
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
මහා නගර සභා 28ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 275කට නියෝජිතයන් 8,287ක් තෝරා ගැනීම සඳහා මෙවර පළාත් පාලන ඡන්ද විමසීම පසුගිය මැයි 6වන දින පැවැත්වුණා.
අවසන් ප්‍රතිඵලවලට අනුව, ජාතික ජන බලවේගය ශ්‍රී ලංකාවේ 2025 පළාත් පාලන මැතිවරණයෙන් මුළු ඡන්ද ප්‍රමාණයෙන් ඡන්ද හතලිස් පන් ලක්ෂ තුන් දහස් නවසිය තිහක් 45,03,930 ක් ලබා ගනිමිනි පළාත් පාලන ආසන 3,927 ක් දිනාගනිමින්, පළාත් පාලන ආයතන 265ක ජය හිමිකර ගැනීමට සමත් වුණා.
කෙසේ වෙතත් ජාතික ජන බලවේගයට පැහැදිලි බහුතරය හිමි වී ඇත්තේ පළාත් පාලන ආයතන 116ක පමණි.
ඒ අනුව සැලකිය යුතු පළාත් පාලන ආයතන රැසක ප්‍රධාන බහුතරය එනම් (50% කට වඩා වැඩි) ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට ජාතික ජන බලවේගය සමත් නොවීම පිළිබඳව කතා බහක් මතු වී ඇති අතර එලෙස 50%කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබානොගත් පළාත් පාලන ආයතනවල සභාපති, නියෝජ්‍ය නගරාධිපති සහ නගරාධිපති තෝරාපත්කර ගැනීම පළාත් පාලන කොමසාරිස්වරයාගේ මූලිකත්වයෙන් පළමු සභා වාරය කැඳවා ඡන්දයක් පවත්වා සිදුවනු ඇත.
මෙවැනි තත්වයක් තුළ ජාතික ජන බලවේගය 50%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමි කර නොගත් පළාත් පාලන ආයතනවල අපේක්ෂකයින් වෙනත් පක්ෂ සමඟ උපාය මාර්ගිකව සන්ධානගත වේද යන කාරණය සම්බන්ධයෙන් බොහෝදෙනාගේ අවධානය යොමුව තිබෙනවා.
එවැනි පසුබිමක ජාතික ජන බලවේගයේ බෙලෙඅත්ත ප්‍රාදේශීය සභාවට තේරීපත් වුණු අපේක්ෂකයින් දෙදෙනෙක් විපක්ෂ කණ්ඩායම් සමඟ අත්වැල් බැඳගත් බවට තොරතුරු හුවමාරු වෙමින් පැවති බැවින් ඒ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකිරීමට අප තීරණය කරනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media):
“බෙලිඅත්තේ තේරී පත්වූ මාලිමා අපේක්ෂකයින් දෙදෙනෙක් විපක්ෂ කන්ඩායම් සමඟ අත්වැල් බැඳගනී” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් පළ කර තිබුනේ මේ අයුරින්.
ඒ අනුව මෙම සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන අපේක්ෂකයින් කවුරුන් ද යන්න සහ ඔවුන් විපක්ෂ කණ්ඩායම් සමඟ එක් වූ බවට පළවන වාර්තා සත්‍ය ද යන්න සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකළේ මෙලෙසින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
බෙලි අත්ත ප්‍රාදේශීය සභාවට තේරීපත් වූ අපේක්ෂකයින් දෙදෙනෙක් විපක්ෂ කණ්ඩායම සමඟ අත්වැල් බැඳගනී යනුවෙන් සඳහන් කරමින් පළකර තිබූ සටහනේ එම අපේක්ෂකයින් දෙදෙනා කවුරුන් ද යන වග අප පළමුව පරීක්ෂා කර බැලුවා.
ඒ අනුව අප වැඩිදුරටත් කළ නිරීක්ෂණයන් ඔස්සේ මෙම සමාජ මාධ්‍ය සටහනේ දකුණු පස ඡායාරූපයේ දැක්වෙන්නේ, බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවට බෙලිඅත්ත කොට්ඨාසයෙන් තරඟ වැදුණු මුතුමාල පටබැඳිගේ නිමල් ජයන්ත මුතුමාල යන අපේක්ෂකයා වන බවත්, වම්පස ඡායාරූපයේ දැක්වෙන්නේ, අගම්පොඩිගේ ආනන්ද යන අපේක්ෂකයා වන බවත් සොයාගත හැකිවිය.
