දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
හිටපු ජනපති හිමිකම් අහෝසි කිරීමේ පනත මෑතක දී සම්මත වූ පසුබිමක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගෙවනු ලබන විශ්‍රාම වැටුපත් අහෝසි වූ බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පෙළක් හුවමාරු වී තිබුණා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ වරප්‍රසාද යටතේ ගෙවනු ලබන මන්ත්‍රී විශ්‍රාම වැටූප, අතීතයට බලාපාන පරිදි අහෝසි කළ බවට සඳහන් කළ සටහන් හුවමාරු වූ අන්දම අපට මේ ආකාරයට දැක ගන්නට ලැබුණා.

Explainer (කරුණු පැහැදිලි කිරීම)
මේ පිළිබඳව නවතම පුවත් පරික්ෂා කිරීමේ දී අපට දැක ගන්නට ලැබුනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධව පනත් කෙටුම්පත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව අධිකරණ අමාත්‍යාංශය විසින් වාර්තාකර ඇති බවයි. එසේම නීතිපතිවරයා විසින් නිෂ්කාශනය ලබාදුන් පසු පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත්, පනත් කෙටුම්පත ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවට අධිකරණ අමාත්‍යාංශය විසින් ප්‍රකාශ කර ඇත.
මේ අනුව මෙතෙක් මන්ත්‍රී වැටුප් අහෝසි කිරීමේ පනත පාර්ලමේන්තුවට ඉදිරිපත් කර හෝ සම්මත වී නොමැති බව පෙනී යන අතර මේ පිළිබඳව වැඩිදුර කරුණු ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ, ව්‍යවස්ථාදායක සේවා /අධ්‍යක්ෂ සන්නිවේදන වැඩ බලන එම්. ජයලත් පෙරේරා මහතාව සම්බන්ධ කර ගත්තා.
පාර්ලිමේන්තු වැඩ බලන අධ්‍යක්ෂ (සන්නිවේදන)
ජයලත් මහතා පැහැදිලි කර සිටියේය, හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් යම් ප්‍රමාණයකින් කප්පාදු කිරීම පසුගිය දා පනත සම්මත වුවද, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම අහෝසි කිරීමක් මෙතෙක් සිදු නොකර ඇති බවත්, ඒ හා සම්බන්ධ පනතක් ද මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවයි.
ඒ අනුව, මේ සම්බන්ධව මූලිකව වශයෙන් යම්කිසි ක්‍රියාකාරකමක් සිදු වෙනවාද යන්න පිළිබඳව නියමානුකූලව ප්‍රකාශ කළ නොහැකි බවත්, අනාගතයේදී එවැනි ක්‍රියාකාරකමක් සිදුකිරීමට හැකියාවක් පවතින බවත්, එය පුළුල් වූ ක්‍රියාවලියක් බවත් එතුමා විසින් ප්‍රකාශ කළ අතර කෙසේ වෙතත් අවසාන වශයෙන් පාර්ලිමේන්තුව තුළට මෙවැනි ආකාරයේ පනතක් ගෙනවිත් සම්මත කර නොමැති බව පැහැදිලි කර සිටියා.
මන්ත්‍රී විශ්‍රාම වැටුප් සංශෝධනය පිලිබඳ ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රතිපත්තිය සහ මේ දක්වා ක්‍රියාදාමය
වත්මන් රජයේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයේ වසර පහක සේවා කාලයකින් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිවන විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳව (පිටුව 194) පැහැදිලිව සඳහන් වන අතර මෙය පසුගිය මැතිවරණ වේදිකාවල දී ද කතාබහට ලක් වූ කරුණක් වුණා.
අමාත්‍ය මණ්ඩලය විසින් හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශේෂ වරප්‍රසාද සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සඳහා වන පනත් කෙටුම්පත් අදාළව කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කර ඇති බවට 2025/06/17 දින පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ සාකච්ඡාවේදී නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුනේ මෙලෙසින්.
එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපද අහෝසි කිරීමට මේ දිනවල නීති සම්පාදනය කරගෙන යන බව පවසමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කර තිබුනේ මෙම නීති අතීතයටද බලපාන පරිදි ක්‍රියාත්මක කරන බවයි. ඔහු එම අදහස් පසුගිය සැප්තැම්බර් 14 වනදා පවසා තිබු අතර එම පුවත යොදා ගනිමින්, සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කිරීමේ දී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම මේ වන විටත් සිදුවී අවසාන ලෙස පුවත් සිරස්තලය පමණක් යොදා ගනිමින් වාර්තා කිරීම හේතුවෙන් ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයින් නොමඟ ගොස් ඇති බව දැක ගන්නට ලැබුණා.
