ඇමති හයිය අරන්, මෑතක දී පොලිස් නිලධාරියෙකුට කාන්තාවක් බැණ වැදුණ වීඩියෝවක් ද? 

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මෑත කාලීන සිදුවීම් සමඟ ගැළපෙන තේමා යටතේ, පැරණි වීඩියෝ සහ ඡායාරූප, වර්තමාන සිද්ධි ලෙස හුවා දක්වමින්, යළිත් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළ කිරීම බොහෝවිට සමාජ මාධ්‍ය ඔස්සේ දැකගත හැකියි. මේ එලෙස සමාජ නොමග යවන සුළු ආකාරයෙන් පළ කරන ලද දර්ශන පෙළක් පිළිබඳව සිදුකළ කරුණු විමර්ශනයක් 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

වසන්තය කියන්නේ ඇයටයි මටයි, ඇමති හයිය යනුවෙන් සඳහන් කරමින්, කෙටි වීඩියෝවක් ද ඇතුළත් කරමින් පළ කර ඇති මෙම සමාජ මාධ්‍ය සටහනට අනුව පොලිස් නිලධාරියෙකු මෝටර් රථයක් තුළ සිටින කාන්තාවකගෙන් රියැදුරු ගමන් බලපත්‍රය ඉල්ලා සිටින අතර එහිදී අදාළ කාන්තාව ආවේගශීලිව හැසිරෙමින් පොලිස් නිලධාරියෙකු බවට අනුමාන කළ හැකි පුද්ගලයෙකුට බැණ වදින අයුරක් දැක්වෙනවා. මෙම සිදුවීම පටිගත කරන දුරකතනයට ද ඇය විසින් පහර දෙන ආකාරයක් දැකගත හැකියි. කෙසේ වෙතත් මෙම දර්ශන පෙළ තුළ, පටිගත කිරීමේ සිදුකරන පුද්ගලයා පෙනෙන්ට නොමැති අතර, අදාළ කාන්තාවට කාතා කරන ආකාරය පමණක් අසන්නට ලැබේ. 

පහත සමාජ මාධ්‍ය පරිශීලකයා මෙම සිදුවීම  අද (15) දිනයේ සිය ගිණුම ඔස්සේ මුදා හැර ඇත්තේ, එය ආසන්න දිනයකදී සිදුවූ සිදුවීමක් බවට හුවා දක්වමිනි. තව ද  #පුනරුදය#NPP #AKD #Politics යනුවෙන් මෙහි සඳහන් කර තිබීම තුළින් මෙම සිදුවීම වත්මන් පාලනය තුළ සිදුවන  සිදුවීමක් බවට තවදුරටත් පෙන්නුම් කිරීමට උත්සාහ දරා ඇති බවක් ද පෙන්නුම් කරයි.  

Facebook  

තව ද මෙම දර්ශන පෙළ සඳහා Red Card ගිණුම මූලාශ්‍රය ලෙස සඳහන් කර තිබීම තුළ අප එම ගිණුම ද පරීක්ෂා කළ අතර එහිද මෙම දර්ශන පෙළ Minister high system change යනුවෙන් සඳහන් කරමින් ඔක්තෝබර් 14 පළ කර තිබෙනු Facebook | Archived Link දැකගත හැකි විය. 

විශාල පිරිසක් නරඹා ඇති මෙම දර්ශන පෙළ සත්‍ය ලෙසම වත්මන් ජාතික ජනබලවේග පාලන සමයේ මෑතකදී සිදුවූ සිදුවීමක දර්ශන පෙළක් ද යන්න පිළිබඳව අප කරණු විමසීමක් සිදු කළේ ය.  

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

රාජකාරිය ඉටු කිරීම සඳහා රියදුරු බලපත්‍රය ඉල්ලා සිටින පොලිස් නිලධාරියෙකුට මෝටර් රථයක සිටින කාන්තාවක් අසභ්‍ය වචනයෙන් බැණ වදින ආකාරය දැක්වෙන මෙම වීඩියෝව සමාජ මාධ්‍යට මුදා හැර ඇත්තේ,  පසුගිය දා පෙලිිස් නිලධාරියෙකු සහ නීතිඥවරයෙකු අතර ගල්කිස්ස අධිකරණ භූමියේදී සිදුවූ  ආන්දෝලනාත්මක  සිදුවීමෙන් දින කිහිපයකට පසුව වීම විශේෂත්වයකි. එම අවස්ථාවේදී සමාජය තුළ මෙන්ම සමාජ මාධ්‍යයේ අදාළ පොලිස් නිලධාරියා වෙනුවෙන් විශාල පිරිසක් හඬ නැගෙනු දැකගත හැකි විය.

