දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
දශක ගණනාවක් තිස්සේ, ප්ලාස්ටික් දූෂණය ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම සිදු වෙමින් පවතී. මේ නිසා ම අප පානය කරන ජලය, අප ගන්නා ආහාරවල සහ අපගේ ශරීරයට ද, මෙයින් බලපෑමක් නොමැති බව පවසන්නේ කෙසේ ද? ප්ලාස්ටික් දූෂණය ප්‍රධාන ගැටලුවක් වුව ද, එය තවම ත් විසඳිය හැකි පාරිසරික අභියෝගවලින් එකක් බව ත් ඒ සඳහා පැහැදිලි විසඳුම් කිහිපයක් ඇති බව ත්, පරිසරවේදින් පෙන්වා දෙනවා.
2025 ලෝක පරිසර දිනය “ප්ලාස්ටික් දූෂණය අවසන් කිරීම” කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. මෙහි ගෝලීය සැමරුම් මෙවර කොරියානු ජනරජය විසින් පවත්වනු ඇත.
මෙම වසරේ ලෝක පරිසර දිනය, එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ ප්‍රමුඛතම පාරිසරික අධිකාරිය වන එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන ප්‍රමුඛ කර ගනිමින් #BeatPlasticPollution ,ප්ලාස්ටික් දූෂණය පරාජය කිරීමට, විසඳුම් ක්‍රියාත්මක කිරීමට සහ ඒ වෙනුවෙන් පෙනී සිටීමට ලොව පුරා සිටින පුද්ගලයින් බලමුලු ගැන්වීමට අත්වැල් බැඳගෙන තිබෙනවා. මෙවර ලෝක පරිසර දිනය ප්ලාස්ටික් දූෂණයේ බලපෑම් පිළිබඳ වර්ධනය වන විද්‍යාත්මක සාක්ෂි ඉස්මතු කිරීමට බලාපොරොත්තු වන අතර ප්ලාස්ටික් භාවිතය ප්‍රතික්ෂේප කිරීම, අඩු කිරීම, නැවත භාවිතා කිරීම, ප්‍රතිචක්‍රීකරණය කිරීම සහ නැවත සිතා බැලීම යන සංකල්ප 5ක ක්‍රියාවලියට අවධානය යොමු කරයි. ගෝලීය ප්ලාස්ටික් දූෂණ ගිවිසුමක් හරහා ප්ලාස්ටික් දූෂණය අවසන් කිරීම සඳහා 2022 දී කරන ලද ගෝලීය ගිවිසුම කෙරෙහි ඇති බැඳීම නැවත තහවුරු කිරීමටද මෙය උපකාරී වනවා.
ගෝලීය වශයෙන්, සෑම වසරකම ඇස්තමේන්තුගත ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් මිලියන 11 ක් ජලජ පරිසර පද්ධතිවලට කාන්දු වන අතර, කෘෂිකාර්මික නිෂ්පාදනවල ප්ලාස්ටික් භාවිතය හේතුවෙන් අපද්‍රව්‍ය සහ ගොඩකිරීම් වලින් පසෙහි ක්ෂුද්‍ර ප්ලාස්ටික් එකතු වේ. ප්ලාස්ටික් දූෂණයේ වාර්ෂික සමාජීය සහ පාරිසරික පිරිවැය ඇමරිකානු ඩොලර් බිලියන 300 ත් 600 ත් අතර වනවා.
මෙම වසරේ ලෝක පරිසර දින සැමරුම සිදුවන්නේ සාගර පරිසරය ඇතුළුව ප්ලාස්ටික් දූෂණය අවසන් කිරීම සඳහා ගෝලීය ගිවිසුමක් සුරක්ෂිත කිරීම සඳහා රටවල් ප්‍රගතියක් ලබා ගන්නා අතරතුරය. 2024 නොවැම්බර් මාසයේදී කොරියානු ජනරජය ප්ලාස්ටික් දූෂණ ගිවිසුමක් සංවර්ධනය කිරීම සඳහා පස්වන සාකච්ඡා සැසිය පවත්වනු ලැබුවා. සැසියේ දෙවන කොටස අගෝස්තු 5 සිට 14 දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා හිදී පැවැත් වීමට නියමිත වේ.
සත්කාරක රට
කොරියානු ජනරජය ලෝක පරිසර දිනය සඳහා ගෝලීය නිරීක්ෂණ පවත්වන දෙවන අවස්ථාව මෙයයි. එය ප්‍රථම වරට 1997 දී “For Life on Earth“ (පෘථිවියේ ජීවය සඳහා)යන තේමාව යටතේ එම දිනය සමරනු ලැබුවා.