ඒ අනුව සැප්තැම්බර් 17 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධව පනත් කෙටුම්පත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව අධිකරණ අමාත්‍යාංශය විසින් වාර්තාකර තිබුණි. මෙම පනත් කෙටුම්පත මගින් අනාගතයේදී තේරී පත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද විශ්‍රාම වැටුප් හිමි නොවන ආකාරයට නීති සංශෝධනය කිරීමට යෝජනා කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධව විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස්
පාර්ලිමේන්තු මන්ත්‍රීන් දයාසිරි ජයසේකර විසින් රටේ ගෞරවයක් දිනා ගත්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ අහිංසක මිනිස්සුන්ව අද විනාශකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බවත් විශ්‍රාම වැටුප් අහෝසි කිරීම තුළින් අහෝසි කිරීම තුළින් ම මන්ත්‍රීවරුන්ගේ අනාගත ක්‍රියාකාරකම් සඳහා ඒවා බලපාන බවටත් ඔවුන්ගේ ජීවිතය ගත කිරීමට එය බොහෝ සෙයින් ගැටලු සහගත තත්ත්වයක් ඇතිවන බවට අදහස් දක්වා ඇත.මෙතනින්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ විසින් සඳහන් කර ඇත්තේ විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රී එකමුතුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය දැනටමත් තීරණයක් ගෙන ඇති ඇති බවත් ඒ සඳහා ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවට සහ අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කිරීමට කටයුතු කරන බව මීට පෙරදී දක්වා ඇත. මෙතනින්.
එසේම මේ වන විට විශ්‍රාමික මන්ත්‍රීන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් 490ක් පමණ මෙම විශ්‍රාම වැටුප් ප්‍රතිලාභය ලබන බවත්, එම බහුතරය අදාළ වැටුපෙන්ම ජීවත් වන සෑහෙන දිළිඳු තැනැත්තන් බව පැවසූ හිටපු කතානායක කරු ජයසූරිය මහතා ද රජයෙන් මේ පිළිබඳව නැවත සලකා බලන ලෙස පසුගිය මාසයේ දී ඉල්ලීමක් සිදුකරමින් පවසා සිටියේ
මහජන නියෝජිතයන් ලෙස පත්වන තැනැත්තන් සියල්ලන්ම සොරුන් හෝ වංචනිකයන් නොවන බවත් විශ්‍රාමික මහජන මන්ත්‍රීන්ට විශ්‍රාම වැටුප් ගෙවීම ඉන්දියාව, ඇමෙරිකාව ආදී ඇතැම් රටවල ද සිදුවන බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් සම්බන්ධ පනත
කෙසේවෙතත් රජය විසින් මෙසේ සංශෝධනය කිරීමට අදහස් කර තිබෙන්නේ ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනතයි. මෙය ද ඉන්පසුව වාර කිහිපයක දී සංශෝධන කිහිපයකට ලක් වී තිබෙනවා.
මෙම පනත සංශෝධනයට ප්‍රධාන හේතුව වන්නේ දැනට පනත ප්‍රකාරව වසර 5 ක් මන්ත්‍රීවරයෙකුව සිටියේ නම් (ලැබූ මන්ත්‍රී වැටුපෙන් තුනෙන් එකක්) හෝ අවුරුදු 15 ක් සිටියේනම් (වැටුපෙන් තුනෙන් දෙකක්) විශ්‍රාම වැටුප් ලෙස හිමිවීමත් ඔවුන්ගේ වැන්දඹුවන්ට සහ දරුවන්ට ද විශ්‍රාම වැටුප් ලැබීමයි. නමුත් මෙවැනි වරප්‍රසාදයක් රජයේ සේවකයින්ට හිමි වන්නේ නැති පසුබිමක මෙම පනත් සංශෝධනයේ අවශ්‍යතාව රජයේ පාර්ශව ඉස්මතු කර තිබුණි.
අවසන් වරට 1990 දී සංශෝධනය කරන ලද දැනට බලපැවැත්වෙන පනතේ දක්වා ඇති ප්‍රධාන කරුණු කිහිපයක් පහත ලෙස දැක්විය හැකියි.
