නව රජයෙන් ඖෂධ වර්ග 90 ක මිල අඩු කිරීමක් සිදු කළාද ?

Missing Context Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ජාතික ජන බලවේගයේ රජය බලයට පත්වීමත් සමගම ඔවුන් ගන්නා තීරණ සහ සිදුකරන කටයුතු සම්බන්ධයෙන් බොහෝ නොමගයවන සුළු සටහන් සමාජ ජාලාවල පැතිරෙමින් තිබෙනවා. මේ, එවන් සමාජ ජාලා සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක්.

සමාජ ජාලා සටහන් 

සමාජ ජාලා සටහන්වල දැක්වෙන්නේ නව රජය බලයට පත්වීමත් සමග ඖෂධ වර්ග 90 ක මිල අඩු කර ඇති බවක්. තවත් සමාජ ජාලා සටහන්වල දැක්වෙන්නේ මිල අඩු කිරීමට සැලසුම් කරන බවක්. මේ සම්බන්ධයෙන් සමාජ ජාලාවල පැතිරුණු සටහන් කිහිපයක් පහතින්.

FB | Archived

මේ තේමාවෙන්ම හුවමාරු වූ තවත් සටහන් කිහිපයක් පහතින්.

A screenshot of a video chat

Description automatically generated

මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම ) 

අප මුලින්ම විමසා බැලුවේ මේ පිලිබදව සමාජ ජාලා සටහන්වල දැක්වෙන කරුණු ප්‍රධාන ධාරාවේ පුවත්වල වාර්තා කර ඇතිද සහ වාර්තා කර ඇතිනම් ඒ කෙසේද යන කරුණයි. එහිදී අපට දැකගන්නට ලැබුණේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් මෙය වාර්තා කර ඇති බවයි. 

‘සිරස Newsfirst’ මෙම පුවත වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ ඉහල නිලධාරියෙක් විසින් පැවසූ ඖෂධ මිල අඩුකිරීමේ සැලසුමක් බව පවසමින්. 

ඖෂධ ආනයනය කරනු ලබන සමාගම් කිහිපයක් මගින් දිස්ත්‍රික් අධිකරණයේ ගොනු කර ඇති නඩු කටයුතු කිහිපයක් හේතුවෙන් මෙය ක්‍රියාත්මක කිරීමට බාධා ඇතිවී තිබෙන බවත්, එම තත්වයන් විසඳා ගැනීමෙන් අනතුරුව ඖෂධ වර්ග 90 ක මිල කඩිනමින් අඩු කිරීමට කටයුතු කරනු ඇති බවටයි සිරස පුවතේ සදහන් වන්නේ .

News First | Archived 

කෙසේනමුත් ‘Newsfirst’ ම මෙම පුවත වීඩියෝ දර්ශන පළකර තිබුනේ “ඖෂධ වර්ග 90ක මිල අඩු කෙරේ…” යන නොමඟ යවන සුළු සිරස්තලයක් සමඟින් නිසා මෙවැනි පුවත් ඔස්සේ ද නොමඟ යවන සුළු පුවත් නිර්මාණය වූ බව අනුමාන කළ හැක. Archived Link

ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ද ඖෂධ මිළ පහත හෙළීමට ඇති බාධා පිලිබඳ පැහැදිලි කරයි

ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම අප සමඟ දුරකතනයෙන් සම්බන්ධ වෙමින් පැවසුවේ ඖෂධ වල මිල අඩු කිරීමක් මෙතෙක් සිදු කර නොමැති නමුත්, එවැනි මිල අඩු කිරීම සදහා වන සැලැස්මක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතු බවයි. 

දැනට වසරක පමණ කාලයක සිට මෙලෙස ඖෂධ මිල අඩු කිරීම සදහා වන උත්සහයක් තම ආයතනය මගින් ගනිමින් තිබෙන බවත් ඔහු අවධාරණය කර සිටියා.

කෙසේ වෙතත් එම උත්සාහයන් අඩපණව ඇත්තේ පිටරටින් ඖෂධ ආනයනය කරන සමාගම් විසින් අධිකරණයේ පවරා ඇති නඩු කටයුත්තක් නිසා බවත් පැවසූ ඔහු, වැඩිදුරටත් සඳහන් කලේ අදාල නඩු කටයතු ඉක්මනින් නිරාකරණය කිරීම සදහා අවශ්‍ය කටයතු සිදු කරමින් පවතින බවයි.

