චන්ද්‍රිකා කුමාරතුංග කුඩා කාලයේ ඉදිරිපත් කළ නර්තනයක් බව කියන වීඩියෝවේ ඇත්ත නැත්ත!

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යනු මෙරට දේශපාලනය තුළ නොමැකෙන නාමයක් සනිටුහන් කරමින් දේශපාලන ගමන් මගේ හිණිපෙත්තටම පියනැගූ අද්විතීය කාන්තා චරිතයක්. මේ දක්වා ශ්‍රී  ලංකාවේ පළමු සහ එකම කාන්තා විධායක ජනාධිපතිවරිය වන ඇය දැනට සක්‍රීය දේශපාලනය තුළ ක්‍රියාකාරී චරිතයක් නොවුණ ද විටින් විට පුවත් මවන චරිතයක්. ඇය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ  සංසරණය වන වීඩියෝවක සත්‍යතාව සොයා අප කරුණු විමර්ශනයක් සිදු කළා. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තරුණ කාලයේ නර්තනයක් ඉදිරිපත් කරන ආකාරය බව හැඟෙවෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ. මෙහි සිටින්නේ ශ්රී ලංකාවේ හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියි, යනුවෙන් සඳහන් කරමින් අදාළ වීඩියෝව ප්‍රසිද්ධ කර ඇති අතර වීඩියෝව පිළිබඳ විස්තර කරමින් එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෙය ඇය කුඩා කාලයේ ඉදිරිපත් කරන ලද වීඩියෝවක් බවයි. තව ද අනෙකුත් පරිශීලකයින්ට නැරඹීම සඳහා වීඩියෝව හුවමාරු කර ගන්නා ලෙස ද එහි ඉල්ලීමක් කර තිබේ.  

 

Facebook

තව ද මෙම වීඩියෝව බහුල වශයෙන් සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ හුමවාරු වී තිබුණේ මේ අයුරින්.

මෙය සත්‍ය වශයෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය කුඩා කල ඉදිරිපත් කරනු ලැබූ නර්තයක  වීඩියෝවක් ද, යන්න සම්බන්ධව අප කරුණු පරීක්ෂා කිරීමට අප පියවර ගත්තා.  

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කුඩා කාලයේ ඉදිරිපත් කළ මෙවැනි නර්තනයක් සත්‍ය වශයෙන්ම ඇය සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ පළ කර තිබේදැයි අප සොයා බැලුවා. විශේෂයෙන්ම ඇයගේ නිල ෆේස්බුක් ගිණුම පරීක්ෂා කිරීමේදී ඇය කලා කටයුතු කෙරෙහි ඇල්මක් මෙන්ම උනන්දුවක් දක්වන බව දැකගන්නට ලැබුණා. තව ද ඇය යම් යම් සුවිශේෂී අවස්ථාවල පැරණි ඡායාරූප සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පළ කර තිබෙන ආකාරය ද නිරීක්ෂණය විය.

කෙසේ වෙතත් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ වීඩියෝවක් ඇය විසින් පළ කර තිබෙන බවක් දැකගන්නට නොහැකි විය. 

තවදුරටත් මේ පිළිබඳ සොයා බැලූ අප මෙම වීඩියෝවේ රූප රාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එහිදී නිරීක්ෂණය වූයේ එක් YouTube නාලිකාවක පමණක් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ප්‍රංශයේදී ගන්නා ලද බව කියන ඡායාරූපය කිසිදු වෙනසක් සිදු නොකර එලෙසම යොදා ගනිමින් නිර්මාණය කළ වීඩියෝවක් Chandrika Dances in France (1969) යනුවෙන් සඳහන් කරමින් 2023 වසරේ ඔක්තෝබර් 6 වැනිදා පළ කර ඇති බවයි. 

කෙසේ වෙත්ත අප තවදුරටත් අප ඇයගේ ෆේස්බුක් ගිණුම පරීක්ෂා කළ අතර එහිදී 2021 වසරේ ජූනි දෙවැනිදා ඇය විසින් සමාජ මාධ්‍ය  ඔස්සේ සංසරණය  වන ඡායාරූපයක් පිළිබඳ කතාව යනුවෙන් සඳහන් කරමින් පළ කර තිබූ  ඡායාරූපයක් වෙත අපගේ අවධානය යොමු වුණා. 

අදාළ ඡායාරූපය 1969 ප්‍රංශයේ පැවති ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ සංස්කෘතික උත්සවයකදී තමා මයුරා වන්නම ඉදිරිපත් කළ අවස්ථාවේ ගන්නා ලද්දක් බවත්  ප්‍රංශයේ ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමයක් පළමු වරට පිහිටුවා සංස්කෘතික කටයුතු ඇතුළු විවිධ  වැඩසටහන් පළමු වරට සංවිධානය කරනු ලැබූ බවත් එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණා. 

