මන්ත්‍රී මුජුබර් කොළඹ මහ නගර සභාවට කෝටි ගාණක ගෙවීම් පැහැර හැරලා ද? 

False Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

නිවැරදි සමාජ මාධ්‍ය භාවිතය වගේම කිසියම් පරිශීලකයෙකු තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමේ පළ කරන තොරතුරු සඳහා වන සිය වගවීම දැන් එන්න එන්නම සංවාදයට බඳුන් කළ යුුතු මාතෘකාවක් වී බවට පත්ව තිබෙනවා. ඒ සත්‍ය නොවන, නිවැරදිව තහවුරු කර නොගත් තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම තුළ සමාජමය වශයෙන් මෙන්ම පෞද්ගලිකව මෙන්ම සමාජීය වශයෙන්ද පුද්ගලයින්ට ඉන් අහිතකර බලපෑම් සිදුවන නිසාවෙනි. මේ එලෙස තොරතුරු නිවැරදිව තහවුරු කර ගැනීමකින් තොරව පළ කළ සටහනක් පිළිබඳව සිදු කළ විමසා බැලීමක්.  

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

පසුගිය ජුනි 19 වැනිදා පළ කර තිබූ මෙම පහත සටහනේ දැක්වෙන්නේ, කොළඹ රථ ගාල්වලින් මුජුබර්ගේගේ Sadid Enterprise නගර සභාවට රු. එක්කෝටි හතළිස් ලක්ෂයක් නොගෙවා පැහැර හැර ඇති බවයි. 

මෙම සටහන පෝද්දල ජයන්ත නමැති සමාජ මාධ්‍ය පරිශීලකයා සිය ෆේස්බුක් යන සටහන පළ කර පැයකට පමණ මෙලෙස මොහු විසින් ‘’ඒක තමයි නාහෙන් ඇඬුවේ’ මෙච්චර දවසක් යනුවෙන් සඳහන් කරමින් තම ෆේස්බුක් ගිණුමේ පළ කරගෙන ඇති ආකාරයක් දක්නට ලැබේ.   

Archived Link

ඉහත සමාජ මාධ්‍ය සටහන තවදුරටත් ෆේස්බුක් ඔස්සේ හුවමාරුවී තිබුණේ මෙලෙසයි. 

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයා නම සම්බනධ කරගනිමින් හුවමාරුවන මෙම සටහන සම්බන්ධව සමාජ මාධ්‍යෙය් විවිධ අදහස් පළ වීම තුළ  එහි නිරවද්‍යතාව සොයා කරුණු විමසීමට අප තීරණය කළා. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

අපගේ කරණු විමර්ශනයේදී මුලින්ම අවධානය යොමු කරනු ලැබුවේ, සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන පරිදි මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයා කොළඹ මහ නගර සභාවට ගෙවිය යුතුව තිබූ රු. එක්කෝටි තළිස් ලක්ෂයකට ආසන්න මුදලක් නොගෙවා පැහැර හැර ඇති බවට වන ප්‍රවෘත්තියක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කර තිබේ ද යන්නයි. කෙසේ වෙතත් පිළිගත් කිසිදු මාධ්‍යක් ඔස්සේ, මෑත කාලීනව එවැනි ප්‍රවෘත්තියක් පළ කර ඇති බව නිරීක්ෂණය නොවී ය.

ඒ අනුව අප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන මුලින්ම පළ කර තිබූ පෝද්දල ජයන්තගේ ෆේස්බුක් ගිණුම වෙත අවධානය යොමු කළේ ය. කෙසේ වෙතත් පසුගිය 19 වැනිදා පළ කර තිබූ අදාළ සටහන එම ගිණුමේ මේවනවිට  දැකගත නොහැක. 

තමන් පළ කරන ලද සටහන අසත්‍ය බව ත්, අදාළ සටහන ඉවත් කිරීමට කටයුතු කළ බවට වන විස්තරාත්මක සටහනක් පෝද්දල ජයන්තගේ පසුගිය 30 වැනිදා අදාළ ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණා. ඔහු එහිදී වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, තම ප්‍රවෘත්ති මූලාශ්‍රය පිළිබඳ යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති බවට නැවත පරීක්ෂාවේදී තහවුරු වූ බවයි.