ඒ අනුව, අදාළ නඩු කටයුතු අවසන් වන තෙක් ඖෂධ මිල පහත හෙලීම වළක්වාලමින් අධිකරණය මගින් අතුරු තහනම් නියෝගයක් පනවා ඇති බවත් ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා  සදහන් කර සිටියා.

මීට මසකට පමණ පෙර පසුගිය දෙසැම්බර් මස පවැති මාධ්‍ය හමුවක දී ද ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ඉහත පරිදිම අදහස් දැක්වීමක් අතරතුර සඳහන් කර තිබුනේ ඖෂධ මිල පහළ දැමීමට සැලසුමක් ඇති නමුත් මෙම නඩු කටයුත්ත එයට බාධාවක් වී ඇති බවයි. එම වීඩියෝව පහතින්.

කෙසේ වෙතත් අධිකරණය මගින් ඖෂධ මිල අඩුකිරීම සම්බන්ධයෙන් පනවා ඇති අතුරු තහනම් නියෝගය ඉවත්කළ වහාම, හැකි ඉක්මනින්,  ඖෂධ මිල පහත හෙලීමට අවශ්‍ය පියවර ගන්නා බවත් සභාපතිවරයා සදහන් කළා. 

එමෙන්ම මිල පහත හෙලීම සිදුකරන්නේ ඖෂධ වර්ග 90 කද , එසේ නොමැතිනම් ඊට වඩා අඩු ගණනකද , වැඩි ගණනකද යන්න හෝ මිල පහත හෙලීම සිදුකරන්නේ කුමන ඖෂධ වර්ගවලද යන්න හෝ මෙතෙක් නිශ්චිත ලෙස තීරණය කර නොමැති බවයි වෛද්‍ය ආනන්ද විජේවික්‍රම  සදහන් කලේ.

මිට පෙර රජයන්හි ඖෂධ මිලෙහි අඩු වැඩි වීම්

මීට පෙර 2016 වසරේදී යහපාලන ආණ්ඩුව පැවති සමයේ , වෛද්‍ය රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිවරයාව සිටි සමයේ ඖෂධ වර්ග රැසක මිල අඩු කිරීමක් සිදුවුණා. ඒ 2015 අංක 5 දරණ ඖෂධ නියාමන අධිකාරී පනත යටතේයි. ඒ යටතේ අත්‍යවශ්‍ය ඖෂධ රැසක මිල අඩු කිරීමට එවක පැවති රජය කටයතු කළා. ඒ අනුව සමාජයේ වඩාත් බහුල බෝ නොවන රෝග කාණ්ඩයට අයත් අධි රුධිර පීඩනය සහ දියවැඩියා කාණ්ඩ වලට අයත් ඖෂධ මිල ආදියද එකල අඩුවූ අතර කෙසේ වෙතත් 2019 වසරේදී එම රජය මගින්ම ඉහළ දැමීමක් සිදුකරා. ඒ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම නිසා ඖෂධ මිල අඩු කල යුතු බවට බහුජාතික ඖෂධ සමාගම් සහ දේශීය ඖෂධ ආනයනය කරන සමාගම් සිදුකරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්. ඒ සම්බන්ධ විස්තර මෙතනින් 

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion ( අවසාන නිගමනය ) 

අප විසින් සිදුකරන ලද කරුණු විමසුමේදී තහවුරු වන්නේ මෑතක බලයට පත් මාලිමා රජය විසින් ඖෂධ වර්ග 90 ක මිල ගණන් පහල හෙලීමට කටයුතු කර ඇති බවට පළවන සමාජ ජාලා සටහන් නොමග යවන සුළු බවයි.

ඖෂධ ආනයනය කරන සමාගම් මගින් ගත් අධිකරණ ක්‍රියාමාර්ගයක් නිසා ඒ ඔස්සේ ඖෂධ මිල සංශෝධනය පිලිබදව ලබාගෙන ඇති අතුරු තහනම් නියෝග නිසා ඖෂධ මිල අඩු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන විට ඖෂධ නියාමන අධිකාරිය මගින් නිතිපතිවරයාගේද උපදෙස් ලබාගනිමින් අධිකරණ කටයතු කඩිනමින් නිමකොට ඖෂධ මිල අඩු කිරීම සදහා වන පියවර ගැනීම සදහා උත්සුකවෙමින් කටයතු කරමින් සිටින බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සදහන් කර සිටිනවා.

Avatar

Title:නව රජයෙන් ඖෂධ වර්ග 90 ක මිල අඩු කිරීමක් සිදු කළාද ?

Fact Check By: Kalana Krishantha 

Result: Missing Context


Leave a Reply

Your email address will not be published. Required fields are marked *