දුම්රියේ ගැටෙන වන අලි! දශක ගණනාවක සිට සිදුවන දුක්බර කතාවක් !

Environment Insight

පසුගිය දිනක මින්නේරිය ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව ඇති රේල් පාරක සිටි වන අලින් 7 දෙනෙක් දුම්රියේ ගැටී මිය ගියේ බොහෝ දෙනාගේ ඇසට කදුලක් එක්කරමින්. මියගිය වන අලින් අතර වැඩිහිටි අලින් දෙදෙනෙක්ද කුඩා අලි පැටවුන් 5 දෙනෙක්ද සිටිනවා. 

මෙලෙසින් දුම්රියේ ගැටීම නිසා වන අලින් මියයාම අද ඊයේ සිට සිදුවන සිදුවීමක් නොවේ. එය දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාව තුල සිදුවන දෙයක්. මෙම වන අලි ගැටීම ලංකාවට පමණක් අවේනික ගැටලුවක්ද ? වෙනත් රටවල් මෙම ගැටලුකාරී තත්ත්වයට මුහුනදෙනවාද ? ඔවුන් මේ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද ? ලංකාවේ රජය/දුම්රිය දෙපාර්තුමේන්තුව මේ පිළිබඳව ගෙන ඇති ක්‍රියාමාර්ග කෙබඳුද ? මේ සියලු දේ පිළිබඳව අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමකි. 

වන අලි දුම්රිය ගැටුම් – පසුගිය දශකය තුල වාර්ෂිකව දුම්රියේ ගැටී ජිවිතක්ෂයට පත්වූ අලි ඇතුන් 

වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ දත්ත අනුව පහත සංඛ්‍යාවක් අලි ඇතුන් වාර්ෂිකව දුම්රියේ ගැටීමෙන්  ජිවිතක්ෂයට පත්ව ඇත. 

2014- 10 ,  2015-12 , 2016- 12 , 2017 -7 , 2018- 16 , 2019- 8 , 2020-3 

2021 -6 , 2022-14 , 2023-24  , 2024- 11 , 2025- මෙතෙක් 8 

දුම්රියෙන් නිකුත්වන තරංග වන අලින්ට නොදැනේද ??

දුම්රියෙන් නිකුත්වන තරංග වන අලින්ට නොදැනේද ? ඔවුන් මේ ආකාරයෙන් දුම්රියේ ගැටෙන්නේ ඇයි ? දුම්රිය ගමන් කිරීමේදී තරංග වර්ග දෙකක් නිකුත්වෙනවා. එනම් වායුගෝලය හරහා පැමිණෙන කම්පන තරංග සහ දුම්රිය මාර්ගයේ පීළි ඔස්සේ පැමිණෙන කම්පන තරංගයි. 

අප්‍රිකානු අලින් සංවේදී වන කම්පන තරංග බොහෝ දුරට 5 Hz – 12 kHz පරාසයක් තුල විහිදෙනවා. ආසියානු අලින්ගේ කම්පන පරාසය ඊට යම් ආකාරයක සමානත්වයක් දරන අතර පර්යේෂකයන් ඒ සම්බන්ධව විවිධ සොයාගැනීම් සිදුකර තිබෙනවා. ඒ සම්බන්ධ තොරතුරු මෙතනින්

වායුගෝලය හරහා පැමිණෙන දුම්රියේ කම්පන තරංග 40Hz සිට 60 Hz දක්වා පරාසයක පැතිරෙනවා. රේල්පීලි හරහා පැමිණෙන කම්පන තරඟාවල සංඛ්‍යාතය 8 Hz – 36 Hz පමණ පරාසයක විහිදෙනවා. ඒ සම්බන්ධ පර්යේෂණ පත්‍රිකාවක් කියවිය හැකියි මෙතනින්.  

එම නිසා දුම්රිය පැමිණෙන විට පැහැදිලිවම වන අලින්ට එය මීටර 100 තුල දුර පරාසයකදී දැනෙන අතර මෙහි ගැටලුකාරී තත්ත්වය වන්නේ ඔවුන්ට එය දැනී දුම්රිය මාර්ගයෙන් ඉවත්වීමට තීරණය කිරීමට පෙර දුම්රිය පැමිණ එය සිරුරේ ගැටීමයි. ඒ සම්බන්ධ පර්යේෂණ පත්‍රිකාවක් කියවිය හැකියි මෙතනින්

මෙය ශ්‍රී ලංකාවට පමණක් ආවේනික ගැටලුවක්ද ?