- දීර්ඝ නාමය සංශෝධනය කිරීම: මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් සඳහා වූ විශ්‍රාම වැටුප් ක්‍රමය, මන්ත්‍රීවරුන්, ඔවුන්ගේ වැන්දඹුවන් සහ දරුවන් සඳහාද විශ්‍රාම වැටුප් ක්‍රමයක් බවට සංශෝධනය වී තිබේ.
- විශ්‍රාම වැටුප් ගෙවීම්:
- අවුරුදු 5ක සේවා කාලය: අවම වශයෙන් වසර පහක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සේවය කළ පුද්ගලයෙකුට, ඔහු දැරූ ඉහළම තනතුරේ මූලික වැටුපෙන් තුනෙන් එකක මාසික විශ්‍රාම වැටුපක් හිමි වේ.
- අවුරුදු 15 හෝ ඊට වැඩි සේවා කාලය: වසර පහළොවක් හෝ ඊට වැඩි කාලයක් සේවය කළ අයෙකුට මූලික වැටුපෙන් උපරිම තුනෙන් දෙකක විශ්‍රාම වැටුපක් හිමි වේ.
- අවුරුදු 5ත් 15ත් අතර සේවා කාලය: වසර පහකට වැඩි නමුත් පහළොවකට අඩු කාලයක් සේවය කර ඇත්නම්, මුදල් අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව කථානායකවරයා විසින් සකස් කරන ලද ගෙවීම් සටහනකට අනුව සමානුපාතික මාසික විශ්‍රාම වැටුපක් හිමි වේ.
- වැන්දඹුවන් සහ දරුවන් සඳහා විශ්‍රාම වැටුප්:
- විශ්‍රාම වැටුප් හිමිකම් ඇති මන්ත්‍රීවරයකු මිය ගිය විට, ඔහුගේ විශ්‍රාම වැටුපට සමාන මුදලක් ඔහුගේ වැන්දඹුවට හෝ දරුවන්ට ගෙවිය යුතුය.
- මියගිය මන්ත්‍රීවරයකුට එක් දරුවෙකු පමණක් සිටී නම්, සම්පූර්ණ විශ්‍රාම වැටුපම එම දරුවාට ගෙවිය යුතු අතර, දරුවන් එකකට වඩා සිටී නම්, විශ්‍රාම වැටුප ඔවුන් අතර සමාන කොටස්වලට බෙදා දිය යුතුය.
- වැන්දඹුවගේ විශ්‍රාම වැටුප ඇය මිය ගිය විට හෝ නැවත විවාහ වූ විට අවසන් වේ.
- දරුවෙකුට හිමි විශ්‍රාම වැටුප, ඔහු වයස අවුරුදු 21 සම්පූර්ණ වූ විට හෝ විවාහ වූ විට අවසන් වේ.
- ශාරීරික හෝ මානසික දුබලතාවයක් හේතුවෙන් ජීවත්වීමට නොහැකි දරුවෙකුට, වෛද්‍ය මණ්ඩලයක් විසින් එය තහවුරු කළහොත්, ඔහුගේ ජීවිත කාලය පුරාම විශ්‍රාම වැටුප හිමි වේ.
- නීත්‍යානුකූලව දරුකමට හදාගත් දරුවෙකුද මෙම පනතේ සියලු කටයුතු සඳහා මන්ත්‍රීවරයකුගේ දරුවෙකු ලෙස සලකනු ලැබේ.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය):
ඒ අනුව අප විසින් මේ සම්බන්ධව සිදුකරනු ලැබූ විමර්ශනයකින් අනතුරුව අප ලබා ගත් තොරතුරුවලින් පැහැදිලි වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අදාලව විශ්‍රාම වැටුප මේ වනතෙක් අහෝසි කර නොමැති බවයි.
ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙන අතර මේ සඳහා වූ පනත් කෙටුම්පත මේ වනවිට නීතිපතිවරයාට ඉදිරිපත් කිරීම සිදුකර තිබේ. මීට පෙර ජනපති වරප්‍රසාද කප්පාදුව පිළිබඳව පනත් කෙටුම්පත සම්බන්ධව සිදුවූ ක්‍රියාවලිය ලෙස, අනාගතයේ දී නීතිපතිවරයා විසින් නිෂ්කාශනය කොට අදාළ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර , පාර්ලිමේන්තුවේ දී සම්මත වීමක් සිදුවීමකින් පසුවයි අදාළ පනත ක්‍රීයාත්මක විය හැක්කේ.
ඒ අනුව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප මේ දක්වා අහෝසි කර නොමැත.

Title:පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරලද?
Fact Check By: LakshanResult: Insight
