
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
බිත්තර මිල, නිතර සමාජයේ කතාබහට ලක්වන මාතෘකාවක්. කාලයෙන් කාලයට බිත්තර මිල ඉහළ පහළ යාම ඊට හේතුවයි. කෙසේ වෙතත් මේ දිනවල බිත්තර මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වූ බවට සමාජ මාධ්‍ය සටහනක් පළ කර තිබූ බැවින් අප ඒ පිළිබඳව කරුණු සොයා බැලීමක් සිදු කළා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):
“බිත්තර වසන්තය එයි – රුපියල් 22ට මිල පහළ වැටේ” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණේ මේ අයුරින්. මෙය බොහොදෙනෙක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගෙන තිබුණු අතර විවිධ අදහස් ද දක්වා තිබුණා.
Fb|Archive
මෙම සටහනේ දැක්වෙන ලෙස බිත්තර මිල රුපියල් 22 ක් දක්වා අඩුවීමක් වුණා ද යන්න අප සොයා බැලීමක් සිදුකළේ මෙලෙසින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
මේ දිනවල පොල් සහ සහල් පිළිබඳ ගැටලුවක් පවතින බැවින් බිත්තර වැනි ආහාරයක මිල සම්බන්ධයෙන් ද පළවන පුවත් කෙරෙහි ජනතාවගේ වැඩි අවදානයක් පවතිනවා.
ඒ අනුව බිත්තර මිල මෙවැනි සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වීමක් සිදුවූයේ නම්, ඒ පිළිබඳව පුවත් පළවන බැවින් එවැනි පුවතක් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ පළ කර තිබේද යන්න අප සොයා බැලුවා. නමුත් කිසිඳු මාධ්‍යයක මේ දිනවල බිත්තර මිල සම්බන්ධයෙන් පුවත් පළ වී තිබුණේ නෑ.
බිත්තර නිෂ්පාදනය කරන සහ අලෙවි කරන පිරිසගෙන් යුත් සමාජ මාධ්‍ය සමූහ තුළ බිත්තර මිල අඩු කිරීමක් සිදුවූයේ නම් එම සමූහ තුළ එම මිල ගණන් සඳහන් වනු ඇත. නමුත් අප එම සමාජ මාධ්‍ය ද පරීක්ෂා කළ නමුත් එම සමූහ තුළ ද කිසිඳු බිත්තර මිල අඩුවීමක් සඳහන්ව තිබුණේ නෑ.
“බිත්තර වසන්තය එයි – රුපියල් 22ට මිල පහළ වැටේ” යනුවෙන් සඳහන් කර ඇති සමාජ මාධ්‍ය සටහන අප reverse search image හරහා ද පරීක්ෂා කළා. ඒ අනුව මෙලෙස ඊයේ දින (5) පළ කළ සටහන ම මීට පෙර මෙම වසරේ සැප්තැම්බර් 29 වන දින ද පළ කර තිබූ ආකාරය අපට දැකගත හැකි වුණා.
එම කාලවකවානුවේ එනම් මෙම වසරේ සැප්තැම්බර් මාසයේ බිත්තර මිල සැලකිය යුතු ලෙස පහළ යාම පුවත් ඔස්සේ වාර්තා කර තිබුණේ මේ අයුරින් සහ මේ අයුරින්.
වෙළඳ පොළ නිරීක්ෂණය
මහ බැංකුව මඟින් ඉදිරිපත් කරනු ලබන පාරිභෝගික භාණ්ඩ මිල වාර්තාවේ ඊයේ දිනයේ බිත්තර මිල සටහන්ව තිබුණේ, රු.38ත් -42ත් අතර මිලක ය.
අප වැලිසර සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයන්ගෙන් ද විමසීමක් සිදුකළ අතර එහිදී ද අපට දැනගත හැකි වුණේ, මේ දිනවල රුපියල් 36 -38ත් අතර මිලකට බිත්තර අලෙවි වන බවයි.
ලංකා සතොස ශාඛා කිපයකින් ම විමසීමක් සිදුකළ අතර එහිදී ඔවුන් පැවසුවේ ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර වලින් පසු දේශීය බිත්තර සතොස වෙළඳසැල් තුළ අලෙවි නොකළ බවයි. ඒ අනුව මාසයකට වැඩි කාලයක සිට සතොස අලෙවි සැල් තුළ බිත්තර අලෙවි නොවන බව ඔවුන් අප වෙත පැවසුවා.