අනතුරුව මැතිවරණ කොමිසමේ වෙබ් අඩවිය ඔස්සේ එක් එක් දිස්ත්‍රික්කයේ එක් එක් ප්‍රාදේශීය සභාවේ ඊට අදාළ කොට්ඨාසවලින් තරඟ වැදුණු අපේක්ෂකයින් සම්බන්ධ තොරතුරු දැක්වෙන සබැඳිය ඔස්සේ ද අප මෙම අපේක්ෂකයින් දෙදෙනාගේ තොරතුරු තහවුරු කරගනු ලැබුවා.
2025 පළාත් පාලන ඡන්ද විමසීමේ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵල
මැතිවරණ කොමිසමේ නිල ඡන්ද ප්‍රතිඵල අනුව බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව ආසන 15ක් දිනාගෙන තිබූ අතර ලබාගත් ඡන්ද ප්‍රතිශතය දැක්වුනේ, 46.23%ක් ලෙසයි.
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවට කොට්ඨාස 16ක් පවතින අතර එහි මෙම අපේක්ෂකයින් දෙදෙනා තරඟ වැදුණු කුඩාහීල්ල සහ බෙලිඅත්ත යන කොට්ඨාස ද්විත්වය ජාතික ජන බලවේගය ජයග්‍රහණය කර තිබුණා.
ඒ අනුව කුඩාහීල්ල ප්‍රදේශයෙන් ජාතික ජන බලවේගය ඡන්ද 1329ක් ලබාගෙන ජයග්‍රහණය කර තිබෙනවා.
බෙලිඅත්ත කොට්ඨාසය ද ඡන්ද 909ක් දිනාගනිමින් ජාතික ජනබලවේගය ජයග්‍රහණය කර තිබෙනවා.
ඒ අනුව එම කොට්ටාස ද්විතවයෙන් තරඟ වැදුණු අගම්පොඩිගේ ආනන්ද සහ නිමල් ජයන්ත මුතුමාල යන අයවලුන් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව වෙත තේරීපත්වී තිබෙනවා.
මෙහිදී ජාතික ජන බලවේගය බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව ආසන 15ක් ලබාගෙන ජයග්‍රහණය කළ ද ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශතය දැක්වුණේ, 46.23%ක් ලෙස වන බැවින් ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම්වරයාට මෙම බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයා තෝරාපත් කිරීමේ හැකියාව අහිමිවනවා.
ඒ අනුව එහි සභාපතිවරයා පත්කර ගැනීම සිදුවිය යුත්තේ පළමු රැස්වීමේදී සභිකයින් ලබාදෙන ඡන්දය ඔස්සේ ය.
කෙසේ නමුත් ඡන්ද ප්‍රතිශතය, මෙම ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයට 50%ට වඩා අඩු වුව ද ඔවුන් දිනාගෙන ඇති ආසන සංඛ්‍යාව 15කි. පොදුජන පෙරමුණ දෙවනියට වැඩිම ආසන දිනාගෙන ඇති අතර ඔවුන් ලබාගෙන ඇති ආසන සංඛ්‍යාව 7කි. අනෙකුත් දේශපාලන කණ්ඩායම්වල ආසන සංඛ්‍යාව ද එකතුව විපක්ෂයේ මුලු ආසන සංඛ්‍යාව 14කි.
ඒ අනුව ඡන්දයකින් සභාපතිවරයා පත්වීම සිදුවුව ද එම සභාපතිවරයා ජාතික ජන බලවේගයෙන් ම තේරීපත්වීමේ වැඩි සම්භාවිතාවක් ඇති බව මෙම ඡන්ද ප්‍රතිඵල බැලූවිට ඔබට පෙනෙනවා ඇති.