නැත. මෙය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ගැටලුවක් නොවේ. ඉන්දියාව ආදී වෙනත් වන අලින් සිටින රටවලත් මෙම ගැටලුව පවතිනවා. මෙම තත්ත්වය සදහා විවිධ හේතු සාධක බලපෑ තිබෙනවා. එම භේතු සාධක මොනවාද කියා පහතින් විමසා බලමු. 

ඒවා අතර පාරිසරික සාධක , දුම්රිය මාර්ගයට සම්බන්ධ භෞතික සාධක (බෑවුමේ ස්වභාවය ,නැමිම් ආදිය ) ,තාක්ෂණික සාධක ( දුම්රිය ගමන් ගන්නා වෙලාව , දුම්රියේ වේගය ,දුම්රියෙන් නිකුත්වන කම්පන තරංග වල සංඛ්‍යාතය ආදිය ) ,අලින්ගේ හැසිරීම, මෙය කෙසේ පාලනය කල හැකිද සම්බන්ධයෙන් දුම්රිය රියදුරන්ගේ සහ සහයකයන්ගේ නොදැනුවත් භාවය,ආදී සඳහා ගණනාවක් කලාපීය හෝ ගෝලීය වශයෙන් මෙම ප්‍රශ්නයට බලපානවා. 

ආසියානු අලින් ගත කල බොහෝ දුරට ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ජීවත්වන ආසියානු අලින්ට මෙම තත්ත්වය බලපා තිබෙනවා. ඉන්දියාව සලකා බැලූ විට 1987 සිට 2023 අප්‍රේල් දක්වා කාලය තුල වන අලින් 355 ක් මේ ආකාරයට අවාසනාවන්ත ලෙස දුම්රියේ ගැටීම නිසා මරණයට පත්ව තිබෙනවා. 

ඉන්දියාවේ ද මේ සදහා අනතුරු හැගවීම් පද්ධති , විකර්ෂක ,ආරක්‍ෂිත මංපෙත් ආදිය සාදා තිබුනත්, විවිධ තාක්ෂණික ක්‍රමවේදයන් යොදාගත්තත් තත්ත්වය සම්පුර්ණයෙන්ම සමතයකට පත්ව නැහැ. World WildLife Fund ආදී ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් ඒකාබද්ධව මෙම තත්ත්වය සම්බන්ධයෙන්ම විශේෂිතව සකසා මෑතකදී නිකුත් කල වාර්තාවක් කියවිය හැකියි මෙතනින් 

විදෙස් රටවල යම් සාර්ථකත්වයක් ගෙන ඇති ක්‍රමෝපායන් පවතින අතර  අලුත් යෝජනා මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙනවා.සාර්ථකව ඇති ක්‍රම  අතර වන රක්ෂිත ආශ්‍රිතව හෝ ඒ මැදින් දුම්රිය මාර්ග තනන අවස්ථාවක අලි නිතර ගැවෙසෙන ප්‍රදේශවල  දුමිරිය මාර්ගය ඉහලට ඔසවන ලද කණු හරහා ඉදිකරන අතර පහලින් ඇති අවකාශය(Underpass)  ඔස්සේ වන අලින්ට ආරක්ෂිතව මාරු විය හැකි ලෙස සැකසීමද තිබෙනවා . ඉන්දියාවේ ඒ සම්බන්ධයෙන් වන වාර්තාවක් කියවිය හැකියි මෙතනින්

කෘතීම බුද්ධිය(AI)  භාවිතා කරමින් සිදුකල හැකි පිළියම් ද  ඉන්දියාවේ මේ සදහා වන යෝජනා ලෙස ඉදිරිපත්ව තිබෙනවා.නිතර අලි මාරුවන ස්ථාන අසල සංවේදක සවි කිරීමසහ ඒ ඔස්සේ පණිවිඩ දුම්රිය රියදුරන්ට සහ සහයකයන්ට ලබාදීම හරහා  දුම්රිය සහ අලින් ගැටුම් අවම කිරීම මෙහි අරමුනයි.අලි නිතර මාරුවෙන ස්ථාන හදුනාගෙන සංවේදක සවි කරන අතර සංවේදක මගින් උෂ්ණත්වයට සංවේදී දර්ශන ලබාගැනීම(Thermal Imaging)   , චලනයන්ට සහ අලි ඇතුන්ගේ උසට  සංවේදී වීම , ඉන්පසුව ඒවා දුම්රිය සහ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට ලබාදීම ,ඉන් අනතුරුව වෝකි ටෝකි හරහා දුම්රිය රියදුරුට සහ සහායකයන්ට පණිවිඩය ලබාදීම සිදු වෙනවා.කෙසේ වෙතත් මේවා තවමත්  පර්යේෂණ මට්ටමේ පවතින ඒවායි . ඒ සම්බන්ධ විස්තර මෙතනින් 

ශ්‍රී ලංකාවේ පවතින ගැටලුවට විසදුම්

වන  අලි – දුම්රිය ගැටුම සම්බන්ධව අනුගමනය කල හැකි විසදුම් පසුගියදා The Morning පුවත්පත සමග සංවාදයකදී වන අලි පිළිබද පර්යේෂකයෙක් වන ආචාර්ය ප්‍රිතිවිරාජ් ප්‍රනාන්දු පවසා සිටිනවා. අප ඒ කරුණු එකින් එක දෙස අවධානය යොමු කරමු.

ආචාර්ය ප්‍රනාන්දු පවසන ආකාරයට ශ්‍රී ලංකාව තුල සිදුවන සමස්ත වන අලි මරණවලින් 5%ක පමණ ප්‍රමාණයක් සිදුවන්නේ දුම්රිය සමග සිදුවන ගැටුම්වලින්. කෙසේ වෙතත් මේ දැවැන්තයන් දුම්රිය සමග ගැටීම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා. වන අලි ගහනය අඩුවීම සදහා මෙම සාධකය බලපානවා සේම  දුම්රිය පිලි පැනීම් ,දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීමට සිදුවීම ආදිය නිසා රජයට යම් මූල්‍යමය පිරිවැයක් දැරීමටද සිදුව තිබෙනවා.

ආචාර්ය ප්‍රිතිවිරාජ් ප්‍රනාන්දුට අනුව මෙම ගැටලුවට, කාණ්ඩ හතරක් යටතේ විසදුම් මේ වන විට යෝජනා වී තිබෙනවා. 

අදාළ කාණ්ඩ නම් ,

  1. අනතුරු හැගවීම් පද්ධති 
  2. විකර්ෂක   
  3. බාධක 
  4. ආරක්ෂිතව හුවමාරුවිය හැකි ස්ථානයන් 

අනතුරු හැගවීම් පද්ධති 

බොහෝ අනතුරු හැගවීමේ පද්ධතිවල මූලික දෝෂයක් තිබෙනවා. එනම් , එම අනතුරු හැගවීමේ පද්ධති මගින් වන අලින් හඳුනාගෙන ඒ පිළිබඳව දුම්රිය රියදුරන්ට අදාළ සලකුණු නිකුත් කරන්නේ වන අලියාට බොහෝ ආසන්නවූ විටයි. එම අවස්ථාවලදී  දුම්රිය නවතාගැනීම අපහසුයි. එමෙන්ම එම පද්ධතිවල ආධාරයෙන් යම් ක්‍රමවේදයක් ඔස්සේ දුම්රිය පැමිණෙන විට අලි ඇතුන් රේල්පාර මත සිටින විට ඔවුන්ව පළවා හැරීමද  යම් අභියෝගාත්මක කටයුත්තක්. ඒ කාලය පිළිබද ගැටලුව නිසායි.

විකර්ෂක 

මෙමගින් සිදු කරන්නේ දුම්රිය පැමිණෙන විට මෙම විකර්ෂක භාවිතය තුලින් අලි ඇතුන් දුම්රිය මාර්ගය වෙතින් ඉවතට පළවා හැරීමයි. මේ සඳහා උදාහරණ ලෙස උච්ච ස්වරයෙන් නාද නිකුත් කරන නලා භාවිතය, තියුණු ආලෝක ධාරා භාවිතය ආදිය සැලකිය හැකියි. කෙසේ වෙතත් ආචාර්ය ප්‍රනාන්දු පවසන ආකාරයට මෙම සංවේදක කෙරෙහි අලි ඇතුන් ප්‍රතිචාර දක්වන ආකාරය ගැටලුවක්. එමෙන්ම ක්‍රමවේද සඳහා අධික පිරිවැයක් දැරීමටද සිදුවෙනවා.

