ජනමාධ්‍ය ඇමතිගේ බැනවැදීම් නිසා රූපවාහිනීයේ සභාපති සෙනේෂ් ඉල්ලා අස්වූ බවට පුවත් වාර්තා ?

Insight Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

නව ජාතික ජන බලවේග ආණ්ඩුව පත්වීමෙන් අනතුරුව රුපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයට පත්කළ සෙනේෂ් දිසානායක මහතා, මාස තුනක් වැනි කෙටි කලකින් සිය ධුරයෙන්  ඉල්ලා අස්වීම පිළිබඳව සමාජ මාධ්‍ය තුළ ඒ පිළිබඳව අදහස් රැසක් හුවමාරු වී තිබුණා. ඒ ගැන අප විමසා බැලුවේ මෙලෙසින්..

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):

මාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස නිතර අසභ්‍ය වචනයෙන් බැණ වැදීම නිසා රූපවාහිනියේ සභාපති සෙනේෂ් දිසානායක මහතා ඉල්ලා අස්වූ බවට පුවත්පතක පළ වූ පුවතක් ලෙස දැක්වෙන සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

Fb|Fb|Fb

මීට අමතරව සෙනේෂ් දිසානායක මහතා රූපවාහිනී සභාපති ධූරයෙන් ඉවත්වීමට හේතුව, නාට්‍යයක් රඟ දැක්වෙන අවස්ථාවක එම නාට්‍ය චරිතය උගණ්ඩාවේ සල්ලි පිළිබඳව නිලන්ති කොට්ටහච්චි මහත්මියගෙන් සිදුකළ හාස්‍යජනක විමසීමක් ජාතික රූපවාහිනී නාලිකාවේ විකාශය කිරීම බව ද දක්වමින් ඇතමුන් සමාජ මාධ්‍ය සටහන් පළ කර තිබුණා.

A screenshot of a social media post

Description automatically generatedA screenshot of a social media post

Description automatically generatedA person walking with a mask on her face

Description automatically generated

මෙවැනි විවිධ අදහස් මේ පිළීබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බැවින් අප මේ ගැන වැඩිදුර කරුණු විමසා බැලීමක් සිදුකිරීමට අදහස් කළා.

Explainer (කරුණු පැහැදිලි කිරීම):

ජාතික ජන බලවේග ආණ්ඩුව පත්වීමෙන් පසුව විවිධ රාජ්‍ය තනතුරු සඳහා නව පත්වීම් රැසක් සිදුකරනු ලැබුවා. ඒ අනුව ජනාධිපතිවරණයෙන් පසු පත් වූ පළමු ජනමාධ්‍ය අමාත්‍යවරයා වූ විජිත හේරත් මහතා විසින් සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතාව ජාතික රූපවාහිනියේ සභාපති ධූරයට පත්කළ අතර ඉකුත් සැප්තැම්බර් 25 වන දින එම පත්වීම් ලිපිය හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඔහු ලබාගැනීම සිදුවුණා.

සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ආන්දෝලනාත්මක පුවතක් වී තිබෙන්නේ, ඔහු සිය නව පත්වීම ලබාගෙන මාස 3ක් වැනි කෙටි කාලයකින් ඉන් ඉවත්වීම නිසයි. 

විශේෂයෙන් ම හිටපු කතානායකවරයා ද මීට දින කිහිපයකට පෙර ඉවත්වීමෙන් පසුව නව ආණ්ඩුවේ ඉහළ තනතුරකින් කෙටි කලයකින් ඉවත් වූ දෙවැනි පුද්ගලයා සෙනේෂ් දිසානායක වීම නිසාත් මෙම පුවත වඩාත් කතාබහට ලක්වී තිබෙනවා.

සෙනේෂ් දිසානායක මහතා රූපවාහිනී මුල් පුටුවෙන් ඉවත්වුණේ නලින්ද ජයතිස්ස මහතාගේ බැණ වැදීම් නිසා ද?

සමාජ මාධ්‍ය තුළ පුවත්පතක පළ වූ පුවතක් ලෙස උපුටා දක්වමින් පළ කර තිබූ සටහනක දැක්වුණේ, සෙනේෂ් දිසානායක මහතා රූපවාහිනී සභාපති ධුරයෙන් ඉවත්වුණේ නලින්ද ජයතිස්ස මහතාගේ බැණ වැදීම් නිසා බවයි. ඒ පිළිබඳව අප මුලින් ම අවදානය යොමු කළ අතර එහිදී අප එවැනි පුවතක් පුවත්පත් තුළ පළ වී තිබුණා ද යන්න පරීක්ෂා කිරීමක් කළා.