එබැවින් එවැනි තත්වයක් තුළ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවට තේරීපත් වූ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයින් දෙදෙනාට විපක්ෂ කණ්ඩායම් සමඟ එක්වීමේ අවශ්‍යතාවක් නොමැති බව ද පෙනී යනවා.
එම තත්වය කෙසේ වුවත් මෙම අපේක්ෂකයින් දෙදෙනා විපක්ෂයේ කණ්ඩායමක් සමඟ එක්වූවා ද යන්න අප වැඩිදුරටත් සොයා බැලීමක් කළා.
අගම්පොඩිගේ ආනන්ද අපේක්ෂකයා
බෙලි අත්ත ප්‍රාදේශය සභාවට කුඩාහීල්ල කොට්ඨාසයෙන් තරඟ අගම්පොඩිගේ ආනන්ද යන අය ඔහුගේ ෆේස්බුක් ගිණුමේ මෙම සංසරණය වන සමාජ මාධ්‍ය සටහන සම්බන්ධයෙන් අදහස් දැක්වීම් සිදුකර තිබුණා.
එක් අදහස් දැක්වීමක ඔහු සඳහන් කරන්නේ, මෙය මාලිමාවට මඩ ගැසීමට ගත් අසාර්ථක උත්සාහයක් බවයි. බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවට මාලිමාවෙන් තේරී පත්වූ තමා සහ ජයන්ත මුතුමාල යන අය විපක්ෂයට එක්වූ යැයි සකසන ලද ව්‍යාජ සමාජ මාධ්‍යක් මෙලෙස හුවමාරුවන බව, ඔහු එම සටහන ම උපුටා දක්වමින් සඳහන් කර තිබුණා/
මෙය Nadun Rajapaksha නැමැති ෆේස්බුක් පිටුවක් බවත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට මඩ ගැසීමට සෑදූ ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුමකින් මෙම ව්‍යාජ සටහන් බෙදා හරින බවටත් ඔහු සඳහන් කර තිබෙනවා.
නැවතත් ඔහු පසුගිය 8 වන දින තමාගේ සහ ජයන්ත මුතුමාල යන අයගේ ඡායාරූප ද්විත්වයක් උපුටාදක්වා ඔවුන් දෙදෙනා විපක්ෂයට ගිය බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදුකර තිබුණා.
ඔහු දක්වා තිබූ සටහන මෙසේ ය.
“අපි දෙන්නා ජවිපෙ දේශපාලනය උරුම කර ගත් රටට ,ගමට හිතැති සහෝදරයෝ දෙදෙනෙක්..අපි දෙන්නා විපක්ෂයට ගිය බව දක්වමින් අසත්‍ය මඩ ෆෝස්ට් එකක් සමාජ මාධ්‍ය හරහා ශීඝ්‍රයෙන් පැතිරෙමින් පවතී..මෙය බංකොලොත් විපක්ෂය කළ නිහින නින්දිත විපක්ෂයේ බාල අවර ගණයේ කැත උත්සාහයක් බව දන්වමු..බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ මාලිමාවේ බලය තහවුරු කරගත් අපි සියලු දෙනාම පොහොසත් රටක්,ලස්සන ජීවිතයක් රටේ සියලු දෙනා වෙනුවෙන් උදා කරලීමට කැප වෙන බව සපථ කරමු…මාලිමාවට ජය ම වේවා.”
නිමල් ජයන්ත මුතුමාල අපේක්ෂකයා
නිමල් ජයන්ත මුතුමාල අපේක්ෂකයා මීට පෙර ද ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් බෙලි අත්ත ප්‍රාදේශීය සභාවට තේරීපත්වූ සභිකයෙකි. ඔහුගේ තොරතුරු බෙලිඅත්ත ප්‍රාදේශී සභාවේ වෙබ් අඩවියේ ද සඳහන්ව තිබෙනවා.(Archive)
කෙසේ වෙතත් අප ඔහුවත් සම්බන්ධ කරගත් අතර එහිදී ඔහු සඳහන් කළේ කුඩාහීල්ල ප්‍රදේශයෙන් තේරීපත් වුණු ආනන්ද සහෝදරයා සහ තමා විපක්ෂයට එක් වූ බවට සංසරණය වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවයි.
