ඊශ්‍රායලයට ආයුධ රැගත් ගුවන් යානා පියාසර කිරීම ප්‍රතික්ෂේප කළ ගුවන් නියමුවන් දෙදෙනකු අත්අඩංගුවට ගන්නා වීඩියෝවක් ද? 

Internatioanl Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ඊශ්‍රායල – ගාසා යුද්ධය අද ඊයේක ඇති වූවක් නොවන අතර මෙම ගැටුම් නිසා දරුවන් ඇතුළු විශාල පිරිසක් මේ වනවිටත් ජීවිතවලින් වන්දි ගෙවා අවසන් ය. ඊශ්‍රායල – ගාසා යුද ගැටුම් හා සම්බන්ධ විවිධ සිදුවීම්වලට අදාළ දර්ශන ද නිරන්තරව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයක් දැකගත හැකියි.  මේ එලෙස සමාජ මාධ්‍ය වේදිකාවේ හුවමාරු  දර්ශන පෙළක් පිළිබඳව සිදු කළ විමසා බැලීමක්. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

අමෙරිකානු පොලිස් නිලධාරීන් විසින් හමුදා නිල ඇඳුමෙන් සැරසුණු නිලධාරියෙකු, නිලධාරිනියක අත්අඩංගුවට ගෙන රැගෙන යන ආකාරය දැක්වෙන සහ පසුව තවත් කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන රැගෙන යන ආකාරය දැක්වෙන පහත වීඩියෝව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. විනාඩි 5ක පමණ කාලයක් දිවෙන මෙම දර්ශන පෙළ සමාජ මාධ්‍ය පරිශීලකයින්  හුවමාරු කර ගෙන ඇත්තේ,  ඊශ්‍රායලයට අවිආයුධ ප්‍රවාහනය කරන ගුවන් යානා පියාසර කරවීම ප්‍රතික්ෂේප කළ බව කියන ඇමරිකානු ගුවන් හමුදා නිලධාරියෙකු සහ නිලධාරිනියක පෙන්ටගනයට කැඳවා අත්අඩංගුවට ගත් බව කියමිනි.

දර්ශන පෙළට අනුව නිල ඇඳුමින් සැරසී සිටින නිලධාරියෙකු සහ නිලධාරිනියක පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් යම් ස්ථානයකින් බලහත්කාරයෙන් ඉවතට රැගෙන එන ආකාරයක් දැකගත හැකි අතර එහිදී එම නිලධාරිනිය ආවේගයෙන් යුතුව අදහස් ප්‍රකාශ කරන ආකාරයක්  ද අසන්නට ලැබේ.  පසුව ඔවුන් දෙදෙනාගේම දෑත්වලට මාංචු දමා ඉවතට රැගෙන යන අතර ඉන් පසුව තවත් කාන්තාවන් දෙනෙකු ද අත්අඩංගුවට ගෙන එම ස්ථානයෙන් ඉවතට රැගෙන යන අතර ඔවුන් කිසිදු නිල ඇඳුමකින් සැරසී සිටින ආකාරයක් නෙපෙන්වයි. ඔවුන් දෙදෙනා ද අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ආවේගයෙන් යුතුව  අදහස් ප්‍රකාශ කරන ආකාරයක් දැකගත හැකියි. 

මෙම වීඩියෝවේදී අත්අඩංගුවට පත්වන කාන්තාතවන් ඊශ්‍රායල – පලස්තීන යුද්ධයේදී පලස්තීන ජනතාවට  එරෙහිව සිදුවන විනාශය සම්බන්ධයෙන් අමෙරිකානු රජයට දෝෂාරෝපණය කරන අතර  ඊශ්‍රායලයට බෝම්බ සඳහා අරමුදල් ලබා දෙමින් දරුවන්, කාන්තාවන් සහ සමාන්‍ය ජනතාව මරා දැමීමට අමෙරිකානු කොංග්‍රසය සහ සෙනෙට් සභාව සම්බන්ධ වී ඇති  බව ද පවසයි. අමෙරිකාව ගැන ලැජ්ජා වන බවත් ඔවුන් පලස්තීනයේ ජන සංහාරයට සම්බන්ධ වී ඇති බවටත් ඔවුහු චෝදනා කරති. නිල ඇඳුමෙන් සැරසී සිටින කාන්තාව නැවත නැවතත් පවසන්නේ, බෝම්බ හෙළිම නැවැත්විය යුතු බවයි.   

අවසානයේදී අත්අඩංගුවට ගන්නා කාන්තාවන් දෙදෙනා ද අවධාරණය කරන්නේ, අමෙරිකාව පලස්තීනයට එරෙහි ජන සංහාරයේ හවුල්කරුවෙකු බවත් ජන සංහාරය නතර කළ යුතු බවටයි. 

Archived Link

ඊශ්‍රායලයට ගිනිඅවි රැගෙන යන ගුවන් යානයක් පියාසර කිරීම ප්‍රතික්ෂේප කිරීමේ චෝදනාව මත අමෙරිකානු හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇතැයි යනුවෙන් සඳහන් කරමින් මෙම දර්ශන පෙළ යූ ටියුබ් ඔස්සේ ද සංසරණය වී තිබුණේ මේ අයුරිනි.

