Update 09/21/25:
දුනිත් වෙල්ලාලගේ පියාගේ මෘත දේහයේ සත්‍ය ඡායාරූපය පහතින්.

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පියා ඇති වූ හදිසි හෘදයාබාධ තත්ත්වයකින් ජීවිතක්ෂයට පත් වී තිබුණා. ඔහුගේ මෘත දේහයේ ඡායාරූපයක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපය ඔහුගේ ඡායාරූපයක් නොවන බවට අප කළ කරුණු පරීක්ෂාවේදී තහුවරු වුණා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පියාගේ මෘත දේහය බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් සංසරණය වී තිබුණේ මේ අයුරින්.

මෙම ඡායාරූපය දුනිත් වෙල්ලාගේ පියාගේ ඡායාරූපයක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.
|
|
|
|
Instagram ඔස්සේ ද ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ දුනිත් වෙල්ලාලගේ පියා බව දක්වමින් සටහන් හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

මෙම ඡායාරූප සටහන් වල දැක්වෙන ලෙස සත්‍ය වශයෙන් ම සිටින්නේ දුනිත් වෙල්ලාලගේ පියාද යන්න පිළිබඳ අප කරුණු පරීක්ෂාවක් කිරීමට පියවර ගනු ලැබුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා සහ ඇෆ්ගනිස්තානය අතර ඊයේ (18) රාත්‍රියේ පැවති ක්‍රිකට් තරගය අවසනදී ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරු විසින් ක්‍රිකට් කණ්ඩායම් නවක ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට සිය පියාගේ හදිසි අභාවය පිළිබඳ දැනුම් දී තිබුණා. ඒ අවස්ථාවේ ලබා ගත් වීඩියෝවක් පහතින්.
දුනිත් වෙල්ලාලගේ පියා වන සුරංග වෙල්ලාලගේ මහතා ඊයේ රාත්‍රියේ හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත්ව තිබුණා.
කෙසේවුවත්, මොහුගේ මෘත දේහය බවට අද(19) උදෑසන සිට සමාජ මාධ්‍ය ඔස්සේ ඉහත ඡායාරූප පළ වී තිබුණත්, මීට සුළු මොහොතකට පෙරයි පානදුර මූලික රෝහලෙන් සුරංග වෙල්ලාලගේ මහතාගේ මෘත ශරීරය රෝහලෙන් භාර දී තිබුණේ. එම අවස්ථාව ප්‍රධාන මාධ්‍ය ධාරා ද, වාර්තා කර තිබුණේ මෙලෙසින්.
එමෙන් ම සුරංග වෙල්ලාලගේ මහතාගේ පාසල් මිතුරන් මෙන් ම පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙකුගෙන් ද, අප මේ පිළිබඳව විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ ද, සුරංග මහතාගේ දේහය මෙතෙක් නිවසට රැගෙන ඇවිත් නැති බවයි.
එමෙන් ම ඔහුගේ දේහය. සැප්තැම්බර් 20 වන දින (සෙනසුරාදා) පෙ.ව. 9.00 සිට ප.ව. 9.00 දක්වා සහ සැප්තැම්බර් 21 වන දින (ඉරිදා) පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා අවසන් ගෞරවය සඳහා ගල්කිස්ස මහින්ද ශාලාවේ තැන්පත් කර ඇති බව ත්, පස්වරු 3.30 ට ඔහුගේ පාසල වන මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය විද්‍යාල පරිශ්‍රයට ගෙන යනු බව ත්, පස්වරු 4.00 ට ආදාහන කටයුතු රාවතාවත්ත පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව ත් වැඩිදුරටත් පැවසුවා.
වයිරල් වූ ඡායාරූපයේ දැක්වෙන්නේ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වෙනත් පුද්ගලයෙක්
මේ අතර ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සුරංග වෙල්ලාලගේ මහතාගේ බවට දක්වා තිබූ මෘත දේහයේ ඡායාරූපය පිළිබඳ අප පරීක්ෂා කළ අතර එය වෙනත් පුද්ගලයෙකුගේ ඡායාරූපයක් බවට දැක ගන්නට ලැබුණි.

ඒ ඔස්සේ අප තවදුරටත් කළ පරීක්ෂාවේදී ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ, ඊයේ අලුයම (18) උඩවලව, තණමල්විල මාර්ගයේ 19 කණුව අසලදී ලොරි රථයක් හැප්පීමෙන් ජීවිතක්ෂයට පත් වී තිබූ සෙවනගල පදිංචි 34 හැවිරිදි චින්තක ජයලත් නමැත්ති පුද්ගලයෙකුගේ බව ඔහුගේ ඥාතීන් හරහා අප තහවුරු කර ගන්නා ලදී.

එමෙන් ම එම අනතුර සම්බන්ධයෙන් ඒ පුවතක් ද වාර්තා වී තිබුණේ මෙලෙසින්.
ඒ අනුව පැහැදිලි වන්නේ, දුනිත් වෙල්ලාලගේ පියාගේ යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපය වෙනත් පුද්ගලයෙකුගේ බවයි.
සුරංග වෙල්ලාලගේ මහතාගේ මරණය
මේ සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ පහත පරිදිය.
ශ්‍රී ලංකා සහ ඇෆ්ගනිස්තානය අතර ඊයේ (18) රාත්‍රි පැවති ක්‍රිකට් තරගය රූපවාහිනියෙන් නරඹමින් සිටියදී වතුර වීදුරුවක් පානය කිරීමට නැගිට යාමේදී හදිසියේ පපුව අල්ලාගෙන දන ගසාගෙන බිම වාඩිවී ඇති අතර, බිරිඳ සහ දුනිත් වෙල්ලාලගේගේ සොහොයුරා විසින් පානදුර මූලික රෝහලට රැගෙන විත් තිබුණි .
පානදුර රෝහලට ඇතුලත් කරන විටත් සුරංග වෙල්ලාලගේ මහතා මියගොස් සිට ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පවසා ඇති මාධ්‍ය වාර්තා කරනවා.
මෘතදේහය දේහය සම්න්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය සහ හදිසි මරණ පරීක්ෂණය පානදුර මූලික රෝහලේදී සිදුකර තිබේ.
මියගොස් ඇති සුරංග වෙල්ලාලගේ මහතාගේ ආදරනීය බිරිද හර්ෂනී කාංචනා වෙල්ලාලගේ මහත්මිය ගෙන් පොලිසිය සහ හදිසි මරණ පරීක්ෂකවරයා සාක්ෂි සටහන් කරගත් අතර සංචාරය අතරතුර පියාගේ වියෝවෙන් දුනිත් වෙල්ලාලගේ ද පරීක්ෂණ සිදුකරන ස්ථානයට පැමිණ තිබුණා.
මොරටුව මූලස්ථාන පොලිසියේ කොස්තාපල් ජේ කේ විජේසිංහ (97314) විසින් සාක්ෂි මෙහෙයවන ලදී. මේ සම්බන්ධයෙන් පළ වූ වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, දුනිත් වෙල්ලාලගේ පියාගේ මෘත දේහයේ ඡායාරූපයක් ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය ඔහුගේ නොව සෙවනගල පදිංචි 34 හැවිරිදි චින්තක ජයලත් නමැත්ති වෙනත් පුද්ගලයෙකුගේ බවයි.

Title:දුනිත් වෙල්ලාලගේ පියාගේ මෘත දේහයේ ඡායාරූපයක් නොවේ!
Fact Check By: Pavithra SandamaliResult: False