සෙනේෂ් දිසානායක මහතාගේ ඉල්ලා අස්වීම ඊයේ දිනයේදී සිදුවූ බැවින් එම පුවත අනිවාර්යෙන් ම අද පුවත්පත් තුළ පළවනු ඇත. අප නමුත් ඊයේ දිනයේ(24) සහ අද දිනයේ(25) පුවත්පත් පරීක්ෂා කළ නමුත් එවැනි කිසිඳු වාර්තා කිරීමක් අපට දැකගත නොහැකිවිය. 

මීට අමතරව කිසිඳු විද්‍යුත් මාධ්‍යයක් පවා මෙම පුවත වාර්තා කිරීමේදී එවැනි බැණ වැදීමක් නිසා සෙනේෂ් දිසානායක මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වූ බවට වාර්තා කර තිබුණේ නෑ. ඒ අනුව මෙම සමාජ මාධ්‍ය සටහන, නිල පුවත්පතක පළ වූවක් නොවන බව අපට තහවුරු වුණා.

පුවත්පතක ආකෘතියක් යොදාගනිමින් මීට පෙර ද මේ ආකාරයේ ම නිර්මාණ සිදුකර තිබු අතර එවැනි සටහන් ගැන අප මීට පෙර ද අවස්ථා කිහිපකදීම කරුණු විමර්ෂණ සිදුකර තිබුණා. එවැනි කරුණු විමසුමකට මෙතනින් පිවිසිය හැකියි.

පුවත්පත් සංස්කරණයක් වුවත් මේ පිලිබඳ අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වීමත් සමඟ සෙනේෂ් දිසානායක මහතා ද සිය ෆේස් බුක් ගිණුමේ තමා මෙම ධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව සටහනක් පළ කර තිබුණා.

සෙනේෂ් දිසානායක ෆේස්බුක් සටහනකින් පළකර අදහස් දැක්වීම

තමාට  ජාතික රූපවාහිනියේ සභාපතිවරයා ලෙස වැඩ බාරගැනීමට ලැබීම අහම්භයක් බවත්, මෙම කෙටි කාලය තුළ ඔහු සිදුකළ සේවයට නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා ප්‍රශංසා කළ බවත්, එහි හෘදයාංගම බවත් ඔහු දක්වා තිබුණේ මේ අයුරින්,

උපුටා ගැනීම,

“සේවා අංක 1078 කියන්නේ පුහුණුවන නිෂ්පාදන සහකාරවරයෙකු වශයෙන් මම ජාතික රූපවාහිනියට බැඳිලා  නිෂ්පාදකවරයෙකු ලෙස අස්වෙලා යන තෙක් මගේ සේවා අංකය. කිසිදවසක ආයෙත් තනතුරකට එන්න නොසිතුවත්, ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතාගෙන් හදිසියේම ජාතික රූපවාහිනියේ සභාපති වශයෙන් සේවා අංක 2766 හැටියට වැඩබාරගන්න සිදුවීම අහම්බයක්. එම කාර්යය අවසන් කරලා අස්වීමේ ලිපිය බාර දීලා වර්තමාන ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා එක්ක අල්ලාප සල්ලාප කතා කරන විට “එදා අපිට තිබ්බෙ මෙහෙයුමක්..” ඔහු මේ කාර්යය මා හට එදා දවසේ පවරපු හැටි මතක් කළේ දැඩි සහොදරාත්මක ස්වරයෙන්. “ඒක ඇත්තටම ලොකු කැපකිරීමක්..ඔයා කළේ” අමාත්‍ය භූමිකාවෙන් මිදුණු නලින්දගේ  හෘදයාංගම බව ඒ වචනවල තිබුණා. ඒ දවස අපි දෙන්නාම මතක් කළා.”

මේ කරුණු ද ඇතුළුව දිගු විස්තරයක් ද සමඟ, සෙනේෂ් සිය අස්වීමේ ලිපිය භාරදුන් දිනයේ නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සමඟ ලබාගත් ඡායාරූප ද සමඟින් පළකර තිබු ෆේස්බුක් සටහන පහතින්.

මීට අමතරව සෙනේශ් දිසානායක මහතා සිය ෆේස්බුක් ගිණුමේ Profile Picture සහ Cover Photo සඳහා එක් කර තිබුණේ ද නලින්ද ජතිස්ස අමාත්‍යවරයා සහ ඔහු එකට හිඳ ලබාගත් ඡායාරූප ය. 

සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතා සිය Facebook ගිණුම ඔස්සේ ඉහත දැක්වෙන දීර්ඝ කරුණු පැහැදිලි කිරීම ඔස්සේ පවසන්නේ, තමන් එම තනතුර භාරගත්තේ මාස 3ක වැනි කෙටි කාලයක් සඳහා පමණක් බවයි.