බාධක 

මෙමගින් සිදුකරන්නේ විදුලි වැටවල් සහ අනෙකුත් විවිධ මාදිලියේ භෞතික බාධක යෙදීම හරහා අලි ඇතුන් දුම්රිය මාර්ගය ආසන්නයට පිවිසීම වලකා ගැනීමයි. මේ සඳහා විදුලි වැට ආදිය යොදාගන්නවා. කෙසේ වෙතත් මෙහි පවතින ගැටලුව වන්නේ මෙම බාධක යෙදීම ආදිය හරහා අලි ඇතුන්ගේ සංචරණයට බාධා පැමිණීමයි. මෙය යම් සාර්ථකත්වයක් ඇති දෙයක් වුනත් සතුන් සිය ආහාර සහ අනෙකුත් අවශ්‍යතා සදහා සිදුකරන සංචරණයන්ට බාධා ඇති වී ඔවුන්ගේ පැවැත්මට බාධා පැමිණවිය හැක.

අලින් සඳහා ආරක්‍ෂිත මංපෙත් නිර්මාණය 

අලි මන්කඩ වල හරහා දුම්රිය ගමන් කරන විට, අලිමන්කඩට බාධාවක් නොවන ආකාරයට දුම්රිය ගුවන් පාලමක් හරහා ගමන් ගන්නා ආකාරයට ගුවන් පාලම ඉදිකිරිම මගින් අලි ඇතුන් සඳහා ආරක්‍ෂිත මංපෙත් සකසාදීම සිදුකල හැකියි. කෙසේ වෙතත් මෙයද වඩාත් සංකීරණ සහ යම් වියදමක්ද වැයවන කාර්යයක්.

අලි ඇතුන්ගේ මෙම ගැටලුවලට වඩාත් තිරසාර සහ අඩු වියදම් පිළියමක් ලෙස රාත්‍රී කාලයේදී දුම්රිය ධාවනය කරන අවස්ථාවලදී දුම්රිය අඩු වේගයකින් ධාවනය කිරීම සැලකිය හැකියි. ආචාර්ය ප්‍රනාන්දු වඩාත් තිරසාර අඩු වියදම් යෝජනාවක් ලෙස සලකන්නේ එයයි. බොහෝ දුම්රිය අනතුරු සිදුවන්නේ රාත්‍රී කාලයේදී නිසා රාත්‍රියේදී දුම්රිය අවම වේගයකින් ධාවනය කිරීම මගින් අලින් දුම්රියේ ගැටීම අවම කරගතහැකි බව ඔහුගේ අදහසයි.

පැයට කිලෝමීටර 25 ක වේගයකින් ධාවනය වන දුම්රියක් දැක පාරෙන් ඉවත්වීමට අවම වශයෙන් අලියෙක් මීටර 20 ක පමණ දුරකින් දුම්රිය දැකිය යුතු අතර  පැයට කිලෝමීටර 10 ක පමණ වේගයකින් ධාවනය වන දුම්රියකින් ඉවත්වීමට මීටර 9 ක පමණ දුරකින් දුම්රිය දැකීම ප්‍රමාණවත් බව ඔහුගේ අදහසයි. එමෙන්ම ඔහු පවසන්නේ සෙමින් දුම්රිය ධාවනය වන විට පරික්ෂාකාරී රියදුරන්ට අනතුරක් සිදුවීමට ප්‍රථමයෙන්ම දුම්රිය නවතා ගැනීමට හැකිවනු ඇති බවයි.

ආචාර්ය ප්‍රනාන්දු වැඩිදුරටත් පවසන්නේ 2018 වර්ශයේදී  ප්‍රවාහන අමාත්‍යංශය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව කල සමීක්ෂණයකදී  කිලෝ මීටර 368 ක දුම්රිය මාර්ගයන් අවදානම් ලෙස හඳුනාගෙන ඇති අතර ඉන් කිලෝමීටර 142 ක් අධි අවදානම් කලාපයන් ලෙස හදුනා ගෙන ඇති බවයි. මේ සඳහා වන නීති රෙගුලාසි සහ තාක්ෂණික කටයතු නිසි ආකාරයෙන් සිදුකල යුතු බවත් ඔහු පවසනවා . එමෙන්ම ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ මෙම කාර්යය යොදාගත හැකි තාක්ෂණික සහ සංරක්ෂණ ක්‍රියාමාර්ග පිළිබඳව නිසි අවධානය යොමු කරමින් සිදුකල යුතු බවයි. ද මොනින්ග් පුවත්පතේ සඳහන් වාර්තාව සම්පුර්ණ වශයෙන් කියවිය හැකියි  මෙතනින් 

Avatar

Title:දුම්රියේ ගැටෙන වන අලි! දශක ගණනාවක සිට සිදුවන දුක්බර කතාවක් !

Fact Check By: Kalana Krishantha 

Result: Insight


Leave a Reply

Your email address will not be published. Required fields are marked *