්වයක් නොවන බැවින් අනිසි බියක් ඇති කරගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවත් වෛද්‍ය බලධාරීන් තහවුරු කර සිටිනවා.

Avatar

Title:මන්නාරම වෙඩිතලව් හමුදා කඳවුරේ සෙබළුන් අතර පැතිර යන උණ රෝගය ගැන කරුණු පැහැදිලි කිරීමක්!

Fact Check By: Fact Crescendo Team 

Result: Insight


Leave a Reply

Your email address will not be published. Required fields are marked *