පසුගිය 19 වැනිදා පෝදදල ජයන්ත විසින් පළ කළ සමාජ මාධ්‍ය සටහනේ ඇතුළත් තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ දේවේශසහගත බව ප්‍රකාශ කරමින් මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයා ඉන් සිදුවූ අපහාසයට රුපියල් කෝටි 05 ක අලාභයක් ගෙවන ලෙසට එන්නරවාසියක් පෝද්දල ජයන්තට යොමු කරමින් දන්වා තිබෙනවා.  

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන්ගේ ප්‍රතිචාරය 

පෝද්දල ජයන්ත පසුගිය 19 වැනිදා පළ කර තිබූ සටහන අසත්‍ය බවට එදිනම මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයා  විනාඩි 7ක පමණ සජීවි ප්‍රකාශයක් සිය ෆේස්බුක් ගිණුමේ පළ කරමින් සඳහන් කර තිබුණා.  

එවැනි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු කිසිදු සාක්ෂියක් නොමැතිව, කරුණු තහවුරු කර ගැනීමකින් තොරව තමා සම්බන්ධව එවැනි සටහනක් පළ කිරීම සම්බන්ධව දැඩි ලෙස කනගාටු වන බව එහි සඳහන් වුණා. 

ඔහු එමගින් වැඩිදුරටත් පවසා තිබුණේ, මෙම සටහනේ ඇති කරුණුවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් කොළඹ මහ නගර සභාව සමග තමා හෝ තමාගේ සහෝදරයෙක්, ඥාතියෙක් හෝ කිසිදු වෙළඳ ගනුදෙනුවක් සිදු කර නොමැති බවත් , සිදු නොකරන බවයි.  

 

මේ අතර කොළඹ මහ නගර සභාවට ගෙවීම් පැහැර ඇති බවට වන මෙම සමාජ මාධ්‍ය සටහන සම්බන්ධයෙන් තවදුරටත් කරුණු තහවුරු කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා අප දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත්තා. 

මන්ත්‍රීවරයා අවධාරණයෙන් යුතුව කියා සිටියේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන එම සටහනේ අඩංගු කරුණුවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි. තමා හෝ තම පවුලේ කිසිවෙකුට මහ නගරසභාව සමග කිසිදු ව්‍යාපාරික ගනුදෙනුවක් නොමැති බව ද ඔහු පැවසුවා. ඔහු වැඩිදුරටත් මෙලෙස කියා සිටියා.

“මාත් එකක් කිසිම සම්බන්ධයක් නැති ආයතනයක්. මම නගර සභාවත් එක්ක ව්‍යාපාර කරලා එහෙම නොගෙවා ඉන්නවා නම්, ජේවිපි මන්ත්‍රීවරු නික් ඉදීවිද?  පෝද්දල ඇමරිකාවේ ඉදන් කියන්න ඕනද මම සල්ලි දෙන්න තියෙනවා කියලා, ජේවිපී ආණ්ඩුවක් තියෙන්නේ මෙච්චර කල් මේ තොරතුර එළියට නොදා ඉදීවිද?  මම එහෙම කෝටි ගාණක් නගර සභාවට ව්‍යාපාර කරලා පොලු තියලා තියෙනවා නම්, ජනාධිපතිතුමා මම නිකං අතාරීවි ද? “

මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, මීට වසරකට පමණ පෙර මහ නගර සභාව සමග ගනුදෙනු කර ගෙවීම් පැහැර හැර ඇති බව කියමින් පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් සහිත කොලයක් බෙදා හැර තිබූ බවයි. එම නම් ලැයිස්තුවේ මෙම සමාජ මාධ්‍ය සටහනට පාදක වී ඇති Sadid Enterprise යන ආයතනයේ අයිතිකරු ලෙස තමාගේ නම සඳහන් කර තිබූ බව ද ඔහු පැවසුවා.  එය තමා අතට ද පත්වූ බවත් පසුව මහ නගර සභාවට ගොස් තමා ඊට අදාළ අංශයේ ප්‍රධානියාගෙන් මේ පිළිබඳව විමසූ  බව ඔහු සඳහන් කළා. 