මෙලෙස සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ලොව පුරා සංසරණය වන මෙම දර්ශන පෙළ සත්‍ය ලෙසම අවි රැගත් යානයක් පියාසර කරවීම ප්‍රතික්ෂේප කළ නිසා ගුවන් හමුදා නියමුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ආකාරය දැක්වෙන දර්ශන පෙළක් ද යන්න පිළිබඳව අප විමසා බැලී ය.    

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර දැඩිවී ඇති බව පසුගිය දිනවල විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ අතර දින කිහිපයකට පෙර ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයකින් Al-Rantissi ළමා රෝහලට දැඩි ලෙස හානි සිදු වූ බව ද වාර්තා කර තිබුණා. අවුරුදු 2ක පමණ කාලයක් තිස්සේ ඊශ්‍රායල – ගාසා ගැටුම් පවතින අතර එවැනි වටපිටාවක් තුළ ඉකුත් සතියේදී මෙලෙස ඊශ්‍රායලයට අවි රැගෙන යන යානයක් පියාරසර කරවීම ගුවන් නියමුවන් ප්‍රතික්ෂේප කිරීම නිසා අත්අඩංගුවට ගැනීමක් සිදුව තිබුණේ නම්, ගුවන් යානයක් පියාසර කරවීම ප්‍රතික්ෂේප කළ නිසා අත්අඩංගුවට ගත් බව කියන ආන්දෝලනාත්මක පුවත ලොව පුරා මාධ්‍ය වඩා  වැඩි ප්‍රමුඛත්වයකින් වාර්තා කර තිබිය යුතු වුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ එවැනි පුවතක් ලොව පිළිගත් මාධ්‍ය විසින් වාර්තා කර ඇති බවක් දැකගත නොහැක.    

අප මෙහි අත්අඩංගුවට පත් වන දෙදෙනා සිදු කළ අදහ් ප්‍රකාශ කිරීම් වෙත අවධානය යොමු කළේ ය. එක් අවස්ථාවකදී අත්අඩංගුවට පත් කාන්තා නිලධාරිනිය පවසන්නේ, අමෙරිකාව පලස්තීන ජනතාවට එරෙහි විනාශයට සම්බන්ධ වී සිටින බවත් නියෝගයන්ට අදාළ විදේශ කටයුතු කමිටු රැස්වීමකට බාධා කළ බව කියමින් තමන් අත්අඩංගුවට ගත් බවත් ය. තව ද එක් අවස්ථාවකදී ඔවුන් ඔබව අත්අඩංගුවට ගන්නේ ඇයි ද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අත්අඩංගුවට පත් නිලධාරියා පවසන්නේ,  ජන සංහාරයට එරෙහිව අදහස් ප්‍රකාශ කළ නිසා අත්අඩංගුවට ගත් බවයි. 

මේ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවේ කිසිදු තැනක ඊශ්‍රායලයට අවි ආයුධ රැගෙන යන ගුවන් යානා  පියාසර කරවීම ප්‍රතික්ෂේප කළ නිසා තමන් අත්අඩංගුවට ගත් බව අත්අඩංගුවට පත් එකදු නිලධාරියෙකු හෝ ප්‍රකාශ නොකරයි. මීට අමතරව මෙහිදී සිදුවූයේ, හමුදා ගුවන් නියමුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමක් නම්, වීඩියෝ දර්ශනයට අනුව පසුව අත්අඩංගුවට ගන්නා කාන්තාවන් දෙදෙනා කවුරුන්ද යන්න පිළිබඳව සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන්වල සඳහන්ව නොමැත. 

අප තවදුරටත් කරුණු පරීක්ෂා කිරීමේ අරමුණිින් මෙම වීඩියෝවේ රූප රාමු Reverse Image සෙවුමක් වෙත යොමු කළ අතර එහිදී පැහැදිලි වූයේ, ඉකුත් සැප්තැම්බර් 3 වනදා Al Jazeera English පිටුව ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවට සමාන විනාඩි එක හමාරක පමණ වන වීඩියෝවක් පළ කර ඇති ආකාරයයි. මේ අතර Al Jazeera පිටුවේ මෙම දර්ශන පෙළ පළ කර තිබුණේ,  අමෙරිකානු හමුදාවේ ජ්‍යෙෂ්ඨයින් දෙදෙනකු වන Anthony Aguilar සහ Josephine Guilbeau යන දෙදෙනා ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල යුද්ධය සඳහා අමෙරිකාව සහයෝගය දැක්වීම හෙළා දකිමින් සෙනෙට් සභා විභාගයකට බාධා කරන ආකාරය එම දර්ශනවලින් දැකගත හැකි බවයි. තව ද අත්අඩංගුවට ගත් දෙදෙනා පසුව නිදහස් කර ඇති බව ද එහි සඳහන්ව ඇත.එකී දර්ශන පෙළට අනුව ඝෝෂාකාරිව විරෝධතාව පළ කළ නිල ඇඳුමින් සැරසී සිටි නිලධාරීන් දෙදෙනාම පිටතට ඇදගෙන යාමට පෙර සෙනෙට් සභාව තුළදී ද විරෝධාතාව දක්වන ආකාරය දැකගත හැකි අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝව තුළ මෙම මුල් කොටස දැකගත නොහැක.

මේ අතර එදිනම TRT World වාර්තා කර තිබුණේ, ගාසා තීරයේ ආධාර බෙදා හැරීමේ ස්ථානවල ඊශ්‍රායල ම්ලේච්ඡ ක්‍රියා හෙළි කළ විශ්‍රාමික අමෙරිකානු හමුදා නිලධාරියෙක් නීති සම්පාදකයින් ජන සංහාරයට හවුල් වූ බවට චෝදනා කරමින් සෙනෙට් සභා නඩු විභාගයට බාධා කළ බවත් පසුව ඔහු බලහත්කාරයෙන් ඉවත් කළ බවත් ය. වොෂින්ටන් ඩී සී හි පැවති සෙනෙට් සභික විදේශ සබඳතා කමිටු විභාගයකදී හිටපු හමුදා සාමාජිකයෙකු වූ ලුතිනන් කර්නල් Anthony Aguilar සහ අමෙරිකානු හිටපු  බුද්ධි නිලධාරිනියක වූ කපිතාන් Josephine Guilbeau නැගී සිට ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල යුද්ධයට එරෙහිව අදහස් ප්‍රකාශ කළ බවත් එහිදී පොලිසීය ඔවුන් දෙදෙනාම සෙනෙට් සභාවෙන් පිටතට රැගෙන ගිය බව ද එහි සඳහන් ය. TRT World මෙය වාර්තා කර තිබුණේ, සිදුවීමට අදාළ දර්ශන ද සහිතවයි.

මේ අතර DawnNews  ඉකුත් 4 වැනිදා සිය යූ ටියුබ් ගිණුම ඔස්සේ මෙම සිදුවීම  පළ කර තිබුණේ, ගාසාහි ජන සංහාරයට විරෝධය පළ කළ අමෙරිකානු හමුදා ප්‍රවීණයින් සෙනෙට් සභාවෙන් ඉවත් කළ බව පවසමිනි. එම දර්ශන පෙළට අනුව සෙනෙට් සභාව තුළ අදාළ නිලධාරීන්  විරෝධය අරම්භ කරන අවස්ථාව ද ඇතුළත්ව තිබේ. 

මේ අතර ඉකුත් 4 වැනිදා ෆේස්බුක් ඔස්සේ පළ කරන ලද තවත් සටහනක දැක්වුණේ, ගාසා තීරයේ ඊශ්‍රායලය සිදු කරන ජන සංහාරයට හවුල් වීම ගැන කමිටු සාමාජිකයින්ට චෝදනා කිරීමෙන් පසු අමෙරිකානු හමුදා ප්‍රවීණයන් දෙදෙනකු වන Anthony Aguilar සහ Josephine Guilbeau සෙනෙට් සභාවෙන් ඉවත් කර ඇති බවයි. ගාසා මානුෂීය පදනමේ (Gaza Humanitarian Foundation) සේවය කරන විශ්‍රාමික හමුදා සාමාජික Aguilar පවසා තිබුණේ,  (GHF) ආධාර ස්ථානවලට ආහාර සොයා පැමිණි පලස්තීන වැසියන්ට වෙඩි තැබූ බව පවසා ඇති බව ද එම සටහනේ සඳහන්ව තිබුණා. 

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනය අනුව පැහැදිලි වන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දර්ශන පෙළ ඊශ්‍රායලයට අවි රැගත් ගුවන් යානා පියාසර කරවීම ප්‍රතික්ෂේප කළ නිසා හමුදා ගුවන් නියමුවන් දෙදෙනකු අත්අඩංගුවට ගන්නා දර්ශන පෙළක් නොවන බවයි. එම දර්ශන පෙළ අමෙරිකානු හමුදාවේ ජ්‍යෙෂ්ඨයින් දෙදෙනකු වන Anthony Aguilar සහ Josephine Guilbeau ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල යුද්ධයට  අමෙරිකාව සහයෝගය දැක්වීම හෙළා දකිමින් සෙනෙට් සභා විභාගයකට බාධා කිරීමෙන් පසු එම ස්ථානයෙන් ඉවත් කරන අවස්ථාවේ දර්ශන පෙළක් බවයි. 

Avatar

Title:ඊශ්‍රායලයට ආයුධ රැගත් ගුවන් යානා පියාසර කිරීම ප්‍රතික්ෂේප කළ ගුවන් නියමුවන් දෙදෙනකු අත්අඩංගුවට ගන්නා වීඩියෝවක් ද?

Fact Check By: Sagarika  

Result: Misleading


Leave a Reply