
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප්තුමාගේ අභාවයෙන් පසුව අභිනව පාප් වහන්සේ කෙනෙකු පත් වීම කෙරෙහි ලොව පුරා සිටින කතෝලික බැතිමතුන් ඇතුළු මුළු මහත් ජනතාවක් දෑස් දල්වා බලා සිටියා. එම බලාපොරොත්තුව සඵල කරමින් පසුගිය 08 වන දා ඉතිහාසයේ පළ මු වරට ඇමෙරිකාවෙන් තේරීපත් වූ පළමු පාප් වහන්සේ කෙනෙකු පත් වූ අතර ඒ ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු හුවමාර වී තිබුණා. එලෙසින් මෙරට පළ වූ සටහන නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“වතිකානය ට්‍රම්ප්ගේ බලපෑම්වලට යටත් උනා කාදිනල් හිමියන් වේදනාවෙන් කියයි, අවසනාවකට අපිට එහෙම බලවත් නායකයෙන් නැහැ ” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධය ඔස්සේ හුවමාරු වුණේ, මෙරට අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් සිදු කළ ප්‍රකාශයක් බවට දක්වමින්.
මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.
සත්‍ය වශයෙන් ම මැල්කම් රංජිත් හිමිපාණන් මෙවන් ප්‍රකාශයක් සිදු කළා ද , යන්න පිළිබඳ විමසමින් මේ පිළිබඳ සොයා බලන ලෙස අප වෙත ලැබුණු පාඨක ඉල්ලීම් ද, මුල් කරගනිමින් මේ පිළිබඳ අප කරුණු පරීක්ෂාවක් කිරීමට පියවර ගනු ලැබුවේ මේ අයුරින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
පාප් වහන්සේගේ අවමංගල්‍යයෙන් අනතුරුව පැවැත්වූ අභිනව පාප් වහන්සේ තෝරා ගැනීම පසුගිය 08 වන දා වතිකානයේ වේලාවෙන් පස්වරුවේ තෝරා ගැනීම සිදුවූයේ දෙදිනක් පැවති නිලවරණයෙන් අනතුරුවයි.
අභිනව පාප් ධුරය සඳහා මෙලෙසින් පත් වූයේ අමෙරිකාවේ රොබට් ප්‍රෙවොස්ට් කාදිනල් හිමිපාණන් වන අතර 14වන ලියෝ පාප් වහන්සේ ලෙසින් නම් කර තිබෙනවා.
මෙම පත්වීම සම්බන්ධයෙන් මෙරට කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ප්‍රකාශයක් කර ඇත්දැයි යන්න පිළිබඳ අප ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා මෙන් ම, ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා හරහා ද, පරීක්ෂා කළ නමුත් උන්වහන්සේ විසින් එවන් ප්‍රකාශයක් කළ බවට දැක ගන්නට ලැබුණේ නැහැ.
එමෙන් ම ඉරි ෆේස්බුක් පිටුවේ ද, ඉහත සඳහන් ආකාරයේ පුවතක් පළ වී නොමැති බව අප කළ පරීක්ෂා කිරීමේදී දැක ගන්නට ලැබේ.
එමෙන් ම ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සහ ඉන්පසු පැවැත් වීමට නියමිත ව තිබූ අභිනව පාප්වහන්සේ තෝරා ගැනීමේ සම්මේලනයට සහභාගි වීමට පසුගිය (23) වන දා උදෑසන ඉතාලිය බලා පිටත්ව ගිය මැල්කම් කාදිනල් හිමිපාණන් මෙතෙක් මෙරටට පැමිණි බව ද, වාර්තා නොවීය.
මේ හේතුවෙන් අප මේ පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා කොළඹ අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමන් සහ කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමගෙන් විමසීමක් කරනු ලැබුවා. ඔවුන් සඳහන් කළේ, කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් වතිකානය ට්‍රම්ප්ගේ බලපෑම්වලට යටත් වූ බවට කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බවයි.
එමෙන් ම පාප් වහන්සේ තෝරා ගැනීමේ සමුළුව අතරතුර කාර්දිනල්වරු සිස්ටයින් දේවස්ථානය තුළ සිටි අතර පිටස්තර කිසිවෙකුට එහි ඇතුළුවීමට අවසර නොමැති බව ත්, කාර්දිනල්වරුන්ට පවා ඔවුන්ගේ දුරකථන ඇතුළට ගෙන යාමට අවසර නොමැති බවත් සමුළුවෙන් පසුව මෙතෙක් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් කිසිදු ප්‍රකාශයක් මාධ්‍ය වෙත නිකුත් කිරීමට හෝ අවස්ථාවක් හිමි ව නොමැති බව ත්, උන්වහන්සේ මෙතෙක් ලංකාවට පැමිණ නොමැති බව ත් ය.
ඉහත සමාජ මාධ්‍ය සටහන් සම්පූර්ණයෙන් අසත්‍ය බව ත්, පියතුමන්වරුන් තහවුරු කරනු ලැබුවා.
ලොව පුරා සිටින කාදිනල්වරුන් 252 දෙනා අතරින් 137 දෙනෙකු පාප් වහන්සේ ධුරය හෙබවීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබුණා.( වයස අවුරුදු 80 ට වැඩි ඉතිරි කාදිනල්වරුන්ට ඡන්දය ප්‍රකාශ කළ නොහැක) ඒ අතර 77 වන වියේ පසුවන මෙරට කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ද, මේ තනතුර සඳහා තේරීපත් වීමට සුදුසුකම් ලබා තිබුණා.