කෙසේ වෙතත් කාන්තාවක් පොලිස් නිලධාරියෙකුට අසැබි වචනයෙන් බැණ වදින අකාරය දැක්වෙන, පසුගිය දා සාමාජ මාධ්‍යට මුදා හැර ඇති මෙම සිදුවීම සැබෑ ලෙසම අද ඊයෙක සිදුවූ සිදුවීමක දර්ශන පෙළක් ද  යන්න පිළිබඳව අප කරුණු සොයා බැලීම සඳහා අප ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා පරීක්ෂාවට ලක් කළ ද එවැනි සිදුවීමක් පිළිබඳ පුවතක් හෝ එවැනි දර්ශන පෙළක් ප්‍රධාන ධාරවේ මාධ්‍ය පසුගිය දින කිහිපයේ වාර්තා කර නොමැත. 

මීට වසර 5 කට පෙර සිදුවීමක්!

එසේ නම් මෙම සිදුවීම සිදුව ඇත්තේ, කවදා ද යන්න පරීක්ෂා කර බැලීම සඳහා අප මෙම දර්ශන පෙළේ රූපරාමු Reverse Image සෙවුමක් වෙත යොමු කළ අතර එහිදී අනාවරණය වූයේ, මෙම දර්ශන පෙළ  මීට වසර 5කට පෙර සිදුවීමක දර්ශන පෙළක් බවයි. එම දර්ශන පෙළ 2019 ජුනි 17 වැනිදා  ෆේස්බුක් ඔස්සේ මෙලෙස පළ කර තිබෙනු දැකගත හැකි වුණා.

ලොක්කන්ගේ හයිය අරන් පොලීසියට පාට් දැමූ කටුනායක ස්පා අක්කා පොලීසියට දක්කන් ගිය හැටි.. යනුවෙන් සඳහන් කරමින් 2019 ජුනි මස විනාඩි 1.55 කින් යුත් මෙම දර්ශන පෙළ YouTube ඔස්සේ පළ කර තිබුණා. ෆේස්බුක් ඔස්සේ ද මෙම දර්ශන පෙළ වයිරල් වූ අවස්ථාවක් පහතින්.

Facebook  | FB

මෙම දර්ශන පෙළ පරික්ෂා කිරීමේ දී අදාළ කාන්තාව පොලිස් නිලධාරින් ඉදිරියේ අසභ්‍ය වචනයෙන් බැණ වදින බව දැක ගන්නට ලැබෙන අතර, රාජකාරියට බාධා කළ කාන්තාව පොලිසිය අත්අඩංගුවට ගන්නා ආකාරය ද දැකගත හැකියි. 

මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංරණය වූ  එම දර්ශන පෙළ 2019 ජුනි 19 වැනිදා Hiru News ප්‍රධාන ප්‍රවෘත්ති ඔස්සේ වාර්තා කර තිබුණා.   

මේ අතර අප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඉහත වීඩියෝ දර්ශනයට අදාළ සිදුවීම මෑතකදී සිදුවූවක් ද යන්න පිළිබඳව අප පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් ද විමසා සිටි අතර පොලිසිය පැවසුවේ, මෑතකාලීනව රටේ කිසිදු ස්ථානයකින් පොලිස් නිලධාරියෙකුට බැණ වදින ආකාරයේ මෙවැනි සිදුවීමක් වාර්තා නොවූ බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :අපගේ කරුණු විමර්ශනය අනුව පැහැදිලි වන්නේ, ‘ඇමති හයිය’ යනුවෙන් සඳහන් කරමින් මෑතකදී සිදුවූ බවට හගවමින්. කාන්තාවක් රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරියෙකුට අසභ්‍ය වචනයෙන් බැණ වදින ආකාරය දැක්වෙන මෙම දර්ශන පෙළ මෑතකාලීනව වාර්තා වූ සිදුවීමක දර්ශන පෙළක් නොවන බවයි. එම දර්ශන පෙළ 2019 ජුනි මස සිදුවීමකි. #පුනරුදය#NPP #AKD #Politics ආදී හෑෂ් ටැග්ස් යොදා ගනිමින්  මෙම දර්ශන පෙළ පළ කර ඇත්තේ, වත්මන් ආණ්ඩුව යටතේ යළි යළිත් රාජකාරියේ නිරතව සිටින පොලිස් නිලධාරීන් පීඩාවට පත්වන බව හඟවමින් සමාජය නොමග යැවීමේ අරමුණින් යැයි අනුමාන කළ හැකියි.

Avatar

Title:ඇමති හයිය අරන්, මෑතක දී පොලිස් නිලධාරියෙකුට කාන්තාවක් බැණ වැදුණ වීඩියෝවක් ද? 

Fact Check By: Sagarika Chathumali 

Result: Misleading


Leave a Reply