එසේම එහිදී සෙනේෂ් තවදුරටත් දක්වා තිබෙන්නේ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ඉල්ලීමක් අනුව, නව වසරේදී තවත් ජාතික මට්ටමේ තනතුරකට තමන් පත්වන බවක්.

ඔහු තමාට මෙම තනතුර සඳහා රුපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයට ආරාධනා ලැබීමේ සිට ඉවත්වීම දක්වා සියලු තොරතුරු ඇතුළත් එම සටහනේ අන්තර්ගත කර තිබුණේ මේ අයුරින්.

උපුටා ගැනීම පහතින්,

2024.09.24 දිනයේ සවස 4.45ට පමණ සිදුකරගෙන යමින් සිටි දේශනයක් අතර සිසුන්ගේ ඉල්ලාගන්නා කෙටි විවේකයේදී වතුර ටිකක් බොන අතරවාරයේ නිහඬකර තිබූ දුරකතනයට පැමිණ ඇති ඇමතුම් පරීක්ෂා කරන්නත් කිසියම් අවස්ථාවක් තියෙනවා. එක දිගට පැමිණ තිබූ ඒ ඇමතුම් අතර අලුතින් පත්වූ ජාතික ජන බලවේගය රජයේ හිතවතුන් කිහිප දෙනෙකුගේ දුරකතන ඇමතුම් සහ කෙටි පණිඩුඩ කිහිපයක් මට මිස් වී තිබිණ.

ඒ අතරවාරයේම වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයාගෙන් පැමිණි දුරකතන ඇමතුම “සෙනේෂ් කොහෙද ඉන්නේ? වැඩක් බාරදෙන්න තියෙනවා. විජිත අයියා හොයනවා.” මා දුටු කෙටි පණිවුඩ අතර විජිත අයියා එවූ කෙටි පණිවිඩයක් තිබිණ. “…….. ත් තියෙනවා, …… ත් තියෙනවා. මොකද්ද අරගන්නේ..” නලින්ද සුපුරුදු හිතෛෂි නමුත් තරමක බලකරන ස්වරූපයෙන් ඇහුවා. “ස්තූතියි.. මං එහෙම මොකවත් ගන්න අදහසක හිටියෙ නෑ.”  “ඒවා පස්සෙ කතාකරමුද.. හෙටම ජාතික රූපවාහිනිය ගන්න ඕන.. ඉක්මණට තීරණයක් ඕන..” නලින්ද ඇමතුම විසන්ධි කළා. නිම්මිට ඇමතුමක් ගත්තා. “පුලුවන් වෙයිද නිවාඩු ගන්න… ” නිම්මි එක්ක තරමක් දිග ඇමතුම අතරෙ බිමල් රත්නායක සහෝදරයාගේ ඇමතුමක් ආවා. “CV එකක් WhatsApp එකට එවන්න.. පරක්කු වෙන්න බෑ.. දැන්ම දාන්න” කියලා. මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද පීඨාධිපති තුමාට කතා කලාම සුබ පතලා උපකුලපතිතුමාට කියන්නම් විනාඩි 5කින් එතුමාට කතාකරන්න කිව්වා. ඒ ඇමතුම විසන්ධි වූ සැණින් ප්‍රේමරත්න තෙන්නකෝන් සහෝදරයාගේ ඇමතුම වූයේ “සෙනේෂ් අයියේ.. CV එක ගන්න අපි දෙන්නෙක් ගෙදරට එන්නද..? අහලා. “VCගෙන් අනුමැතිය ගත්තේ නෑ තාම.” ප්‍රේම්ගේ ඇමතුම වගේ නෙවෙයි නලින්දගේ එවර දුරකතන ඇමතුමේ කිසිදු හිතෛෂි බවක් තිබුනේ නෑ “කෙටි කාලයක්වත් ඇදලා දෙන්න පුලුවන් වෙන්නම ඕන ..? මාස දෙකක් තුනක්..? මේක වැඩක්..! කරමු ඉතින් දැන් කරමු මේක..!! ” මාස තුනකට හිත හදාගත්තා.  විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්යය මණ්ඩලයේ සංඛ්‍යාත්මක අඩුව හොඳින්ම දන්නා නිසා “සර් මං හිතනවා ලෙක්චර්ස් ටිකත් කරන්න කොහොම හරි..” කියලා සහමුලින්ම පූර්ණකාලීන නොවන හැටියට සේවා නිදහසක් උපකුලපතිතුමාගෙන් ඉල්ලා සිටියා. “යන්න ළමයා.. ජාතික වගකීම ඉටු කරන්න.” ජ්‍යේෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම්. මානගේ උපකුලපතිතුමා නව පත්වීම හරහා බැඳුණු පරිපාලන නිරවුල් කරදීම් එවෙලේම ලේඛකාධිකාරී තුමාට පැවරුවා. ඉතින් CV එක WhatsApp කළා.