එමෙන් ම අභිනව පාප් ධුරය සඳහා තේරී පත් වනු ඇති බවට අනුමාන කරමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පළ කර තිබූ කාදිනල්වරු අතරින් මෙරට මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ නම ද, සඳහන් වුණා. නව පාප් ධුරය සඳහා මෙරට කතෝලික භක්තිකයන් මෙන් ම සියලු පුරවැසියන් පාහේ මැල්කම් රංජිත් හිමිපාණන් තේරී පත් වනු ඇතැයි බලාපොරොත්තු දල්වා බලා සිටියා.
අතිඋතුම් ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප්තුමාගේ අභාවයෙන් දින 11 කට පසු පසුගියදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාප්තුමාගේ නිල ඇඳුමින් සැරසුණු AI-ජනනය කරන ලද ඡාරූපයක් ඔහුගේ නිල Truth Social ගිණුමේ පළ කර ඇති මෙම රූපයේ දැක්වෙන්නේ ජනාධිපති ට්‍රම්ප් සුදු ඇඳුමින් සැරසී මිට්‍රේ(mitre) ලෙස හැඳින්වෙන පාප්තුමාගේ තොප්පියක් පැළඳ සිටින බවයි.
එය ධවල මන්දිරයේ(White House) හි ‘X’ ගිණුමේ ද, පළ කර තිබුණේ මෙලෙසින්.
මෙම ඡායාරූප සටහන දැඩි ලෙස සමාජ මාධ්‍ය තුළ විවේචනයට ලක්ව ඇති අතර, බොහෝ දෙනෙක් මෙය අසංවේදී, අගෞරවනීය ඡායාරූපයක් ලෙස සඳහන් කර ඇති බව දැක ගන්නට තිබුණි.
එමෙන් ම මීට පෙර ධවල මන්දිරයේදී වාර්තාකරුවන් විසින් අමෙරිකානු ජනාධිපතිවරයාගෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගෙන් පසු පාප්වහන්සේ ලෙස තේරී පත්වනවාට කැමති කවුරුන්ද යන්න විගසූ විට ඔහු උපහාසාත්මක කෝණයෙන් සිය අදහස් දක්වා තිබුණේ, “මම පාප් වහන්සේ වීමට කැමතියි. ඒක මගේ අංක එකේ තේරීම වනු ඇති”බවයි.
ට්‍රම්ප් තවදුරටත් පවසා තිබුණේ, තමාට ඇත්තටම මේ සම්බන්ධයෙන් මනාපයක් නොතිබූ නමුත් නිව්යෝර්ක්හි අගරදගුරු කාදිනල් තිමෝති ඩෝලන් මේ සඳහා සුදුසු බවයි. එම අවස්ථාව මෙතනින්.
කෙස් වෙතත් අමෙරිකාවෙන් තේරීපත් වූ පළමු පාප්වරයා වූ අභිනව 14වන ලියෝ පාප් වහන්සේ බිලියන 1.4ක් වූ ලොව පුරා කතෝලික ප්‍රජාව වෙනුවෙන් නායකත්වය දෙනු ඇති අතර ට්‍රම්ප් විසින් පාප් වහන්සේ ධුරය සම්බන්ධයෙන් පළ කළ සටහන් සහ ප්‍රකාශ නව පාප්තුමා පත් වීම කෙරෙහි සම්බන්ධයක් ඇති බව ට සමාජ මාධ්‍ය පරිශීලකයින් අදහස් දක්වන අතර ඒ ඔස්සේ මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් හා මෙම අවස්ථාව සම්බන්ධ කරගනිමින් මෙවැනි අසත්‍ය සටහන් නිර්මාණය වී ඇති බවට පැවසිය හැක.
Also Read : නව ශුද්ධෝත්තම “පාප්” පදවිය සඳහා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් තේරීපත් වුණා ද?
පාප් පදවිය සඳහා සුදුසුකම් ඇත්තේ කාදිනල්වරුන් 12 දෙනෙකු පමණක් ද?
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ පළ ව තිබූ “වතිකානය ට්‍රම්ප්ගේ බලපෑම්වලට යටත් උනා කාදිනල් හිමියන් වේදනාවෙන් කියයි, අවසනාවකට අපිට එහෙම බලවත් නායකයෙන් නැහැ ” යනුවෙන් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් සිදු කළ ප්‍රකාශයක් බවට දක්වමින් පළ වන සටහන් අසත්‍ය බවයි. මැල්කම් රංජිත් හිමිපාණන් විසින් මෙවැනි ප්‍රකාශයක් කිසිදු මාධ්‍ය වෙත ප්‍රකාශයක් කර නොමැති බවට නිරීක්ෂණය වූ අතර අගරදගුරු පදවියේ පියතුමන්වරුන් ද, මෙම සටහන් අසත්‍ය බවට තහවුරු කරනු ලබයි.

Title:වතිකානය ට්‍රම්ප්ගේ බලපෑම්වලට යටත් වුන බවට මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් ප්‍රකාශයක්?
Fact Check By: Pavithra SandamaliResult: False