පසුගිය වසර 28 තුළ, කොරියාව ජලය සහ වාතයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම, රසායනික ද්‍රව්‍ය ආරක්ෂිතව කළමනාකරණය කිරීම සහ පරිසර පද්ධති ආරක්ෂා කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් කැපී පෙනෙන ප්‍රගතියක් ලබා තිබෙනවා. අද වන විට, නිෂ්පාදක වගකීමක් හරහා ව්‍යාපාර සම්බන්ධ කර ගනිමින් දශක ගණනාවක අත්දැකීම් මත ගොඩනඟමින්, කොරියානු ජනරජය ප්ලාස්ටික් අපද්‍රව්‍ය මැඩපැවැත්වීම සඳහා ප්‍රමුඛත්වය දෙන රටවල් අතර පවතිනවා. ප්ලාස්ටික් සඳහා වන උපාය මාර්ගය නිෂ්පාදනයේ සහ නිර්මාණයේ සිට පරිභෝජනය, නැවත භාවිතා කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය දක්වා ප්ලාස්ටික් වල ජීවන චක්‍රයේ සෑම අදියරකටම විසඳුම් සෙවීම ඔවුන්ගේ අරමුණයි. අපද්‍රව්‍ය මැඩපැවැත්වීම, ප්‍රතිචක්‍රීකරණ උත්සාහයන් පුළුල් කිරීම සහ චක්‍රීය ආර්ථිකයකට මාරුවීම වේගවත් කිරීම මගින්, කොරියානු ජනරජය ප්ලාස්ටික් දූෂණය අඩු කිරීමට සහ වඩාත් තිරසාර අනාගතයක් ගොඩනැගීමට තීරණාත්මක ක්‍රියාමාර්ග ගනිමින් සිටී. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින්.
ශ්‍රී ලංකාවේ වාර්ෂිකව මෙරටින් ටොන් 250,000කට ආසන්න ප්ලාස්ටික් අපද්‍රව්‍යය බැහැර කරනු ලබනවා. එක පුද්ගලයෙකුට වසරකට කිලෝ 11ක පමණ ප්ලාස්ටික් මෙලෙසින් බැහැර කරන අතර එයින් 11%ක් පමණක් ප්‍රතිචක්‍රීකරණය වේ. ආහාර අසුරන ෂීට්, බට, සහ පොලිතීන් වැනි භාණ්ඩ නීතියෙන් තහනම් කළද එම භාණ්ඩ තවමත් වෙළඳසැල්වල දක්නට ලැබේ.
ශුන්‍ය ප්ලාස්ටික් ව්‍යාපාරෙය් (Zero Plastic Movement )නිර්මාතෘ නිස්සංක ද සිල්වා මහතා පෙන්වා දුන්නේ මෙරට නීති පවතින නමුත් ක්‍රියාත්මක වීම අඩු බවය. එමෙන් ම ඔහු සඳහන් කරන්නේ, ප්ලාස්ටික් වෙනුවට පරිසර හිතකාමී විකල්ප භාවිතය ප්ලාස්ටික් දූෂණය අවම කිරීමට මූලික විසඳුමක් බවයි.
ඔබ භාවිතා කරන ප්ලාස්ටික් නිෂ්පාදන වල කේත පිළිබඳ ඔබ දැනුවත්ද?
බෝතල්, බහාලුම්, ඇසුරුම්, බෑග් ලෙස විවිධ අයුරින් අප සැවමම ප්ලාස්ටික් භාවිත කරනවා. බොහෝ ප්ලාස්ටික් නිෂ්පාදනවල බොහෝ අය නොසලකා හරින අංකයක් සහිත කුඩා ත්‍රිකෝණයක් තිබෙනවා. එම අංකය මගින් ඔබට ඔබ භාවිත කරන ප්ලාස්ටික් වර්ගය කුමක්ද යන්න, එය ආරක්ෂිතද නැතහොත් ප්‍රතිචක්‍රීකරණය කළ හැකිද යන්න දැන ගැනීමට හැකි වේ.
මෙම සංකේත රෙසින් හඳුනාගැනීමේ කේත (RIC– Resin Identification Codes) ලෙස හැඳින්වේ. ඒවා #1 සිට #7 දක්වා පරාසයක පවතිනවා. අපි බලමු ඒ එක් එක් සංකේතයින් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳ අප අවධානය යොමු කරමු.