“මගේ අතට ආවම මම නගර සභාවට ගිහින් ඒ අංශය භාර අධ්‍යක්ෂකගෙන් ඇහුවා මොකක් ද මේ කොලේ කියලා මේක කැලෑ පත්තරයක් නේ අපේ ලේඛනයක් නෙවෙයි කිව්වා අපේ නම් දාලා තියෙනවා නේ ඒක හරි වැරදියි නේද කියලා මම ඇහුවා. ඒක අපි ගහපු ලේඛනක් නොවෙයි කිව්වා. මං හිතන්නෙ ඒ කොලේ තමයි මෙයාගේ අතට කවුරු හරි යවන්න ඇත්තේ, මම දන්නේ නෑ එහෙම ආයතනයක් නගර සභාව එකක් ව්‍යාපාර කරනවා ද නැද්ද කියලා වත් ” 

තව ද මන්ත්‍රීවරයා කියා සිටියේ, සමාජ මාධ්‍ය සටහන පළ කළ මුල් ප්‍රකාශකයා මේ සම්බන්ධව ප්‍රසිද්ධියේ කනගාටුව පළ කර ඇති බැවින් එන්තරවාසිය ඉදිරියට ගෙන යනවාද? නැද්ද යන්න පිළිබඳව තීරණයක් ගන්නා බවයි. 

තව ද මන්ත්‍රීවරයා මෙලෙස ද ප්‍රකාශ කළා. 

“කරපු නැති දෙයක් ගැන චෝදනා කළාම ඒවා ළමයින්ටත් බලපානවා . පිරිසිදුව දේශපාලනය කරද්දි සෙයා නොබලා පළ කිරීමෙන් ළමයින් පවා වින්දිතයින් බවට පත්වෙනවා. ” 

කෙසේ වෙතත් මෙම සටහන තවදුරටත් හුවමාරු කර ගන්නා සහ හුවමාරු කරගෙන තිබෙන පිරිසට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බව ද මන්ත්‍රීවරයා කියා සිටියා. 

මුල් ප්‍රකාශකයා මෙම සමාජ මාධ්‍ය සටහන සිය ගිණුමෙන් ඉවත් කර නිවැරදි කිරීමක් පළ කර තිබුණ ද  ඉවත් කර ගැනීමට පෙර ඔහුගේ ගිණුමෙන් හුවමාරු කර ගත් සටහන තවදුරටත් සමාජ මාධ්‍ය ඔස්‌සේ සංසරණය වෙමින් පවතී.

කොළඹ මහනගර සභාවේ ප්‍රතිචාරය 

මේ සම්බන්ධයෙන් තවදුරටත් කරණු තහවුරු කර ගැනීමේ අවශ්‍යතාව මත අප කොළඹ මහ නගර සභාවෙන් ද මේ පිළිබඳ විමසීමක් සිදු කළේ ය. ඒ අනුව මහ නගරසභාවේ දත්තවලට අනුව Sadid Enterprise නමින් ආයතනයක් තිබූ බව සහ එය ගෙවීම් පැහැර හැර ඇති ආයතනයක් බවත් අදාළ අංශය භාර නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කියා සිටියේ ය. 

අදාළ ආයතනයට එරෙහිව මේ වනවිට නීතිය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද ඔහු ප්‍රකාශ කළා. එහෙත් මහ නගර සභාවේ දත්තවලට අනුව එහි හිමිකරු ලෙස සඳහන් වන්නේ,  මුජුබර් රහුමාන් නොවන  බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය. 

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Avatar

Title:මන්ත්‍රී මුජුබර් කොළඹ මහ නගර සභාවට කෝටි ගාණක ගෙවීම් පැහැර හැරලා ද?

Fact Check By: Fact Crescendo Team 

Result: False


Leave a Reply