ඒ අනුව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ, සංසරණය වන වීඩියෝව සහ මෙම ඡායාරූපය අතර සමානකමක් දැක ගන්නට හැකි බව අපට නිරීක්ෂණය විය.එම අවස්ථාවේ අදාළ  සටහන ද ෆේස්බුක් පරිශීලකයින් විශාල පිරිසකගේ අවධානයට මෙන්ම විශාල පිරිසක් අතර හුවමාරුවී තිබෙන ආකාරය ද දක ගත හැකි වුණා. 

කෙසේ වෙතත් ‍මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ වීඩියෝවක් ඇයගේ ෆේස්බුක් ගිණුම තුළ දැක ගන්නට නොමැති අතර අදාළ වීඩියෝව පිළිබඳ අදහස් දක්වා ඇති බොහෝ පිරිස් මෙය කෘත්‍රිම බුද්ධිය (AI) යොදා ගෙන නිර්මාණය කරන ලද වීඩියෝවක් බවට ද මත පළ කර තිබුණා. 

ඒ අනුව මේ දිනවල සමාජ මාධ්‍යයේ හුවමාරු වන වීඩියෝව ද කෘත්‍රිමව නිර්මාණය කරන ලද්දක් දැයි සොයා බැලීම සඳහා, අපි එය AI පරීක්ෂක මෙවලමක්  වෙත යොමු කළෙමු. 

එහිදී අදාළ වීඩියෝව කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කර ඇති බව තහවුරු විය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 

මෙරට දේශපාලනයේ සුවිශේෂි චරිත වන දෙකක් වන සිරිමාවෝ බණ්ඩාරනායක සහ එස්.ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක යුවළට දාව 1945 ජුනි 29 වැනිදා උපත ලබන චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙරට දේශපාලනය තුළ නොමැකෙන නාමයක් දරමින් රට වෙනුවෙන් ඉමහත් සේවයක් සිදු කළ කාන්තා චරිතයක්.

මෙරටදී ද්විතීක අධ්‍යාපනය හදාරාන ඇය  ප්‍රංශයේ පැරිස් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව  සිය උසස් අධ්‍යාපන කටයුතු ආරම්භ කරන අතර එහිදී (1970) ඇය දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධිය ලබා ගත්තා ය. 

උසස් අධ්‍යාපනයෙන් පසු යළි මෙරටට පැමිණෙන ඇය රාජ්‍ය ආයතන කිහිපයකම තනතුරු දරන අතර 1978 වසරේදී විජය කුමාරතුංග  සමග විවාහ වූවාය. 1988 වසරේදී විජය කුමාරතුංග ඝාතනයට ලක්වන විට ඇය දෙදරු මවකි.  සැමියාගේ  ඝාතනයෙන් කලකට පසු ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන කුමාරතුංග මහත්මිය 1993 දී බස්නාහිර පළාතේ මහ ඇමතිනිය ලෙස තේරී පත්වූයේ, අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබමිනි. 

1994 වසරේදී ඇය මෙරට විධායක ජනාධිපති ධුරයට පත්වෙමින් දේශපාලන ඉතිහාසයට එක් වූ අතර මේ දක්වා ශ්‍රී  ලංකාවේ පළමු සහ එකම කාන්තා විධායක ජනාධිපතිවරිය වන්නේ ඇයයි. 1999 වසරේදී දෙවන වරටත් ජනාධිපති ධුරයට තේරී පත්වූ අතර විධායක ජනාධිපති ධුරයේ දෙවරක් සේවය කිරීමෙන් පසු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 2005 වසරේදී ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගත්තේ ය. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :ඒ අනුව පැහැදිලි වන්නේ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් කුඩා කාලයේ ඉදිරිපත් කරන ලද වීඩියෝවක් බව පවසමින් අනෙකුත් පරිශීලකයින්ට නැරඹීම සඳහා හුවමාරු කර ගන්නා ලෙස ද ඉල්ලා සිටින මෙම වීඩියෝව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය 2021 වසරේ සිය ෆේස්බුක් ගිණුමේ පළ කරන ලද ඇය තරුණ කාලයේ ඉදිරිපත් කරන ලද නර්තනයක ඡායාරූපයක් යොදාගෙන කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කර ඇති වීඩියෝවක් බවයි.

Avatar

Title:චන්ද්‍රිකා කුමාරතුංග කුඩා කාලයේ ඉදිරිපත් කළ නර්තනයක් බව කියන වීඩියෝවේ ඇත්ත නැත්ත!

Written By: Fact Crescendo Team  

Result: Misleading


Leave a Reply