කේතය |
නිෂ්පාදන |
ප්‍රතිචක්‍රීකරණය කළ හැකිද? |
ආරක්ෂිතද?
|
#1 – PET or PETE |
වතුර සහ සිසිල් බීම බෝතල් |
(√) |
නැවත නැවත භාවිතා කළහොත් රසායනික ද්‍රව්‍ය මුදා හැරිය හැක |
#2 – HDPE |
ප්ලාස්ටික් ජෝගු , ෂැම්පු බෝතල් |
(√) |
ශක්තිමත් සහ ආරක්ෂිත |
#3 – PVC |
පයිප්ප, ආහාර ඔතනකොළ(cling wraps), සෙල්ලම් බඩු |
(X) |
හානිකර රසායනික ද්‍රව්‍ය අඩංගුයි |
#4 – LDPE |
සිල්ලර බඩු බෑග්, පාන් බෑග් |
(√) |
නම්‍යශීලී නමුත් සැමවිටම ප්‍රතිචක්‍රීකරණය නොකෙරේ |
#5 – PP |
යෝගට් කෝප්ප, ඖෂධ බෝතල් |
(√) |
ශක්තිමත්, තාප ප්‍රතිරෝධී |
#6 – PS (Polystyrene) |
ප්ලාස්ටික් කෝප්ප, ආහාර අසුරන පෙට්ටි |
(X) |
විෂ සහිත රසායනික ද්‍රව්‍ය කාන්දු විය හැකි |
#7 – Other |
මිශ්‍ර ප්ලාස්ටික් (ළදරු බෝතල්, අව් කණ්ණාඩි) |
නිෂ්පාදනය මත රඳා පවතී |
බොහෝ විට ප්‍රතිචක්‍රීකරණය නොකෙරේ |
මූලාශ්‍ර : American Chemistry Council. Plastic Packaging Resins.,The Balance: Small Business.Recycling Polyethylene Terephthalate (PET).,Enkay ,plasticactioncentre
ශ්‍රී ලංකාවට මෙම කේත අදාල ද?
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන හෝ ආනයනය කරන ජල බෝතල්, ආහාර ඇසුරුම්, බාල්දි ආදී ප්ලාස්ටික් භාණ්ඩ වලට සාමාන්‍යයෙන් #1 සිට #7 දක්වා අංක සහිත සංකේත ලාංඡන භාවිත කරයි. මෙම සංකේත, අමෙරිකාවේ Society of the Plastics Industry (SPI) විසින් සංවර්ධනය කර ඇත්තේ ජාත්‍යන්තර ප්ලාස්ටික් වර්ගීකරණ ප්‍රමිති අනුවයි. එය ලෝකය පුරාම, ශ්‍රී ලංකාව තුළද භාවිතා වෙයි.
ඇතැම් ව්‍යාපෘතිය යටතේ PET (#1) සහ HDPE (#2) වර්ග වල ප්ලාස්ටික් එකතු කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය සඳහා උනන්දු කරනු ලබනවා. PVC (#3) සහ PS (#6) වැනි ද්‍රව්‍යවලට නම්, ඒවායේ අවදානම්භාවය හේතුවෙන් කර්මාන්තමය ලෙස විනාශ කිරීම සඳහා යොමු කරනු ලබනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු මෙතනින්.
ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ද්‍රව්‍ය කළමනාකරණ ප්‍රතිපත්තිද මෙම කේත පිළිගනී
2021 සිට 2030 දක්වා ක්‍රියාත්මක වන ජාතික ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාත්මක යෝජනා ක්‍රමය (National Action Plan) මඟින්, ජනතාවට ඔවුන් භාවිතා කරන ප්ලාස්ටික් වර්ගය හඳුනාගැනීම පිළිබඳව සූක්ෂම අවබෝධයක් ලබාදීමට උනන්දු කරවයි.
පාසල් ළමුන් හා පවුල් වලට ඔවුන්ගේ කසළ වර්ගීකරණය කර ගැනීමට මෙම ප්ලාස්ටික් සංකේත භාවිතා කරන ආකාරය පිළිබඳව පුහුණුව දෙන පිළිගත් වැඩසටහන්ද ක්‍රියාත්මක කර ඇත.
තමුන් භාවිත කරන ප්ලාස්ටික් ද්‍රව්‍ය මොනවාද ඒවා පරිසරයට බැහැර කිරීමෙන් වන හානිය කුමක්ද යන අවබෝධය මත ප්ලාස්ටික් භාවිතය අවම කරමින් කටයුතු කිරීමෙන් මිස මේ සඳහා පිළියම් සෙවීමට නොහැකි බව ඔබට වැටහෙනු ඇත.