සුපිරි වෙළඳ සැල්වල බිත්තර 10 බැගින් වන Pack අලෙවි කරන අතර ඒවායේ මිල ගණන් විවිධ සන්නාම අනුව වෙනස් වනු ඇත. අප සුපිරි වෙළඳසැල් කිහිපයකින් ම විමසූ අතර දේශීය බිත්තර අලෙවි වන්නේ 10 බැගින්වන Pack අනුව බවයි ඔවුන් පවසන්නේ. එම මිල ගණන් එම අලෙවි සැල්වල වෙබ් අඩවියේ පළ වී තිබුණේ මේ අයුරිනි.
සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් එච්.එම්.බී.ආර්.අලහකෝන්
බිත්තර නිෂ්පාදකයන්ගේ ලේකම් එච්.එම්.බී.ආර්.අලහකෝන් මහතා අප වෙත පැවසුවේ මේ දිනවල බිත්තර මිල 22 ක් වැනි මුදලකට අලෙවි නොවන බවයි. වෙළඳපොලේ මධ්‍යම ප්‍රමාණයේ බිත්තර ලබාදෙන්නේ 32ත් 35ත් වැනි මිලකට බවත්,ලොකු බිත්තර 36ත් 37ත් මිලකටත් සිල්ලර වෙළඳපොලේ බිත්තර මිල 40 සිට 42 දක්වා මිලකටත් අලෙවි වන බව එම මහතා පවසනවා.
මේ මොහොතවන විට ලංකාව බිත්තරවලින් ස්වංපෝෂිත බවත්, ඉල්ලුමට සැපසුම ගැටලුවකින් තොරව සිදුවන බවත්, අලහකෝම් මහතා පවසනවා. එබැවින් බිත්තරවල හිඟයක් මේ දිනවල හෝ ඉදිරියේදී ඇති නොවන බවයි එම මහතා පවසන්නේ.
සුළු පරිමාණ සහ මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ට බිත්තරයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 37 ක් වැනි මුදලකුත්, මහ පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ට බිත්තර නිෂ්පාදනයට රුපියල් 34ක් 35ක් වැනි මුදලකුත් වැය වන බැවින් ගොවියන්ට බිත්තර නිෂ්පාදනයෙන් ලොකු ලාභයක් නොමැති බවයි මහතා පවසන්නේ. එමෙන්ම බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිල වැඩි වීම හේතුවෙන් නිෂ්පාදකයින්ට ලාභ නොලැබිය හැකි බවයි එම මහතා පෙන්වාදෙන්නෙ. එමෙන් ම ඉදිරියේදී හෝ බිත්තර මිල වැඩිවීමක් දැනට සිදුනොවෙන බවත්, මේ වන විට බිත්තර නිෂ්පාදනය පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සිදුවන බැවින් එලෙස බිත්තර මිල ඉදිරියේදී ඉහළ නොයනු ඇති බවයි ඔහු අප වෙත පැවසුවේ. ජනවාරි – අප්‍රේල් වන විට එය තවදුරටත් වැඩි වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වාදුන්නේ. එබැවින් මෙම මිල මට්ටමේ ම බිත්තර මිල පවත්වා ගැනීමට හැකි වේ යැයි ඔවුන් අපේක්ෂා කරන බවයි අලහකෝන් මහතා පෙන්වාදුන්නේ.
එමෙන් ම සතොස හරහා දේශීය බිත්තර මිලදී ගැනීමේ නිසි වැඩ පිළිවෙළක් නොමැති වීම හේතුවෙන් බිත්තර සතොස වෙළදසැල් තුළ අලෙවි නොවන බවත් නව ආණ්ඩුව ඊට නිසි ක්‍රමවේදයක් සලසනු ඇති බවත් එම මහතා අප වෙත සඳහන් කළා.
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
නිගමනය (Conclution):
වෙළඳපොළේ මේ දිනව බිත්තර මිල පහළ යාමක් හෝ බිත්තර රුපියක් 22ක මිලකට අලෙවි වීමක් සිදුනොවේ. ඒ අනුව මේ වන විට බිත්තර රුපියක් 32ක සිට 42ක් වැනි මිල පරාසයක අලෙවි වේ.