2024.09.25 දින උදෙන්ම ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතාගෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පත්වීම් ලිපිය ලැබුණේ උනුසුම් වැළඳගැනීමක් එක්ක. වෙලාව අරගෙන ජාතික රූපවාහිනිය ගැනත් ඒ සම්බන්ධ තවත් දේ ගැනත් ගැන හොයලා හෙට වැඩ බාරගන්න හිතුවා. මාස තුනක කෙටි කාලයකට ගැළපෙන කෙටි සැලසුමක් පමණක් හදාගත්තා. 

2024.09.26 දින වැඩ බාර ගත්තා. මාස තුනකින් සේවය අවසන් කරන අදහස මුල් කරගෙන “කෙටි කාලයයි මං ඉන්නේ.. ඒ ටිකට මේ වැඩ ටික කරගන්න ඕන..” කාගෙ කාගෙත් උදව්වෙන් ඒ මෙහෙයුම ආරම්භ කළා.

ජාතික රූපවාහිනියෙන් සමුගත්තත් වෛද්‍ය නලින්ද ජයතිස්ස සහොදරයාගෙන් සමුගැනීමට මට අවස්ථාවක් නොමැත. නව වසරේ තවත් ජාතික මට්ටමේ වගකීමක් දරමින් නැවත ඔහු හා කටයුතු කිරීමට සිදු ව තිබේ. “ඒකත් කරන්නම වෙනවා..” අල්ලාප සල්ලාප අතරේම නලින්ද ආයෙත් එහෙම කිව්වා

ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස

ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා BBC සිංහල සේවය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ, ඉහත සමාජ මාධ්‍ය සටහන්හි දක්වා තිබු පරිදි, සෙනේෂ් දිසානායක මහතා මෙම ධුරයේ වැඩ භාර ගැනීමේදී පවසා තිබුනේ ඔහුට මාස 3ක කාලයක් පමණක් සේවය කළ හැකි බවත්, ඒ අනුව ඔහුගේ මාස 3ක කාලය 2024.12.25 වන දිනට අවසන් වන බවයි.

නලින්ද ජතිස්ස අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, ජාතික රූපවාහිනි සභාපති ධූරයට ගිහාන් ද සිල්වා පත් කරන බවත් ඔහු හෙට (දෙසැම්බර් 26) සිය ධූරයේ වැඩකටයුතු භාර ගන්නා බව ත් ය.

නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය

අප නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශයෙන් විමසීමක් සිදුකළ අතර එහිදී ඔවුන් පැවසුවේ අමාත්‍යවරයා සහ සෙනේශ් දිසානායක මහතා අතර කිසිඳු විරසකයක් හෝ බැණ වැඳීමක් හේතුවෙන් මෙම ඉල්ලා අස්වීම සිදු නොවූ බවයි. සෙනේෂ් දිසානායක මහතා මාස 3කට පමණක් වැඩ භාරගත් බවත් ඔහුගේ සේවා කාලය අවසන් බැවින් ඔහුගේ ඉවත්වීම සිදු වූ බවයි.

අප මේ ගැන ජාතික රුපවාහිනි සංස්ථාවේ උසස් නිලධාරියකුගෙන් ද විමසු අතර ඔහු ද පැවසුවේ ජාතික රූපවාහිනියට එකතු වන අවස්ථාවේ දී ද මාස කිහිපයක කෙටි කාලයකට මෙසේ සභාපති ධුරයේ වැඩ භාර ගන්නා බව සෙනේෂ් බණ්ඩාර පවසා තිබු බවත් සනාථ කර සිටියා.

කෙසේනමුත් සෙනේෂ් බණ්ඩාර වැනි මහාචාර්යවරයෙක් මේ ආකාරයට මාස 3ක් වැනි කෙටි කාලයකට රුපවාහිනී සංස්ථාව වැනි අර්බුද රැසකට මුහුණ පා ඇති රාජ්‍ය මාධ්‍ය ආයතනයට එකතු වුණි ද එය කෙතරම් යුක්ති සහගත ද යන්න ද සමාජ මාධ්‍ය ඔස්සේ කතිකාවතට ලක්වී තිබුණි.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:ජනමාධ්‍ය ඇමතිගේ බැනවැදීම් නිසා රූපවාහිනීයේ සභාපති සෙනේෂ් ඉල්ලා අස්වූ බවට පුවත් වාර්තා පෙළක්?

Written By: Piumika Lakshani  

Result: Insight


Leave a Reply

Your email address will not be published. Required fields are marked *