තමා කාලයක සිට ජනතා විමුක්ති පෙරමුණ සමඟ එක්ව සිටි බවත් කිසිසේත් විපක්ෂය සමඟ එක්වීමට තරම් බංකොලොත් භාවයට පත්ව නොමැති බවත් ඔහු සඳහන් කරනු ලැබුවා. බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවට අයත් එක් කොට්ඨාසයක, එක් ආසනයක් පමණයි ජාතික ජන බලවේගයට ජයග්‍රහණය කිරීමට නොහැකි වූයේ වන බවත්, කිසිසේත් විපක්ෂය සමඟ එක්වීමක් සිදුනොවන බවත් මෙය විවිධ පුද්ගලයන් විසින් ගෙන යන අසත්‍ය ප්‍රචාරයන් වන බවත් ඔහු සඳහන් කරනු ලැබුවා.
ජාතික ජනබලවේගය මාධ්‍ය අංශය
ජාතික ජනබලවේගය මාධ්‍ය අංශයෙන් ද අප කල විමසීමේදී සඳහන් කළේ එලෙස බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවට තේරීපත් වූ අපේක්ෂකයින් දෙදෙනෙක් විපක්ෂය සමඟ එක්වීමක් සිදුව නොමැති බවත්, මෙය ජාතික ජන බලවේගයට මඩ ගැසීම වෙනුවෙන් සිදුකළ අසත්‍ය ප්‍රචාරයක් බවත් ය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ දෙවනියට වැඩිම ආසන සංඛ්‍යාවක් වන ආසන 7ක් දිනාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අප විමසා බැලීමක් කළේ මෙම සමාජ මාධ්‍ය සටහන්වල සඳහන්වන ආකරයෙන් මාලිමාවේ අපේක්ෂකයින් දෙදෙනෙක් විපක්ෂය සමඟ එක් වූවා ද යන්නයි.
අප මෙම විමසීම සිදුකළේ පොදුජන පෙරමුණේ මාධ්‍ය අංශයෙන් වන අතර එවැනි මාලිමාවේ අපේක්ෂකයින් දෙදෙනෙක් පොදුජන පෙරමුණ සමඟ එක්වූ බවට තොරතුරක් වාර්තා වී නොමැති බවත් පොදුජන පෙරමුණේ මාධ්‍ය අංශය සඳහන් කරනු ලැබුවා.
කෙසේ වෙතත් මෙවැනි පුවතක් සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය වාර්තා කිරීම් ද නොමැති අතර ‘සියරට News’ ලෙස සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ මෙවැනි නොමඟ යවන සුළු තොරතුරු නිරන්තරයෙන් හුවමාරුකර ගන්නා බවටත් අප මීට පෙර අවස්ථාවන්වලදී ද කළ කරුණු පරීක්ෂා කිරීම් මෙතනින් සහ මෙතනින්.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවට තේරීපත් වුණු දෙදෙනෙක් වන අගම්පඩිගේ ආනන්ද යන අය සහ නිමල් ජයන්ත මුතුමාල යන අය විපක්ෂයේ කණ්ඩායම සමඟ එකතු වී ඇති බවට වන සමාජ මාධ්‍ය සටහන් නොමඟ යවන සුළු වේ.
අගම්පඩිගේ ආනන්ද යන අය සහ නිමල් ජයන්ත මුතුමාල සහ ජාතික ජනබලවේගය මාධ්‍ය අංශය පවසන්නේ, මෙම පුවත් අසත්‍ය වන බවයි. එමෙන් ම බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ දෙවනියට වැඩිම ආසන දිනාගත් පොදුජන පෙරමුණ ද පවසන්නේ, ජාතික ජන බලවේගයට තේරීපත් වූ අපේක්ෂකයින් දෙදෙනෙක් ඔවුන් සමඟ එක් වීමක් සිදුවී නොමැති බවත් ය.

Title:ජාතික ජනබලවේගයේ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවට තේරීපත් වූ අපේක්ෂකයින් දෙදෙනෙක් විපක්ෂය සමඟ එකතු වුණා ද?
Written By: Piumika LakshaniResult: False