ශ්‍රී ලංකාවේ, මධ්‍යම පාරිසරික අධිකාරිය ද, පවසන්නේ, ප්ලාස්ටික් අපද්‍රව්‍ය මිලියන 1.6 කට ආසන්න ප්‍රමාණයක් සෑම දිනකම බැහැර වන අතර ඉන් කුඩා ප්‍රතිශතයක් පමණක් සත්‍ය වශයෙන්ම ප්‍රතිචක්‍රීකරණය කරන බැවින් එයින් වැඩි ප්‍රමාණයක් අවසන් වන්නේ අවට පරිසරයේ හෝ ගංඟා, ඇළ හෝ සාගරවල පාවෙමින් හෝ පිළිස්සීම මගින් බවයි.
මිනිසුන් විසින් පරිභෝජනය කරන පානීය ජලය සහ ආහාර වශයෙන් ලබා ගන්නා මාළු වල ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇති බවට දැනටමත් අනාවරණය වී ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
බොහෝ ප්ලාස්ටික් නිෂ්පාදන පහසුවෙන් දිරවීමට හැකිවන ලෙස නිපදවන නමුත් ඇත්තෙන්ම ඒවා ඉතා කුඩා අංශුමය කොටස් බවට බිඳ වැටෙන අතර පූර්ණ වියෝජනයට භාජනය නොවේ.(Biological degradation )
මෙනිසා වියෝජනය නොවන (non degradable) විශාල ප්ලාස්ටික් නිශ්පාදන වලට වඩා පූර්ණ වියෝජනය නොවන (Partially degradable) ප්ලාස්ටික් නිෂ්පාදන පරිසරයට වඩාත් අහිතකරය.
එසේ ඉතිරි වන ඉතා කුඩා අංශුමය ප්ලාස්ටික් කොටස් (tiny particles) පසේ සිට ජල ප්‍රවාහ ඔස්සේ ඇළ දොළ ගංගා හරහා සාගරයට මුසු වෙයි. අවසානයේ මෙසේ සාගර ජලය හා ගංගාවල පවතින ඉතා කුඩා අංශුමය ප්ලාස්ටික් කොටස් ජලයේ සිටින සත්ත්ව ප්ලවංග (zooplankton, ichthyoplankton) යන ක්ෂුද්‍රජීවීන්ගේ (micro organism) ආහාර පරිභෝජනය (filter feeding ) මඟින් ශරීරය තුළට ඇතුළු වේ.
බොහෝ විට මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු ඉතා කුඩා ආහාර අංශු යැයි සිතා මෙම ක්ෂුද්‍ර ජීවීන් ඒවා ආහාරයට ගැනීමේ අවදානමක් තිබේ.
එසේ කුඩා ප්ලාස්ටික් අංශු අඩංගු ශුද්‍රජීවීන් කුඩා මත්ස්‍යයින් (fish larvae) විසින් ආහාරයට ගන්නා අතර එමගින් ඒවා මත්ස්‍ය ශරීරගත වේ. මෙසේ ආහාර දාමයක් ඔස්සේ පැමිණ අවසානයේ මිනිස් සිරුරට ද මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු ඇතුළු වේ.
එසේම මෙම කුඩා ප්ලාස්ටික් අංශු සාගර පෙරා බුදින්නන් ගේ සිරුරේ ද ඉතා පහසුවෙන් තැන්පත් විය හැකිය. බොහෝවිට කවචමය මත්ස්‍ය යන් (shellfish) ලෙස සලකනු ලබන Bivalve, Scallop, යන සත්වයන් ගේ සිරුරේ ඉතා පහසුවෙන් ප්ලාස්ටික් අංශු තැන්පත් වන අතර ඒවා මිනිස් පරිභෝජනයේදී සෘජුවම ශරීරගත විය හැකිය.
එසේම බොහෝ විට අප ආහාරයට ගන්නවා ලුණුවල සහ අනෙකුත් සාගර ආශ්‍රිත නිශ්පාදන වල පවා මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු අඩංගු විය හැකි යැයි පැවසේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
මෙය පාරිසරික ගැටලුවක් පමණක් ම නොවන අතර පරම්පරා ගණනකට එය සෞඛ්‍ය ගැටලු, ආර්ථික ගැටලු දක්වා දිව යනු ලබයි. තමන් අද භාවිත කරන ප්ලාස්ටික් ද්‍රව්‍ය මොනවාද, ඉන් සිදු වන හානිය කුමක්ද යන අවබෝධය ඇතුව ප්ලාස්ටික් භාවිතය අවම මට්ටමේ රඳවා ගනිමින් මනුෂ්‍යයින් වගේ ම සියලු ජීවින්ගේ යහපැවැත්ම උදෙසා කටයුතු කිරීමේ වගකීම අතැතිව ලෝක පරිසරය දිනයේදී පරිසරය සුරැකීමට එක සිතින් අප අදිටන් කරගමු!
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok