දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
කැසිනෝ කියන්නේ දේශපාලන වේදිකාවල වගේම සමාජයේත් දැඩි අවධානයක් යොමු වන උණුසුම් මාතෘකාවක්. පසුගිය දා කැසිනෝවලට අදාළ තීරණයකට රාජ්‍ය මුදල් කාරක සභාවේ අනුමැතිය හිමවූබව කියන පුවත මූල්කරගනිමින් මේ වනවිට සමාජ මාධ්‍ය වේදිකාවල බහුල වශයෙන් සමාජ මාධ්‍ය සටහන් පළ වෙමින් තිබෙනවා. මේ ඒ පිළිබඳව අපි සිදුකළ කරුණු විමසා බැලීමක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts)
“කැසිනෝ උපකරණ තහනම ඉවතට“ යන ශීර්ෂය සහිතව අරුණ පුවත්පතේ ලාංජනය ද ඇතුළත් කරමින් විනාඩි 2කට වැඩි කාලයක් දිවෙන මෙම වීඩියෝව මෙම වීඩියෝව පළ කර ඇත. තව ද මෙම වීඩියෝව තුළ, කැසිනෝවලට විරුද්ධව වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා සහ වත්මන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා මීට ඉහතදී පාර්ලිමේන්තුවේදී කැසිනෝ සම්බන්ධව සිදු කරන ලද ප්‍රකාශයන් 2ක් පසුබිමින් ඇතුළත් කර තිබෙන ආකාරයක් දැකගත හැකියි.
වීඩියෝවට ඇතුළත් කර තිබූ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා සහ වත්මන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රකාශවල සඳහන් වු දේ පහතින්.
“රටේ නිෂ්පාදනය මත ආර්ථිකය නැංවීම වෙනුවට කැසිනෝ බදු ආදායම්වලින් ආණ්ඩුව නඩත්තු කිරීමට සූදානම් වන බවයි. බාර් ලයිසන් 500ක් දීලා එතනින් ආදායමක් ගන්න හදනවා. කැසිනෝ ශාලා රටපුරා ව්‍යාප්ත කරලා එතතින් ආදයම ගන්න හදනවා. එක පැත්තකින් කියනවා අපිට කිසි වුවමනාවක් නෑ මේක ව්‍යාප්ත කරන්න කියලා, අනෙක් පැත්තෙන් නීති හදලා, අණපනත් හදලා නීති හදලා දැන් ඉඩ දීලා තියෙනවා. ලංකාව පුරාම කැසිනෝ ශාලා දාන්න. කතා කළාට අපනයන ආර්ථිකයක් ගැන ආපහු කරන්නේ, කැසිනෝවලට තවත් ඉඩ පහසුකම් ලබාදීලා ඒකෙන් ආදායම් අරගෙන එදාවේල ටුවර්ස් පවත්වාගෙන යන එකක්” – විජිත හේරත්
“කැසිනෝ සංවර්ධන උපායමාර්ගයක් කරගෙන ක්‍රමෝපායික සංවර්ධන පනත යටතේ දැන් කැසිනෝ එනවා සංවර්ධන උපාය මාර්ගයේ කොටසක් හැටියට කැසිනෝ ව්‍යාපාරය පත් කරනවා ගම්වලත් ඉන්නවා ඔහොම ආදායම් ගන්න අය ගම්වල බූරු ගහන අයත් ඉන්නවා. බූරු ගස්සන අයත් ඉන්නවා බූරු ගස්සන කෙනාට හම්බ වෙනවා තෝං එතකොට බූරු ගස්සලා තෝං ගන්නවා වගේ දැන් කැසිනෝ ගස්සලා ආදායම් ගන්න හදනවා තෝං මුදලිලා ටිකක් ද මේ ආණ්ඩුව . කැසිනෝවලින් තෝං අරන් ආණ්ඩුවක් කරන තැනට මේ රට පත් කරලා තියෙනවා. කැසිනෝ කියන්නේ සූදුවක් විතරක් නෙවෙයි. සංචාරක ව්‍යාපාරය රඳා පවතින්නේ විනෝදාස්වාදය මත, විනෝදාස්වාදය රඳා පවතින්නේ සූදුව, ගණිකාව සහ මත්ද්‍රව්‍ය මත කැසිනෝ ශාලාව ඒකට එන්නේ, ඒකේ සූදුව තියෙනවා, මත්ද්‍රව්‍ය ඇමතිවරු ගෙනත් දෙනවා. සූදුවත් තමුන්නාන්සේලාගේ මත්ද්‍රව්‍යත් තමුන්නාන්සේලාගේ හැබැයි තව රස්සාවක් හැදෙනවා. ඒ ගණිකා වෘත්තිය, ඒකට තමුන්නාන්සෙලාගේ දරුවො දෙන්නේ නෑ” – අනුර කුමාර මහතා
එම ප්‍රකාශයන් තුළ කියවෙන්නේ, ජනාධිපති සහ විජිත හේරත් මහතා නව කැසිනෝ ශාලා විවෘත කිරීම සහ කැසිනෝ ශාලා ව්‍යාප්ත කිරීමට මීට පෙර අවස්ථාවන් වල විරුද්ධ වූ බවයි.
ෆේස්බුක් ඔස්සෙ බහුලව සංසරණය වී ඇති මෙම වීඩියොවේ පරිශීලකයින් යොමු කර තිබූ අදහස් දෙස බැලීමේදී කැසිනෝ රට තුළ ව්‍යාප්ත කිරීම සඳහා වත්මන් රජය ක්‍රියාකරන බවට වන මතය නිර්මාණය වෙමින් පවතින බවක් ද දැකගත හැකි වුණා.
ඒ අනුව සත්‍ය ලෙසම කැසිනෝ උපකරණ තහනම ඉවත් කළ බව කියන යන සටහන්වල නිර්වද්‍යතාව හා එහි ඇතුළාන්තය කුමක් ද යන්න පිළිබඳව අප කරණු විමසා බැලිමක් සිදු කළා.
Explainer (කරුණු පැහැදිලි කිරීම)
ඒ අනුව කැසිනෝ උපකරණ තහනම ඉවත් කළ බවට වන පුවතක් අරුණ පුවත්පතේ පළ වී ඇත්දැයි අප සොයා බැලුවා. ඒ අනුව පසුගිය 21 වනදා “කැසිනෝ උපකරණ තහනම ඉවතට” යන ශීර්ෂය යටතේ එවැනි පුවතක් වාර්තා කර තිබෙනු දැකගත හැකි වුණා. එහි වැඩිදුරටත් සඳහන් වුණේ, දැනට ලියාපදිංචිය ලබා ඇති ආයතනවලට සංචාරක ප්‍රවර්ධනය සඳහා ඉවහල්වන කැසිනෝ ක්‍රීඩා උපකරණ සහ සංචාරකයන් සඳහා පහසුකම් සපයන ස්ථානවලට අදාළව එම ක්‍රීඩා උපකරණ ආනයනය සඳහා පැවැති තහනම රජය විසින් ඉවත්කර ඇති බවයි. එසේ නොමැතිව නව කැසිනෝ ශාලා සඳහා අවසර දීමක් පිළිබඳව හෝ ඊට අදාළ වෙනත් කිසිවක් මෙහි සඳහන්ව නොමැත.
නියාමනය යටතේ එච්.එස්. කාණ්ඩ කීපයක් යටතේ මෙම උපකරණ ආනයනය සඳහා අවස්ථාව සලසාදී ඇතැයි රජය පවසන බවත් ආර්ථික අපහසුතා හේතුවෙන් 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත යටතේ පසුගිය කාලයේදී මෙම ක්‍රීඩා උපකරණ ගෙන්වීම තහනම් කර තිබූ බවත් එහි වැඩිදුරටත් සඳහන්ව තිබුණා.
ඒ අනුව තවත් පිළිගත් මාධ්‍ය විසින් ද කැසිනෝ උපකරණ තහනම ඉවත් කළ බවට වන පුවත වාර්තා කර තිබේදැයි අප සොයා බැලුවා. ඒ අනුව පිළිගත් මාධ්‍ය කිහිපයක් මෙකී පුවත වාර්තා කර තිබෙනු අපට නිරීක්ෂණය වුණා. Facebook
කැසිනෝ උපකරණ තහනම ඉවත් කිරීමේ පුවත තවත් මාධ්‍ය වාර්තා කර තිබූ අයුරු මෙතැනින් සහ මෙතැනින්.
කෙසේ වෙතත් මෙම කිසිදු වාර්තාවක නව කැසිනෝ ශාලා විවෘත කිරීම සඳහා අවසර දීමක් හෝ රජය විසින් කැසිනෝ ශාලා පහසුකම් සැලසීම සඳහා අලුත් තීන්දු තීරණ ගැනීමක් බවට කිසිදු මාධ්‍ය වාර්තාවක සඳහන් නොවූ අතර එහි සඳහන්ව ඇත්තේ, පැවති තහනමක් ඉවත් කිරීමක් පමණක් සිදු කර ඇති බවයි.
අනුර කුමාර දිසානායක සහ විජිත හේරත් පළ කර තිබූ ප්‍රකාශ
ඉහත වීඩියෝව සඳහා ඇතුළත් කර තිබූ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කැසිනෝ සම්බන්ධයෙන් මීට ඉහතදී සිදුකළ බව කියන ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව පිළිබඳ සිදු පරීක්ෂාවේදී තහවුරු වුණේ, 2014 අප්‍රේල් 28 වනදා අනුර කුමාර දිසානායක මහතා කැසිනෝ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සිදු කළ දීර්ඝ ප්‍රකාශයකින් කොටසක් ඉහත වීඩියෝව සකස් කිරීමේදී යොදා ගෙන ඇති බවයි. අදාළ වීඩියෝව මෙතැනින්
මේ අතර වත්මන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ද ඉහත වීඩියෝවේ සඳහන් පරිදි ප්‍රකාශයක් සිදු කර තිබේ දැයි අප සොයා බැලුවා. ඒ අනුව අනාවරණය වූයේ, 2024 ජුනි 19 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයක් මෙම වීඩියෝව සඳහා යොදා ගෙන ඇති බවයි. කෙටි කාලයක් තුළ නව කැසිනෝ ශාලා විවෘත කිරීමට එරෙහිව එදා විජිත හේරත් මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයක් මෙම වීඩියෝව සඳහා යොදා ගෙන ඇති බවයි. අදාළ වීඩියෝව මෙතැනින්
ඉහත වීඩියෝ දෙකේහිම අන්තර්ගතයන් පරීක්ෂා කිරීමේදී පැහැදිලි වන්නේ, එදා මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා නව කැසිනෝ ශාලා විවෘත කිරීම සහ කැසිනෝ ශාලා ව්‍යාප්ත කිරීම සඳහා එවක රජයන් ගෙන යන වැඩපිළිවෙළවලට එරෙහිව අදහස් පළ කර ඇති බවයි.
කැසිනෝ මැෂින් ආනයනය තහනම ඉවත් කරන්න COPF අනුමැතිය
පසුගිය 17 වැනිදා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී ලියාපදිංචි බලපත්‍රලාභී කැසිනෝ ව්‍යාපාරිකයින්ට සහ අනෙකුත් සංචාරක ස්ථාන සඳහා ගේම් මැෂින්ස් ආනයනයට පනවා තිබූ තිබූ තහනම ඉවත් කිරීම සඳහා අනුමැතිය හිමිවුණා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ, ඉදිරියේදී කැසිනෝ නියාමන පනතක් පැමිණීමට නියමිත බැවින් එම පනතත් මෙම තහනම ඉවත් කිරීමත් අතර ඝට්ටනයක් ඇති නොවිය යුතු බවයි. එහිදී කාරක සභාව අමතා ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා කියා සිටියේ, නිත්‍යනූකූලව බලපත්‍ර ලබාගෙන ඇති අයට මෙතෙක් තිබූ තහනම ඉවත් කිරීම පමණක් මෙහිදී සිදුවන බවයි. ඒ අනුව දැනට නිකුත් කර ඇති ගැසට් එකක් නිසා මේ විදිහට කරගෙන යාමට අවශ්‍ය ඉඩ පහසුකම් ලබාදී ඉදිරියේදී පැමිණීමට නියමිත පනත්වලට අනුව අවශ්‍ය සංශෝධන සිදු කරමු යැයි එහිදී ඔහු පැවසුවා.
කැසිනෝ මැෂින් තහනම ඉවත් කිරීම පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සම්පූර්ණ සාකච්ඡාව මෙතැනින්
කැසිනෝ මැෂින් ආනයන තහනම ඉවත් කිරීම ගැන රජයේ ප්‍රතිචාරය
කැසිනෝ මැෂින් ආනයන තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් අප කළ විමසිමකදී ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, කැසිනෝ මැෂින් ගෙන්වීම අත්හිටුවමින් පනවා තිබූ තහනම ඉවත් කිරීම මිස අලුතින් කැසිනෝ විවෘත කිරීම සඳහා කිසිදු ආකාරයේ අනුමැතිය ලබා දීමක් සිදු කර නොමැති බවයි.
මේ අතර මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටි ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවසුවේ, පැවති ආර්ථික අපහසුතා මත 2010 අංක 17 දරණ කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත යටතේ මේ දක්වා තහනම් කර තිබූ බවයි. දැනට ලියාපදිංචිය ලබාගෙන ඇති ආයතනවලට සංචාරක ප්‍රවර්ධනය සඳහා ඉවහල්වන කැසිනෝ ක්‍රීඩා උපකරණ හා සංචාරකයින් සඳහා පහසුකම් සපයන ස්ථානවල ඇති ක්‍රීඩා උපකරණ එච්.එස්. කෝඩ් කිහිපයක් යටතේ දැඩි නියාමනයකට යටත්ව ආනයන සඳහා අවස්ථාව ලබා දී ඇති බවයි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, දැනට අනුමැතිය ලබා ගෙන ක්‍රියාත්මක වන ආයතන සඳහා අවශ්‍ය අලුත්වැඩියා කිරීම්වලට අවශ්‍ය උපකරණ ගෙන්වීමට මෙතුළින් අවස්ථාව හිමිවන බවයි.
සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම
2025 අප්‍රේල් 21 වැනිදා රැස්වූ අමාත්‍ය මණ්ඩලයේදී සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබිණ. ඉන් නෞකාවන්හි හා කොළඹ වරාය නගරයේ අක්වෙරළ සූදු ක්‍රීඩා ක්‍රියාකාරකම් සහ මාර්ගගත සුදු ක්‍රීඩා ක්‍රියාකාරකම් ඇතුළුව ශ්‍රී ලංකාවේ සූදු ක්‍රීඩා කර්මාන්ත මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් පුළුල් හා පූර්ණ විෂය පථයක් සහිත ස්වාධීන තනි නියාමකවරයකු වශයෙන් ක්‍රියා කිරීම සඳහා සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට යෝජනා වී තිබේ.
2025.02.24 වැනිදා අමාත්‍ය මණ්ඩලය ලබා දී ඇති අනුමැතිය පරිදි සකස් කරනු ලැබූ පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇත.
ඒ අනුව සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධි විධාන සැලැස්වීමට අදාළ පනත් කෙටුම්පත
ඒ අනුව සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධි විධාන සැලැස්වීමට අදාළ පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් 23 වැනිදා ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධි විධාන සැලැස්වීම, තුරග තරග මත ඔට්ටු ඇල්ලීමේ ආඥා පනත, සූදු ආඥා පනත සහ කැසිනෝ ආඥා පනත ඉවත් කිරීම ඊට සම්බන්ධ හෝ අනුශාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස මෙම පනත් කෙටුම්පත සකස් කර තිබේ. අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමෙන් අනතුරුව සූදූ ක්‍රීඩා නියාමන අධිකාරි පනත යනුවෙන් හඳුන්වාදීමට නියමිතය.
සූදු ක්‍රීඩා ක්‍රියාකාරකම් නියාමනය කිරීම සහ පාලනය කිරීම, සූදු ක්‍රීඩාවලට අදාළ ආදායම් එකතු කිරීම සහතික කිරීම, සූදු ක්‍රීඩා පවත්වාගෙන යාමේදී ඒවායෙහි විනිවිදභාවය සහ යහපාලනය පිළිබඳව සහතික කිරීම, නියාමනය කරන ලද සූදු ක්‍රීඩා ක්‍රියාකාරකම් මෙහෙයුම් මගින් සංචාරක කටයුතු, රැකියා සහ ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම, සූදු ක්‍රීඩාවලට අදාළ නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්විම ඇතුළු යෝජනා රැසක් ක්‍රියාත්මක කිරීමට මෙම සුදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමේ අරමුණ වී තිබේ. ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ පනත් කෙටුම්පත මෙතැනින්
මේ අනුව පැහැදිලි වන්නේ, දැඩි අධීක්ෂණයක් යටතේ ලියාපදිංචි බලපත්‍රලාභී කැසිනෝ ව්‍යාපාරිකයින්ට සහ අනෙකුත් සංචාරක ස්ථාන සඳහා ගේම් මැෂින්ස් ආනයනයට පනවා තිබූ තහනම ඉවත් කිරීම සඳහා වූ අවසරයක් පමණක් බවයි. විශේෂයෙන්ම මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවසරය ලබා දීමේදී අවධාරණයෙන් යුතුව සඳහන් කළේ දැඩි අධීක්ෂණයක් යටතේ සහ ආනයනය කරන උපකරණ සහ ආනයනය කරන පුද්ගලයින් පිළිබඳව වාර්තා තබා ගත යුතු බවයි. එසේ නොමැතිව මුදල් කාරක සභාවේ අනුමැතිය , නව කැසිනෝ ශාලා විවෘත කිරීමකට හෝ කැසිනෝ ප්‍රවර්ධනය සඳහා ගත් තීන්දුවක් නොවන බව පැහැදිලි වේ. තව ද දැනට කැබිනට් අනුමැතිය හිමිව ඇති සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමතව ඇත.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTokෙ
